කොමිසමට දුන් වගුවක වැරැදි විගණකාධිපති පිළිගනී

ප්‍රශ්නගත බැඳුම්කර සම්බන්ධයෙන් විගණකාධිපති කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවට ලබාගත් සාම්පල වල දත්ත අනුසාරයෙන් බැඳුම්කර කොමිසම හමුවට විගණකාධිපති ඉදිරිපත් කරන ලද ප්‍රධාන වගුවක දත්ත වැරදි දත්ත බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (16) පිළිගත්තේය. නීතිඥ චානක ද සිල්වා මහතා විගණකාධිපති විජේසිංහ මහතාගෙන් සාක්කි විමසමින් වගුවේ සඳහන් එම වැරදි දත්ත කොමිසම හමුවේ නිවැරදි කැර දුන්නේය.

මෙම වැරදි දත්ත පිළිබඳව විගණකාධිපති විජේසිංහ මහතා එතරම් සැලකිල්ලක් නොදක්වමින් සාක්කිදීමේදී කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා සාක්කිකරු වන විගණකාධිපතිවරයාට දැනුම් දුන්නේ මෙය ඉතා බරපතළ කාරණයක් බවයි.

මෙම නිවැරදි කිරීම නීතිඥ චානක සිල්වා මහතා කොමිසමට පෙන්වා නොදුන්නා නම් අදාළ වගුව පිළිගැනීමට කොමිසමට සිදුවන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන මහතා පැවසුවේ නීතිඥ සිල්වා මහතා ඉදිරිපත් කළ දත්ත නිවැරදි බවයි.

වසර 2016 මාර්තු 29 වැනිදා සිදුවුන බැඳුම්කර වෙන්දේසියේදී කේත අංක 4ක් යටතේ ඉදිරිපත් කළ සහ නිකුත් කළ බැඳුම්කර අතර ප්‍රතිශතයේ වෙනස සියයට 329ක් බවට විගණකාධිපතිවරයාගේ වගුවේ වැරදි ලෙස දක්වා තිබුණු අතර එම ප්‍රතිශතයේ වෙනස සියයට 114ක් බව නීතිඥ සිල්වා මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

මේ අනුව ප්‍රතිශතයේ විශාල වෙනසක් විගණකාධිපතිවරයාගේ වගුවේ දක්වා තිබුණේ වැරදි ආකාරයෙන් බව කොමිසම පිළිගත්තේය. කොමිසම හමුවට හා කෝප් කමිටුවට ඉදිරිපත් කැර තිබෙන බැඳුම්කර සම්බන්ධ විගණන වාර්තාවේ සියලුම දත්ත පිළිබඳව වගකියන බවට පෙරේදා (15) පැවති සාක්කි විමසීමේදී විගණකාධිපතිවරයා කොමිසම හමුවේ කළ ප්‍රකාශය පිළිබඳව නීතිඥ සිල්වා මහතා කොමිසමේ අවධානය යොමු කෙළේය. මේ ආකාරයට දත්ත වෙනස් කැර ඉදිරිපත් කිරීම බරපතළ කරුණක් බව කොමිසම හමුවේ පැවසූ නීතිඥ සිල්වා මහතා සාක්කිකරු අපක්ෂපාතීව ක්‍රියා නොකර පක්ෂග්‍රාහීව ක්‍රියාකර තිබෙන බව කොමිසම හමුවේ ප්‍රකාශ කෙළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන හා වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි විමසීම සිදු විය.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කමනි අල්විස් – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *