උන්නාන්සේ භික්‍ෂුවක්ද – අනුර සුරියබණ්ඩාර

යහපාලන ආණ්ඩුව යටතේ කෙරෙන භික්‍ෂු දඩයම වහා නතර කළ යුතු බව පසුගියදා කියා තිබුණේ කන්ද උඩරට ප‍්‍රදේශයේ ආරාමයක වසන භික්‍ෂුන් වහන්සේ නමක විසිනි. භික්‍ෂු දඩයම යනුවෙන් එහිදී අදහස් කර තිබුණේ ගලබොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා තිබීමයි.
ගලබොඩඅත්තේ හිමිගේ නායකත්වයෙන් යුතු සංවිධානය හැඳින්වෙන්නේ ‘බොදුබල සේනා’ නමිනි. කවර නමකින් වුව ‘සේනා’ සංවිධානය කිරීම ශික්‍ෂාකාමි භික්‍ෂුවකට ගැලපේද යන්න අවශේෂ භික්‍ෂුන් වහන්සේලා සිහිනුවණින් කල්පනා කළ යුතුය.

යුෂ්මත් තෙමේ තමාට චෝදනා කරව
තෝම තා පරික්‍ෂා කරව
මහණ, එසේ වූ ඔබ
තමා විසින්ම රක්නා ලද්දෙහි
සිහි ඇත්තෙහි සුවසේ වසන්නෙහිය.
(ධම්ම පදය භික්ඛු වග්ගය –
අත්තුඩාවේ සිරි රාහුල අනුනාහිමි සංස්කරණය*
ධම්ම පදය පවසන පරිදි මේ මොහොතේ ගලබොඩඅත්තේ හිමි සහ උන්නාන්සේ වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් කළ යුත්තේ පළමුව තමතමන් පරීක්‍ෂාකර ගැනීමය.
ගලබොඩඅත්තේ හිමිගේ හැසිරීම් විලාසයඳ වාග් විලාසය, ශික්‍ෂාකාමි භික්‍ෂුවකට ගැලපේ ද? බුදුන් වහන්සේ කොයියම්ම තැනක දී හෝ භික්‍ෂුවකට ආවේගශීලි වෙන්නැයිද, කලහකාරී වන්නැයිද දේශනාකර තිබේද?
බොදු චීවරයට මුවා වී ගලබොඩඅත්තේ හිමියන් යෙදී සිටින්නේ එහැම පිටින්ම බෞද්ධ විරෝධී ව්‍යාපාරයකය. උන්වහන්ගේ හැසිරීම දකින විදේශිකයකු සිතනු ඇත්තේ ශ‍්‍රී ලංකාවේ බුදු දහම යනු මිලේච්චයන්ගේ දහමක් කියාය.
එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිද්ධියට අදාළ නඩුව විභාගවෙමින් පැවැති අවස්ථාවක උසාවියට කඩා පනිමින් ඔවුන් හැසුරුණු ආකාරය සිහි බුද්ධියක් හෝ මොළය කලඳක් ඇති කිසිදු බෞද්ධයකු අනුමත කරනු ඇතැයි සිතිය නොහැකිය. එකැනැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධය යනු නීතිය ඉදිරියේ විභාගයට ලක්වෙමින් පවතින කරුණකි. නීතියේ සාධාරණත්වය අනුව කවරකුට වුව, මිනීමරුවකුට වුව උසාවිය ඉදිරියේ පෙනීසිට තමාගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නට අයිතිය තිබේ. එකැනැලිගොඩ බිරිඳටද එය සාධාරණය.
තම සැමියා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි එකැනැලිගොඩගේ බිරිය උසාවිය හමුවේ නඩුවක් ගොනුකර තිබේ. එකී සිද්ධියට අදාළ යම් සැකකරුවකු වෙතොත් ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීම, රඳවා ප‍්‍රශ්න කිරීම සාමාන්‍ය සිරිතයි.
ගලබොඩඅත්තේ හිමිගේ තර්කය වන්නේ එසේ චොදනාවලට ලක්ව ඇත්තන් යුද හමුදා සෙබළුන් බවයි. එය රණවිරුවන් පාවාදීමක් බවයි. ගලබොඩඅත්තේ හිමියන්ගේ හදිස්සිය කුමක්දැයි වැටහෙන්නේ නැත. අත්අඩංගුවට ගත් පමණින් කිසිවකු වරද කරුවෙකු වේද? එසේ නම් කවර වරදකට වුව කිසිදු හමුදා සෙබළකු අත්අඩංගුවට ගැනීමට, ප‍්‍රශ්න කිරීමට, රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට නොහැකිද?
මෑතකදී රෙදි සෝදා නැතැයි තම මහළු මවට පහර දී තිබුණු පුත‍්‍රයා හිටපු හමුදා සෙබළෙකි. මාල කඩන, හොරකම්, මංකොල්ලකෑම් වලට සම්බන්ධ පමණක් නොව පාතාලය සම`ග පවා සම්බන්ධකම් පවත්වන හිටපු හමුදා සාමාජිකයන් කොතෙකුත් සිටිති. එක්නැලිගොඩ අතුරුදන් කිරීමට සම්බන්ධ යැයි කියන හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීම වරදක් නම්, පසු කී වැරදි වලට සම්බන්ධ තැනැත්තන් අත්අඩංගුවට ගැනීමත් වරදකි. ඒ අනුව ගත්විට කවර අපරාධයක් වුව කර නිදැල්ලේ හැසිරීමට හමුදාවට පුළුවන් විය යුතුය.
බොදුබල සේනාවේ මූලික දර්ශනය ධර්මය පැතිරවීම නොව මුස්ලිම් විරෝධය පැතිරවීමයි. ඒ සඳහා ඔව්හු අමාත්‍යාංශවයල කඩා පනිති. ඇමැතිවරුනට ඇ`ගිල්ල දිගුකර අභියෝගකරති. ශාස්තෘවරුනට අපහාස කරති. පරිභව කරති.
ඔවුනට ඇත්තේ ඉඩම් අල්ලා ගැනීමේ ප‍්‍රශ්නයක් නම් ඉඩම් අල්ලා ගන්නේ මුස්ලිම්වරුන් පමණක් ද? ආණ්ඩුවේ ඉඩම් ගොඩකරන, කැලෑ කපන, පස් කපන සිංහල දේශපාලඥයෝද සිටිති. ඔවුන් සම්බන්ධයෙන් බොදුබල සේනාව කියන්නේ කුමක්ද? සිංහල බෞද්ධයන් පරිසරය විනාශකරන විට එය පරිසරයට බලපාන්නේ නැද්ද?
මහින්ද පාලනය යටතේ මත්තල ගුවන් තොටුපල තැනුණේ වනාන්තර හෙළිපෙහෙළි කරමිනි. මහින්ද කළා වුව එය වරදකි. එහෙත් ඒ කාලයේ බොදු බල සේනාව පූස් පැටවුන් මෙන් රාජපක්‍ෂවරුන් සම`ග පුරුපුරු ගෑවා මිස ඒවාට අභියෝග කළේ නැත.
නුගේගොඩ සහ මහරගම වෙළෙඳසැල් ගිනි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංතුවට ගත් තැනැත්තා බොදුබල සේනාවේ ප‍්‍රබල සාමාජිකයකු බව පොලීසිය විසින් හෙළිදරව් කරගෙන තිබේ. විරුද්ධවාදීන්ගේ කඩ ගිනිතැබීම අනුමත කර ඇත්තේ බුදු දහමේ ද දෙවිදත් තෙරගේ ධර්මයේ ද යනවග පැහැදිලි කිරීමේ වගකීම දැන් ගලබොඩඅත්තේ හිමියන්ට තිබේ.
බුදුන් වහන්සේ ආලවක යක්‍ෂයාත්, අංගුලිමාල සොරාත් දමනය කළේ සාමයෙන් කරුණු වටහා දීමෙන් නිසිම`ග පෙන්වාදීමෙන් මිස බයිෆෝස් තියරියෙන් නොවේ. එහෙත් බොදුබල සේනාව උත්සාහ කරන්නේ අන් මත බලහත්කාරයෙන් ඔබා පාගා දැමීමටය. කොහේවත් නැති මුස්ලිම් භීතිකාවක් මවා පෙන්වා බුද්ධිහීන සිංහල ජනයා මංමුලා කිරීමටය. උන්ගේ දර්ශනය සාමය නොව යුද්ධයයි.
රණවිරුවන්ගේ අයිතිය පිළිබඳව මේ තරම් උනන්දුවෙන් කෑකෝගසන බොදුබල සේනාව යුද්ධයේ ජයග‍්‍රහණයේ මහමොළකරු වන ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා ඇතූළු පිරිස මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් ඇදගෙන ගොස් සිරගත කරන විට කටක් ඇරියේ නැත. ඔවුන් ගේ දෙබිඩි පිළිවෙත ඉන්ම වැටහේ. බොදුබල සේනාවෙත් ඔවුන් සම`ග කරටකර සිටින අනෙකුත් සේනාවන්ගේත් මූලික අරමුණ ආගම හෝ ජාතිය නොව රාජපක්‍ෂවාදයකට මේරට යළිත් බිල්ලට දීමය. කප්පරක් වැරදි කර පොලීසිය පස්සෙන් එන විට සැ`ගවී සිටිමින් යහපාලන ආණ්ඩුව භික්‍ෂුන් දඩයම් කරන්නේ යැයි කියයි. සිවුරක් දැරූ පමණින් කිසිවකු භික්‍ෂුවක් වන්නේ නැත.

අතින් සංයත ද, පයින් සංයත ද
වචනයෙන් සංයත ද, කයින් සංයත ද
කමටහන් වැඞීමේ ඇලූනේ ද
සාමාධියෙන් යුක්තද
එකලාව හැසිරෙන්නේද තුටු සිතැත්තේ ද
ඔහු භික්‍ෂුකොට කියති
(ධම්ම පදය
භික්ෂු වර්ගය*
ඉහත ගාථාවේ භික්‍ෂුව සහ ගලබොඩඅත්තේ අතර වෙනස හඳුනාගෙන කතා කරන්නැයි භික්‍ෂු දඩයම ගැන කතා කරන උන්නාන්සේලාට ඇරයුම් කරනු හැර කළහැකි දෙයක් නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *