අපේ සිහින සෞඛ්‍ය සේවය – නිශාන්ත කමලදාස

අපේ රට සෙසු සංවර්ධනය වෙමින් ඇති බොහෝ රටවල් පරදවමින් මානව සංවර්ධන දර්ශකයෙන් ඉදිරියෙන් සිටින්නේ අපේ සෞඛ්‍ය සේවයට ද පින්සිදු වන්නට ය. ඒ සේවාවේ යෙදී සිටින දක්ෂ හා මානව හිතකාමී වෛද්‍යවරුන්ට මෙන්ම හෙදියන්ට ද සෙසු සෞඛ්‍ය සේවකයන්ට ද විශේෂයෙන් ස්තුති වන්නට ය. ඩෙංගු හා හඳුනා නොගත් වකුගුඩු රෝගය වැනි රෝග කීපයක් හැරුණු විට සෙසු රෝග බොහෝදුරට පාලනය කිරීමට අපට හැකි ව තිබේ. ඒ අතින් අප වාසනාවන්ත ය.

මෑත වකවානුවේ දී ඵලදායීතා ක්‍රම හඳුන්වා දෙමින් රජයේ රෝහල් තුළ කෙරුණු ප්‍රතිසංස්කරණයන් ද බලාපොරොත්තු ඇති කර තිබේ.

එසේ වුව ද සියල්ල සුන්දර නැත.සුවඳවත් නැත. බොහෝ රෝහල්වල අවශ්‍ය අවම පහසුකම් නැත, අවශ්‍ය පමණට ඇඳන් නැත,වෛද්‍යවරුන් නැත, බේත් හේත් නැත, උපකරණ නැත, බොහෝ රෝහල්වලට දැඩි සත්කාර ඒකක නැත. ගිලන් රථ සේවය ඇත්තේ ගිලන් වෙලා ය. එයට ඔක්සිජන් සැපයීමට ඉන්දියානු රජයේ උදව් ලබා ගැනීමට ද අපට සිදු විය. සියල්ල ඇති තැන්වල ද ක්‍රමවේදවල අඩුපාඩුය.පරිපාලන යාන්ත්‍රණයේ දුර්වලකම් හෝ කළමනාකරුවන්ගේ අදක්ෂතා හේතුවෙන් දුවන්නේ බකල් ගහ ගෙන ය. සෞඛ්‍ය සේවය එහි ඇති විවිධ සේවා අතර කුළල් කා ගන්නා තැනක් බවට පත්වීම හේතුවෙන් ද බැට කයි.

ගංවතුරක දී වැඩියෙන් පීඩාවට පත් වන්නේ පහත් බිම්වල ඉන්නා මිනිසුන් ය. වැඩිමනත් දුප්පත් මිනිසුන් ය. සෞඛ්‍ය සේවයේ අඩුපාඩුවලින් ද වැඩියෙන් පීඩාවට පත් වන්නේ දුප්පත් රෝගීන් ය. මුදල් වියදම් කරගන්නට නොහැකි මිනිසුන් ය. සෞඛ්‍ය සේවය තුළ ඇඳුනුකමක් හදා ගැනීමට අපොහොසත් වූ මිනිසුන් ය.බලය නැති මිනිසුන් ය.

සායනයකට ගොඩ වැදී වෛද්‍යවරයෙකු මුණ ගැසීම සඳහා කුකුළා ද අතින් අරගෙන දුරුකතර ගෙවා එන්නට සිදු වන්නේ ඔවුන්ට ය.නොම්මරයක් ගන්නට බැරි වුණොත් නැවත හිස් අතින් ගෙදර යන්නට සිදුවන්නේ ද ඔවුන් ට ම ය. ඇඳක් නැත්නම් බිම ලගින්නට සිදු වන්නේ ද ඔවුන්ට ය. බෙහෙත් නැති වුණොත් බාහිර ෆාමසියෙන් බෙහෙත් ගැනීමට කනකර උගස් කරන්නට සිදු වන්නේ ඔවුන්ට ය. අඩුපාඩුවක දී ඇණුම් බැණුම් අසන්නට වෙන්නේ ද ඔවුන්ට ය.

විවිධ වරප්‍රසාද

එහෙම බැලුවහම අප පසුගිය සතියක කතා කළ හිර ගෙයට බොහෝ සමානකම් ආරෝග්‍ය ශාලා තුළ ද තිබේ. ඒ ලැබෙන සේවය සම්බන්ධයෙන් සාමාන්‍ය රෝගීන්ට එකකුත් වරප්‍රසාද ලාභීන්ට තවත් එකකුත් ලෙස ය. සියල්ලන්ම රටවැසියන් බව ඇත්ත ය. එහෙත් ඒ අතර විශේෂ පුද්ගලයෝ සිටිති. එක අතකට සෞඛ්‍ය සේවයට පමණක් ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කිරීමේ තේරුමක් නැත. හැම තැනකම එහෙම ය. එහෙත් නිදහස් සෞඛ්‍ය සේවය හිතන තරම්ම නිදහස් නැති බව තේරුම් ගන්නට,ඒ බව සිහිපත් කර ගැනීමට,අපට ඒ දැනුම අවශ්‍ය ය.

නොමිලේ දෙන ඕනෑම නිදහස් සේවාවක් ලබා ගැනීමට දුබල අප යා යුත්තේ ම ටිකක් කුදු වෙලා ය. නැමී ගෙන ය. ඒ කියන්නේ එවැනි තැනක සේවයක් ලබා ගැනීම සඳහා යටහත් පහත් වී සිටිය යුතු බව ය. ඉල්ලා සිටීමට මිසක එවැනි තැනක ලැබීමටල බලය නැති මිනිසුන්ට නිශ්චිත අයිතියක් නැති බව ය. එවැනි තැනක සිදු වන ඕනෑ ම දෙයක් ප්‍රශ්න කිරීම ඇතැම් විට තමාගේ හෝ තම රෝගියාගේ මරණය ඉක්මන් කර ගැනීමක් බව ය. මරණයට අත වැනීමක් බව ය. අවම වශයෙන් කරදර ගොඩක ආරම්භයක් බව ය.

ඒ නිසා කළ යුත්තේ දෙන දෙයක් බාර ගැනීම ය,කෙඳිරියකින් තොරව බාර ගැනීමය.

අභ්‍යන්තර අර්බුදය

එසේ අකමැති අයට විකල්ප දෙකක් තිබේ. පළමුවැන්න කවර හෝ බලයක පිහිට පැතීම ය. ඒ හරහා මැදිහත් වීමක් කරවීම ය. දෙවැන්න බාහිර සායනයක වැඩ කරන රජයේ වෛද්‍යවරයකුටම පඬුරු පාක්කුඩම් පිළිගන්වා ඔහුගේ හෝ ඇයගේ රෝගියකු ලෙස, විශේෂ වරප්‍රසාද ලාභියෙකු ලෙස, වෙනත් මට්ටමකින් අර කලින් කී නිදහස් රෝහලකට ම ඇතුළු වීමට ය.

ඒ දෙකම එක්තරා සැනසුමක් ලබා දෙන නමුත් සියල්ල ඉන් විසඳෙන්නේ නැත. එවන් අවස්ථාවක නිදහස් නැති, මුදල් ගෙවා සේවය ලබා ගත හැකි,ආරෝග්‍යශාලාවක පිහිට පැතීමට තවදුරටත් මුදල් තිබේ නම් හැකි ය. ඒවායේ සේවය ද වැඩිපුර ලබා දෙන්නේ රජයේ වෛද්‍යවරු නිසා ම, ඔවුන්ගේ අපමණ රාජකාරී මැද්දේ නිසා ම, දුෂ්කරතා අවසන් වන්නේ නැත,මේ සඳහා වත්කම ඇත්තේ ඉතා ටික දෙනෙකුට ය, ඒ නිසා ද විකල්පයක් හැටියට එය දුර්වලය, ඒ ගැන සංවාදය ඒ නිසා ම පසුවට තබා අපි නැවතත් නිදහස් සෞඛ්‍ය සේවයට හැරෙමු.

එහි අභ්‍යන්තර අර්බුදයන් බොහෝ ය. ඉන් ප්‍රධාන තැන ගන්නේ සේවා අතර අවසානයක් නැති කඹ ඇදිලි හා අමනාපකම් ය. එදිරිවාදුකම් ය, ඒවා බොහෝ විට, ගෞරවය හිමිවිය යුත්තේ කාට ද, එය කොතෙක් දුරට ද, යන කරුණු වටා භ්‍රමණය වේ. වැටුප් තලයන් අතර ප්‍රශ්නයක පවා පදනම ගෙන බැලුවොත් ගෞරව බහුමාන සම්බන්ධ ගැටලු ය. ඒ කුමක් වුව ද මේ ආරවුල් අවසානයේ විසඳා ගන්නට කටයුතු කරන්නේ රෝගීන්ග ්‍රහණයට ගෙන ඉදිරිපත් කරනා ඉල්ලීම් හරහා ය.

මහනුවර දිස්ත්‍රික්කයේ එක රෝහලක මෙසේ රෝගීන් ග්‍රහණයට ගත්තේ කාමරයක අයිතිය සම්බන්ධයෙන් බව අපට මතක ය. ඒ ආරවුල ඇතිවුණේ වෛද්‍යවරු හා හෙදියන් අතර ය. එවැනි පුංචි කාරණාවල සිට ලොකු කාරණා දක්වා මේ දෙපිරිස අතර ආරවුල් ඇතිව තිබේ. ඒ අතරින් වඩාත් බරපතළ කාරණය වූයේ සෞඛ්‍ය සේවාවේ වෙනත් සේවා සඳහා විශ්වවිද්‍යාලවල විසින් සංවිධානය කරන ලද පාඨමාලාවල වසර ගණන සීමා කිරීමට වෛද්‍ය සංගමයේ මැදිහත් වීම ය.තව අවස්ථාවක හෙදියන් හා සාත්තුසේවිකාවන් අතර අර්බුදය හට ගෙන තිබුණේ අනෙකාගේ නිල ඇඳුම ගැන ය.

දෙවැනි තැන ඇත්තේ රෝගීන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ලෙහි ය. නැතිනම් නොසැලකිල්ලෙහි ය. වම් පැත්තේ අබාධයක් සඳහා දකුණ ඉවත් කළ ශල්‍යකර්ම ගැන ද ප්‍රතිකාර කිරීම වුවමනාවෙන් පමා කළ අවස්ථාවන් ගැන ද රෝගියෙකු ඇති තරම් යටහත් පහත් නොවීම නිසා සිදු වූ හිරිහැරයන් ගැන ද වාර්තා වන්නේ ඒ නිසා ය.පහර දීමක් සම්බන්ධ චෝදනා ලැබ ඉතා කුඩා ළමයෙකු ගුටි කන්නේ ද ඒ අනුව ය.

තෙවැනි තැන සේවාවන් හි පවතින විනයේ ය. එය දෙවනි කී කාරණය සමග ද වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින්නේ ය. වෛද්‍යවරු තම සේවා කාලය තුළ සේවයේ නොයෙදී සිටින අවස්ථාවල පවා ඔවුන්ට එරෙහිව විනය පියවර ගත නොහැකි බව සඳහන් වන්නේ ඒ නිසා ය.බස් රියැදුරන්ට විරුද්ධව විනය පියවර ගත් විටක ධාවනයෙන් බස් ඉවත් කර ගන්නා රටක සෞඛ්‍ය සේවාවල විනය පවත්වා ගෙන යෑම පමණක් පහසු විය නොහැක්කේ ය. එහෙත් එයින් අදහස් වන්නේ අප වෙනස් විදිහට හිතන්නට තැත් කළ ද ඒ සේවා දෙකේ ම ලොකු වෙනසක් නැති බව ය. හිපොක්‍රටිස්ගේ දිවුරුම තනිකරම හයිපොක්‍රසියක් බව ය.

රෝගීන් ග්‍රහණයට ගැනීම

සිව්වෙනි තැන වෛද්‍යවරුන්ගේ පෞද්ගලික අපේක්ෂා හා බැඳුනකි. වාහන පර්මිට් වැනි අපේක්ෂා මෙන්ම දරුවන්ට ජාතික පාසල් වැනි අපේක්ෂා ද ඒ අතර වෙයි.ඇතැම් අපේක්ෂා අහිංසක ඒවා විය හැකි ය.ඇතැම් ඒවා අසාධාරණ ඒවා ය. ඒ ගැන විමසන්නට ගියොත් තවත් ලිපියක් ලියන්නට සිදු වේ.ඒත් අප කියන්නට යන්නේ මේ පෞද්ගලික අපේක්ෂා කුමන ගොඩට වැටුන ද ඒවා ඉටු කර ගැනීමට වෛද්‍ය වෘත්තීය සංගමය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග සාධාරණ නොවීම ගැන ය. ඒ රෝගීන් ග්‍රහණයට ගැනීම හෝ එසේ කරන බවට තර්ජනය කරමින් ගන්නා ක්‍රියාමාර්ග ගැන ය,

පස්වෙනි තැන වෛද්‍ය සංගම්වල දේශපාලන අපේක්ෂා හා බැඳුනකි. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ද ඉන්දියන් ඇම්බියුලන්ස් සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අස්ථානයන් තුළ ප්‍රකට වුණේ ඒ කාරණය ය. වෛද්‍යවරුන්ට දේශපාලනය අකැප යැයි ඉන් අදහස් නොවේ. එහෙත් ඉන්දියන් ඇම්බියුලන්ස්වලින් රෝහල්වලට ගෙනෙන රෝගීන් බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේයැයි වෛද්‍ය සංගමය කියන විට එතැන හැඟවෙන්නේ මේ අපේක්ෂා හිතන තරම් අහිංසක නොවන බවකි. ඒවා තුළ අප නොහිතන අපට නොවැටහෙන අභ්‍යන්තර කාරණා ඇති බවකි.

සයවෙනි තැන තමන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය සම්බන්ධ වෛද්‍ය සංගම්වල මැදිහත් වීම ය. ආසන්න උදාහරණය සයිටම් ය. එතැන දී පවා ඔවුන් පෙන්වන්නේ තමන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය මිස ඒ ප්‍රශ්නයට අදාළ වෙනත් මානයන් ගැන ඔවුන්ට වගේ වගක් නැති බව ය. මුළුමනින්ම නිදහස් වෛද්‍ය අධ්‍යාපනයක් වෙනුවෙන් පෙනී සිටින ගමන් නිදහස් නැති සෞඛ්‍ය සේවයක නිදහස් සෞඛ්‍ය සේවයේ රාජකාරියෙන් පසු යෙදී සිටීමට ඇති ඔවුන්ගේ නිදහස වෙනුවෙන් ද එක වර පෙනී සිටීම ගැන වෛද්‍ය සංගමයට අපුලක් නැත්තේ ඒ නිසා ය.

ගැලවීමට මඟ

ඒ කොයි ගැටලුවේ දී වුණත් අවසානයේ ගිරයට අහුවන්නේ අහිංසක රෝගීන් ය.නිදහස් සෞඛ්‍ය සේවය මිසක වෙනත් විකල්පයක් නැති මිල මුදල් නැති රෝගීන් ය. තමන්ට රිසි සේ ආණ්ඩුව පවා හැසිරවීමට හැකි ලීවරය සෞඛ්‍ය සේවාවේ නියැළී සිටින වෘත්තිකයින් විසින් පවත්වාගෙන යන්නේ එය නිදහස් නිසා ම ය. රෝගීන්ට තිබෙන්නේ ඒ සඳහා බිල්ලට තමන් කොයි මොහොතේ හෝ ගන්නා බව දැන තමන්ගේ ජීවිතය ඉරණමට බාර දීමට ය.

සල්ලි තිබෙනවා නම් ඉන් ගැලවෙන්නට පුළුවන් යැයි සිතන අයට ද කියන්නට තිබෙන්නේ ගැලවීමට නම් සිංගප්පූරුවේ හෝ ඇමරිකාවේ රෝහලක පිහිට පතන්නට පුළුවන් තරමට සල්ලි රැස් කර ගන්නටය කියා ය. සුඛෝපභෝගී කාමර තිබුණ ද සපයන සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් ලංකාවේ පෞද්ගලික රෝහල්වල පවා ප්‍රමිතීන් තවමත් සෑහීමකට පත් වන මට්ටමකට නැත. මුදල් ඉපැයීම සඳහාම ඒවා යොදා ගන්නා වෛද්‍යවරුන්ගෙන් ද කළමනාකරුවන්ගෙන් ද ඒවාට අඩුවක් නැත.ලංකාවේ පෞද්ගලික රෝහල් ගැන ඇමතිවරුන්ගේ පවා විශ්වාසයක් නැති බව පෙනෙන්නේ ඔවුන් කුඩා අසනීපයකට ද පිටරට දුවන නිසා ය.

සම අවස්ථා

අප සිහින දකින සෞඛ්‍ය සේවය එවැන්නක් නොවේ. ඒ තුළ සැමට සමාන අවස්ථා තිබේ. ඒ සෑම රට වැසියකුම ආවරණය වන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හරහා ය. දිළිඳු අයගේ සෞඛ්‍ය රක්ෂණය රජයේ අනුග්‍රහයෙන් ලැබෙන්නකි. පොහොසත් කමේ ප්‍රමාණයේ හැටියට රක්ෂණය සඳහා පුද්ගලයෙකු විසින් පෞද්ගලිකව ගෙවිය යුතු ප්‍රමාණය තීරණය වනු ඇත. පොහොසත්ම අය විසින් එය සම්පූර්ණයෙන් පෞද්ගලික මුදලින් ලබා ගත යුතු ය. කෙනෙකුට අවශ්‍ය නම් රක්ෂණයකට දායක නොවී ද සිටිය හැකි ය.

සෑම රෝහලකම සේවය ලැබෙන්නේ මුදලට ය.ඒ මුදල බොහෝ අවස්ථාවල බොහෝ දුරකට රක්ෂණයෙන් ආවරණය කෙරෙන පරිදි රක්ෂණ ක්‍රමයන් සකසා තිබේ.

එක් එක් රෝහල තමන්ගේම වූ ක්‍රමවේදයන්ට අනුව පාලනය වේ. ඒවාට වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයින් බඳවා ගනු ලබන්නේ ඒ ඒ රෝහලේ පරිපාලනය විසිනි. වැටුප් තල සමාන නැත. ඒවා ඒ ඒ රෝහලෙන් වෘත්තිකයන්ගෙන් අපේක්ෂා කරන සේවා මට්ටමට අනුව වෙනස් වේ. චැනල් සේවයේ යෙදී සිටීමට අවසර දිය යුතු ද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ ඒ රෝහල් විසිනි. එසේ අවසර නොදෙන රෝහල්වලට ඒ සඳහා යම් වන්දියක් වෛද්‍යවරුන්ට ගෙවීමට ඒ නිසා සිදු වේ. නැත්නම් වෛද්‍යවරුන්ට ඒවායින් ඉවත්ව යා හැකි තරමට නිදහස් බැවිනි. ‘පොල් කැඩීමට’ හෝ ‘දඩයම් කිරීමට’ රෝහලක් ගානේ දිවීමට මේ නිසා වෛද්‍යවරුනට සිදු නොවනු ඇත්තේ ය.

නියාමනය

අප සිහින දකින ‍සෞඛ්‍ය සේවයේ සෑම රෝහලක්ම අවම ප්‍රමිතීන් පවත්වාගෙන යන බවට සහතික කරනු වස් රජය විසින් හෝ වෙනත් ස්වාධීන ආයතනයක් විසින් නියාමනය කෙරේ.

එක රෝහලකින් තව රෝහලකට මාරුවීම් නැත. අස් වී යා යුතු ය. වෛද්‍යවරුනට හෝ සෞඛ්‍ය සේවකයන්ට වැඩවර්ජන තහනම් ය. සේවා කොන්දේසි හෝ වැටුප් හෝ වරප්‍රසාද ගැන සෑහීමකට පත් විය නොහැකි නම් වෙනත් රෝහලකට යා හැකි ය. අවම වැටුපක් පමණක් සැමට ලැබෙන අතර ආදායම් උත්පාදනයට දායක වන ප්‍රමාණය අනුව අතිරේක පාරිතෝෂික සකසා තිබීම නිසා හැම කෙනෙකුම රෝගීන්ට ලබා දෙන සත්කාරය උපරිම ලෙස කිරීමට වග බලා ගනිති.

රජයේ රෝහල් ද තම ආදායම උපදවා ගත යුතු ය. ඒවායේ පාලනය සිදු වන්නේ සේවකයන් විසින් පත් කළ කළමනාකරණ කමිටුවක් හරහා ය. ඒ කමිටුවට ස්වාධීන තීන්දු ගත හැකි ය. කළමනාකරණය අසාර්ථක වෙතොත් මැදිහත් වීමට රජයට හැකි ය. බලධරයෙක් පත් කළ හැකි ය. ලංකාවේ රාජ්‍ය බැංකු පෞද්ගලික බැංකු සමග තරගයක යෙදී සිටින අයුරින් ම රජයේ රෝහල් ද පෞද්ගලික රෝහල් සමග තරගයක යෙදෙනු ඇත්තේ ය.

වෛද්‍යවරුන්ට නිසි ගෞරවය ලැබෙන අතර සෙසු වෘත්තිකයන්ට ද ගෞරවය හිමි වෙන වටපිටාවක් නිර්මාණය කෙරෙනු ඇත. අප සිහින දකින රෝහල තුළ රෝගියා පමණක් රජ වෙනු ඇත.

ඒ නිසා ම සෞඛ්‍ය සංගම්වල ග්‍රහණයෙන් සැබෑ ලෙස නිදහස් වූ නිදහස් සෞඛ්‍ය සේවයක් ලංකාවේ ඇති වනු ඇත.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *