අයාලේ ගිය ශ්‍රී ලංකාවට මෛත්‍රී ගෙන ආ ගෞරවය – භාතිය බරුකන්ද

මෙහි දී වඩාත් වැදගත් කරුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අඟුවට තල්ලූ කර දමා සිටි ලංකාව යළි ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ප්‍රබුද්ධ වේදිකාවට ගැනීමට මේ සියලූ විදෙස් සංචාරයන්හි දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත් බවයි. තෙල් රටවල කුවේර පාලකයන් හෝ අප්‍රිකානු ඒකාධිපතීන් මෙන් සියගණන් සහපිරිවර සමඟ ඒකාධිපතීන්ගේ තුරුළට වැදෙනවා වෙනුවට අප පසුගිය කෙටි කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් දුටුවේ අත්‍යවශ්‍ය පුද්ගලයින් පිරිසක් සමඟ විදෙස්ගත වන රාජ්‍ය නායකයෙකි.

‘ජනාධිපති ලෝකේ වටේ යනවා විතරයි. ඒත් රටට වුණ දෙයක් නම් නැහැ’ මේ වත්මන් ආණ්ඩුවේ දෙවසරක ශේෂපත්‍රය ගැන නිතර නිතර මැසිවිලි නඟන පිරිස් කියන කතාවකි.

මෙවැනි කතා කියන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ඡන්දය දුන් ජනතාව විසින් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ යාවජීව පාලනයක් ගැන සිහින දකිමින් 2015 ජනවාරී 08 වැනිදාත් ඡන්ද පොළට ගිය මහින්දවාදීන් විසින් බව අප මොහොතකටවත් අමතක නොකළ යුතුය. ඔවුන් මේ කතා කියන්නේ ‘දේශපාලන කුහකත්වය’ නිසාම පමණක් නොව මහින්ද පාලනයේ නිමාව සමඟ පත් වූ දැඩි අපේක්ෂාභංගත්වය නිසාය. මහින්දගෙන් තොර දේශපාලනයක් ගැන සිතීමටවත් ඔවුන්ට හැකියාවක් නැති නිසාය.

මහින්දවාදීන් පුනපුනා අවධාරණය කරන ඉහත සඳහන් ප්‍රකාශය මගින් එක්වරම ජනිත වන දේශපාලන අදහස වන්නේ ‘මහින්ද තමයි වැඩකාරයා’ යන්නය. වත්මන් ආණ්ඩුවේ සියලූ සාධනීය ක්‍රියාකාරකම්, විශේෂයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සියලූම සාධනීය ක්‍රියාකාරකම් නිශේධනය කරමින් හෝ ලඝු කරමින් සමාජගතව පවතින මේ අදහස කෝණ කිහිපයකින් විමසා බැලිය යුතුව ඇත්තේ තවමත් මේ අදහස දේශපාලනයේ දී තීරණාත්මක බලපෑමක් කරන නිසාය.

ජාත්‍යන්තර සබඳතා වැදගත් ඇයි ?

‘ජාත්‍යන්තර ප්‍රජාව කන්නද?’ යි අසන ළිංමැඩි මානසිකත්වයෙන් යුත් පිරිසක් ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක සිටිති. අවස්ථාවාදය හා අන්තවාදය විසින් කලප්පු කරන ලද මේ පිරිස සිතන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි වඩාත් ධනාත්මක වීම හා ජාත්‍යන්තර සුහදත්වය වර්ධනය කර ගැනීම රටක අභිමානය හා ආරක්ෂාව කෙරෙහි හානි කර ආකාරයෙන් බලපාන බවකි. කොටින්ම ‘අපේ වැඩවලට අත දාන්න කවුරුත් ඕනෑ නෑ’ යන අදහස ඔවුහු හිස්මුුදුනින් අදහති.

එහෙත් වත්මන් ලෝකයේ පමණක් නොව පැරණි ලෝකයේ පවා ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි පාලකයින් වඩාත් සංවේදී වූ බව අපට දැකිය හැකිය. මෙය ලොකු-කුඩා, බලවත් – දුර්වල ආදි භේදයකින් තොරව ක්‍රියාත්මක වූ තත්ත්වයකි. ලංකාව උදාහරණයට ගතහොත් බණ්ඩාරනායක යුගයේ ලංකාවට හඳුන්වා දුන් ‘නොබැඳි පිළිවෙත’ මේ සම්බන්ධයෙන් ලංකාව ලබා දුන් පූර්වා දර්ශයක් වශයෙන් සැලකිය හැකිය.

බණ්ඩාරනායක මහතාගේ යුගයේ ආරම්භ වූ මෙම නොබැඳි විදෙස් පිළිවෙතේ කූඨප්‍රාප්තිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ කොළඹපැවැත්වූ ‘නොබැඳි රාජ්‍ය නායක සමුළුව’ සමඟ සිදු වූ අතර වර්තමානයේ පවා ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව සැලකෙන්නේ ‘නොබැඳි පිළිවෙතක්’ අනුගමනය කරන රාජ්‍යයක් වශයෙනි.

එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය කාලයේ, විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ දී ලංකාවේ විදෙස් පිළිවෙත සම්පූර්ණයෙන්ම පාහේ අයාලේ ගොස් ලංකාව ලෝකයේ කොන් කළ හා හෙළා දකින රාජ්‍යයන් අතළොස්ස අතරට එක් විය.

මෙහි දී අප ඉතා පැහැදිලිව දුටුවේ ලංකාවේ පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා යහපාලනය වෙතින් ඉවත් වීමට දක්වන උනන්දුව සමඟ මේ ලෝකයේ පිළිකන්නේ සිටින මර්දිත රාජ්‍යයන් සමඟ වාසයට ස්වේච්ඡාවෙන්ම ළං වූ බවයි. එය සිදු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා යහපාලනය අගයන රාජ්‍ය සමඟ එකම වේදිකාවේ අසුන් ගැනීමට මර්දිත හා පීඩක පාලනයක් ගෙන ගිය හිටපු ආණ්ඩුවට නොහැකි වූ හෙයිනි.

ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වූ / කොන් කළ මෙම තත්ත්වය ලංකාව විෂයෙහි මෙන්ම හිටපු පාලකයින් විෂයෙහි ද ඍණාත්මකව බලපෑ බව අප අමතක නොකළ යුතුය. ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක ‘ජී.එස්.පී ප්ලස්’ තීරු බදු සහනය අහිමි කරනු ලැබුවේ මේ අත්තනෝමතික විදෙස් හා දේශීය රාජ්‍ය පිළිවෙතේ ප්‍රතිඵලයක් වශයෙනි. එමෙන්ම ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් වූ යෝජනාව ඉදිරියේ වැඩි ඡන්දයෙන් සම්මත වී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් දක්වා ගමන් කළේ මේ හේතුවෙනි.

මෙය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද තීරණාත්මක ආකාරයෙන් බලපෑ බව අප අමතක නොකළ යුතුය. එම යුගයේ මහින්ද රාජපක්ෂ මහතාට බටහිර යුරෝපය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ දොරටු විවර නොවීය. ඔහුට එංගලන්තයේ පවා නිල සංචාරයන් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. ඔක්ස්ෆර්ඩ් දේශනයට ගිය ජනපතිවරයා මුහුණ දුන් සිදුවීම මේ අතර එක් අවස්ථාවක් පමණකි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බටහිර රාජ්‍යවල දොර වැසීම සම්බන්ධයෙන් ලංකාවෙන් ඉදිරිපත් වන ප්‍රධාන තර්කය වන්නේ ‘ශක්තිමත් හා එඩිතර පාලකයන්, බටහිර රූකඩ නොවන පාලකයන් පිළිනොගන්නා එදිරිවාදී පිළිවෙළක් බටහිර රාජ්‍ය තුළ පවතින බවයි.

එහෙත් මේ ඊනියා ප්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය පිළිගන්නේ නැත. වත්මන් ලෝකය පමණක් නොව බණ්ඩාරනායක යුගයේ ලෝකය පවා සැලකුවේ ප්‍රජාතන්ත්‍රවාදී හා මානවවාදී පාලකයින්ට මිස ඒකාධිපති හෝ අධිකාරිවාදී පාලකයින්ට නොවන බව අප වටහා ගත යුතුය.

වැඩ බැරිනම් වැඩක් නැහැ

මෙම දේශපාලන ලියුම්කරු සමඟ මීට මාස කිහිපයකට පෙර සම්මුඛ සාකච්ඡුාවකට එක් වූ මෙරට ප්‍රකට භික්ෂූන් වහන්සේ නමක වන ආචාර්ය අකුරටියේ නන්ද හිමියෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පැහැදිලි කරමින් මෙසේ කීහ.

‘‘ පසුගිය ආණ්ඩුව විවේචන කිරීමට හේතුව වත්මන් ආණ්ඩුව කළ දෙයක් නොමැතිවීම යැයි ඇතැමෙකුට තර්ක කළ හැකියි. එහෙත් ඒ තර්කයට කිසිදු ආකාරයක පදනමක් ඇත්තේ නැහැ. අතීතය මෙනෙහි කිරීම මගින් වර්තමානය සාපේක්ෂ සැසදීමකට ලක් කළ හැකියි. ඒ අනුව බලන කොට අපිට ලංකාව ජාත්‍යන්තරය හමුවේ මුහුණ දුන් දුර්භාග්‍යමත් යුගයට තිත තැබූ බවට අපට සතුටු විය හැකියි.

පසුගිය 2015 ජනවාරී 08 වැනිදාට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ දොරගුළු ලංකාවට විවර වුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය හා ආයතනවල සහයෝගයක් ලංකාවට හිමි වුණේ නැහැ. අපි ජාත්‍යන්තරය තුළ වේගයෙන් හුදකලා වූ, කොන්වූ යුගයක් එදා තිබුණා.

ඒත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත් වූ වහාම අප ජාත්‍යන්තරය හමුවේ මුහුණ දුන් අභාග්‍ය සම්පන්න යුගය අවසන් වුණා. පසුගිය ආණ්ඩුව කාලයේ ලංකාවට අහිමි කළ ‘ජී.එස්.පී ප්ලස්’ තීරු බදු සහනය ලංකාවට දැන් ලැබී තිබෙනවා.

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ජීනීවා මානව හිමිකම් වේදිකාව තුළ ලංකාව මුහුණ දුන් කොන්කිරීම් හා හෙළාදැකීම් දැන් අවසන් වී තිබෙනවා.

අද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයා සමඟ එක පෙළට සිටගෙන සිටිනවා. ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ලංකාවට නිසි තැන හිමිවෙමින් තිබෙනවා. ඉතා සරලව පැහැදිලි කළහොත් ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමෙන් ලංකාව නිදහස් වෙලා තිබෙනවා. මේ සියල්ල සිදු වුණේ 2015 ජනවාරී 08 වැනිදා මෙරට පොදු ජනතාව විසින් සිදු කළ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය නිසා බව අපට අමතක කළ නොහැකියි’’

මෙම ජාත්‍යන්තර සම්බන්ධතා මේ රටේ ජනතාව කෙරෙහි කරන බලපෑම ගැන මෙහි දී ලියුම්කරු නාහිමියන් විමසූ අවස්ථාවේ දී අකුරටියේ නාහිමියන් දුන් පිළිතුර ද මෙහි දී උපුටා දැක්වීම සුදුසුය.

‘‘රටක පළුඳු වූ ජාත්‍යන්තර සම්බන්ධතා සහ ප්‍රතිරූපය යළි ඔසවා තැබීම ණයට සල්ලි අරන් පාරක් හදනවා වාගේ පහසු වැඩක් නොවන බව අප වටහා ගත යුතුයි. රටක් ජාත්‍යන්තර ප්‍රතිරූපය යළි ඔසවා ගැනීම සඳහා දැවැන්ත පරිශ්‍රමයක් දැරිය යුතුයි. ලෝකය ඉදිරියේ ඇගයීමට හා විශ්වාසයට හේතු වන පරිදි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පුුළුල් කර ශක්තිමක් කළ යුතුයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දෙවසර තුළ මහත් ඉවසීමකින් හා ධෛර්යකින් මේ යුග මෙහෙවර මනාව ඉටු කර තිබෙනවා.

එත් ආණ්ඩුව ජාත්‍යන්තර ඉදිරියේ දිනාගත් මේ ජයග්‍රහණ දවසෙන් දෙකෙන් ජනතාවට නොදැනීම පුදුමයක් නොවෙයි. මෙවැනි ජයග්‍රහණවල ප්‍රතිඵල රටකට ළඟාවීමට, ජනතාවට ළඟාවීමට යම්කිසි කාලයක් ගත වෙනවා.

මෙහි දී තවත් වැදගත් කාරණයක් වෙත අප අපගේ අවධානය යොමු කළ යුතුයි. අද වන විට ලංකාව මෑත ඉතිහාසයේ ඉතාමත් ප්‍රශස්ත විදෙස් පිළිවෙත ක්‍රියාත්මක කරමින් සිටිනවා. ගෝලීයකරණය තුළ තනිව සිටීමට තැත් කිරීම පවා හාස්‍යයට කරුණක් වන බව ආණ්ඩුව වටහා ගෙන සිටින නිසා කලාපීය වශයෙන් පවා ඉන්දු – චීන විරසකය කළමනාකරණය කර ගෙන තිබෙන බවක් දැකිය හැකියි’’

මේ රටක් වශයෙන් වඩාත් වැදගත් ක්ෂේත්‍රයක් වන ජාත්‍යන්තර සම්බන්ධතා විෂයෙහි මෛත්‍රී පාලනය විසින් අත්පත් කොටගත් ජයග්‍රහණවල එක් පැතිකඩක් පමණකි.

මෙහි තවත් වැදගත් පැතිකඩක් වන්නේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දී ඇති අනෙක් ආදර්ශයයි. එනම් විදේශ සංචාරවල දී හැකිතාක් ජාතික ධනය ඉතිරි කිරීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වචනයෙන් නොව ක්‍රියාවෙන්ම දී ඇති ආදර්ශයයි.

ක්‍රියාවෙන්ම ආදර්ශය දීම

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පසුගිය ඕස්ට්‍රේලියා සංචාරය අවසානයේ දී එවකට නියෝජ්‍ය විදේශ ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ මුහුණුපොතේ පළ කළ ඡායාරූපය හා කෙටි සඳහන ගැන මුහුණුපොතේ සැරිසරන මෙරට ජනතාවට මතක ඇතැයි සිතමි. එහි දී හර්ෂ ද සිල්වා මහතා දක්වා තිබුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාන්‍ය ගුවන් මගීන්ගේ පන්තියේ ගමන් කරන ඡායාරූපයකි. එහි දී නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් දක්වා තිබුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අසුනේ සිටි අනෙක් ගුවන් මගියා තමන් සමඟ ගමන් ගන්නා අනෙක් මගියා කවුරුන්දැයි පවා නොදැන සිටි බවයි.

මේ එක් හෝ හුදකලා සිදුවීමක් හෝ ඡායාරූප ගත කර මාධ්‍ය මගින් ජනතා ආකර්ෂණයක් ලබා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ රඟපෑමක් නොවේ. බලයට පත් වූ දින සිටම ජනපතිවරයා ක්‍රියාවෙන්ම දුන් ආදර්ශයකි.

මෙහි දී අපගේ අවධානය යළි ‘මේ ආණ්ඩුව මොකුත් කළේ නැහැ’ කියන කතාව සමඟ සමාජගත වන ‘මහින්ද තමයි වැඩකාරයා’ යන කතාවට යොමු විය යුතුය. මන්ද මහින්ද රාජපක්ෂ වැඩකාරයකු වන්නේ රටේ ජාතික ධනය හිතූමතේ කාබාසිනියා කරමින් කළ මෙගා ව්‍යාපෘති නිසා පමණය. එහෙත් මේ සමඟ මහින්දවාදීන් හිතාමතාම අමතක කරන හෝ සඟවන කරුණක් වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ රටේ ජාතික ධනය නිකරුණේ කොතරම් කාබාසිනියා කළේද යන්නයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සංචාරවල පිරිවැය සම්බන්ධ වඩාත්ම කුප්‍රකට හා අවධාරාණාත්මක උදාහරණ දෙක වන්නේ 100 කට අධික සහපිරිවර සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට ගිය ගමනයි. අනෙක් උදාහරණය වන්නේ ජනමාධ්‍ය වාර්තා කළ ආකාරයට එම්රේට්ස් සමාගම ලංකාවෙන් පළවා හැරීමට හේතු වූ ගුවන් යානා පලහිලව්වයි.

මේ සිදුවීම් දෙක මගින් එළිය කෙරෙන පොදු සාධකය වන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා තම රාජ්‍ය පාලනය තුළ සිදු කළ සියලූම විදේශ සංචාර සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතු ගුවන් යානා පුද්ගලිකව (තමන්ට සහ තම කල්ලියට පමණක්) යොදාගත් බව සහ ඒ සඳහා සිය ගණනක සහපිරිවරක් එක්කරගත් බවයි. මහින්ද රාජපක්ෂ යුගයේ ගුවන් යානා සහ සහපිරිවර භාවිත කළ ආකාරයත් අද මෛත්‍රීපාල සිරිසේන මහතා ගුවන් ගමන් සහ තමන් සමඟ සංචාරය සඳහා කණ්ඩායම යොදා ගන්නා ආකාරයත් අතර ඇත්තේ අහසට පොළොව මෙන් පරතරයකි.

මෙසේ වෙන්නේ ඇයි ?

මහින්ද රාජපක්ෂ යුගයේ ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත් වූ ආකාරයටත් ඒ සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ ආකාරයත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යුගය සමඟ යළි යළිත් සන්සන්දනය කිරීමට අපට සිදුව ඇත්තේ කරුණු කිහිපයක් නිසාය. එයන් ප්‍රධාන වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය කෙටි කාලය තුළ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ තැබූ සලකුණ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ, යහපාලනයේ සහ මානවවාදයේ හරයාත්මක වටිනාකම් නියෝජනය කරන නිසාය.

මෙහි දී වඩාත් වැදගත් කරුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අඟුවට තල්ලූ කර දමා සිටි ලංකාව යළි ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ප්‍රබුද්ධ වේදිකාවට ගැනීමට මේ සියලූ විදෙස් සංචාරයන්හි දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත් බවයි. තෙල් රටවල කුවේර පාලකයන් හෝ අප්‍රිකානු ඒකාධිපතීන් මෙන් සියගණන් සහපිරිවර සමඟ ඒකාධිපතීන්ගේ තුරුළට වැදෙනවා වෙනුවට අප පසුගිය කෙටි කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් දුටුවේ අත්‍යවශ්‍ය පුද්ගලයින් පිරිසක් සමඟ විදෙස්ගත වන රාජ්‍ය නායකයෙකි.

ඒ සියලූ සංචාරයන් හි දී උපරිම රාජ්‍ය තාන්ත්‍රික ගෞරවය හිමි කරගත් රාජ්‍ය නායකයෙකි. මේ සඳහා දැක්විය හැකි මෑතම උදාහරණය වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයයි. එහි දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයකු වශයෙන් රුසියාවේ දී ඉහළම පිළිගැනීමක් ලැබූ බව ජාත්‍යන්තර මාධ්‍ය මහත් ඉහළින් වාර්තා කළේය.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාන්‍ය ගුවන් මගී පන්තියේ ගමන් කිරීම ද බටහිර රාජ්‍ය නායකයින්ගේ හා ජනමාධ්‍යවල විශේෂ අවධානයක් දිනාගත්තේය. ඒ සෑම අවස්ථාවකදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකට කළේ හුදු සාටෝපකාරී ජාතික ධනය කාබාසිනියා කරන අහංකාර විලාසය නොව ජනතාවාදී පාලකයකු වශයෙන් ජාතික ධනයෙන් එක රුපියලක් හෝ ඉතිරි කිරීමේ වුවමනාව බව අප අමතක නොකළ යුතුය.

මේ ගමන්වල ප්‍රතිඵල මොනවාද ?

රාජ්‍ය පාලකයින්ගේ කාබාසිනියාකාරී විදෙස් සංචාර හමුවේ ගිනිකන වැටී සිටින ඊනියා විවේචකයින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ විදේස් සංචාරවලින් රටට උපයා දුන්නේ කුමක්දැයි ඉතා ඕනෑකමින් විමසා සිටිය හැකිය.

මේ සම්බන්ධයෙන් අපට ලබාදිය හැකි පිළිතුර වන්නේ දශකයකට ආසන්න කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයෙන් කොන් වී අවමානයට ලක් කර සිටි රටකට ගරුත්වය හා අගයක් ලබාදීමට මෙම සියලූම විදෙස් සංචාරවලින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව උදා වූ බවයි.

ලෝකයේ තීරණාත්මක බල අරගලයක කෙළිබිමක් වීමට ලංකාවට උරුම වූ අවසානාවන්ත ඉරණම මේ විදෙස් සංචාර හා යහපාලනික විදෙස් පිළිවෙත හරහා වෙනස් කළ බවයි. අවසාන වශයෙන් මහා භාණ්ඩාගාරය වනසමින් හිතමිතුරන්, ඥාතීමිත්‍රාදීන් පිනවමින් සිදු කළ ඊනියා ලෝක සචාරි මෛත්‍රී පාලනය තුළ සිදු නොවූ බවයි.

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *