උසස් පෙළ නැතිව වෛද්‍යවරු වූ අයත් සයිටම් විරෝධී සටනේ ඉන්නවා – විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා

 

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දැනට දශක හතරක පහකට පෙර ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමක පැවතිණි. බටහිර රටවල් හා ලංකාව අතර විශාල වෙනසක් තිබුණේ නැත.

මේ වන විටත් වෙනත් රටවල් විශ්වවිද්‍යාල නවීන අධ්‍යාපන ක්‍රම වෙත යොමු වී ඇත. නමුත් ලංකාවේ අධ්‍යාපනය වෙනස් වූයේ නැත . ශිෂ්‍යත්වයේ සිට කට පාඩම් කර වමාරන නමුත් ක්‍රමය වෙනස් වූයේ නැත. ඇතැම් විශ්වවිද්‍යාලවල අලුත් ක්‍රම හඳුන්වා දුන්නත් අවසානයේ යොමු වන්නේ පැරැණි ක්‍රම වෙතය. ඒ නිසා වෛද්‍ය අධ්‍යාපනය දැනට දශක හතරකට පහකට පෙර පැවති තත්ත්වයේ නොතිබෙන බව පැවසිය යුතුය .

මේ වන විට ඉන්දියාව, පකිස්තානය, වැනි රටවල් විශාල වශයෙන් වෛද්‍යවරුන් බිහි කරන අතර ඔවුන් නිසා තරගකාරීත්වයක් ඇති වී තිබේ. අනෙක් කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසි භාෂාව හොඳින් හදාරා ඇති නම් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට දොර විවෘත වේ. දැනට අවුරුදු හතළිස් හතකට පෙර සිංහල භාෂාවෙන් ‍වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ පළමු කණ්ඩායම වූයේ අපයි. එහෙත් අපි අපහසුවෙන් හෝ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගත්තෙමු.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී විවිධ අවස්ථාවලදී විවිධ ක්‍රම අනුගමනය කෙරේ. ජාතීන් අනුව සිසුන් ඇතුළත් කර ගැනීමේ කෝටාව කලක් ක්‍රියාත්මක වූ අතර දිස්ත්‍රික් කුසලතාව අනුව විශ්වවිද්‍යාලවලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමය පසුව ක්‍රියාත්මක විය. මේ වන විට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ ඉසෙඩ් ලකුණ පදනම් කරගෙනය.

කොළඹින් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අපහසු ළමයාගේ ලකුණු මට්ටමට වඩා අඩු ලකුණු මට්ටමක් ලබා ගන්නා අම්පාරේ සිසුවකුට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවස්ථාව ලැබී ඇත්තේ මේ අනුවය. ඇතැම් ළමුන් දුෂ්කර පළාත්වල පාසල්වල ලියාපදිංචි වී කොළඹ ටියුෂන් පංති ගොස් අධ්‍යාපනය ලබන්නේ මේ නිසාය.

විශ්වවිද්‍යාලයකට ඇතුළු වන විට ලබා ගන්නා උසස් පෙළ ලකුණු වැදගත්කමක් ඇති ලකුණක් යැයි මා විශ්වාස කරන්නේ නැත. ශිෂ්‍යත්වය හොඳින් සමත් වූ ළමයෙක් කොළඹ පාසලකට පැමිණේ.

එම ළමයා සාමාන්‍ය පෙළ විභාගයේ දී යම් තරමකට වැටී උසස් පෙළ විභාගයේදී තවත් පහළට වැටිය හැකිය. කොළඹින් හා නගරබද ළමුන්ට විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට නොහැකි නම්, වෛද්‍ය පීඨයට ඇතුළු වීමට නොහැකි නම් ඔවුන් ඒ සඳහා ඇති වෙනත් අවස්ථාවන් පිළිබඳ සොයා බලයි. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට ඇත්තේ මානව අයිතියකි. අද විශ්වවිද්‍යාලවලට ලකුණු මට්ටම අනුව ඇතුළත් කර ගන්නා ළමුන් අනෙක් ළමුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වැළැක්වීම සාධාරණ නොවේ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට නොහැකි එහෙත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවශ්‍යතාවක් ඇති ළමුන් අධ්‍යාපනය සඳහා විදේශ විශ්වවිද්‍යාල වෙත යයි. විදේශ විශ්වවිද්‍යාලවල හා විදේශ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලංකාවේ ළමුන්ට ලංකාවේ පිළිගැනීමක් ලැබීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටද මේ විශ්වවිද්‍යාල කටයුතු කරයි.

විදේශ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවකුට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට නම් ඊ. ආර්. පී. එම්. නමින් හැඳින්වෙන විභාගයට පෙනී සිටීමට සිදුවෙයි. එම විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ සාමාජිකයන් අදාළ විශ්වවිද්‍යාලවලට ගොස් ඒවා ගැන සොයා බැලීමෙන් පසුවය.

ලෝකයේ ඇතැම් හොඳ වෛද්‍ය විද්‍යාල පිළි නොගැනීමටත් එතරම් හොඳ නැති වෛද්‍ය විද්‍යාල පිළිගැනීමටත් හේතුව නම් තේරුම් ගැනීමට නොහැකිය. උදාහරණයක් ලෙස නේපාලයේ පොකොරායි විශ්වවිද්‍යාලයේ පාඨමාලාව අවුරුදු හතරයි මාස හයකින් අවසන් වේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පවසන්නේ මේ පාඨමාලාව අවුරුදු හයක් දක්වා වැඩි කළ යුතු බවය.

මේ විශ්වවිද්‍යාලයේ ඇත්තේ අඩු නිවාඩු කාලයකි. සතියේ දින හයක් වැඩ කරයි. ‍කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩ කරන්නේ දින පහකි. නේපාලයේ වෛද්‍ය විද්‍යාලයට ළමුන් ගිය පසුව එහි කාලය වැඩි කළ යුතු බව පවසයි. මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමෙකි. මෙම විශ්වවිද්‍යාලය මනිපායි විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාලයක් වන අතර එහි විභාග පවත්වන්නේ කත්මන්ඩු විශ්වවිද්‍යාලයයි. එවිට එම සිසුන්ගේ සුදුසුකම් පිළිබඳ වඩා විශ්වාසනීය පරීක්ෂාවක් සිදු වෙයි.

විදේශ රටවල වෛද්‍ය විද්‍යාලවල සිසුන් තමන්ගේ සීමාවාසික පුහුණුව අවසන් වන තුරු විශාල බරක් ඔවුන්ට ලබා දෙන්නේ නැත. සීමාවාසික පුහුණුව ලැබීමෙන් පසුව ප්‍රායෝගිකව වැඩ කරන තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරයි. එම කාලය තුළ ද දක්වනු ලබන දක්ෂතාවය මත ඉදිරියට යාමට ඇති අවස්ථාව තීරණය කරයි.

සයිටම් ගැන විරෝධය දක්වන වෛද්‍යවරු වරක් හෝ දෙවරක් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත. එහෙත් එයින් ඔවුන් සුදුසුකම් සම්පූර්ණ කර නොමැති වෛද්‍යවරු යැයි කිව නොහැකිය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්‍රමයේ ද වැඩ කරන අතරේද තක්සේරුවක් කරන්නේ නැත. ස්ථාන මාරුවේ සිට සියල්ල තීරණය වන්නේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මතය. ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු වුවත් දක්ෂතාවයක් හා කැපකිරීමක් ඇති අය වෙනුවෙන් තැනක් ලබා දෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ගොස් වෛද්‍යවිද්‍යාව හැදෑරූ ළමුන් හා විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය විද්‍යාව හැදෑරූ ළමුන් රට තුළ සිටී. ඒ අතර ම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන විදේශීය සිසුන් සිටී. විදේශ සිසුන්ගෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට තර්ජනයක් නැත. එහෙත් සයිටම් ළමුන්ගෙන් ඔවුනට තර්ජනයක් තිබේ. සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන්නේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළු වීමට ‍ නොහැකි වූ එහෙත් මුදලක් වියදම් කිරීමට හැකි සිසුන් ය.

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මෙන් ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ සිසුන් හා වෙනත් රටවල සිසුන් මුදල් ගෙවා අධ්‍යාපනය ලබයි. ඔවුන්ටත් විරුද්ධ විය යුතු ද? කොතලාවල වෛද්‍ය පීඨය පරිපාලනය කරන්නේ හමුදාව විසින් නිසා එයට විරෝධයක් දක්වන්නේ නැත. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල විදේශ සිසුන් අධ්‍යාපනය ලබයි. සයිටම් ආයතනයට විරුද්ධත්වය දක්වන අය ඒවාට විරෝධය නොදක්වන්නේ ඇයි? තරුණ කාලයේ දී කිසියම් අයෙක් යමක් කී විට එය පිළිගන්නේ වැඩි සොයා බැලීමකින් තොරවය.

කිසියම් අයෙක් සී.අයි. ඒ. කාරයෙක් යැයි කීවොත් තරුණ කාලයේ දී ඒවා පිළිගනී. තරුණ වයසේ සිටින විශ්වවිද්‍යාල සිසුන්ව එළියේ සිටින බලය සොයන කොටස්වල අවශ්‍යතාවය සඳහා භාවිත කරයි. කොටි සංවිධානය ජනවාර්ගික ප්‍රශ්නය මත පදනම්ව අරගල කළේ තමන්ගේ බලය තහවුරු කර ගැනීමටය. හිට්ලර් ආර්යයන් යන්න එළියට දමාගෙන කළේ තමන්ගේ බලය තහවුරු කර ගැනීමය.

තරුණයින් පහසුවෙන් යමකට පොළඹවා ගැනීමට හැකි නිසා ඔවුන් සිය දේශපාලන අරමුණු වෙත යොමු කර ගැනීමට ඇතැම්හු උත්සාහ ගනිති. සයිටම් ප්‍රශ්නය වැනි දෙයක්. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන්ද මතුව තිබුණි. ඒ අවස්ථාවේ දී එය ජාතික ගැටලුවක් බවටපත් කර ගැනිණි. අද තිබෙන රැල්ලත් ජාතික ගැටලුවක් බවට පත් කර ගැනීමට හැකිද නැද්ද යන්න ගැන අද ඇතැම්හු අවධානයෙන් සිටිති.

ඉහළ මට්ටමේ තීරණ ගන්නා අය පෙළපාළිවල නැත. අද පෙළපාළිවල ඉදිරියෙන් සිටින්නේ තරුණ අතකොලුය. මොවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ පොලිසිය කුලප්පු කර එක් අයෙක් හෝ දෙදෙනෙක් මරා ගැනීම ය. ඒ හරහා සිය දේශපාලන අරමුණු වෙත ළඟා වීමට ඔවුහු උත්සාහ ගනිති. මොවුන්ට මේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ප්‍රශ්නය තව දුරටත් වර්ධනය කර සිය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම ය.

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සේවය කරන අතරවාරයේදී සයිටම් ආයතනයේ දේශන හා විභාග සඳහා පැමිණීමට මට ආරාධනා කළ විට මම එහි නොගියෙමි. විශ්‍රාම ගිය පසුව ඔවුන් කළ ආරාධනය මට පිළිගැනීමට හැකි විය. සයිටම් ආයතනයේ ළමුන්ගේ විභාග පැවැත්වීමට මම ගියේ එම ළමුන්ගේ ප්‍රමිතිය අඩුද වැඩිද යන්න ගැන සොයා බැලීමටය. මම විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන හා උගන්වා ඇති නිසා විශ්වවිද්‍යාලවල තත්ත්වය ගැන දනිමි. සයිටම් ආයතන පිටස්තර විභාග පරීක්ෂකවරු ගෙන්වා ගන්නේ එම ළමුන්ගේ ප්‍රමිතිය ගැන සොයා බැලීමට අවශ්‍ය නිසාය.

රජයේ වෛද්‍ය විද්‍යාලවල හා සයිටම් ආයතනයේ ළමුන්ගේ ප්‍රමිතිය අතර ලොකු වෙනසක් මට දැකිය නොහැකිය. දැන් කළ යුත්තේ සියලු දෙනාටම සාධාරණයක් වන ආකාරයට සයිටම් ගැටලුව විසඳීමය. සයිටම් ආයතනයේ ළමුන් වෛද්‍ය උපාධියක් නොමැතිව එළියට දැමීමට යෝජනා කිරීම සාධාරණ නොවේ. අනෙක් අතට සයිටම් පාලනාධිකාරියේ තිබෙන දුර්වලතා මඟහරවා ගැනීමට ද කටයුතු කළ යුතුය.

එම දුර්වලතා මඟහරවා ගැනීමට ආණ්ඩුවේ මැදිහත්වීමක් අවශ්‍යය. මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විශාල බලයක් ඇති ආයතනයක් නොවේ. වෛද්‍ය සභාවට සාමාජිකයින් පත්වීමේ ස්වාධීන පුද්ගලයන් පත් විය යුතු ය. දේශපාලන පත්වීම් නොකළ යුතු ය. විශ්වවිද්‍යාලවලින් නම් කරන සාමාජිකයින්, සිවිල් හා වෘත්තීය ආයතනවලින් නම් කරන පුද්ගලයින් වෛද්‍ය සභාවේ සාමාජිකයන් විය යුතුය.

වෛද්‍ය සභාවේ සංයුතිය පාර්ලිමේන්තුවෙන් වෙනස් නොකරන්නේ නම් ඔවුන්ට සිදු වන්නේ ඉල්ලාගෙන කෑමටය. සයිටම් ගැටලුව, අද සිටින වෛද්‍යවරුන්ට හා හෙට වෛද්‍යවරුන් බවට පත්වීමට අපේක්ෂාවෙන් බලා සිටින අයටත් අසාධාරණයක් නොවන ආකාරයට විසඳිය යුතුය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළු වීමට නොහැකි ළමුන්ට විදේශ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට මිලියන හතළිහක් පනහක් වැය වෙයි. එම රටවල් අධ්‍යාපනය විදේශ විනිමය උපයා ගැනීමේ ක්‍රමයක් ලෙස යොදා ගනී. ඒ නිසා ශ්‍රී ලංකාවෙත් එවැනි ආකාරයට විදේශ මුදල් උපයා ගැනීමේ වරදක් නැත.

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රමිතියෙන් යුතු ඒවා විය යුතු ය. පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යක්ෂ මණ්ඩලවල ප්‍රමිතියක් තිබිය යුතුය. අධ්‍යාපනයක් නොමැතිව සිටින ව්‍යාපාරිකයෙක් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම හා අධ්‍යාපනයක් ඇතිව සිටින ව්‍යාපාරිකයෙක් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම අතර වෙනසක් තිබේ. වෛද්‍ය අධ්‍යාපනය ලබා ඇති ව්‍යාපාරිකයෙක් එවැනි වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ වරදක් දැකිය නොහැකිය.

අද වැඩ වර්ජනය කරන්නේ වෘත්තීය සමිති එක් කරගෙනය. මේ වෘත්තීය සමිති සයිටම් යන වචනයේ තේරුමවත් දන්නේ නැත. මොවුන් කරන්නේ ආණ්ඩුව පෙරළීමේ උත්සාහයකි. අද ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවස්ථාවාදීව තරුණයන් යොදා ගනියි. මේ විරෝධතාවල එක් වෙඩිල්ලක් හෝ පත්තු වුවහොත් ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීම මොවුන්ගේ උත්සාහයයි.

සයිටම් විරෝධීන් එම ළමුන්ට සායනික පුහුණුව ලබා ගැනීමට රෝගීන් නොමැති බව කියයි. රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට යන අයට රෝගියෙක් ඇල්ලීමටවත් ලැබෙන්නේ නැත. වෛද්‍ය සිසුන්ට රෝගීන් බැලීමට ලැබෙන්නේ වීදුරු දොරකින් මෙහා සිටය. කල්පනා ශක්තිය ඇති ස්වාධීන කණ්ඩායමක් මේ සයිටම් ගැටලුව විසඳීමට ඉදිරිපත් විය යුතුය.

සියලු පාර්ශ්වයන් සමඟ මේ ගැන කතා කළ යුතුය. ඒ සඳහා අවුරුදු ගණන් ගත යුතු නැත. මාස තුන හතරකින් මේ ගැටලුවට විසඳුම් ලබා දිය හැකිය. ඒ සඳහා දේශපාලනයට සම්බන්ධ නොමැති අය යොදා ගත යුතු ය. දැනට සයිටම් ආයතනයෙන් වසර තුනක් තිස්සේ කණ්ඩායම් තුන හතරක් උපාධිය ලබාගෙන ඇත. මේ ළමුන් අපේ ර‍ටේ දූ දරුවන් නොවේද? ඒ ගැනත් අවධානය යොමු කරමින් මේ ගැටලුවට විසඳුමක් ලබා ගත යුතු ය. ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා දෙනු ලබන විසඳුම ක්‍රියාත්මක කළ යුතුය.

දැන් සයිටම් ආයතනයට ඇතුළු වන සිසුන්ට ඒ සාමාර්ථ තුනම තිබිය යුතු බවට ඇතැම් අය තර්ක කරති. ‍ මම ශිෂ්‍යත්වය සමත් වී නැත. සාමාන්‍ය පෙළ විභාගයේ එක් විශිෂ්ට සාමාර්ථයක්වත් තිබුණේ නැත. උසස් පෙළ විභාගයේ දී සී දෙකක් හා එස් තුනක් ලබා ගැනීමට හැකි විය. මම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන විට ශ්‍රී ලංකාවේ ලයිස්තුවේ 161 වැනි ස්ථානයේ සිටියේය. කොළඹට ඇතුළු වීමට සිටි ඇතැම් ළමුන් පේරාදෙණියට ගිය නිසා මට කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වීමට හැකි විය.

මම වෛද්‍ය පීඨයෙන් ඉවත් වූයේ සාමාන්‍ය පංති සාමාර්ථයක් සමඟය. ඉන් පසුව තිබූ මිනුම් සමඟ මෙය බැලිය හැකි නොවේ. සාමාන්‍ය පෙළ විභාගය සමත් වී රුසියාවට ගොස් වෛද්‍ය අධ්‍යාපනය ලැබූ ඇතැම් අය දැන් සයිටම් විරෝධී උද්ඝෝෂණය කරයි. මේ නිසා මෙය අධ්‍යාපනික ප්‍රශ්නයක් නොවේ. දේශපාලන ප්‍රශ්නයකි. ඒ නිසා ආණ්ඩුව මේ අවස්ථාවේ දී කල්පනාවෙන් කටයුතු කළ යුතු ය. කිසිදු හේතුවක් නිසා ආණ්ඩුව තුවක්කුවේ කොකා නොගැස්සීමට වග බලා ගත යුතුය.

ළමා රක්ෂක අධිකාරියේ හිටපු සභාපති
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *