ගංවතුරේ මාළු බෑම – අනුර සූරියබණ්ඩාර

ගංවතුරෙහි බැසගෙන දේශපාලනඥයන් දෙදෙනෙකු ජනතා සේවයෙහි යෙදෙන ආකාරය අන්තර්ජාලයට එක්කරමින් මාගේ මිතුරෙකු හැදින්වීමක් යොදා තිබුණේ ,කඩේ යාමක් නොව අගයකිරීමක් යනුවෙනි .ඊට කොමෙන්ටුවක් දෙමින් මිතුරාට මා කීවේ,ජනතා නියෝජිතයන්ගේ වගකීම ගංවතුරෙහි බැසගෙන දැගලීම නොව ජනතාව ගංවතුරට යට නොවන තැනට සහ යම්හෙයකින් ස්වාභාවික විපතකට ජනතාව ගොදුරු වුවහොත් ඉක්මනින් සහ අවශ්‍ය පරිදි සහන සැලසෙන තැනට ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම බවයි.පසුගිය සතියේ මෙරට ඇතිවූ ගංවතුරෙන් සහ නායයාම් වලින් විපතට පත් ජනතාව උපයෝගි කරගනිමින් කැපී පෙනෙන්නට උත්සහ ගත් කණ්ඩායම් දෙකකි. ඉන් පළමුවැන්න වූයේ මාධ්‍ය ආයතනය දේශපාලනඥයන් දෙවන තැනට ඇද දමමින් මුල්තැන ගන්නට මාධ්‍ය ආයතන සමත්විය . ඒ ඔවුන්ගේ ප්‍රචාරක යාන්ත්‍රණයේ සක්ති සම්පන්නකම නිසාය.
ස්වාභාවික ආපදාවකදී ඊට මුහුණදීම සදහා විසේෂයෙන් සැකසුනු රාජ්‍ය යාන්ත්‍රණයක් මෙරට තිබේ. ආපදා සහන මධ්‍යස්ථානය ,රාජ්‍ය පරිපාලන අංශ ,ත්‍රිවිධ හමුදාව ,පොලීසිය, දිසා ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම් , ග්‍ර්‍රාම නිළධාරී ආදී වශයෙනි. දේශපාලනඥයා සහ ඔවුනගෙන් සමන්විත පාර්ලිමේන්තුව ,පළාත්සභා ,පළාත් පාලන ආයතන වල කාර්යභාරය වන්නේ ඉහත යාන්ත්‍රණයට පහසුවෙන් ක්‍රියාකාරී වීමට අවශ්‍ය පසුබිම හා පහසුකම් සහ ප්‍රතිපත්ති සකසාදීමය. ඒ වෙනුවට ආධාර බෙදීම, මිනිසුන් ගලවාගැනීම ආදිය සදහා පෞද්ගලිකව පුද්ගලයා ලෙස මැදිහත් වීම නොවේ.ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ තොරතුරු වලට අනුව නායයෑම් සිදුවියහැකි දිස්ත්‍රික්ක දහයක් හදුනාගෙන තිබුණි. එපමණක් නොවේ,ඒවාට අදාල සිතියම් පවා සකස්කර තිබූබව පැවසේ. එවැනි තත්ත්වයක් තුල අදාළ ප්‍රදේශ වල පමනක් නොව සමස්ථ මහජන නියෝජිතයන්ගේ වගකීම වනු ඇත්තේ,ආපදා තත්ත්වයකදී ඒ ප්‍රදේශ වල ජනතාව කඩිනමින් ඉවත්කළ හැකි ආකාරයේ වැඩපිලිවෙලක් තිබේද යන්න සොයාබලා එවැන්නක් නැත්නම් ඒ සදහා වැඩපිළිවෙළ සැකසීමට ප්‍රතිපත්තිමය දායකත්වය ලබාදීමයි.
ඊට අමතරව එවැනි ප්‍රදේශ වල දිවිගෙවන ජනතාව අවශ්‍යතාව අනුව වෙනත් තැන්වල පදිංචි කිරීම ආදියද ඔවුනට පැවරෙන වගකීම වනු ඇත. නමුත් අපරටේ දේශපාලනය හැඩගැසී ඇත්තේ ආපදා සිදූවූ තැන්වලට ගොස් තම නම සදහන් කොට පාර්සල් ලබාදීමට ,ළමයින් කරතබාගෙන ඒමට,මළමිනී ගොඩගැනීමට ආදීවූ බාල සිල්ලර වැඩවලින් විපතට පත් ජනතාවගේ පිහිටෙන් රූපවාහිනී සහ වෙනත් මාධ්‍ය නරබන කියවන පොදු ජනතාව පිනවීමටය. ඒ ඔස්සේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට උත්සහ දරන්නටය.පසුගිය ගංවතුරේදී දක්ෂිණ අධිවේගී මාර්ගය ස්තාන තිහකින් පමන ජලයෙන් යටවිය. සාමාන්‍යයෙන් වසරගනනක් අනාගතයට ඔබින ලෙස ඉදිකෙරෙන එවැනි ඉදිකිරීමක් එතරම් පහසුවෙන් එවැනි ආපදාවකට ගොදුරු විය නොහැකිය .එසේ සිදුවන්නේ නම් එක්කෝ ඒ ඉදිකිරීමේ සැලසුමේ වරදක් නිසාය. නැතහොත් ඉදිකිරීමෙන් පසුව සැලසුම් කරන අවස්ථාවෙහි පැවති තත්ත්වයන්ගේ සිදුවන යම් වෙනසක් නිසාය . කොයික වුව මේ දෙකෙහිම වගකීමෙන් යම් කොටසක් ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් ජනතා නියෝජිතයන් කෙරෙහිද බලපැවැත්වේ.
කලුතර ප්‍රදේශයේ ගංවතුරට බලපෑ ප්‍රධාන හේතුව වශයෙන් මේවනවිට හදුනාගෙන ඇත්තේ ජලය බැසයන ජල මාර්ග පද්ධතිය අවහිර කරමින් කෙරුණු අනවසර ඉදිකිරීම්ය. එම දිස්ත්‍රික්කයේ ජලය බැසගියේ අනවසර ඉදිකිරීම් ඉවත්කල පසුව පමණි. අනවසර ඉදිකිරීම් යනු ප්‍රාදේශීය පාලනයේ,පළාත් පාලනයේ හෝ ආණ්ඩුවේ නැතහොත් එකී තුනෙහිම දුර්වල කමකි. ඉන් එක් ආයතනයක් හෝ තුනම හෝ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් කිසිදු අනවසර ඉදිකිරීමක් සිදුවීමේ හැකියාවක් නැත. නගර වල පවතින ඇතැම් අනවසර ඉදිකිරීමකට විදුලිය ,නල ජලය වැනි පහසුකම් පවා සැපයි තිබේ. දේශපාලන අධිකාරිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේනම් එවැනිදේ සිදුවන්නේ කෙසේද ? සැබෑ තත්ත්වය නම් අනවසර ඉදිකිරීම් වලට ජලය ,විදුලිය ලැබෙන්නේ දේශපාලනයේ ආශීර්වාදය මත බවයි. අනවසර ඉදිකිරීමත් ඒවා ඉවත්කිරීමත් දෙකම සිදුවන්නේ දේශපාලන ඕනෑඑපාකම් මතය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හදුනාගත් නායයෑම් සිදුවියහැකි දිස්ත්‍රික්ක 10ක් පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මාධ්‍ය මධ්‍යස්ථානයට යොමු කලද ඒ පිළිබඳ තොරතුරු නිසි පරිදි සමාජ ගතවී නැති බව පැවසේ. තොරතුරු නිසි පරිදි සමාජ ගතවූයේ නම් අහිමි වූ ජීවිත රැසක් බේරාගැනීමට හැකිවන්නට ඉඩ තිබුණේ යැයි සැකයකි . විපතට පත් ජනතාවට සහන සලසන්නට කැමරා සහ මයික්ද ඔසවාගෙන ගොස් පොරබැදූ ජනමාධ්‍ය ඉහත කරුණ සම්බන්ධයෙන් කුමක් කියන්නේ දැයි විමසා බැලිය යුතුය .අදාළ ආයතන විසින් අවශ්‍ය තොරතුරු අපට ලබාදුන්නේ නැත. එවැනි සරල පිළිතුරක් ඔවුනට ඒ සදහා තිබෙන්නට පුලුවන .නමුත් ,ජනමාධ්‍ය වල සැබෑ කාර්යභාරය ලැබෙන තොරතුරක් ප්‍රචාරය කර දෙනදෙයක් කා වෙනදෙයක් බලාගෙන හිදීමෙන් ඔබ්බට යන දෙයකි. මැයි 20 පමණ වනවිට මෝසම් වැස්ස සක්‍රීය වනු ඇතිබවට කාළගුණ අනාවැකි පලවී තිබුණු වටපිටාවක නායයෑම් සිදුවියහැකි ප්‍රදේශ මොනවාද?

ඒ නායයෑම් වල තත්ත්වය කුමක්ද ? ඒ සදහා මුහුණ දීමට අවශ්‍ය කටයුතු අදාල අංශවලින් සිදුවතිබේද? සිදුවෙමින් තිබේද ? ආදී කරුණු සොයා බලා වාර්තා කිරීමේ වගකීම මාධ්‍ය වලට තිබුණි. ඊළග වැස්සේදී මේ මේ ප්‍රදේශ නායයා හැකිබවක් කිසිදු මාධ්‍යයකින් නිසිපරිදි ප්‍රචාරය කෙරුනේ දැයි නොදනිමු . නාය යෑමේ අවධානම ජනතාවට දෙනවාට වඩා ඔවුන් තමන්ගේ සල්ලි බෙදීම්,රියැලිටි ෂෝ,සංගීත සංදර්ශන ,නාට්‍ය ආදියට පූර්ණ ප්‍රචාරය ලබාදුන් බව පිළිගත යුතුය . අනෙක් අතට නායයෑම් ආසන්නයේ සියලුම විද්‍යුත් මාධ්‍ය පාහේ පසුවූයේ, තෙමගුලෙන් කුලප්පුවී නිසැක ධාතු ප්‍රදර්ශනය කරමිනි. ආපදාවක් හමුවේ මාධ්‍යයට පැවරෙන වගකීමක් තිබේ.එනම්, ආපදාවේ තත්ත්වය පිළිබඳ මෙන්ම ආපදා තත්ත්වයෙන් ප්‍රකෘතිමත් වන්නට අවශ්‍ය කරුණු සමාජ ගත කිරීම,පවතින තත්ත්වය සහ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීම,හේතු,ප්‍රතිඵල ආදිය දැන්වීම,උචිත ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනතාවට උපදෙස් ලබා දීම,
බලධාරීන් සහ හෝ සහන කණ්ඩායම් විසින් ගනුලබන පියවර වලදී සමාජයට අවශ්‍ය කරන උපදෙස් ලබාදීම ආදියයි. එහෙත් මේ විපතේදී සිදුවූයේ ජනමාධ්‍ය ආධාර කණ්ඩායම් බවට පත්වන්නට උත්සහ දැරීමයි.සමහර මාධ්‍ය ප්‍රසිද්ධියේ කීවේ විපතටපත්වූවනට සහන රැගෙන මුලින්ම පැමිණියේ තමන් බවයි. බලධාරීන් සහන කණ්ඩායම් ගන්නා පියවර පිළිබඳ දැනුවත් කිරීම හෝ එහිදී ජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවට ජනමාධ්‍ය කළේ තමා සහන කණ්ඩායම්ය යන බොරු මවාපෑමක් ජනතාවට කරමින් ආණ්ඩුවට දේශපාලනඥයන්ට විපතට පත් ජනතාව ලවා දොස් කියවමින් තමතමන්ගේ නාළිකාවලට ” එක දමාගන්නටය” උත්සහ කිරීමයි. ආධාර බෙදීම පවා මෙකී නාළිකා තමන්ගේ වියදමෙන් කලා නොවේ. ජනතාවගෙන් ලබාගත් ආධාර ( ඇතැම්විට ජනතාවම ලබාදුන් වාහන වලින්) රැගෙන ගොස් තම තමන්ගේ නාළිකා වල වෙළෙඳ ලාංඡන වලට ප්‍රචාරයක් ලබා ගැනීමයි .
විද්‍යුත් මාධ්‍ය වලින් පෙන්වන්නට උත්සහ කලේ විපතට පත්වූවන් වෙනුවෙන් ආණ්ඩුව කිසිවක් නොකරන්නේය වැනි අදහසකි.මීතොටමුල්ල කුණු කන්ද වැටුණු මොහොතේ එක් නාළිකාවක් පුන පුනා ජනතාව ලවා කියෙව්වේ ,එක්තරා දේශපාලන චරිතයක් දුක සැප බලන්නට නොපැමිණි බවයි. එකී දේශපාලන චරිතයත් අදාළ නාළිකාවත් අතර පෞද්ගලික ගැටුමක් පවතින බව දන්නා අය දනිති .එවැනි වටපිටාවක මාධ්‍ය සදාචාරය වන්නේ කවුරුන් හෝ ඉහත චරිතයට දොසක් කීවා වුව ප්‍රචාරයක් නොකර සිටීමයි. ආණ්ඩුවෙන් ලබාගත් මහජන දේපලක් වන තරංගමාලා ඔස්සේ තරහකාරයෙකුට අවලාද කිරීමත් මහජන දේපළ අවභාවිත කිරීමක් හා සමාන වන බැවිනි. ආපදාවකදී හෝ වෙනයම් අවස්ථාවකදී ආණ්ඩුව මැදිහත් වීම යනු අදාළ ප්‍රදේශයේ මහජන නියෝජිතයා,මහ ඇමති ,අගමැති ,ජනපති හෝ එතැනට යාම නොවේ.ආණ්ඩුව යනු ඒ කිසිවෙකු නොවන බැවිනි .
විපතට පත්වූවන්ට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදවා තිබිණි. ත්‍රිවිධ හමුදාව යනු ආණ්ඩුවේ යාන්ත්‍රණයයි. දිස්ත්‍රීක් ලේකම්වරු ,ප්‍රාදේශීය ලේකම්වරු ,ග්‍රාමසේවා නිළධාරීන් යනු එවැනි මොහොතක යොදවනු ලබන ආණ්ඩුවේ හස්තයයි. ඊට අමතරව ආපදා සහන සැලසීම සදහා වන යාන්ත්‍රණ විශේෂයෙන් සකසා තිබේ.මහජන නියෝජිතයා ,මහ ඇමතිවරයා ,අගමැති ,ජනපති ගේ කාර්යය වන්නේ එකී යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ පහසුකම් සැලසීමයි . මානුෂික කාර්යයක් වශයෙන් සලකා සහ අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය ආකාරයෙන් සිදුවන්නේ ද යනවග සොයාබැලීම සදහා මහජන නියෝජිතයන් ,රාජ්‍ය නායකයන් විපත් සිදුවූ ස්ථාන වලට යන සිරිතක් ඇති නමුත් නොගියේ යැයි දොස් කියන්නට හේතුවක් නැත.
ඊළග කරුණ වන්නේ ආණ්ඩුව නොකලදේ අප කලා වැනි මතයක් ජනගත කරන්නට උත්සහ කළද ජනමාධ්‍ය වලට එවැනි අවස්ථාවක ඇත්තෙන්ම කළහැක්කක් තිබේද ? යන්නයි . නායයාමට යටවූවන් බේරාගැනුනේ හමුදාව විසිනි. එවැනි කටයුත්තක් හමුදාවට මිස මාධ්‍යවේදින්ට,අසන්නන්ට හෝ නරබන්නන්ට හෝ කළ නොහැකිය . ගංවතුරට යටවූවන් බේරා ගැනුනේ ගුවන් හමුදාව ,නාවික හමුදාව විසිනි . ඔවුන් කළ කටයුත්ත කරන්නට මාධ්‍යයට හැකියාවක් හෝ සම්පත් ඇත්තේ නැත. එසේහෙයින් මාධ්‍යයේ වගකීම වන්නේ බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යාම නොව ඉහත පෙන්වාදුන් මාධ්‍ය වගකීමට යටත්ව මාධ්‍යකරණයේ යෙදීමයි. දේශපාලකයාගේද වගකීම ළමයි වඩාගෙන යාම,මළමිනී වැලලීම ,ආධාර බෙදීම නොව විපත්වලට මුහුණදීමට ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් සැකසීමයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *