|

අත්පත්‍රිකාවක ගැටලු කිහිපයක් – අනුර සූරියබණ්ඩාර

”සයිටම් විරෝධී ජන පවුර” (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සයිටම් විරෝධී එකමුතුව ) යන නමින් 2017.05.22 වන දින කොළඹ කොටුව දුම්රිය පොළ අවට අත්පත්‍රිකා රැසක් බෙදාහරින ලදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සයිටම් විරෝධී වෘත්තීය සමිති එකමුතුව ලෙස සදහන් වුවද එම අත්පත්‍රිකා බෙදාහරිනු ලැබූවේ විශ්වවිද්‍යාල පළමු හෝ දෙවන වසරවල යැයි අනුමාන කළහැකි තරුණ තරුණියන් පිරිසක් විසින් බව සදහන් කලයුතුය . එයින් පැහැදිලි වන්නේ වෛද්‍ය නිළධාරීනගේ සංගමය සිය ආත්මාර්ථකාමී සටනට බොරු පොදු සටනක මුහුණුවරක් දීමට උත්සහ දරන බවයි. එනම් විශ්වවිද්‍යාල සිසුන් උපයෝගී කරගනිමින් ගෙනයන සටනකට වෘත්තීය අරගල ස්වරූපයක් බොරුවට ආදේශ කිරීමට සැරසීමයි. මෙම ලිපියේ අරමුණ ඒගැන සාකච්ඡා කිරීම නොව සයිටම් හෙලාදැකීම සදහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගෙනයන බොරු මතවාද පැහැදිලි කිරීමයි .

”සයිටම් සදහා අපෙන් විසදුමක් ” යනුවෙන් නම්කර ඇති එම පත්‍රිකාවෙන් පෙනීයන්නේ සයිටම් අර්බුදය සදහා ආණ්ඩුව ලබාදී ඇති විසදුම් කෙරෙහි කිසිදු නම්‍යතාවක් නොදක්වන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සයිටම් සිසුන් බදවා ගැනීම නවතනු, සයිටම් ජනසතු කරනු ආදීවශයෙන් වන සිය ෂයිලොක් ඉල්ලීමෙහිම එල්ලී හිදිමින් රෝගී ජීවිත බිලිගැනීමේ වෑයමක නිරතවන බවය .

1. අවසන් පරීක්ෂණය සමත් සයිටම් සිසුන්ට රජයේ රෝහල් දෙකකින් සායනික පුහුණුව ලබාදීම .
2. වෛද්‍ය සභාවේ හා විශ්වවිද්‍යාල කොමිෂන් සභා වේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් යොමු කිරීම යන රජයේ විසදුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එකී පත්‍රිකාව පවසන්නේ මෙසේය. රජයේ ස්ථාවරය අනුව මෙම ආයතනය තුළින් ගුණාත්මක වෛද්‍යවරු (අවම ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරු ) බිහි නොවන බව පැහැදිලිය. මේ අනුව පෙනී යන්නේ 2017.01.31 තීන්දුව ලබාදුන් නඩුවේදී ( සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කලයුතු බව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උසාවියට කරුණු වසන්කර ඇති බවයි.

නඩුවකදී එක් පාර්වශ යක් කරුණු වසන් කරන්නේ නම් අනෙක් පාර්වශ යට උසාවිය හමුවේ කරුණු පැහැදිලි කළ හැකිය. එවිට අධිකරණය එකී කරුණු සිය තීන්දුව ලබාදීමේදී අනිවාර්යයෙන් සලකා බලනු ඇත. මෙහෙදී වෛද්‍ය නිළධාරීන් පැහැදිලිවම උත්සහ කරන්නෙ බොරු තර්කයකට මුවාවී අදිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කිරීමටය. එපමණක් නොව අදිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාව නොමග යැවීමක්ද මෙහිදී සිදුවේ. වෛද්‍ය අද්‍යාපන සදහා අවම ප්‍රමිතීන් නීතිගත කිරීමට රජය ගන්නා උත්සය පිළිබඳ වෛද්‍ය සංගමය කියන්නේ සයිටම් ආයතනයේ පවතින තත්ත්වය වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ලෙස ගැසට් කිරීමට රජය ගන්නා උත්සහයක් බවය.

මෙම තර්කය නූපන් දරුවනට හදහන් බැලීමක් නොවේද? සයිටම් ආයතනය තරමටවත් පහසුකම් නොමැති රජරට ,නැගෙනහිර රජයේ විශ්වවිද්‍යාල වලින් දැනටමත් වෛද්‍යවරු බිහිවේ. ඊට දොස්තරවරු විරුද්ධ නැත. එකී කරුණ පසෙකින් තැබුවද සයිටම් ආයතනයේ පවතින තත්ත්වය වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ලෙස ගැසට් කරන්නට රජය උත්සහ කලහොත් එය නිවැරැදි කිරීමට මැදිහත් වීම මිස එන්නට කලින් ඊට විරෝදයපාමින් වර්ජන කිරීම සාධාරණ නැත. එය සමාන වන්නේ සැකසීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස ගෙනයන විරෝධතාවට වෛද්‍ය සංගමය කටයුතු කරන්නේ රාජපක්ෂ පාලනයක් නැවත ගෙන ඒමටය යන ජනතා සැකය සාධාරණ වන්නේ එවැනි කරුණු හේතුවෙනි .

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කෙරෙන රජයේ යෝජනාවට වෛද්‍ය සංගමය විරුද්ධය. ඒ, රෝහල ගොඩනැගීමට රජය රුපියල් මිලියන 600ක ණය මුදලක් ලබාදී ඇත.එහෙයින් එය නැවත රජයට පවරා ගැනීම ව්‍යාජ ප්‍රකාශයක්‍ යනුවෙන් කියමිනි. මෙහිදී වෛද්‍යවරුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න වන්නේ, රජයෙන් ණය මුදලක් ලබාදුන් පමණින් යම් ව්‍යාපාරයක් රජයට අයත් වන්නේද යන්නයි . එසේනම් බැංකු ණය මුදලක් ලබාදුන් ආයතනයක් බැංකුවටද අයිති විය යුතුය . දෙවැනි කරුණ වන්නේ මහින්ද ආණ්ඩුව ණය මුදල් දෙමින් සයිටම් පටන් ගන්නාවිට වෛද්‍ය සංගමයට අද වැනි රුදාවක් ඇති නොවූයේ මන්ද යන්නයි. එදා මේතරම් විරෝධයක් පෑවේ නම් සයිටම් ලත් තැනම ලොප් වන්නට තිබුණි.මහින්ද පටන්ගන්නාවිට නිශ්ශබ්ද වෛද්‍යවරු මෛත්‍රී අවදිය දෙනවිට විරෝධය පාති.ඒ ආරම්භයෙන් වසර කිහිපයකට පසුවය.එතැන රහසක් තිබේ.
සයිටම් ශික්ෂණ රෝහලක් නොව බව රජය දැනටමත් පිළිගෙන ඇතිබවත් රජයට පවරාගැනීමෙන් උත්සහ කරන්නේ ලාභය නෙවිල් ප්‍රනාන්දුටත් වියදම ජනතාවටත් පවරන්නට බවත් අත්පත්‍රිකාවේ සදහන් වේ. එය හිතලුවකි. හිතලුවක් නොවන්නට නම් ලාභය නෙවිල් ප්‍රනාන්දුටත් වියදම ජනතාවට පැවරෙන ආකාරය පැහැදිලිව විෂ්ලේශණයකර පෙන්විය යුතුය . එහෙත් එවැන්නක් සිදුවී නැත. ආණ්ඩුව වියදම් කර මුදලාලිට ලාභ ලබා දෙන ව්‍යාපාර ලංකාවේ හෝ ලෝකයේ කොතැනකවත් තිබේදැයි අප දන්නේ නැත. හවුල් ව්‍යාපාරයක් නම් ප්‍ර්‍ර්‍ර්‍රාග්දන අනුපාතය අනුව ලාභ ප්‍රතිශතය බෙදිය යුතුය . වෛද්‍ය සංගමය මෙහිදී කරන්නේද කොළය වසා ගසමින් ජනතාව බිය ගැන්වීමයි.
සයිටම් ශික්ෂණ මට්ටමේ රෝහලක් නොවන බව රජය දැනටමත් පිලිගෙන ඇති බව අත්පත්‍රිකාව කියයි. එසේනම් එය රජයේ යහපත් ගුණයකි. දැන් වෛද්‍ය සංගමය කල යුත්තේ සයිටම් ශික්ෂණ මට්ටමේ රෝහලක් බවට පත්කිරීමට උපකාර කිරීමයි.

රජය ගෙනයන අසත්‍ය ප්‍රකාශ කිහිපයක් පිලිබඳ ද අත්පත්‍රිකාවේ සදහන්ය. ඉන් පළමුවැන්න රටේ වෛද්‍ය පුරප්පාඩු 6000ක් ඇත. එය පිරවීමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය යන්න බව පත්‍රිකාව කියයි. ඊට විරුද්ධව වෛද්‍ය සංගමය කියන්නෙ මාස 06කට පෙර රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාල වලින් පිටවී පත්වීම් ප්‍රමාදවූ වෛද්‍යවරුන් 1200 ක් ඇති බවයි. එසේම ඉදිරි වසර 05 තුළ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලින් පිටවන අගයන් සමස්ත වෛද්‍ය හිගය පුරවා අතිරික්තයක්ද ඇතිකළ හැකි බවයි. ඊටත් වඩා වෛද්‍යවරු අවශ්‍ය නම් රාජ්‍ය වෛද්‍ය පීඨ ඇතිකර වෛද්‍යවරු බිහිකල හැකි බවද පත්‍රිකාවේ සදහන් වේ. මෙහිදී මතුවන ගැටලු කිහිපයකි.

1. පවතින වෛද්‍ය හිගය 6000ක් නම් පත්වීම් ප්‍රමාදවූ පිරිස 1200 ක් නම් 6000ක ගේ හිගය 1200 කින් පුරවන්නේ කෙසේද
2. පත්වීම් ප්‍රමාද වූ 1200ට පත්වීම් දුන්නද අද පවතින තත්ත්වය තුළ තවත් වෛද්‍යවරු 4800ක හිගයක් ඇතිවනවා නේද ?
3. ඉදිරි වසර 05 තුළ රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන අයගෙන් වෛද්‍ය හිගය පියවා අතිරික්තයක්ද ඇතිකල හැකි බව කියන්නෙ නම්,
* රජයේ වෛද්‍ය විද්‍යාල තිබියදී වෛද්‍ය හිගයක් පවතින්නේ ඇයි ?
* ඉදිරි වසර 05 තුල වෛද්‍ය හිගය පියවිය හැකි පරිදි රටේ ජනගහන වර්ධනය එකතැන් රදා පවතින්නේද ?
* රජයේ වෛද්‍ය විද්‍යාල අලුතින් ඇරඹීමට ප්‍රතිපාදන ආදිය සපයාගන්නේ කෙසේද ?
* එසේ ආරම්භ කරන වෛද්‍ය විද්‍යාලත් රජරට හෝ නැගෙනහිර මෙන් අඩු ප්‍රමිතියෙන් යුතු වුවහොත් ඒවායින් බිහිවන වෛද්‍යවරුන් නිසා රෝගී ජීවිත  අනතුරේ නොවැටේද?

වෛද්‍ය අධ්‍යාපනයට සුදුසුකම් ඇති අයට රජයේ වෛද්‍ය පීඨ හරහා පමණක් අවස්ථා ව දිය නොහැකි බවට රජය බොරුවක් කියන බවද අත්පත්‍රිකාවේ තිබේ. ඊට විරුද්ධව කරුණු දක්වමින් පත්‍රිකාව කියන්නේ 2015වසරේ වෛද්‍ය පීඨ වලට අතුලත්වීමට අවම සුදුසුකම වූයේ උසස් පෙළ ජීව විද්‍යා B සාමාර්ථ 3 බවයි . එමෙන්ම B සාමාර්ථ 03ට වඩා (මතක තබාගන්න B සාමාර්ථ 03ට වඩා ලබාගත් සිසුන් ගණන 2888 ක් බවයි. වෛද්‍ය පීඨ වලට ඉන් 1315ක් ඇතුලත් කරගත් බවයි.

වෛද්‍ය සංගමයේ එකී තර්කය අනුවද මතුවන ගැටලු කිහිපයක් තිබේ. එනම් ,
1. වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමේ අවම සුදුසුකම උ/පෙළ B සාමාර්ථ 03 නම් B සාමාර්ථ 03ට වඩා ( එනම් A සාමාර්ථ විය හැකිය.) ලබාගත් පිරිස ගැන කතාකරන්නේ මන්ද?
2. B සාමාර්ථ 3ට වඩා නොවන B සාමාර්ථ 03 පමණක් ලබාගත් බැවින් රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුලත් විය නොහැකි වූ පිරිස කොපමණද ?
3. B සාමාර්ථ 03 ට වඩා ලබාගත් 2888ක ගෙන්ද ඇතුලත් කර ගැනුයේ 1315ක් නම් ඉතිරි 1573 පිළිබඳ කියන්නේ කුමක්ද ?

සයිටම් පවත්වාගන්නේ අධ්‍යාපනය අයිතිය රැකගැනීමටය යන්නද බොරුවක් බවත් සයිටම් හි දැනට උපාධි ගාස්තුව මිලියන 12ක් බවත් පත්‍රිකාවේ සදහන්ය . රටේ පවුලක මධ්‍යස්ත මාසික ආදායම රු30000 ක්ව තිබියදී මිලියන 12කට අධ්‍යාපන අයිතිය කාසදහාද යන්න පත්‍රිකාවේ තර්කයකි. ඒ තර්කයෙහි යම් සාධාරණ යක් ඇතිබව පිළිගත යුතුය .එහෙත් ඊට විසදුම් සයිටම් විරෝධය නොවේ. දරාගත හැකි මුදලකට උපාධිය ලබාගත හැකිවන ආකාරයට පෞද්ගලික අධ්‍යාපනය නම්‍යශීලී කරගන්නට වෛද්‍ය සංගමයට මැදිහත් විය හැකි නම් සටන ඵලදායක මෙන්ම ජනතාවාදීද වනු ඇත. සයිටම් කොටස් වෙළෙඳ පොළේ විකුණා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ට පුලුල් ක්‍රමවේදයක් සකසන බවට වන රජයේ සංකල්පයද බොරුවක් බව ඉහත අත්පත්‍රිකාවේ සදහන්ය . කොටස් වෙළද පොළ යනු ලාභය උපරිම කරගැනීම සදහා ව්‍යාපාරිකයින්ට ලබාදුන් අවස්ථාවකි. මේ මගින් නොකියා කියවෙන්නේ අධ්‍යාපනය ට ඇති අයිතිය ලාභ ලැබීමේ ජාවාරමක් වී රටේ බහුතරයකට නැති වී යන බව නොවේද?

කොටස් වෙළෙඳ පොළ යනු ලාභය පදනම් කරගත්තක් බව ඇත්තකි. එහෙත් ලාභය පරමාර්ථ කරගත් මෙරට එකම අධ්‍යාපනය ආයතනය සයිටම් නොවේ. ටියුෂන් පංති, ශිෂ්‍යත්ව පංති සියල්ලෙහි අරමුණ අධ්‍යාපනය ම නොව ලාභයයි. වෛද්‍ය උපාධි හැරෙන්නට වෙනත් උපාධි සයිටම් ආයතනයම දැනටමත් ලබාදෙමින් තිබේ. එසේ උපාධි ලබා දෙන වෙනත් පෞද්ගලික ආයතනද තිබේ. ජාත්‍යන්තර පාසල් ආදියද ක්‍රියාත්මක වන්නේ ලාභ අරමුණු ඇතිවයි. සුදුසු කාර්ය මණ්ඩල හෝ පහසුකම් නැති පෞද්ගලික රෝහල් සුදුසු ඖෂධවේදීන් නැති රජයේ වෛද්‍යවරුන්ගේම පෞද්ගලික සායන ෆාමසි මේ සියල්ලම ලාභය අරමුණු කරගත් ආයතනයි. එහෙත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විරෝධය සයිටම්ට පමණි. එත් එය ආරම්භ කර අවුරුදු 08කට පසුවය . රහස ඇත්තේ එතැනය සිතිය යුතුවන්නේ ඒ ගැනයි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *