කෝකටත් විරෝධය – සී.ජේ.අමරතුංග

 “වළක වැටීම මොළයට ලාභයක් යැයි කියමනක් ඇත . පසුගියදා ඇතිවූ ගංවතුර හා නායයාමේ ඛේදවාචකය තුළ මතුවී තිබෙන සංවාදයද හරියට තේරුම් ගන්නේ නම් අපගේ දැනුමට හා බුද්ධියට විශාල එකතුවක් විය හැකිය.

මෙහිදී විපක්ෂයේ ඇතැමුන් පුරුදු පරිදි දිගටම කියන්නට හදන්නේ රජයේ වැරදි හා අඩුපාඩුකම්ය. එහිදී ඇතැම්විට කියන්නේ පරස්පර විරෝධී කතාය. නැතහොත් කොළය වසා ගැසීමකි. විපතේදී ත්‍රිවිධ හමුදාවේ කාර්ය භාරය විශිෂ්ට බව කියන ගමන්ම මොවුන් අනෙක් අතට කියන්නේ රජය නම් කිසිවක් නොකළ බවයි. විපත සිදුවූ වහාම ත්‍රිවිධ හමුදාව යොදවා ජනතාව විපතෙන් බේරාගැනීමට ක්‍රියා කළේ රජය බව ඔවුහු නොකියති. නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය ගැනද එසේමය. විශිෂ්ට ලෙස වැඩකළ නිලධාරින් ගැන හොඳ කියන ගමන් ආණ්ඩුව වැඩ කළේ නැතැයි කීමද එවැන්නකි. නිලධාරීන් හමුදාව ආදී සියල්ල ආණ්ඩුවේ යාන්ත්‍රණය බව නොකියති.

කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ විපක්ෂයේ ඊනියා චෝදනා හා බොරු ප්‍රචාර නොවේ. විපත ගැන කටයුතු කිරීමේදී සොයාගත් හා අවධානය යොමුවූ ප්‍රශ්නයි. එම ප්‍රශ්න බොහොමයක් දැන් එළියට පැමිණ තිබේ. එයින් ලැබෙන දැනුම මෙන්ම ප්‍රශ්න විසඳීමට හරස්වන දේශපාලනය ගැනද දැන් අපට කතා කළ හැකිය.

මෙහිදී පාඨලී චම්පික රණවක ඇමැතිවරයා කී කතාවක් ඉතා වැදගත්ය. ඔහු කීවේ අනවසර ඉදිකිරීම් කරන උදවිය කරන්නේ තමන්ගේම මිනීවළ හාරා ගැනීමක් බවයි. මහජනයා ගංගා රක්ෂිතවල ඇළ රක්ෂිතවල, නිවාස ඉදිකරගන්නා බවත් ගංවතුරක් ආවිට ඔවුන්ට ආධාර ලැබෙන බවත් ඔවුන් එම තැන්වලම නැවත පදිංචිවන බවත්, ඊළඟ ගං වතුරේදී යළිත් ආධාර ලැබෙන බවත් ඇමැතිවරයා කීවේය. මෙය විශම චක්‍රයක් වී ඇති බව පැහැදිලිය. විපතට පත්වූවන්ට ආණ්ඩුවෙන් දෙන සහනාධාර අනවසර ඉදිකිරීම් සඳහා දෙන දිරි දීමනාවක් බවට පත්ව තිබෙන්නේ ඒ ආකාරයෙනි. මෙය ඉතා වැදගත් හඳුනාගැනීමක් වන්නේ වත්මන් ගංවතුර හා නායයාම් නිසා විපතට පත් උදවියගෙන් අඩු තරමින් අඩකට වැඩි පිරිසක් මෙලෙස අනවසර ඉදිකිරීම් කොට ඒවායේ ජීවත් වූ උදවිය වීම නිසාය.

දේශපාලන ශක්තිය

චම්පික රණවක ඇමැතිතුමා කී මෙම අනවසර ඉදිකිරීම් සිදුවන්නේ දේශපාලන අනුග්‍රහයෙන් බවද අමතක නොකළ යුතුය. මෙම ජනයා රජයේ ඉඩම් බල හත්කාරයෙන් අල්ලාගන්නේ කවුරු හෝ දේශපාලනඥය කුගේ අනුග්‍රහය එයට ලැබෙන නිසාය. එම ඉඩම්වලින් ඔවුන් ඉවත් කිරීමට ගියහොත් එතැන ඇතිවෙන්නේ ගැටුමකි. වන්දි දී ඉවත්කිරීමට ගියවිට කවුරුන් හෝ දේශපාලනඥයකු ඇවිත් කියන්නේ එම වන්දිය භාර නොගන්නා ලෙස හා ඉහළ වන්දියක් ලබාගැනීමට සටන් කරන ලෙසයි. එලෙස මෙම අනවසර ඉඩම් ඇල්ලීමට හා ඉදිකිරීමට දිරි දෙන්නේ දේශපාලනඥයන්මය. ඒ දේශපාලන වාසි සඳහා ය. ඇතැම් තැනක විපතක් සිදු වූවිට පැත්ත පළාතක යන්න බැරි තත්ත්වයක් දේශපාලනඥයාට උදාවන්නේ ඒ නිසාය.

ආපදා කළමනාකරණයේ තවත් ප්‍රශ්න කිහිපයක් එළියට ආවේ ගාලු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ රැස්වීමේදීය. එහිදී හෙළිදරව්වූයේ පලාතේ ගංවතුර පාලනය සඳහා ව සර පනහකට පෙර වි‍ශේෂඥ සැලසුම් සකස්කොට ඇතත් ඒවා ක්‍රියාත්මක වී නැති බවයි. එ‍හෙත් ඒ සඳහා අවශ්‍ය දේශපාලන අවධානය යොමුවී නැත. එසේත් නැතහොත් දේශපාලනඥයන්ගෙ විරෝධතා නිසා සැලසුම යට ගැසුවා විය හැකිය.

හෙළිදරව් වූ ආකාරයට නම් දකුණු පළාතේ ගංවතුර පාලනය සඳහා වේලි ගණනාවක් ඉදිකිරීමට යෝජනා වී ඇත. ඒවා ක්‍රියාත්මක නොවීම නිසා මෙවර ගංවතුර දරුණු ලෙස බලපා තිබේ.

එම රැස්වීමේදී වජිර අබේවර්ධන ඇමැතිවරයා තවත් කතාවක් හෙළිදරව් කළේය. මෙවර ගංවතුර දරුණු වෙමින් තිබියදී තවත් වැසි ඇද වැටුණොත් ගංවතුර පාලන බැම්ම බිඳී බද්දේගම නගරය යටවන තත්ත්වයක් මතුවීම නිසා ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාගත් බවත්, ඔවුන්ගේ උපදෙස් වූයේ ජලය බැසයාම පහසු කිරීමට හල්පාතොට පාලම කඩාදැමිය යුතු බවත් ය. කෙසේ වෙතත් ඇතැම් දේශපාලනඥයන්ගෙ උසිගැන්වීම මත ඇතිවූ මහජන විරෝධය නිසා එම ක්‍රියාව නවත්වන්නට සිදුවී ඇත. ඇමැතිවරයා කීවේ දේශපාලනඥයන්ගේ බලපෑමෙන් තොර මෙබඳු විශේෂඥ උපදෙස්වලට එරෙහිව මහජනයා නැගී සිටීම වරදක් බවයි.

එමෙන්ම පළාතේ ගංවතුර පාලන සැලැස්ම ක්‍රියාවට නැගීම සඳහා පවුල් 800ක් පදිංචි ස්ථානයෙන් ඉවත් කොට වෙනත් තැන්වල පදිංචි කළ යුතු බව කී ඇමැතිවරයා දේශපාලන බලපෑම් නිසා එයද කළ නොහැකි වී ඇති බවද ප්‍රකාශ කළේය .

මෙලෙස ආපදා පාලන සැලසුම් ක්‍රියාවට නැගීමට ඉඩ නොදීම සඳහා දේශපාලනඥයන් ජනයා උසිගන්වන විට ඔවුන් කරන්නේ එම ජනයා මිනී වළවල් කරා තල්ලු කිරීම ක් බව කිවයුතුය. ස්වභාවික විපත් හැමදාම එන්නේ නැත. එවැන්නක් නොඑන තෙක් මෙවැනි දේ කරමින් පුහු ජනතා වීරයන් වීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබෙනු ඇත. එ‍හෙත් හදිසියේම එන විපතකදී මරණයට පත්වන්නේ තුවාල ලබන්නේ අවතැන් වන්නේ අහිංසක ජනතාවයි.

ප්‍රශ්න දෙස මතුපිටින් බලා තීරණ ගැනීමත්, විශේෂඥ අදහස් ඉවතලීමත් අපගේ සාමාන්‍ය ජනයා අතරද පවතින දුර්ගුණයකි. මීට කලකට පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑමට ඉඩ ඇතැයි තීරණය කළ බිමකින් ජනයා ඉවත්කිරීමට කළ උත්සාහයකදී ඔවුන්ගෙන් ඇතැම් උදවිය කීවේ මෙබඳු කතාවකි. “මහත්තයෝ මේ ගස් ගල් අපේ අම්ම මුත්ත කාලේ ඉඳලම ඔහොමම තිබ්බ ඒවා. ඕවාට ‍මොනවත් වෙන්නේ නැහැ මහත්තයෝ.” යනුවෙනි.

එසේ වුවද නායයාමට ලක්වීමේදී මතුපිටින් සවි ශක්තියට පෙනෙන එබඳු කඳු නාය යන බව එම ගැමියෝ නොදත්හ. නැතහොත් ඔවුන් සිතන්නට කැමැති වන්නේ වෙනත් තැන්වල එසේ සිදුවුවද තමන්ගේ ගමේ එසේ සිදු නොවන බවයි. ඇතැම්විට මෙම මතවාද පතුරුවන්නේ මහජනයා ‍නොමග යවා වාසි ගන්නට හදන දේශපාලනඥයන් විසිනි. අවසානයේ විපතට පත්වන්නේ අහිංසක ජනතාවයි.

ජනතාව උසිගැන්වීම

මෙවැනි අතිශය සංවේදී කාරණා නොතකා හරින නමුත් ඇතැම් විට එතරම් පදනමක් නොමැතිව මහා විනාශයන් ගැන කියමින් ජනතාව උසිගන්වා උද්ඝෝෂණ කරවන්නට හා එමගින් වාසි ලබන්නට සූදානම් දේශපාලනඥයෝ මෙන්ම වෙනත් සංවිධානද වෙති. මෑත කාලයේ සිදුවූ එබඳු උද්ඝෝෂණ නිමක් නැත. කලකට ඉහත මහා උද්ඝෝෂණයක් පැවැතියේ කන්ඩලම හෝටලය ඉදිකිරීම ගැනයි. එයින් මහා පරිසර හානියක් වනබව කීවේ පදනමක් නැතිවය. කෙසේ වෙතත් ජනතා උද්ඝෝෂණ නොතකා හෝටලය ඉදිවිය. අද එහි ගිය අයට දැකගන්න ලැබෙන්නේ පරිසරය හා බැඳුණු මනරම් දර්ශනයි. එදා එයට එරෙහිව ජනතාව මෙහෙයවූ දේශපාලනඥයෝද පසුව එම හෝටලයට ගොස් කාබී විනෝද වූ බවද කියති.

රතු පස්වල ජනතා උද්ඝෝෂණ අවසන් වූයේ ජීවිත තුනක් බිලි ගනිමිනි. එදා එය මෙහෙයවූ උදවිය ජනතාවට කීවේ රබර් කර්මාන්ත ශාලාවක් නිසා ජලයේ ආම්ලිකතාව වැඩිවන නිසා තමන්ගේ ළිංවල ජලය පානය කළ නොහැකිවී ඇති බවයි. රබර් කර්මාන්ත ශාලාවලින් පිටවන්නේ අම්ල නොව භෂ්ම බව විශේෂඥයන් කීවද මොවුහු එය නොපිළිගත්හ. කර්මාන්ත ශාලාවද ඉවත් කරනු ලැබීය. ඉන්පසුව දිගින් දිගට කළ පර්යේෂණවල අවසන් නිගමනයනම් ජලය ආම්ලිකවීමට කර්මාන්ත ශාලාවේ බලපෑමක් නැති බවයි. එසේ වුවද ඒ වනවිට මහා උද්ඝෝෂණ අවසන්ය. ජීවිත තුනක්ද බිලිදී හමාරය. රතු පස්වල ජලයේ ආම්ලිකතාව අදටද එසේමය. ජනතාවට ලණු දී උද්ඝෝෂණ මෙහෙයවූ අයද යහතින්ය.

පුත්තලම ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ කතාවද ඊට සමානය. එදා කීවේ මෙය ඉදි කළහොත් මධ්‍යම කඳුකරයටද අළු වැටන බව හා අනුරාධපුරයේ ඇති ශ්‍රී මහා බෝධියටද බලපෑම් සිදුවිය හැකි බවයි. ඒ විරෝධතා නිසා බලාගාරය ඉදිකිරීම වසර ගණනාවකින් ප්‍රමාද වූ අතර විදුලි අර්බුදයකට මුහුණ දෙන්නටද රටට සිදු විය. අවසානයේ අද අපට ලැබී ඇත්තේ ප්‍රමිතියකින් තොර බලාගාරයකි. එසේ වුවද එය කොට උඩගියදාට රටත් කොට උඩය.

කලකට ඉහත වැඩ වර්ජන, උද්ඝෝෂණ සිදුවූයේ කම්කරු අයිතිවාසිකම් දිනාගන්නටය. එහිදී පළමුව තම ඉල්ලීම සාධාරණ බව තහවුරු කරන්නට කම්කරු‍වෝ වග බලාගත්හ. එමෙන්ම අවශ්‍ය ආකාරයට සාකච්ඡා කරන්නට හා අතරමැදි විසඳුම් සොයාගන්නටද ඉදිරිපත් වූහ. සැබෑ මහජන සටනකදී එම ලක්ෂණ දැකිය හැකිය. ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයකට විසඳුම් ලබාගැනීමේදී ද සිදුවන්නේ හා සිදුවිය යුත්තේ එබඳු ක්‍රියාදාමයකි.

එසේ වුවද දැන් ඇතැම් උද්‍ඝෝෂණ පිටුපස තිබෙන්නෙ දේශපාලනඥයන්ගේ වුවමනාවන් බව පෙනෙන්නට තිබේ. එනම් යමක් කරන්නට උත්සාහ දරන දේශපාලනඥයාට එරෙහිව ජනයා කුපිත කරවීමේ වුවමනාවය. ඒ සමඟ මහජනයාගේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටීමේ දේශපාලන වුවමනාවයි. එහිදී මෙම ක්‍රියාමාර්ගවල ‍කෙටි කාලීන හා දිගුකාලීන ප්‍රතිවිපාක ගැන සලකා බලන්නේ නැත. බලන්නේ ඒ මොහොතේ ලැ‍බෙන දේශපාලන වාසියයි. මෙය එදාවේල දේශපාලනයකි.

ස්වයං ඝාතනයට අනුබල දීම

තමන් බලෙන් අල්ලාගත් රක්ෂිතවලින් ඉවත්විය නොහැකි බවට මහජනයා උද්ඝෝෂණවලට පොළඹවන්නේ නම් එහි ඇති සාධාරණත්වය කුමක්ද යන්න ප්‍රශ්නයකි. නීති විරෝධී ක්‍රියාවක් කරමින් තමන්ගේම ජීවිත ආරක්ෂාවද නැති කර ගන්නා පිරිසක් දේශපාලන මැදිහත්වීම් මඟින් එම තත්ත්වයටම පෙළඹවීම ‍කෙතරම් සාධාරණ ක්‍රියාවක්ද ? අනවසරයෙන් සැදූ දේපළ විනාශ වූ විට ඒවාට ආණ්ඩුවෙන් වන්දි ගෙවිය යුතු බවට උද්ඝෝෂණ කළ විට. මහජනයා එයට පෙලඹ වූ විට අවසානයේ සිදුවන්නේ කුමක්ද? රක්ෂිතයක අනවසරයෙන් කරන ඉදිකිරීම යනු දේපළ රක්ෂණයක් ගැනීමක් බවට පත්වීමයි. විනාශවන වාරයක් පාසා වන්දි හිමිවීමයි. මෙම තත්ත්වය නිර්මාණය ‍දේශපාලනඥයන්ගේම ක්‍රියාවකි.

අනෙක් අතට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් කතා කරන්නේ මැරිලා ඉපදුණු ගානටය. මෙබඳු විපතකදී මිනිස් ජීවිත මිල කළ නොහැකිය. වන්දියක් දුන්නට එම ජීවිත යළි ලැබෙන්නේ නැත. යළි ඉදිකිරීමක් කළ නොහැකිය. එසේ වුවද එබඳු විපතකදී මීට පෙර දුන් රුපියල් පහළොස් දහයේ වන්දිය ලක්ෂය දක්වා වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කළේය. ඒකාබද්ධ විපක්ෂයේ උදවිය දැන් කියන්නේ එය සොච්චම් ගණනක් බවයි. ඔවුන්ගේ පාලන කාලයේ ගෙව්වේ පහළොස් දහසක් බව ඔවුන්ටම අමතකය. මැරිලා ඉපදිලා කියන්නේ ඒකය.

පසුගියදා සිදුවූ විනාශයට බලපෑ අනවසර ඉදිකිරීම් බොහොමයක් සිදුවූයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ බව කවුරුත් දන්නා කාරණයකි. එකල සිදුවූයේ ඉහළ සිටි බලවතුන් රාජ්‍ය මුදල් හා සම්පත් රිසිසේ කොල්ලකන අතර පහළ මට්ටමේ සිටි ‍හෙන්චයියන්ටද තමන්ට කැමැතිදේ කිරීමට දේශපාලන අනුග්‍රහය සැලසීමයි. එකල ඇතැම් තැනක රක්ෂිත අල්ලාගෙන පදිංචි කරන ලද්දේ දේශපාලනඥයන් විසිනි. සංවිධානාත්මක ක්‍රියාවක් ලෙසටය. එම පාලනය පරිසර ප්‍රශ්නය තුට්ටුවකට සැලකුවේ නැත. එමෙන්ම මෙම ක්‍රියාවල ප්‍රතිඵල ගැන සැලකිල්ලක් දැක්වූයේ ද නැත . දැන් මේ අත්දකින්නේ එම විනාශයේ ප්‍රතිඵලයයි.

ජලගැලීම්, නායයාම් විපත් සමඟ බොහෝ දේ හෙළිදරව් වී ඇත. අවධානයට ලක්වී ඇත. විනාශකාරී ක්‍රියා හඳුනාගෙන ඇත. දැන් කරන්නට තිබෙන්නේ විශේෂඥ උපදෙස් ද ලබාගෙන සැලසුම් සහගත ලෙස රට නැවත ගොඩනැඟීමයි.

එහිදී ගංගා ඇළ දොළ රක්ෂිත ඒවාට වෙන්කොට අනවසර ජනයා විකල්ප ස්ථානවල පදිංචි කරවීමට සිදුවේ. අනාරක්ෂිත පෙදෙස්වලින් ජනයා ඉවත් කිරීමට සිදුවනු ඇත. මේවා රටේ තිරසාර සංවර්ධනයත්, මහජනයාගේ ආරක්ෂාවත් සඳහා ගත යුතු අත්‍යවශ්‍ය පියවර වෙයි. එයට එරෙහිව ‍බොරු මත ප්‍රචාරය කර මින් ජනයා උද්ඝෝෂණ සඳහා පෙලඹවීම අපරාධයකි. එය එම ජනතාව මිනීවළ කරා දක්කාගෙන යාමකි.

සී.ජේ.අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *