බැඳුම්කර ගැන අගමැති කළ ප්‍රකාශය විගණකාධිපති දන්නේ නැතිලු

සෘජු ස්ථානගත කිරීම් යටතේ බැඳුම්කර නිකුත් කිරීම විනිවිදභාවයක් නොමැති වංචා දූෂණ සහිත ක්‍රමවේදයක් බැවින් එම ක්‍රමවේදය නවතා දමා වෙන්දේසි ක්‍රමයට බැඳුම්කර නිකුත් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර කොමිසම ඉදිරියේ ඊයේ (15) සාක්ෂි දෙමින් පැවසීය.

අගමැතිතුමාගේ ප්‍රකාශය සම්බන්ධව සැළකිල්ලක් නොදක්වමින් සාක්ෂිකරු සාක්ෂි ලබාදුන් බැවින් නීතිඥ චානක ද සිල්වා මහතා සාක්ෂිකරුට පරිශීලනය කිරීම සඳහා අගමැතිතුමාගේ අදාළ ප්‍රකාශය ඇතුළත් හැන්සාඩ් වාර්තාව ලබා දුන්නේය.

එම හැන්සාඩ් වාර්තාව පරිශීලනය කිරීමෙන් පසු සාක්ෂිකරු සාක්ෂි දෙමින් මෙසේ පැවසීය. ‘එය අගමැතිවරයාගේ ප්‍රකාශයක්. රජය මෙවැනි තීරණ ගත්තේද දන්නේ නෑ. පාර්ලිමේන්තුවේ යමක් කී පමණින් එය නීතියක් බ වට පත්වන් නෑ’ යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

අගමැතිතුමාගේ එම විශේෂ ප්‍රකාශය වසර 2015 මාර්තු 17දා පාර්ලිමේන්තුවේ දී සිදු කර තිබෙන බව පැවසූ නීතිඥ චානක ද සිල්වා මහතා ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටින ඇමැතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතා කරන භාෂාවෙන්ම හැන්සාඩ් වාර්තාව සකස්වන බවත් නීතිඥ සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සෘජු ස්ථානගත කිරීම් යටතේ බැඳුම්කර නිකුත් කිරීමට අදාළව විශ්ලේෂණ සිදු නොකර විගණකාධිපති වාර්තාව නිකුත් කිරීමට අදාළව සාක්ෂිකරුගෙන් නීතිඥ සිල්වා මහතා දීර්ඝ ලෙස විමසීම් සිදු කරමින් සාක්කි විමසීය.

සාක්ෂිකරු සෘජුව අසන සුළු ප්‍රශ්නවලට පවා ප්‍රශ්නය මඟහැර දීර්ඝ පිළිතුරු සපයන බවත් සෘජුව අසන ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු ලබානොදෙන බවත් නීතිඥ සිල්වා මහතා කොමිසම හමුවේ සැල කර සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිංහ මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි විමසීම සිදු විය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මේ අවස්ථාවට සහභාගී විය.

කමනි අල්විස් – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *