|

මහින්ද රාජපක්ෂ දෙවරක් අනාථයි

පොළොන්නරුවේ පොසොන් මහා පෙරහර ආරම්භය මෙවර සිදු කරන ලද්දේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඓතිහාසික වටදාගෙය ළඟින් පෙරහැර ආරම්භ වූයේ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව ජනාධිපතිතුමා අතින් තැන්පත් කිරීමෙන් අනතුරුවයි. එම අවස්ථාවේ අනුශාසනාවක් කළ මහනුවර ගෙඩිගේ රජ මහා විහාරාධිපති පොළොන්නරු සොළොස්මස්ථාන අධිපති වෙඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියන් ප්‍රකාශ කළේ ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරයා වන ජනාධිපතිතුමා පොළොන්නරුවෙන් පත්වී සිටීම තමන්ට සතුටක් බවයි. “දළදා වහන්සේ තැන්පත්කර ඇති කරඬු හතේ යතුරුය තුනෙන් දෙකක් තිබෙන්නේ මහනාහිමිවරුන් දෙදෙනා ළඟයි. තුන්වැන්න හිමි ජනාධිපතිවරයාටයි. දියවඩන නිළමේතුමා භාරයේ තිබෙන්නේ එම යතුරයි. උන්වහන්සේ ප්‍රකාශ කළා. උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියා.

සිරකරු සුබසාධක සංගම් ශත සංවත්සරයට අඟහරුවාදා සහභාගි වූ ජනාධිපතිතුමා තම අතීත අත්දැකීමක් විස්තර කළා. හැත්තෑ එකේ කැරැල්ලට කිසිම සම්බන්ධයක් නැතිව තමන්ට සිරගතව සිටින්නට සිදු වූ ආකාරය එතුමා ප්‍රකාශ කළා. තමන්ටත් තවත් සිසු පිරිසකටත් එම ඉරණම ඇත්වූයේ තම විදුහල්පතිතුමාට පිංසිදු වන්නට බවත් එතුමා කීවා. තමන් ඇතුළු හයදෙනෙක් රඳවා සිටි මඩකලපු බන්ධනාගාර සිර මැදිරිය බලන්න මෑතකදී ගිය බවත් කී ජනාධිපතිතුමා උසස් පෙළ විභාගය ලියන්න 1972 අප්‍රේල් වලදී සිරගෙදර සිට මාංචුපිටින් විභාග ශාලාවට ගිය හැටිද සිහිපත් කළා.

ජනපති 71 කැරැල්ලේ මතක අවදි කරයි

දැන් සිරගතවන උදවියගෙන් සියයට 43.7ක්ම එසේ වන්නේ නියම කරන දඩ මුදල ගෙවාගත නොහැකිවීම නිසා බව ජනාධිපතිතුමා මෙහිදී හෙළිදරව් කළා. මෙය අවාසනාවන්ත තත්ත්වයක් බවත් විශේෂඥ උපදෙස් ලබාගෙන මෙම තත්ත්වයට විසඳුමක් ලබාදෙන බවත් එතුමා කීවා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතාද මේ අවස්ථාවට සහභාගි වුණා.

ස්වාධීන රූපවාහිණී සේවයේ 38 වන සංවත්සර උලෙළට හා නව පස්මහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බදාදා සහභාගී වුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාත් හිටපු ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාත් ස්වාධීන රූපවාහිණී සේවයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා ඇතුළු නිලධාරිනුත් එයට සහභාගි වී සිටියා.

එහිදී කතා කළ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කීවේ ජනමාධ්‍යයට කිසිදාක නොතිබුණු නිදහසක් ලබාදීමට ක්‍රියා කළේ වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා බවයි. ඒ ලබාදුන් නිදහසින් දැන් වැඩියෙන්ම බැටකන්නේ ජනාධිපතිතුමා බව සමරවීර මහතා ප්‍රකාශ කළා.

1977 ට පෙර මෙරට තිබුණේ රජයේ විද්‍යුත් මාධ්‍ය පමණක් බවත් නිදහස් විද්‍යුත් මාධ්‍ය ඇති වූයේ 1977න් පසුව බවත් ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා. ඒ දවස්වල පොළොන්නරුවේ ගමකට රූපවාහිනියක් ගෙන ආ විට එය බලන්න ගමම එන හැටි සිහිපත් කළ ජනාධිපතිතුමා තමන්ද එලෙස වෙනත් අයගේ නිවෙස්වලට ගොස් රූපවාහිණී නැරඹූ බවත් කීවා.

කීර්තිමත් මාධ්‍ය සම්ප්‍රදායක් තුබූ ස්වාධීන රූපවාහිනී සේවය ඉතාම පහත් මට්ටමට වැටුණේ තමන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළා. එක එක පවුල් ඈඳාගෙන තමන්ට මඩ ගැසූ ආකාරය එතුමා සිහිපත් කළා. එසේ කළ අය දැන් ඒ පව් ගෙවන බවද එතුමා කීවා.

තමන්ට හූනියම් කිරීමට ගිය පුවත දැක හිනාගිය බව ජනාධිපතිතුමා කීවා. හොරොව්පතානේදී මෙම හූනියම කරන්නට ගියේ කවුදැයි රටම දන්න බවද එතුමා ප්‍රකාශ කළා. මෙබදු ක්‍රියාවලින් තමා සැලෙන්නේ නැති බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා යළි දිවයිනට පැමිණියා. හවස 4 .00ට අගමැතිවරයා සිය බිරිය ‍මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සමගින් කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පිවිසෙන විට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් එහි ලොබිය පිරී ඉතිරි ගොස් තිබුණා. රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, සාගල රත්නායක, තලතා අතුකෝරල, තිලක් මාරපන, වජිර අබේවර්ධන, චන්ද්‍රානි බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, අජිත් පී.පෙරේරා, වසන්ත අලුවිහාරේ, ආශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන්, එම්.එස්.මරික්කාර්, රෝසි සේනානායක අගමැතිවරයා පිළි ගැනීමට පැමිණ සිටි පිරිස අතර සිටියා. නාලාන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියෝ පිරිත් සඡ්ඡායනා කර අගමැතිවරයාට සෙත් පැතුවා.‍ අගමැතිවරයාගේ අතේ පිරිත් නූල් බඳින ගමන් පාලිත හිමියෝ අගමැතිවරයාට රහසක් පැවසුවා. තමා පිළි ගැනීමට පැමිණ සිටි සිය මැති ඇමතිවරුන් සියල්ලටම ආචාර කළ අගමැතිවරයා ඔවුන් සමග සුහදව කථා බහ කළා. එහිදි අගමැතිවරයා අමෙරිකාවේ තමා වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දුන් රෝහල ගැන තම සගයින්ට විස්තර කළා. අමෙරිකාවේ රෝහලවල තිබෙන වෛද්‍ය තාක්ෂණ ක්‍රම අප රටටත් හඳුන්වා දිය යුතු බව අගමැතිවරයා පැවසුවා.

පසුගිය බදාදා හදිසියේම මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමට අගමැති වික්‍රමසිංහ මහතා අදහස් කළේ ජනවාර්ගික සහ ආගම් පදනම් කර ගනිමින් නැවතත් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරවීමට උත්සහ කරන කණ්ඩායම් මුල් අවස්ථාවේම යටපත් කරලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාදාමය ගැන පැවසීමටයි. ජාතිවාදි සහ ආගම්වාදි කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියා කිරීමට පොලිසියට උපදෙස් දී තිබෙන බව අගමැතිවරයා මෙහිදි මාධ්‍යට ප්‍රකාශ කලා.යහපාලන රජය බලයට පත් වී ගතවූ වසර දෙකහමාර තුළ රටේ ඇති කළ සාමය සහ සහජීවනය මකා දැමීමට උත්සහ කරන අවස්ථාවාදීන් යටපත් නොකළ‍හොත් අන්තර්ජාතික වශයෙන් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට හිමි වූ පිළි ගැනීම යළිත් අහිමි වී ‍රට පසුගිය කාලය තුළ ලබා ගත් ජී.එස්.පී.ප්ලස් වැනි සහන අහිමි විය හැකි බවද රජය වටහා ගෙන ඇති බව පෙනී ගියා.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල අගමැතිවරයා ගංවතුරෙන් හානියට ප ත් වූ ප්‍රදේශවල සංචාරය කළා. වෛද්‍ය පරීක්ෂණ සඳහා විදේශ ගත වීම නිසා හානියට පත් වූ ප්‍රදේශවලට ගොස් සොයා බැලිමට අගමැතිවරයාට නොහැකි වුණත් අමෙරිකාවේ සිට අවශ්‍ය අංශවලට උපදෙස් ලබා දුන්නා.

බදුරලිය, පාලින්ද නුවර , අත්වැල්තොට, පිටබැද්දර, ගොරකාවෙල, මොරවක, පෝරුපිටිය සහ කොටපොල යන ප්‍රදේශවල සංචාරය කළ අගමැතිවරයා ගංවතුර නිසා විපතට පත් අය හමු වී අතර නාය යාමෙන් විනාශයට පත් වූ රෝහල්, පාසැල් හා පොලිස් ස්ථාන වැනි රජයේ ආයතනද නිරීක්ෂණය කළා. ගංවතුරෙන් අවතැන් වූ ව්‍යාපාරික ප්‍රජාව සමගද සාකච්ජා කළා. එසේම පාලින්ද නුවර, අයගම, නෙළුව සහ කොටපොල යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලදී රාජ්‍ය නිලධාරීන් හමු වී ආපදා තත්ත්වය සහ සහන සැලසීම ගැන සාකච්ජා කළා.

අගමැති රනිල්ට හිමිනමකගෙන් රහසක්

මෙවර තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ පොසොන් පෙරහර මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පූර්ණ අනුග්‍රහයෙන් මේ චිරාගත පෙරහැර මහෝත්සවයේ සංවිධාන කටයුතුවලට රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ව්‍යාපාරික ආයතන රැසක් සහභාගී කර ගනිමින් එය සාර්ථක කර ගැනීම සඳහා සජිත් ඉමහත් පරිශ්‍රමයක් ‍ගෙන තිබුණා. විහාරස්ථානයට නුදුරුව වන්දනාකරුවන්ට ස්නානය කිරීමට හා අලි ඇතුන් නෑවීමට භාවිතා කරන වලදොර වාරිමාර්ග ඇළේ නාන තොටුපොළ විධිමත්ව සකස් කිරීම සඳහා සජිත් විජිත් විජයමුණි සොයිසා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ගෙන් රුපියල් ලක්ෂ 715ක මුදලක් වෙන් කරගෙන තිබුණි. එම ව්‍යාපෘතියට මුල්ගල් තැබීමට වලදොර ඇළ අසලට ගිය සජිත් දුටුවේ නෑවීමට එහි රැගෙන විත් තිබුණු අලි පැටවුන් දෙදෙනෙකි. සජිත් සිය ආරක්ෂක නිලධාරීන්ට කීවේ ඉක්මනින්ම කොහෙන් හෝ ඉදුණු කෙසෙල් කැන් කීපයකුත් වෙනත් පලතුරු වර්ග කීපයකුත් මිලදී රැගෙන එන ලෙසයි. විනාඩි කීපයකින් ආරක්ෂක නිලධාරීන් පැමිණියේ ඉදුණු ලොකු කෙසෙල් කැන් තුනකුත්, කොමඩු ගෙඩි 25 කුත්, අන්නාසි ගෙඩි 8 කුත් රැගෙනයි. ඇත්ගොව්වාට කියා ඇත් පැටවෙකු තමන් අසලට ගෙන්වා ගත් සජිත් සියතින්ම ඌට කෙසෙල් ගෙඩි ඇතුළු පලතුරු කවද්දී මෙයා ටිකක් සැරයි – පරිස්සමින් කවන්න ඕනෑ” ඇත්ගොව්වා අනතුරු හැ‍ඟෙව්වේය. සජිත් කීවේ “ මට අලින්ගෙන් කිසිම කරදරයක් නෑ. මම බුදු හාමුදුරුවෝ ‘නාලාගිරි දමනය’ කළ හැටි සිහි කරගෙනයි අලින්ට කිට්ටු වෙන්නේ. කෑම දෙන්නේ. එතකොට කිසිම අනතුරක් සිද්ධ වෙන්නේ නෑ” කියාය. ඇත් පැටවාට හාදුවක් දීමටද සජිත් අමතක කළේ නෑ.

ගංවතුරෙන් විපතට පත් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්වලට සති දෙකකට නොඅඩු කාලයක් මුළුල්ලේ පානීය ජලය බෙදීමෙන් පසුව සජිත් ඊළඟට ඇරඹුවේ බෙලිඅත්ත සහ වීරකැටිය ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදීමයි. රජයේ නිලධාරියෙකු පැමිණ කීවේ “අපි හිතුවේ ඔබතුමා පානීය ජලයෙන් පස්සේ බෙදිල්ල නතර කරයි කියලයි.” සජිත් පිළිතුර දෙමින් කීවේ මේක තමයි යහපාලනයේ නොනවතින බෙදිල්ල. වතුරට පස්සේ වට කීපයක් වියළි ආහාර ද්‍රව්‍ය බෙදනවා. බෙදන්න බෙදන්න තව තවත් ලැබෙනවා. ඊට පස්සෙ නිවාස බෙදන්න පටන් ගන්නවා. එතකොට සමහරුන්ගෙ ඇස් ඇ‍රෙයි. ඊට පස්සෙ ඇස් උඩ යයි. අනිත් අයගේ ඇස් වපර වෙයි” කියාය.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට වජිර අබේවර්ධන ඇමතිවරයා ඉකුත් 07 වන බදාදා පාර්ලිමේන්තුවට ගියා . එහිදී අනුර කුමාර යොමු කළ ප්‍රශ්නයට සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙමින් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ වත්මන් ස්වරූපය පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කළා .

වජිරගේ කතාවට සැමතින් පැසසුම්

ඉකුත් 09 වැනි සිකුරාදා ඇමති වජිර අබේවර්ධන මහතා උදෑසනම පාර්ලිමේන්තුවට ගියේ රටට බලපෑ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගී වීමටයි . ආපදාවක් සම්පුර්ණයෙන්ම නැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් , ආපදා තත්ත්වයන් අවම කර ගැනීමේ වැඩපිළිවෙළක් ඇති කළ යුතු බවත් ඇමති වජිරගේ අදහස් දැක්වීමේදී ඉදිරිපත් වුණා . ඒ සඳහා මහා දැවැන්ත වේලි ඇති කර මහා ජලාශ ඉදි කිරීමේ කාලෝචිත යෝජනාවක් ඇමති වජිර ඉදිරිපත් කළ අතර අනාගත ගංවතුරින් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට මෙම ව්‍යාපෘතිය හදන්න යැයි දේශපාලකයින්ට බල කිරීම ජනතාවගේ වැඩක් බව සිය කථාවේදී වැඩිදුරටත් පැවසුවා .

එම විවාදය අවස්ථාවේදී ඇමති වජිර කළ කථාවට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මැතිඇමතිවරු සුබ පැතුම් එක් කළේ කලකින් අසන්නට ලැබුණු කාලෝචිත කථාවක් බව කියමින් .

12 වැනි සඳුදා උදෑසන කොළඹ දිස්ත්රිනක් ලේකම් කාර්යාල සංකීර්ණය වෙත ඇමති වජිර ගියේ INSEE සිමෙන්ති සමාගම හා ස්වදේශ කටයුතු අමාත්‍යානං ශය අතර තාක්ෂණික නිලධාරීන් පුහුණු කිරීම් පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වීමටයි . අනතුරුව එම ස්ථානයේදීම පැවැති තාක්ෂණ නිලධාරීන් 140කට නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ද වජිර ඇමතිවරයා එක් වුණා .ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මාස දෙක තුළ දිස්ත්‍රික්ක මට්ටමින් දිරිය පුරවැසි සමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටිනවා. ඒ සඳහා මේ දිනවල දිස්ත්‍රික්ක මට්ටමින් සූදානම් කිරීමේ කටයුතු ජවිපෙ නායකයින්ගේ මැදිහත්වීමෙන් සිදුකරගෙන යනවා. ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පසුගිය සතියේ දින තුනක් ඒ සඳහා වෙන්කරමින් පොළොන්නරුවේ සංවිධාන කටයුතු සිදුකළා. එහි දී පොළොන්නරු දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන ආවරණය වන පරිදි ගොඩ නගා තිබෙන දිරිය පුරවැසි සමිති කැඳවා පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කිරීමටත් අලූතින් දිරිය පුරවැසි සමිති ගොඩනැගීම සඳහාත් මන්ත්‍රීවරයා මැදිහත්වුණා. මේ අතර දේශපාලනයට සංවේ දී පිරිස් රැස්කොට ජනහමු කිහිපයක් පැවැත්වීමටද මන්ත්‍රීවරයා කාලය වෙන්කර ගත්තා.

අරලගංවිල පැවැති රැස්වීමකට ගොවි ජනතාව ඇතුළු එකසිය පනහකට වැඩි පිරිසක් සහභාගි වුනා. රැස්වීම අවසන දී කිහිප දෙනෙක් මන්ත්‍රීවරයා සමීපයට විත් දිස්ත්‍රික්කයේ ගැටලූ පිළිබඳවත් කරුණු හෙළි කළා. ”මන්ත්‍රීතුමා, අපි ඉන්නේ මහවැලි ඉඩම්වල. ඒත් තවමත් අපිට ඉඩම්වලට ඔප්පුවක් දීලා නැහැ. අඩුම තරමේ බලපත්‍රයක් නැහැ. අපිට අපේ ඉඩමේ අයිතියක් ගන්න විදියක් නැතුව ඉන්නේ” එක් ගොවි මහතෙකු කීවා

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පසුගියදා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළා. එම සම්මේලනයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ 16වෙනිදාට කලින් ගොවීන්ට පොහොර සහනාධාරය නොලැබුණහොත් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි. මේ ප්‍රවෘත්තිය පළවෙනවාත් සමඟ පොහොර සහනාධාර කටයුතු භාර නිලධාරියෙක් නාමල් කරුණාරත්නට දුරකතනයෙන් ඇමතුවා. ”මන්ත්‍රීතුමා අපි දාසයවෙනිදාට කලින් මුදල් වෙන්කරනවා පොහොර සහනාධාරයට. මේ වැඬේට ආයතන කිහිපයක්ම සම්බන්ධයි. ඒක නිසා තමයි වැඩ ප්‍රමාද. නිලධාරියා කියා සිටියා.

මේ අතර පසුගිය දිනවල කිරි තොගයක් නිෂ්පාදනයන්ට යොදා නොගෙන ඉවත දැමීම සම්බන්ධයෙන්ද ගොවිජන සම්මේලනයේ නායකයින්ගේ අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් මැදිහත්විය යුතු බවට ගොවි සංගම් නායකයෝ සාකච්ඡා කළා. මේ අතර කිරි ගොවීහු විශාල පිරිසක්ද දුරකතනයෙන් කතා කොට සිය ගැටලූ නාමල් කරුණාත්නට දැනුම් දුන්නා. ”අපි මේක මුලින්ම මාධ්‍ය කැඳවලා දැනුම්දීමක් කරමු. මුලින්ම මේ ප්‍රශ්නය ගැන ජනතාව හරියට දැනුවත් කරන්න ඕනෑ. ඊට පස්සේ තමයි ක්‍රියාමාර්ගවලට යන්න ඕනෑ. අපි අලූත් විදියට මේ මාධ්‍ය සාකච්ඡාව තියමු. ගවයින් ඉන්න ගාලක් ළඟට කිරි ගොවියන් කැඳවලා එයාලා එක්කම මේ මාධ්‍ය සාකච්ඡාව කරමු. එතකොට ඇත්තටම ප්‍රශ්නය තියෙන මිනිස්සුන්ගේ අදහස් එක්ක අපිට මාධ්‍යයට කතා කරන්න පුළුවන්.” නාමල් කරුණාත්න ගොවි නියෝජිතයින්ට කීවා.

සමුළු රැසකට ජවිපේ සැරසෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදන දෙකක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා. පළමු නිවේදනය නිකුත්කර තිබුණේ පොසොන් පොහොය නිමිත්තෙන්. ජුනි හත්වැනිදා දාතමෙන් නිකුත්කොට තුබූ එහි සඳහන් වූයේ මිහිඳු මාහිමියන් දේවානම් පියතිස්ස රජතුමා පුත් තනතුරේලා හදා වඩාගත් බවකි. ධර්මාශෝක රජතුමාගේ පුත්‍ර මහින්ද පැවිද්ද ලබා මිහිඳු හිමියන් ලෙස සිරිලකට වැඩම කළ බව දන්නා මෙරට වැසියන්ට මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය මහා විහිළුවක් බවට පත් වුණා. සමාජ මාධ්‍යවලත්, දේශපාලනඥයන් අතරත්, මහජනයා අතරත් මෙය සාකච්ඡාවට ලක් වූයේ නිතරම මල් වට්ටිගෙන පන්සල් යන, බණ අහන මහින්ද රාජපක්ෂ මහතා මෙබඳු කාරණයක්වත් නොදන්නවාද යනුවෙන්. සමාජ මාධ්‍යවල ඇතැමුන් මෙයට ප්‍රතිචාර දක්වා තිබුණේ කෝපයෙන්. රාජපක්ෂ මහතාගේ පොසොන් පණිවිඩයේ මුල සිට අගට වැරදි ගණනාවක් වූ බව ඇතැම් වෙබ් අඩවි පෙන්වා දී තිබුණා. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාද ඒ ගැන කතාකර තිබුණා. එය ඉතාමත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකළ නිවේදනයක් බවට පත් වුණා.

බරපතළ වැරදි සහිත එම නිවේදනයේ උණුසුම යන්නත් කලින් මහින්ද රාජපක්ෂ මහතා තවත් නිවේදනයක් නිකුත් කළා. එයින් කියැවුණේ යුරෝපයෙන් ශ්‍රී ලංකාවට දෙන ජී.එස්.පී.ප්ලස් සහනය එතරම් වැඩකට නැති එකක් බවයි. ඔහු කියා තිබුණේ රටේ වත්මන් ආර්ථික සංවර්ධනය අනුව කෙටි කලෙකින් ශ්‍රී ලංකාව ඉහළ මැද පංතික ආදායම් ලබන රටක් බවට පත්වන බවයි. එවිට එම තත්ත්වය දිගටම පවතිනවාද යන්න වසර කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම සහනය අහෝසි කරන බවත්, එවිට යළි තරගයකට මුහුණදෙන්න සිදුවන බවත් කියන රාජපක්ෂ මහතා කියා ඇත්තේ මේ සහනය නොගෙනම හිටියනම් හොඳ බවකි. ජී.එස්.පී. සහනය නැතිවීමෙන් පසුව අපගේ අපනයන ආදායම් දිගටම පහළ වැටුණු බව ඒ මහතා සැලකිල්ලට ගෙන තිබුණේ නැහැ. අප රටේ කර්මාන්තකරුවන්ට ඔළුව උස්සන්නට අවස්ථාවක් ලැබෙන ලෙස මෙම සහනය ලබාගැනීම රාජපක්ෂ මහතාට අනුව නම් සැලකිය යුතු ජයග්‍රහණයක් නොවේ.

ඒ අතර ඒ මහතා කියා තිබෙන්නේ මේ සමඟ විවිධ කොන්දේසි ඇති බවයි. එබඳු කොන්දේසි නැති බවත්, අපරට කලින් අත්සන් කර ඇති සම්මුති පිළිපැදීම පමණක් සිදුවිය යුතු බවත් යුරෝපා සංගමයත් රජයත් කියා තුබුණද මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කියා තිබෙන්නේ වෙනත් කතාවක්. මෙයද ව්‍යාපාරික ක්ෂේත්‍රවලත්, දේශපාලනඥයන් හා ආර්ථික විද්‍යාඥයන් අතරත් කතාබහට ලක්වුණා. ඇතැම් විවේචකයන් කීවේ රටේ ආර්ථිකය යහපත් අතට හැරෙනු ඇතැයි හා එයින් තමන්ට දේශපාලන අවාසියක් සිදුවනු ඇතැයි යන බිය නිසා මහින්ද රාජපක්ෂ මහතා මෙබඳු නිවේදනයක් නිකුත්කොට ඇති බවයි.

ජී.එස්.පී.ප්ලස් සහනය හෑල්ලුවට ලක් කළ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පිළිතුරු දුන්නා. සමරවීර මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතා පුරුදු පරිදි බේගල් ඇදබාන බවයි. ජී.එස්.පී.සහනයෙන් ආර්ථිකය ශක්තිමත්වීම ගැන බියපත්වී රාජපක්ෂ මහතා බොරු ප්‍රචාර කිරීමට උත්සාහ දරන බව සමරවීර මහතා ප්‍රකාශ කළා.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *