උතුරු පළාත් සභා බල අරගලය දකුණට කියාදෙන පාඩම – භාතිය බරුකන්ද

උතුරු පළාත් සභාවේ වත්මන් බල අරගලය ගැන දකුණ වඩාත් සංවේ දී විය යුතුයි. ඒ හොරු කොතරම් සංවිධානාත්මකද, උපායශීලී ද යන්න පමණක් නොවෙයි.ඔවුන් සමඟ එකට ළඟින්න සූදානම් කොතරම් පිරිසක් ඉන්නවාද යන්න මේ සිදුවීම හරහා මනාව පැහැදිලි වන නිසයි.

‘පුදන කොටම කාපි යකා’ කියලා කියමනක් ගමේ තිබෙනවා. මෙමගින් අදහස් වුණේ යම් කිසි දෙයක් ආරම්භ කළ විගසම ඒක සම්පූර්ණයෙන්ම විනාශ වීමයි. මේ කතාව වත්මන් උතුරු පළාත් සභාවටත් සම්පූර්ණයෙන් අදාළ වන බව පසුගියදා සිදු වූ උතුරු පළාත් සභාවේ බල අරගලය ගැන උනන්දුවක් දක්වන අය කියනවා.

කොහොම වුණත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ කෘතහස්තභාවය සහ උතුරේ සිවිල් සමාජයේ මැදිහත්වීම පළාත් සභාවේ අර්බුදය කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබුණා. උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සඳහා උතුරේ ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජය ප්‍රබල ආකාරයෙන් මැදිහත් වෙලා තිබෙනවා. මොකද යම් ආකාරයකින් මේ අර්බුදය උග්‍ර වී විග්නේශ්වරන් මහතාට පළාත් සභාවේ බහුතර බලය පෙන්වීමට නොහැකි වුණා නම් අනිවාර්යයෙන්ම පළාත් සභා මහ ඇමැති පදවිය ඔහුට අහිමි වෙනවා.

එය එතැනින් නතර නොවන බව පැහැදිලියි. ඊට මොහොතකට පසුව සිද්ධ වෙන්නේ පසුගිය කාලය පුරාම අසීරුවෙන් එක්කාසු කරගෙන අතුරේ යනවා වාගේ කටයුතු කරන දමිළ ජාතික සන්ධානය දෙකඩ වීම. එවැනි තත්ත්වයක් උද්ගත වුණා නම් එය උතුරේ දමිළ දේශපාලනයට වගේම දකුණේ දේශපාලනයට, විශේෂයෙන් වත්මන් ආණ්ඩුවට ඍජුව බලපානවා.

මේ සමඟම තවත් යමක් කිව යුතුයි. ඒ උතුරු පළාත් සභා අර්බුදය සම්බන්ධයෙන් දකුණේ සිංහල ජනමාධ්‍ය, විශේෂයෙන් ඇතැම් සති අන්ත පුවත්පත්වල භූමිකාව. පසුගිය සති අන්තයේ ඇතැම් සිංහල ජාතික පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්ති සහ ඇතැම් දේශපාලන විශ්ලේෂණ විමසා බලන විට ඔවුන් කොතරම් දුරට සාවද්‍ය හා උපකල්පනීය පුවත් පළ කරන්නේ ද යන්න සහ ඒකපාර්ශ්විය දේශපාලන විග්‍රහවල යෙදෙන්නේද යන්න අපූරුවට පැහැදිලි වුණා.

අළු යට ගිනි

කෙසේ වෙතත් උතුරු පළාත් සභාවේ දේශපාලන කුණාටුව අවසන් වුණත් ඒ සමඟ උතුරේ දේශපාලන බලඅරගලය අවසන් වූ බවක් නම් කිසිසේත් විශ්වාස කළ නොහැකිය. එය අළුයට ගිනි මෙන් දිගින් දිගටම පවතින බව පැහැදිලිය. මොකද විග්නේශ්වරන් මහතා හරහා එළියට ආවේ එහි එක් කොනක් පමණයි. ඒ හරහා සිදු වූ දේශපාලන බෙදීම සහ එහි හිත් වේදනා දෙපාර්ශ්වය තුළම අවස්ථාවක් එනතෙක් නොනිවී තිබේවි. ඒකට හේතුව තමයි උතුරේ දේශපාලන අරගලය / බල අරගලය හුදෙක් එක් හේතුවක් මත පමණක් නොරැුඳී තවත් අති සංකීර්ණ සමාජ, සංස්කෘතික හා ආර්ථික කාරණා ගණනාවක සංකීර්ණයක් ලෙස පැවතීම.

උතුරේ බල අරගලය

උතුරේ බල අරගලය දශක ගණනාවක් පුරා අඛණ්ව සිදුවන දෙයක්. ඒක ලංකාවේ නිදහස් අරගලයේ ආරම්භක අවධිය දක්වාම දිවෙනවා. ආරම්භක අවධියේ දී උතුරේ බල අරගලයේ තීරණාත්මක කොන්දේසිය වුණේ ‘කුලය’ බව දේශපාලන හා සමාජ විද්‍යාඥයින් ඉතා පැහැදිලිව අවධාරණය කරනවා. ඒක 70 දශකයේ මධ්‍ය භාගයේ ආරම්භ වූ වෙනම රාජ්‍යයක් සඳහා වන සන්නද්ධ අරගලය සමඟ කූඨ ප්‍රාප්තියට පත් වුණා.

ප්‍රභාකරන් ඇතුළු තරුණයන් ආයුධ අතට ගත්තාම සිදු වුණේ උතුරේ සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය පසු බැසීම හො දෑත් හකුළුවා ගැනීම. ප්‍රභාකරන් ඇතුළු සන්නද්ධ කල්ලියවලට යටත් වුණේ, එහෙම නැතිනම් තමන්ගේ මතවාද පාවා දුන්නේ අල්පයක් පිරිසක් පමණයි. ඒ නිසා තමයි 30 අවුරුදු සිවිල් යුද්ධය පුරාම, කොටි සංවිධානය තීරණාත්මක බලයක් ගොඩනඟා ගෙන වෙනම රාජ්‍යයක ආසන්නය දක්වා පැමිණියත් දකුණේ දේශාපාලනය සමඟ දීග කන්න ඩග්ලස් දේවානන්දලා ආදී පිරිසක් හිටියේ.

කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ රෙජිමය සමයේ උතුරේ අලූත් දේශපාලන බලවේගයක් නිර්මාණය කරන්න ආණ්ඩුව උපරිම උත්සාහයක් දැරුවා. ඩග්ලස් දේවානන්දා පමණක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයත් එක්කත් ගිවිසුම් ගහලා ඡන්දය ඉල්ලලා නුවරඑළියෙන් පාර්ලිමේන්තුවට ගිය ශ්‍රී රංගා පවා මහින්ද රාජපක්ෂ ඒ සඳහා භාවිත කළා.

කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි උතුරේ බල තුලනය වෙනස් කරන්න (ඡන්ද සංඛ්‍යාව) පශ්චාත් යුද සමයේ රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාව පවා මෙහෙය වූ ආකාරය දැකිය හැකි වුණා. ඇතැම් විශ්ලේෂකයන් කියන ආකාරයට ප්‍රභාකරන් ඝාතනය කළ පසු කොටි සංවිධානයේ නව නායකයා බවට පත් වුණු ‘කේ.පී’ වගේම තවත් හිටපු කොටි ප්‍රබලයන් රැසක් සිවිල් චරිත බවට පත් කළා. මේ සියල්ල තුළින් මහින්ද රාජපක්ෂ රෙජිමය බලාපොරොත්තු වුණේ කොටි සංවිධානයේ බිඳ වැටීමෙන් පසු උතුරේ බල තුලනය තමන්ට වාසි ආකාරයට, පාලනය කළ හැකි ආකාරයට නිර්මාණය කර ගන්න.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කිසිදු බියක් නැතිව උතුරු පළාත් සභා මැතිවරණයට පවා ගියේ උතුරේ බල තුලනය තමන්ට වාසිදායක ආකාරයට නිර්මාණය වී ඇතැයි යන අචල විශ්වාසයෙන් බව පැහැදිලියි.

සුන් වූ බලාපොරොත්තු

ඒත් උතුරු පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ආ විගස මහින්ද රාජපක්ෂ රෙජිමයේ සියලූ ගණන් බැලීම් පුස්සක් වුණා. කොටි නැති පසුබිමක ඡන්දය කළ දෙමළ ජාතික සන්ධානය ඉතා පහසුවෙන් උතුරේ අති බහුතර බලය අල්ලා ගත්තා. උතුරේ දේශපාලනය මහින්ද රාජපක්ෂ රෙජිමයට දේශපාලන බුමරංගයක් වුණේ ඊට පස්සෙයි. ‘කොටි කම්මුතු කළ බව’ කිව්ව රාජපක්ෂ ආණ්ඩුව නැවතත් කොටියට පණ දුන්නේ දෙමළ ජාතික සන්ධානය උතුරේ බල තුලනය තමන් අතට ගත්තට පස්සෙයි.

මේ නිසා 2010 සරත් ෆොන්සේකාට වගේම 2015 මෛත්‍රීපාල සිරිසේන මහතාටත් උතුරේ ඡන්ද ඔක්කොම තමන්ගේ මල්ලට දාගන්න පුළුවන් වුණා. බැරි වෙලාවත් 2005 දී උතුරේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාට කළ දේ 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාට කළා නම් ලංකාවේ දේශපාලන වංශ කතාව මේ වන විට මහා ඛේදවාචකයක් වෙලා අවසන්.

අදත් එදා වගේම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට උතුරු පළාත් සභාව කොටි රූකඩයක් වගේ පේන්නේ, විග්නේශ්වරන්ගේ මුහුණ ප්‍රභාකරන්ගේ වගේ පේන්නේ උතුර තමන්ට හතරගාතේ වැටෙන්න පහර දුන්න නිසයි.

මේ තත්ත්වය අද උතුරු පළාත් සභාවේ බල අරගලය ගැන උඩ පනින දකුණේ දේශපාලනය මනාව වටහා ගත යුතුයි. එසේ නැතිව හුදකලා හෝ ආයාලේ යන සිදුවීම් සමඟ හුරේ දැම්මට පස්සේ සිද්ධ වෙන්නේ හූ තිය තිය අඬන්න. දකුණට හැම අවස්ථාවකම හිමි වුණේ ඒ උරුමයම තමයි.

උතුරේ බල අරගලය කියන අනෙක් කතාව

දකුණේ දේශපාලනය කෙරෙහි දමිළ ජාතික සන්ධානය සතු තීරණාත්මක බලපෑම වගේම උතුරු පළාත් සභාවේ වත්මන් බල අරගලය කියන අනෙක් කතා දෙකත් මුළු රටටම අදාළයි.

මෙයින් ප්‍රධාන කතාව (ඇතැම් විට දෙක) වශයෙන් ප්‍රකාශයට පත් වන්නේ මහ ඇමැති විග්නේශ්වරන්ට එරෙහි විශ්වාස භංග යෝජනාව ගෙන ඒමට මුල් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ වාර්තාවයි.

මහ ඇමැති විග්නේශ්වරන් ආරම්භයේ සිටම ක්‍රියා කළේ උතුරේ මෙන්ම දකුණේද නිතර දැකිය හැකි සාටෝපකාරී දේශපාලන ප්‍රතිපත්තියෙන් සපුරාම බැහැරවයි. ඔහු කියන්න තිබෙන දේ නොබියව කියන්නත් ඒ අනුව ක්‍රියාකරන්නත් බිය වුණේ නැහැ. ඔහු වෘත්තීමය දේශපාලනඥයෙක් නොවන නිසා බොහෝ විට ඔහුගේ කතා හුදු ජනප්‍රියභාවයෙන් ඔබ්බට ගිය කතා වුණා. ඒ නිසා ඔහු ආරම්භයේ සිටම දකුණේ පොදු දේශපාලන හතුරෙක් වෙන කොට උතුරේ සාම්ප්‍රදායික දේශපාලනයට දරාගත නොහැකි බරක් වුණා. මේ තත්ත්වය තුළ විග්නේශ්වරන් මහතා ආරම්භයේ සිටම උතුරෙයි දකුණෙයි දේශපාලන හතුරන් රැසක් හදාගත්තා. දකුණ ඔහුට කොටි ලේබල් අලවන විට උතුරේ දේශපාලන අවස්ථාවාදය ඔහුට නොබියව හා පාරදෘශ්‍ය ආකාරයෙන් ක්‍රියාකරන්න ඉඩ දුන්නේ නැහැ. ඔහු ඔවුන්ගේ දේශපාලන සිරකරුවෙක්, වන්දිභට්ටයෙක් කර ගන්න උපරිම දේ කළා.

දූෂණ විමර්ශන කොමිසම

2015 දී දකුණේ දේශපාලනයේ තීරණාත්මක සටන් පාඨයක් වුණේ ‘දූෂිතයන්ට දඬුවම් කිරීම’ හා ‘දූෂණයට තිත’ තැබීම, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට මේ කාරණය තීරණාත්මක බලපෑමක් ද කළා.

ඒත් මේ මොහොත වන විටත් දකුණේ සිදුවෙන්නේ දූෂිතයන් එෆ්.සී.අයි.ඩීයට වට වන්දනාවේ යාම පමණයි. තාම හාල්මැස්සෙක්වත් හරියට අල්ලලා ගෙන නැති වුණාට හොරු අල්ලලා එල්ලන සිහිනය දකුණේ තවමත් තිබෙනවා.

හිටපු කීර්තිමත් විනිසුරුවරයකු වූ ද පරමාදර්ශී පුද්ගලයකු වශයෙන් ද සැලකෙන මහ ඇමැති විග්නේශ්වරන් ගත්තේ දකුණට උණ ගැනෙන තීරණයක්. ඔහු තමන්ගේ මහ ඇමැති බලතල අනුව යමින් උතුරු පළාත් සභාවේ දූෂණ චෝදනා එල්ල වූ ඇමැතිවරුන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා කොමිෂමක් පත් කළා. කටින් බතල හිටවන්නේ නැතිව ඒකේ පරීක්ෂණ කටයුතු කඩිනම් කළා. වාර්තාව තමන් අතට ගත්තා.

උතුරේ බල අරගලය දියමතු පිටට ඇවිත් සුළියක් දක්වා වර්ධනය වුණේ ඊට පස්සේ. උතුරු පළාත් සභාවේ ඇමැතිවරුන් හතර දෙනකුටම දූෂණ චෝදනා ගොනුවෙලා තිබුණා. එමගින් උතුරු පළාත් සභාවේ අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමැති ටී. ගුරුකුලරාජා සහ කෘෂිකර්ම, ගොවිජන හා පශු සම්පත් ඇමැති ජී. අයින්කරනේෂන් යන ඇමැතිවරුන් දෙදෙනාගේ චෝදනා ඔප්පු වෙලා තිබුණා. විග්නේශ්වරන් මහතා වහාම කළේ ඔවුන් දෙදෙනාට වහාම ඇමැති පදවිවලින් ඉවත් වන ලෙස දැනුම් දීම. ඒ වගේම අනෙක් ඇමැතිවරුන්ට අනිවාර්ය නිවාඩු යන ලෙස බල කළා. ඒ ඔවුන් තනතුරේ රුඳී සිටිමින් තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට තැත් කළොත් එමගින් පරීක්ෂණවලට බලපෑම් එල්ල වීමට හැකි බව කියමින්.

උතුරු පළාත් සභාව රත්වුණේ ඊට පස්සේ. අදීන පුද්ගලයකු වන මහ අැමැතිවරයා දූෂිතයන් රකින්න හෝ ඔවුන්ව පුටුවේ තබාගෙන ලෝකයාට පේන්න විමර්ශන කරන්න ගියේ නැහැ. කීර්තිමත් විනිසුරුවරයකු වන ඔහුගේ අදීනත්වය යළි ඔප්පු කරමින් යුක්තිය ඉටුවන බව පෙනෙන සුපිළිපන්න ආකාරයක කටයුතු කිරීමට ද ඔහු පියවර ගත්තා. මේක දේශපාලනඥයන් තුළ දැකිය හැකි දුර්ලභ ලක්ෂණයක්. විශේෂයෙන් ලංකාවේ. ඒ අතින් මහ ඇමැති විග්නේශ්වරන් කියන්නේ දකුණට පහන් ටැඹක් විය යුතු අයෙක්.

දකුණේ යහපාලන ආණ්ඩුව හොරු අල්ලන්නට පිටපොට ගසන විට පළාත් සභාව ගත්ත මේ තීරණේ ඇත්තටම දේශපාලන වික්‍රමයක්. ලංකාවේ පළාත් සභා ක්‍රමයට අවුරුදු 30ක් පිරෙන්නේ මේ අවුරුද්දේ. මේ අවුරුදු 30ටම කිසිම පළාත් සභාවක් නොගත්ත අභීත තීරණයක් විග්නේශ්වරන් මහ ඇමැතිවරයා ගත්තා.

ඒත් ලංකාවේ දේශපාලනඥයෝ කොහෙත් එක වගෙයි කියන්නා වාගේ හොරු කැරළි ගහලා අන්තිමට තමන්ගේ බෙල්ලට වැටෙන්න තිබුණ තොණ්ඩුව තමන්ගේ අතට ගත්තා. දමිළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මැදිහත් වෙලා පසුගියදා විග්නේශ්වරන්ගේ බෙල්ලට වැටෙන්න ගිය තොණ්ඩුව මදක් ඉවතට ගත්තා. දැන් මේ තොණ්ඩුව උතුරේ අහිංසක දමිළ ජනතාව මත වැටීමට නියමිතයි. මොකද සම්බන්ධන් මැදිහත් වෙලා කළේ හොරු ආරක්ෂා කරන එක. ( අධ්‍යාපන ඇමැති ගුරුකුලරාජා ඉල්ලා අස්වීම භාර දී ඇත) ඒ දෙමළ ජාතික සන්ධානයේ දේශපලන පැවැත්ම වෙනුවෙන් මිස යහපාලනය හෝ දමිළ ජනතාවගේ යහපත වෙනුවෙන් නම් නොවෙයි.

දකුණට කියන පාඩම

අද දකුණේ සිදු වෙමින් තිබෙන්නේ මේ තත්ත්වයම තමයි. යහපාලන ආණ්ඩුව හොරු දඩයම් කරන කොට හොරු සංවිධාන වුණා. එකම බලවේගයක් බවට පත් වුණා. ගන්න පුළුවන් හැම තැනින්ම ජවය ගත්තා. අවසානයේ තමන්ගේ බෙල්ලට වැටෙන්න තියෙන තොණ්ඩුව ක්‍රමයෙන් තමන් අතට ගනිමින් ඉන්නවා.

අද යළි ආණ්ඩු බලය අල්ලන්න බැසිල්ලා, මහින්දානන්දලා දිවා රූ වෙහෙසෙන ආකාරයෙන් මේක හොඳට පේනවා. නිලධාරී නඩය හා මාධ්‍ය නඩයට මේ කල්ලියට ඔක්ෂිජන් ගහන හැටි ජනතාවට හොඳට පේනවා.

ඒ නිසා උතුරු පළාත් සභාවේ වත්මන් බල අරගලය ගැන දකුණ වඩාත් සංවේ දී විය යුතුයි. ඒ හොරු කොතරම් සංවිධානාත්මකද, උපායශීලී ද යන්න පමණක් නොවෙයි .ඔවුන් සමඟ එකට ළඟින්න සූදානම් කොතරම් පිරිසක් ඉන්නවාද යන්න මේ සිදුවීම හරහා මනාව පැහැදිලි වන නිසයි.

විග්නේශ්වරන් මහතා පත් කළ පරීක්ෂණ කොමිෂම හරහා එළියට ආව ඉතාම වැදගත් අනෙක් කරුණ වන්නේ උතුරු පළාත් සභාවත් ලංකාවේ අනෙක් පළාත් සභා මෙන්ම දූෂිතයි, අකාර්යක්ෂමයි කියන එක. උතුරේ ජාතික තලයේ සහ පළාත් මට්ටමේ දේශපාලනඥයන්ට අවශ්‍ය කරන්නේ බලය රැක ගැනීම මිස දමිළ ජනතාවට හෝ පළාතට සේවය කිරීම නොවන බවට විග්නේශ්වරන් මහතාගේ පරීක්ෂණ කොමිෂම වගේම ආර්. සම්බන්ධන් මහතාගේ මැදිහත්වීමත් තහවුරු කළා.

බලය බෙදීම ගැන කතාව

මේ තත්ත්වය ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක කතිකාවක් වන ‘උතුරට බලය බෙදීම’ යන කරුණ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. ඒකට හේතුව තමයි අතිශය දුෂ්කර හා පරීක්ෂණාගාර තත්ත්වයක් යටතේ දී දිනාගත් අවම පළාත් සභා බලතල හා සම්පත් පවා තමන්ගේ ජනතාවගේ යහපත සඳහා වැය කරන්න මේ දේශපාලනඥයන්ට හැකියාවක් හෝ වුවමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය දූෂණයේ යෙදෙමින් තමන්ගේ මල්ල තරකර ගැනීමට පමණයි. දීර්ඝ කාලයක් පුරා උතුරට බලය දිනාගන්න අරගල කළ, ජීවිතය දුන් මිනිසුන්ගේ කැපකිරීම්වලට මේ දේශපාලනඥයන් කිසිඳු ආකාරයකට වටිනාකමක් දීලා නැහැ. මේ විදිහට ගියොත් කිසිමදාක එවැනි වටිනාකමක් දෙන එකකුත් නැහැ.

ඉතිං, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින්, උතුරට වැඩි වැඩියෙන් බලය දෙන්න යැයි මහා හඬක් නැඟෙන මේ මොහොතේ ඇතිවන ප්‍රධාන ප්‍රශ්නය තමයි ‘මේ දුන්න ටිකවත් හරියට නොකරන, හිඟන්නගේ දේත් හොරාකන මේ මිනිසුන්ට තවත් වැඩියෙන් දුන්නොත් මොනවා කරයිද ?’ යන තර්කය. ඇත්තටම මේ කතාව අප කිසිම කෙනෙකුට පහසුවෙන් බැහැර කළ නොහැකියි. මොකද වත්මන් උතුරු පළාත් සභාව පසුගිය කෙටි කාලය තුළ තමන්ගේ නොහැකියාව පමණක් නොවෙයි තමන්ගේ අවපැවැත්ම පවා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔප්පු කර තිබෙනවා. මහ ඇමැති විග්නේශ්වරුනුත් දකුණේ වාගේ ජාඩියට මූඩිය වාගේ හොරු එක්ක ලැග්ගා නම් අපි කවුරුත් මේ කතා දන්නේ නැහැ. එහෙනම් පළාත් සභාව හරහා උතුරේ ජනතාවට කිසිම දෙයක් නොලැබෙන කොට එහෙනම් සියලූම පවු යන්නේ මධ්‍යම ආණ්ඩුව (සිංහල ආණ්ඩුව) කරපිටින්. මේ නිසා බලය බෙදීමට, නව ව්‍යවස්ථාව හරහා උතුරට යුක්තිය ඉටුකරවා ගැනීමට උත්සාහ කරන සියලූම පාර්ශ්ව උතුරේ බල අරගලය හරහා සිදු වුණ දේශපාලන හානිය ගැනත්, පළාත් සභා ක්‍රමයේ රෙදි ගලවා ගැනීම ගැනත් අවධානය යොමු කළ යුතුයි.

මොකද කැලේ මාරු කළාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේ බලය ලැබුණාම මොන දේශපාලනඥයාත් එකම වගේ නිසා. ( පසු සටහන: මේ ලේඛකයා කිසිසේත්ම බලය බෙදීමට විරුද්ධ නොවන බව බවත්, උතුරු නැඟෙනහිර දමිළ ජනතාවට යුක්තිය ඉටුවනු දැකීමට දැඩිව අපේක්ෂා කරන බවත් අවධාරණය කළ යුතුයි. ඒ නිසා මේ සටහන බලය බෙදීමට විරුද්ධ දේශපාලන අවස්ථාවාදීන්ට ආවැඩීමක් නොවන බව ද අවධාරණය කළ යුතුයි.

භාතිය බරුකන්ද 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *