මහින්ද දිණුවොත්, මෛත්‍රිව ඝාතනය වන්නට ද පුළුවන්

Kumarවිය නොහැකි දෙයක් නමුත්, උපකල්පනයකට අනුව මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළහොත්, ලංකාව ඉතාම අමාරු තැනකට ගමන් කිරීම වැළැක්විය නොහැක. එය ෆැසිස්ට්වාදය හැටියටම හැඳින්විය නොහැකි වූවත්, එය ෆැසිස්ට් මාදිළියේ පාලනයක් වනු ඇත. සියලූම දූෂිතයින් නිදහස් කරන බව බලාපොරොත්තු විය යුතු ය. දැනට විභාග වන සහ විභාග වීමට නියමිත් නඩු සියල්ල අහෝසි කරනු ඇත. ගෝඨාභය රාජපක්ෂ නැවත ඉහළ තනතුරකට පැමිණේ. බැසිල් නැවතත් රටේ ආර්ථිකය මෙහෙයවන්නා වනු ඇත. ඒ සමග ම ජනවාරි 08වෙනිදා ජයග්‍රහණය ආපස්සට ගමන් කිරීම වැලැක්විය නොහැකි වේ. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නියමිත ය. එසේ නැති නම් ඔහුව ඝාතනය කිරීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැක. ඒ ආකාරයට හෝ වෙනත් ආකාරයකට කරන පළිගැනීම් වැළැක්විය නොහැක. මා දකින්නේ මහින්ද රාජපක්ෂ දිණුවොත්, අවදානමකින් සිටිනවාට වඩා මේ ෆැසිස්ට් මාදිළියේ අනතුරින් බේරෙන්නට එජාපය ඇතුළුව විශාල පෙරමුණක් ඇතිකරගන්නට සිදුවේ. මා නැවත පවසන්නේ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සිදු නොවිය හැකි දෙයක් වන හෙයින් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයෙන් අනතුරුව පුරවැසියන් ලෙස ක්‍රියාකල යුතු ආකාරය සාකච්ඡා කිරීම වැදගත් ය.
එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය මගින් මේ රට මුහුණ දී ඇති විශාල අනතුර පහකෙරෙනු ඇත. එයින් පසුව සෑහෙන වගකීමක් මේ රටේ සමාජය මත පැටවේ. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සියලූ දේ කරදෙනු ඇතැයි සිතීම ඉතා මෝඩකමකි. ඒ නිසා පුර වැසියන් ලෙස අපි අවධානයකින් සිටිය යුතු ය. රනිල් වික්‍රමසිංහ හොරෙක් යැයි මා සිතන්නේ නැත. නමුත් රනිල්ට ඔය හොරු මේච්චල් කරන්නට නොහැක. මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නය විශාල වරදකි. මට තිබෙන තොරතුරු අනුව නම් මහ බැංකුවේ එම කාර්ය පටිපාටිය වැරදි ය. මහේන්ද්‍රන් ප්‍රථමයෙන් තමා කිසිදෙයක් නොකළ බව ප්‍රතික්ෂේප කළ නමුත් දැන් අදාළ ස්ථානයට ගිය බව සත්‍ය බව පිළිගත්තේ ය. ඒ සමග ම තමා ඒවාට මැදිහත් වූයේ නැත යනුවෙන් ප්‍රකාශ කිරීම ම ප්‍රශ්නයකි. එයින් මා දකින්නේ රනිල් ඉතා දුර්වලයෙකු බව ය. රනිල් දූෂිතයෙකු නොවන්නේ වී නමුත් දූෂිතයින්ට ඉඩ දෙන්නෙක් බව හෙළිදරව් වි ඇත. දෙවැන්න එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙල, එක ආකාරයක ධනවාදි සංවර්ධනයකි. අද ඡන්දය දෙනවිට සමාජවාදය බලාපොරොත්තු විය නොහැක. නමුත් රනිල්ගේ එම ධනවාදි සංවර්ධන ප්‍රතිපත්තිය සාර්ථක වෙන්නට නම් රාජ්‍යයේ මග පෙන්වීමක් තිබිය යුතු ය. මා දකින ආකාරයට රනිල් ඒ අදහස ග්‍රහණය කරගෙන ඇති බවක් පෙනෙන්නට නැත. එයා තවම සිටින්නේ නිදහස් වෙළඳ පොළ වගේ අදහසක ය. ඔහු පමණක් නොව ඔහු වටා සිටින හර්ෂ, එරාන් වැනි අය රාජ්‍ය ප්‍රයෝජනයට ගෙන ධනවාදි සංවර්ධනයකට යන අය ලෙස විශ්වාසයක් තබා කටයුතු කිරීමට අමාරු ය.
මා සිතන්නේ ජාතික ප්‍රශ්නය ගැන සාමාන්‍යයෙන් ප්‍රගතිශීලි තැනකට ගමන් කිරීමට ඉඩ තිබේ. රනිල් සිංහල ජාතිවාදීන්ට බිය නමුත් ඔහු කිසි ලෙසකින්වත්, ජාතිවාදියෙකු නොවේ. ධනවාදි ආණ්ඩුවකට කරන්නට හැකි උපරිමය කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළොත් මා බලාපොරොත්තු වන දේවල් මේවා ය. වැදගත් විරුද්ධ පක්ෂයක් වීමට ඉඩ තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට ය. මහින්ද රාජපක්ෂ, වාසුදේව, ඇතුළු පිරිස පාර්ලිමේන්තු තුළ අසභ්‍ය වචන පාවිච්චිකර කෑ කෝ ගැසිය හැකි නමුත් විනයගරුක ලෙස විපක්ෂයේ වගකීම ගන්නට ඔවුන්ට නොහැක. පසුගිය කාලය තුළම ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ කාර්යභාරය ප්‍රසස්ථම නොවූ නමුත් කිසියම් ප්‍රමාණයකට ඉටු කළ බව පිළිගත යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *