පළාත් සභා මැතිවරණත් කල් දමන සුදානමක් – කැෆේ සංවිධානය

වසර දෙකට ආසන්න කාලයක් පලාත් පාලන ඡන්ද විමසීම කල් දැමූ ආකාරයටම පළාත් සභා ඡන්ද විමසීම ද, දින නියමක් නොමැතිව කල් දැමීම සදහා රජය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍ර‍කාශ කරයි.
දිවයිනේ සියලුම පළාත් සභා ඡන්ද විමසීම් එකවර පැවැත්වීමට අවශ්‍ය බව කියමින් ලබන අගෝස්තු මස කාලය අවසන්වීමට නියමිත නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් කල් දමා ගැනීම සදහා රජය සැලසුම් සකස් කරමින් සිටී.
පළාත් සභා ඡන්ද විමසීම් පනතට අනුව නියමිත කාල සීමාව අවසන්වීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම අනිවාර්ය වේ.  එබැවින් පළාත් සභා ඡන්ද විමසීම කල් දමා ගැනීමට නම් පාර්ලිමේන්තුව මගින් තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් නව පනතක් සම්මත කර ගත යුතු වේ.  එසේ තිබිය දී, පළාත් සභා ඡන්ද විමසීම කඩින් කඩ පැවැත්වීම සිදු නොකළ යුතු බව පවසමින් නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් ඡන්ද විමසීම් කල් දමා ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයකට සුදානම් වෙමින් සිටී.
පසුගිය පාර්ලිමේන්තුව මැතිවරණයෙන් පසුව කිසිදු ආකාරයේ ඡන්ද විමසීමක් පැවැත්වීම රජය ඉතා සැලසුම් සහගත ලෙස කල් දමමින් සිටී.  එය ජනතා පරමාධිපත්‍යය පමණක් නොව මහජනතාවගේ කැමැත්ත අනුව මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සදහා ඇති අයිතිය අහිමි කිරීමකි.  එය එක්සත් ජාතීන්ගේ ප්‍ර‍ඥප්තිය පමණක් නොව මෙරට ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව ද උල්ලංඝණය කිරීමකි.  එසේ තිබිය දී, පළාත් සභා ඡන්ද විමසීම ද කල් දමා ගැනීමට උත්සහ දැරීම කිසි ලෙසකින් හෝ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ව්‍යවහාරයක් නොවන්නේය.
රජයට සියළු මැතිවරණ එක්වර පැවැත්වීමට සැබෑ අවශ්‍යතාවයක් ඇති නම්, නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා කාලය අවසන්වීමත් සමගම සියළු පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ එකවිට පැවැත්විය හැකිය. එපමනක් ද නොව, රටට ආදර්ශයක් ලබා දෙමින් පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණය ද ඒ හා සමගම පැවැත්විය හැකිය.  එසේ නොවන්නේ නම්, හොර පාරෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය යොදාගනිමින් ඡන්ද විමසීම කල් දැමීම වෙනුවට එය යෝජනාව ‘ජනමත විචාරණයක් මගින්‘ ජනතාවගේ අනුමැතියට ඉදිරිපත් කිරීව අනිවාර්ය වේ.  එසේ නොමැතිව, රටේ නීතියටත්, ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තීන්ටත් එරෙහි වෙමින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම මැතිවරණ කල් දමා ගැනීමට රජය දරණ උත්සාහය පුරවැසියන් සතු මුලික අයිතිය උල්ලංඝණය කිරීමකි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *