විසාලාවක් වුවමනා නම් ඥානසාරට ඉඩ දෙන්න – භාතිය බරුකන්ද

ලංකාවේ සුළු ජාතිකයින් සහ සුළු ආගමිකයින් සම්බන්ධයෙන් සිංහල බෞද්ධ අන්තවාදීන්ගෙන් එල්ල වන කායික හා මානසික ප‍්‍රහාරයන්ගේ ත‍්‍රීව‍්‍රරතාවය හා ස්වභාවය ක‍්‍රමයෙන් වේගවත් වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ අගමැතිවරයා ද ඇතුළත් වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයින්, විශේෂයෙන් ආණ්ඩුව කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි අයෙකු වශයෙන් සැලකිය හැකි හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ද දැඩි අවධානය මෙම සිංහල බෞද්ධ අන්නතාවදීන්ගේ ක‍්‍රියා කෙරෙහි යොමුව තිබෙන බවක් දැකිය හැකියි.
එහෙත් ප‍්‍රශ්නය වන්නේ ආණ්ඩුවේ ප‍්‍රබලයින්ගේ මේ අවධානය මේ දක්වා හුදු කතාවට පමණක් සීමා වී තිබීමයි. නැතිනම් සිංහල බෞද්ධ අන්තවාදය වපුරමින් සිටින වරෙන්තුකරුවකු වන ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව මේ දක්වා නිදැල්ලේ පසුවන්නේ නැහැ. සිංහල ජාතිවාදි පුවත්පත්වලට සැඟව සිට සම්මුඛ සාකච්ඡුා ලබා දෙමින් ආණ්ඩුවටත් නීතියටත් සම්ච්චල් කරන්නේ නැහැ.
මේ තත්ත්වය තුළ ආරම්භක ප‍්‍රවේශයේදීම අපට ඉතා පැහැදිලි වන්නේ සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව ආණ්ඩුව තුළ පවතින්නේ අක‍්‍රිය පමණක් බවයි. අගමැතිවරයාගේ හෝ හිටපු   ජනපතිනියගේ හුදු කතාවලින් ඔබ්බට කිසිවක් සිදු නොවන බවයි. මේ නිසයි ජාතිවාදය, ආගම්වාදය අවිස්සීම ඇතුළු චෝදනා 20 කට අධික සංඛ්‍යාවක් තිබෙන සිංහල බෞද්ධ අන්නවාදීන් කිසිදු බියක්, සැකයක් නැතිව සමාජය ගිනි තියමින් සිටින්නේ. ඒ වගේම ආණ්ඩුවේ කතාවෙන් ඔබ්බට නොයන මේ නිහැඬියාව, අක‍්‍රියභාවය නිසා ඥානසාර භික්ෂුව ඇතුළු අන්තවාදීන්ට හිතූමතේ ක‍්‍රියාත්මක වීමට හැකි පහසු භූමියක් නිර්මාණය වෙනවා. ඔවුන් වටා වීරත්වයක් හා දේශපාලන බලාධිකාරියක් වර්ධනය වෙනවා. මේ තත්ත්වය ලංකාවේ ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක‍්‍රියාවලිය තුළ පමණක් නොවෙයි වත්මන් ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ක‍්‍රියාවලීන් කෙරෙහි ද ඍණාත්මක බලපෑමක් කළ හැකියි. එහෙත් විස්මයට කරුණ වන්නේ මේ ගැන ආණ්ඩුවට නිසි තක්සේරුවක් නැති බවක් පෙනී යාමයි. ඒ නිසා මධ්‍යස්ථ ජනතාවට පෙනී යන්නේ ආණ්ඩුව මේ බෞද්ධ අන්තවාදීන්ට බියෙන් හෝ ඔවුන්ගේ බලය ගැන අනිසි සැකයකින් පසුවන බවයි. කොටින්ම ආණ්ඩුව මේ සිංහල බෞද්ධ අන්තවාදය හමුවේ දේශපාලනමය හා මතවාදීමය වශයෙන් නිරුත්තර වී සිටින බවයි.
එහෙත් මේ සම්බන්ධයෙන් සවිඥානික සමාජය නම් ආණ්ඩුවේ මේ නිහැඬියාව, අක‍්‍රියභාවය හා කල්යල් බැලීම හමුවේ දැඩි තිගැස්මකට ලක්ව සිටිනවා. මන්ද ආණ්ඩුවේ මේ නිහඬ හා නිශ්ක‍්‍රිය ප‍්‍රවේශය හමුවේ නියපොත්තෙන් කැඞීමට හැකියාව තිබෙන ගැටලූවක් මල්ටි බැරල් ගසාවත් කඩා දැමිය නොහැකි තත්ත්වයක් කරා ගමන් කිරීමේ සක‍්‍රිය හැකියාවක් හා මතවාදී පදනමක් නිර්මාණය වෙමින් පවතින නිසයි.
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට මතවාදීව පෙනී සිටි පුද්ගලයින් වශයෙන් අපි අවධානම නිවැරදිව තේරුම්ගත යුතුයි. ඒ සඳහා මෙහි හරහාත්මක ප‍්‍රවේශයට වඩා ඉතා පහසුවෙන් වටහාගත හැකි දේශපාලනමය අගය විමසා බැලිය හැකියි.
ආණ්ඩු බලය සහ මුස්ලිම් සාධකය
ලංකාවට නිදහස ලැබෙන විට බි‍්‍රතාන්‍යන්ගෙන් අපට උරුම වන්නේ ඔවුන් විසින් දීර්ඝ කාලයක් පුරා සක‍්‍රීය හා ඵලදායී ආකාරයෙන් අභ්‍යාස කරමින් සිටි ‘ද්විපක්ෂ ක‍්‍රමය’ නමින් හැදින්වෙන පාලන ක‍්‍රමයයි. එය පදනම් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මතයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිබෙන වැදගත්ම ගුණාංගයක් තමයි සෑම මිනිසෙකුටම එක හා සමාන අගයක් තිබීම. ඒ කියන්නේ ආණ්ඩුව තෝරාපත් කර ගන්නා මැතිවරණයකදී  ඕනෑම පුරවැසියෙකුට හිමිවන්නේ එක් ඡුන්දයක් පමණයි. ලොකු පොඩි, උගත් නූගත් මේ සියලූ දෙනාගේම ඡුන්දයකට ලැබෙන්නේ සමාන වටිනාකමක්.
මේ තත්ත්වය බි‍්‍රතාන්‍ය යටත් විජිතවලට ඉතාමත් වැදගත් වන්නේ මේ රටවල් විශාල සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් පුරා විවිධ ජාතීන්, ආගමිකයින්, ප‍්‍රජාවන් සිටි රටවල් නිසයි. මේ නිසා බි‍්‍රතාන්‍යයන් යටත් විජිත හැරයන විට ඒ වන විට ඔවුන් අනුගමනය කළ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සියලූම මිනිසුන්ට වටිනාකමක් හා ගරුත්වයක් හිමිවිය යුතු බව පිළිගැනුනා. ඒ නිසයි ඉන්දියාවට, ලංකාවට නිදහස හිමිවන විට සුළු ජාතීන්ගේ දේශපාලන වටිනාකම නිවැරදිව තක්සේරු කර ගන්න නොහැකි වුණේ. එහෙම හැකියාවක් තිබුණා නම් ලංකාව, ඉන්දියාව මේ වාගේ සුළුතරය සමග සදාකාලික ගැටුමක පැටලෙන්නේ නැහැ.
දේශපාලන බලතුලනය
ඉහත සඳහන් කළ ආකාරයට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සෑම පුද්ගලයෙකුටම වටිනාකමක් හිමිවෙනවා. ඒක ඡුන්දය මගින් බලය බවට රූපාන්තරය වෙනවා. මේ තතත්්වය තුළ විවිධකාරයෙන් භේද භින්න වී සිටින, විවිධාකාර වුවමනා එපාකම් තිබෙන  පුරවැසියන්ගේ ඡුන්දය හිමිකර ගැනීම දේශපාලන බලය අත්පත් කර ගැනීමේදී අතිෂය තීරණාත්මක කරුණක් වෙනවා. දේශපාලන බලතුලනය හැසිරවීමේ යතුර අතට ගන්න පුළුවන් වෙන්නේ මේ හැකියාව ඇති අයට පමණයි. එය ධනපති- නිර්ධන බෙදීම හෝ සුළුජන ඡුන්ද පදනම විය හැකියි. වැදගත් වන්නේ මේ ඡුන්ද පදනම රැුක ගැනීමයි. ආකර්ෂණය කර ගැනීමයි.
1947 දී ප‍්‍රථම මහ මැතිවරණයෙන් පසුව එළඹි තීරණාත්මක මැතිවරණය වූ 1956 මහ මැතිවරණයේ සිට 1971 දක්වා ලංකාවේ දේශපාලන බලතුලනය කෙරෙහි මුල් කාලීනව පැවැති වාමාංශික බලපෑම (ආණ්ඩු හදන්නේ කවුද? යන්න / රජුන් තනන්නා* 80 දශකය වන විට ක‍්‍රමයෙන් හීන වෙමින් යනවා. ඒ සඳහා හේතු කිහිපයක් බලපෑවා. ශ‍්‍රීලනිප සභාව ආණ්ඩු තුළ වාමාංශික දේශපාලනය අතකොළු බවට පත්වීම, කොල්වින්, ඇන්.ඇම්. පෙරේරා ආදී ප‍්‍රබුද්ධ වාමාංශිකයින්ගේ අභාවයන් වගේම 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ල සම්පූර්ණයෙන් අසාර්ථක වීම මේ අතර ප‍්‍රධානයි.
කොහොම වුණත් 1977 දී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ 6/5 ක බලයක් ලබා ගැනීම, මුළු රටම එක ඡුන්ද කොට්ඨාශයක් වශයෙන් සලකා රාජ්‍යයේ නායකයා වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීම යන කරුණු මතත් වාමාංශික දේශපාලනයේ ආධිපත්‍යමය බලපෑම තවත් දුර්වල කළා කියලා විශ්වාස කළ හැකියි.
ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය නිමා කළ 1994 වසරේ පැවැති මහ මැතිවරණයේ තීරණාත්මක සාධකයක් බවට පත් වුණේ වාමාංශික සහාය හෝ ඡුන්ද වෙනුවට සුළුජන ඡුන්ද’ බව අපට ඉතා පැහැදිලිව දැකිය හැකියි. මෙම මැතිවරණයෙන් වාමාංශික පක්ෂවල ද පූර්ණ සහාය මත ශ‍්‍රීලනිපය විසින් බිහි කළ ‘පොදුජන එක්සත් පෙරමුණ’ විසින් දිනාගත්තේ ආසන 105 ක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ආසන 94 ක් වැනි ඉහළ සංඛ්‍යාවක් දිනාගත්තා. මෙහිදී ආණ්ඩුව පිහිටුවීම කෙරෙහි තීරණාත්මක ආසන සංඛ්‍යාව තිබුණේ ඒ.එච්.එම්. අශ්රෝප් මහතා විසින් නායකත්වය දුන් ශ‍්‍රී ලංකා මුස්ලීම් කොන්ග‍්‍රසය අතේ. ඒ ආසන 07 ක්. මේ ආසන 07 සමග තමයි පොදු පෙරමුණ ආසන 112 ක සුළුතර ආණ්ඩුවක් පිහිටෙව්වේ.
අදත් දේශපාලන විචාරකයින් කියන ආකාරයට ජනපති විරේතුංග මහතා අශ්රොප් මහතාව රැුගෙන ඒමට යැවුව හෙලිකොප්ටර් යානයෙන්ම පැමිණි අශ්රොප් මහතා සිරිකොතට ආවා නම් ලංකාවේ දේශපාලන සිතියම වෙනස් වෙනවා.  ඒත් ඒ තීරණාත්මක අවස්ථාවේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට සහාය දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය නිමා කරමින් ශ‍්‍රී ලංකාකාරයින්ට තමන්ගේ ආණ්ඩුවක් හදන්න අවස්ථාව ලැබුණේ මේ නිසයි. කොටින්ම එදා අශ්රොප් මහතා නොහිටින්න ශ‍්‍රීලනිප ආණ්ඩුවක් නැහැ.
ඒත් ශ‍්‍රීලනිපය 1975 දී වාමාංශික පක්ෂවලට කළා වාගේ වැඩක් මුස්ලිම් කොන්ග‍්‍රසයට නොකළත් ක‍්‍රමිකව වර්ධනය වෙමින් පැවැති මුස්ලිම් විරෝධී ව්‍යාපාර මර්ධනය හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. විශේෂයෙන් ගංගොඩවිල සෝම හිමියන්ගේ කාලයේ මහත් ජවයෙන් වර්ධනය වෙමින් ආ ඊනියා මුස්ලිම් විරෝධය හමුවේ පොදු පෙරමුණු ආණ්ඩුව පසු වුණේ නෑසූ කන්ව.
මේ අතර අශ්රෝප් මහතා ගුවන් යානා අනතුරකින් මිය යනවා. සෝම හිමියන්ගේ මුස්ලිම් විරෝධය විසින් පන්නරය ලැබූ සිංහල බෞද්ධ අන්තවාදීන් මාවනැල්ලේ මුස්ලිම් කඩවලට පහර දුන්නේ මේ අතර. ඒ වන විට අශ්රොප් මහතාගේ නායකත්වය රාවුෆ් හකීම් මහතා අතට පත්ව තිබුණා.
තමන්ගේද පූර්ණ සහාය ලබන ආණ්ඩුව මාවනැල්ල සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකරන තත්ත්වය හමුවේ ශ‍්‍රීලමුකෝ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය ගන්නවා. 1999 ජනාධිපතිවරණයෙන් හා 2000 මහ මැතිවරණයෙන් බහුතර බලයක් සහිතව බලය පත් වුණ පොදු පෙරමුණු ආණ්ඩුව දේශපාලන අර්බුදයකට ගියේ මේ අනුව. ජනතා විමුක්ති පෙරමුණ සමග ‘පරිවාස ආණ්ඩුවක් ’ පිහිටුවා ගත්තත් ඔවුන්ට දිගටම බලය අල්ලා ගෙන සිටීමට නොහැකි වුණා. ඒ අනුව තමයි ආණ්ඩුව යළි මහ මැතිවරණයට යන්නේ.
1994 දී රජුන් තනන්නාගේ භූමිකාව තමන් අතට ගත්ත ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් දේශපාලනය ඒ බව 2001 දෙසැම්බර් මහ මැතිවරණයේදී යළි සනාථ කළා. ආසන 109 ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය බහුතර බලය ලබා ගැනීමට ශ‍්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසය තමන්ගේ ආසන 05 හේ සහාය ලබා දෙනවා.
ඇත්තටම 1994 පොදු පෙරමුණු ආණ්ඩුවේ වගේම 2001 එජාප ආණ්ඩුවෙත් රජුන් තන්නාගේ භුමිකාව ඉටු කළේ ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් දේශපාලනය විසින්  බව අපට මේ අනුව පැහැදිලි වෙනවා.
වත්මන් තත්ත්වය
වත්මන් යහපාලන ආණ්ඩුත් සම්පූර්ණයෙන්ම මෙරට සුළු ජාතීන්ගේ ඡුන්දවලින් බලයට පත් වුණ එකක් බව පැහැදිලියි. ඒ බව 2015 ජනවාරී 08 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාත් අවධාරණය කළා.
මේ කතාව ඇත්ත. අපි දැක්ක ආකාරයට 2015 ජනාධිපතිවරණයේදී දකුණේ බහුතරයක් දිස්ත‍්‍රික්ක වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් ජයග‍්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මහතා. ඒ දිස්ත‍්‍රික්කවල වුණත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණයේ කොට යම් පමණකට අඩු වුණේ විශේෂයෙන් මුස්ලිම් ජන ඡුන්ද නිසයි. ඒ සඳහා හොඳම උදාහරණය කලූතර දිස්ත‍්‍රික්කය, කෑගල්ල දිස්ත‍්‍රික්කය. අනෙක් පැත්තෙන් උතුරු නැගෙනහිර සුළුජනතාව ජීවත් වන දිස්ත‍්‍රික්ක වල මෛත‍්‍රීපාල සිරිසේන මහතා අති විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබුවා.
දේශපාලන විශ්ලේෂකයින්ට අනුව සුුළුජන ඡුන්දවලින් අතිබහුරය වැටුණේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඡුන්ද මල්ලට.
2015 අගෝස්තු මහ මැතිවරණය මෙහිදී තීරණාත්මකයි. ‘ගල උඩ සටනක් ’ බවට පත්ව තිබුණු මෙම මැතිවරණයේදී එජාපය ලැබූ දිස්ත‍්‍රික් ජයග‍්‍රහණ සියල්ල මුස්ලිම් හා දමිළ ඡුන්ද මත පදනම් වුණා. එහෙම නැතිනම් කතෝලික ඡුන්ද මත පදනම් වුණා. ගම්පහ වාගේ ශ‍්‍රීලනිපයට අති ශක්තිමත් පදනමක් ඇති දිස්ත‍්‍රික්කයක් එජාපය ජයග‍්‍රහණය කළේ දිස්ත‍්‍රික්කය පුරා විසිරී තිබූ මුස්ලිම් ඡුන්ද සහ විශේෂයෙන් මීගමුව, වත්තල, ජාඇළ වැනි ආසනවල කතෝලික ඡුන්ද නිසයි. පුත්තලම, මාතලේ, පොළොන්නරුව, මහනුවර, කෑගල්ල, කොළඹ, වාගේ එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය විෂයෙහි තීරණාත්මක බලපෑමක් කළ දිස්ත‍්‍රික්ක ජයග‍්‍රහණය කළේ මේ මුස්ලිම් ඡුන්ද නිසයි.
එදා මේ දිස්ත‍්‍රික්ක ජයග‍්‍රහණය නොකළා නම් එජාපයට බෝනස් ආසන අහිමි වෙනවා පමණක් නොවෙයි සුළුතර ආණ්ඩුවක් පවා පිහිටුවීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා වත්මන් ජනපතිවරයා සේම අගමතිවරයත් මේ රටේ සුළුජන ඡුන්දවල ණයගැතියි. ඒ නිසා ඔවුන් මේ ජනතාවගේ සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම්වලට කන්දිය යුතුයි. සංවේදී විය යුතුයි.
‘කටින් බතල කොළ හිටවීම’ පමණක් මේ ප‍්‍රශ්නයට විසඳුමක් වෙන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දශක දෙකකට ආසන්න කාලයක් පුරා ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ආ මේ වන විට එහි උච්චතම අවස්ථාව කරා ළඟා වෙමින් සිටින ‘සිංහල බෞද්ධ අන්තවායෙන් තමන් ගළවා ගැනීමයි. තමන්ට ගරුත්වයක් හා අභිමානයක් ඇතිව සුරක්ෂිතව ජීවත් වීමට ඇති අවස්ථාව තහවුරු කර ගැනීමයි.
මේ අති සංවේදී කාරණා හමුවේත් වත්මන් පාලකයින් කටින් බතලකොළ සිටුවමින් ඉන්නේ නම් මුස්ලිම් ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙන් ඉවත්වීම පහසුවෙන් මෙන්ම තර්කානුකූලව ද සිදුවිය හැකියි.
සුළුජන දුක් ගැනවිලි
‘අපිට නැති දෙමළුන්ට තියෙන ප‍්‍රශ්න මොනවාද ?’ මේ උතුරේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි හමුවේ නිදහස ලැබීමට පෙර යුගයේ සිටම දකුණේ සිංහලයින්  ඇසූ සුලභ ප‍්‍රශ්නයි. කතාව ඇත්ත, අපිට නැති ප‍්‍රශ්න දෙමළුන්ට තිබිය නොහැකියි. දුප්පත්කම, සූරාකෑම, සංවර්ධන ප‍්‍රවේශයන් අහිවීම වාගේ ගැටලූ  හැමෝටම පොදු තත්ත්වයක් යටතේ දකුණේ සිංහලයාට උතුරේ, නැගෙනහිර දෙමළාට තිබුණු සංකීර්ණ ප‍්‍රශ්නය අවබෝධ කර ගැනීමට නොහැකි වුණා. ජයග‍්‍රහණය කළා යැයි කියන යුද්ධය අවසානයෙත් අපි ‘ජාතිය ගොඩනැගීම’ සංහිඳියාව ගොඩනැගීම’ ‘ජාතිය ගැටලූව විසඳීම, ‘බලය බෙදා හදා ගැනීම’ ‘පෙරඩල් විසඳුම’ ‘ඒකීය රාජ්‍ය’ වාගේ නිමක් නැති ඊනියා වචන මතම එල්ලී එකතැන කාල් ගාන්නේ මේ නිසයි.
මානව ගරුත්වය ඉල්ලා සිටීම
යල්පැන ගිය සාම්ප‍්‍රදායික දේශපාලන කියවීම්වලින් වේගයෙන් ඉවත් වෙමින් සිටින මේ කාලයේ මිනිසාට වැදගත්ම දේ ‘ගරුත්වය’ වශයෙනුයි සැලකෙන්නේ. ඒක ‘මානව ගරුත්වය’ වශයෙන් කියවන විට වඩාත් අර්ථපූර්ණ වාගේම සංවේදී වෙනවා. දැනෙන්නට පටන් ගන්නවා.
මේක ඉතාම පහසුවෙන් පැහැදිලි කළ හැකියි. ඔබ කාර්යාලයට යන බස් රථයේ කොන්දොස්තර ‘ ඕයි මහත්තයා පස්සට යනවා’ කියලා කිවුවොත් ඔබට ඒක තදින්ම දැනෙනවා. ඒ ඔබ බස් රථයේදී පවා යම් පිළිගැනීමක්, ගරුත්වයක් බලාපොරොත්තු වෙන නිසයි. මේක සිඟන්නාගේ සිට රජු දක්වා, ළදරුවාගේ සිට මහල්ලා දක්වා, නූගතාගේ සිට මහා ප‍්‍රාඥයා දක්වා අදාළයි. වැදගත්ම දේ ‘ගරුත්වය’ ම පමණයි.මානව හිමිකම්, අයිතිවාසිකම්, නීතිය, මේ සියල්ල අද පදනම් වශයෙන් සලකන්නේ ‘මානව ගරුත්වය සහතික කිරීම සහ තහවුරු කිරීමයි’
අද ලංකාවේ සුළු ජාතීන් පමණක් නොවෙයි  දේශපාලනික විග‍්‍රහයන්හිදී සුුළු ජාතීන් ( තීරණ ගැනීමට හවුල් නොවන* කාන්තාවන්, ශිෂ්‍යයින්, කම්කරුවන්, සමකාමීන් ආදීන් සියලූ දෙනාම ඉල්ලන්නේ මේ ‘මානව ගරුත්වයයි’
ගහන්නේ ම බඩට හා සිතට
මේක සුළුජාතීන් කෙරෙහි අති සංවේදී වෙන්නේ මේ ගැටලූව හමුවේ ඔවුන් ආර්ථික, සමාජයී හා සංස්කෘතික වශයෙන් අර්බුදයට ගමන් කරන නිසයි. නොතකා හැරෙන නිසයි. අනාරක්ෂිත වන නිසයි.
උදාහරණයක් වශයෙන් ලංකාවේ වත්මන් මුස්ලිම් විරෝධය මුස්ලිම් ජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාවය, සංස්කෘතික සුරක්ෂිතතාවය කෙරෙහි ඍජුව වගේම ඍණාත්මකවත් බලපානවා. සිංහල බෞද්ධ අන්තවාදය මුස්ලිම් ජනතාව කෙරෙහි වන ඔවුන්ගේ වෛරය හා පිළිකුළ ප‍්‍රකාශ කරන්නේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහරදීම ( අලූත්ගම, පානදුර නෝලිමිට් වැනි * මුස්ලීම් ව්‍යාපාර වර්ජනය කිරීමට සිංහල ජනතාව පෙළඹවීම හා ඔවුන්ට බල කිරීම, මුස්ලිම් ජාතිකයින්ට ඉඩම් හා නිවාස විකිනීමට එරෙහි වීම, වැනි ප‍්‍රවේශයන් හරහායිි. මේ තත්ත්වය සැලකිය හැක්කේ මුස්ලිම් ජනතාවගේ බඩට ගැසීමක් විදිහටයි.
ඊළඟට සිදුවන්නේ මුස්ලිම් සංස්කෘතික වටිනාකම් හා හරපද්ධතීන්ට ගැරහීමයි. මේ තත්ත්වය ජනතාවක් විදිහටම මුස්ලිම් ජනතාවට අති සංවේදීයි. ( මෙය මුස්ලිම් ලෝකයටම පොදු තත්ත්වක් * කුරාණය, අල්ලා දෙවියන්, හලාල් වැනි සංස්කෘතික වටිනාකම් අද සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ එදිනෙදා කටගැස්මවල් බවට පත්වෙලා තිබෙනවා. ඒක ඇතැම් ජාතික ජනමාධ්‍යවල ( පුවත්පත්*  මෙන්ම සමාජමාධ්‍ය ( මුහුණපොත* තුළ උපරිම වශයෙන් සිදුවෙනවා. මේ තත්ත්වය අපි සැලකිය යුත්තේ මුස්ලිම් සමාජයේ ඔළුවට එහෙම නැතිනම් හදවතට ගැසීමක් විදිහටයි.
කොන් කිරීම හා කල්ලතෝනි මානසිකත්වය
‘මේක සිංහල බෞද්ධයින්ගේ රට’ යනුවෙන් ස්වයං නාමකරණයක් දෙන විට ඉතා පහසුවෙන් අනෙක් සියලූම ආගම් අදහන ජාතීන්ට ජාතියක්, රටක් වශයෙන් හිමි වැදගත්කම, ගරුත්වය අහිමි වෙනවා. ඒක වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත කම්කරුවන්ගේ තත්ත්වයට පත් කිරීමක්, නැතිනම් සුලභ යෙදුමක් වන ‘කල්ලතෝනීන්’ බවට පත් කිරීමක් බවට පත් වෙනවා. මේක රටක් වශයෙන් පොදුවේත්, ජාතියක් වශයෙන් පුද්ගලිකවත් හානිකර තත්ත්වයක්.  මේ නිසයි අද ලංකාවේ මුස්ලිම් ජනතාව ඇතුළු සුළුජනතාව තමන්ගේ මානව ගරුත්වය සම්බන්ධ ඉල්ලීම්වලට කන්දෙන්න කියලා පාලකයින්ට බල කරන්නේ. මොකද ලංකා ඉතිහාසය සර්වසම්පූර්ණ ‘සිංහල බෞද්ධ නිර්මාණයක්’ නොවන බව අපිට ඓතිහාසිකව තහවුරු    කළ හැකියි. විශේෂයෙන් බෞද්ධකම සිංහලයින්ගේ පරවේණි උරුමයක් නොවෙයි.
අනෙක් අතට මේ රටේ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක‍්‍රියාකාරීත්වය තුළ සුළුජන නියෝජනය ප‍්‍රබලයි. අර්ථික තත්ත්වය ගත්තත් ලංකාවේ දිර්ඝ කාලයක් පුරා මුස්ලිම් ජනතාව ඉතාමක් වැදගත් බලවේගයක්. මැණික්, සුළු අපනයන බෝග අපනයනයේ ප‍්‍රධාන පාර්ශ්ව වන්නේ මුස්ලිම් ජාතිකයින්. ඒ වගේම වර්තමානයේ අපනයන කර්මාන්තය තුළ වැඩි කොටස් හිමිකමක් තිබෙන්නේ ඔවුන්ට. රබර්, තේ වැනි අපනයන බෝග ගත්තත්, වී වගාවේ පංගුව ගත්තත් නැගෙනහිර පළාතේ හා උතුරු මැද මුස්ලිම් සාධකය තීරණාත්මකයි. ආනයන අතින් ගත්විට, වාහන, ටයිල් ඇතුළු ගොඩනැගිලි උපකරණ, ලී ආනයනයේ ප‍්‍රමුඛයින් මුස්ලිම් ජනතාව. ඉතිං ඔවුන් ආර්ථික වශයෙන් රටට දක්වන සක‍්‍රීය දායකත්වය හා වටිනාකම මේ ආකාරයෙන් ‘කල්ලතෝනි න්‍යාය’ භාවිතයෙන් මුලිනුපුටා දැමීම සිදු නොවිය යුතු දෙයක්.
ඒත් ජාතියේ අවාසනාවට වෙන්නේ මේක. මෙය සමාන කළ හැක්කේ ‘හිට්ලර්ගේ යුදෙව් විරෝධය’ සමගයි.
හිට්ලර් කළ දේම ඥානසාරලත් කරනවා
බලලෝභයෙන් වියරු වැටී සිටි ජර්මන් ආඥාදායකයා තමන්ගේ සියලූ නොහැකියාවන් හා ආශාවන් පිට කළේ ජර්මන් ආර්ථිකයේ තීරණාත්මක භූමිකාවක් අත්පත් කරගෙන සිටි යුදෙව්වන් හරහා. හිට්ලර්ගේ නට්සි යාන්ත‍්‍රණය ඉතා පහසුවෙන් ජර්මනියේ සකලවිධ රෝගයන්ට නිධානය මේ යුදෙව්වන් බවට රූපාන්තරය කළා. බහුතරයක් ජර්මානුවන් තුළ දැවැන්ත යුදෙව් විරෝධයක් වර්ධනය කළා. අවසානයේ ලක්ෂ 80 ක් යුදෙව්වන් සමූල ඝාතනය කිරීම දක්වා මේ යුදෙව් විරෝධයේ බලය ගමන් කළා.
අද ලංකාවෙත් සිදුවෙන්නේ මේ තත්ත්වය බව අපට පැහැදිලියි. සිංහල බෞද්ධ බහුතරය වළට දැක්කීමට කැසකවන මේ කල්ලියට නිල හා නොනිල නායකත්වය දෙන කිසිවෙක් සුළු ජාතීන් සමග ආර්ථික, දේශපාලන බලය බෙදා හදා ගෙන ඔවුන්ට මානව ගරුත්වය දීමට සූදානම් නැහැ. ඒ දේශපාලන අන්තවාදය හා අවස්ථාවාදයට සුළුජාතීන් සමග නොපෑහෙන නිසයි.
මේකට හේතුව පැහැදිලියි. ලෝකයේ  ඕනෑම රටක සුළු ජනතාව වඩාත්ම විශ්වාසය තබන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් කෙරෙහියි. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඔවුන්ගේ ආරක්ෂාව ( ආර්ථික හා දේශපාලන* සහතික වන නිසයි. අධිකාරවාදය, ඒකාධිපතිවාදය සුළුජාතීන්ගේ ගරුත්වය හා ආරක්ෂාව සපුරා අහුරා දමනවා. ( මියන්මාරය – රෙන්ගියා මුස්ලිම් ජනතාව, චීනය-ටිබෙට් බෞද්ධයින්, ඇෆිගනිස්ථානය- සුන්නි මුස්ලිම්වරු ආදි වශයෙන් * මේ නිසා ලංකාව තුළ වුණත් අධිකාරවාදය පෝෂණය වෙනවා දකින්න සුළු ජනතාව කැමැති නැහැ. ඔවුන් ඒ බව පසුගිය සෑම මැතිවරණයකදීම අවධාරණයෙන් ප‍්‍රකාශ කළා.
යම් ජන කොටසක් ආර්ථිකයේ සාරය උරා බෙනවා කියලා තවත් ජනකොටසකට ඒත්තු ගැන්විය හැකි වුණොත් ඔවුන්ව  ඕනෑම මිලේච්ඡු තත්ත්වයකට පත් කළ හැකියි. නෑසූකන් ඇති ජාතියක් බවට පත් කළ හැකියි. හිට්ලර් මේක හොඳම අත්හදා බැලූවා. අද ලංකාවේත් සිදුවෙමින් පවතින්නේ අධිකාරවාදී ආණ්ඩුවක් ගැන සිහින දකින කල්ලිවලට මේ හරහා ජවය ලබාදීමයි. පාර කපා දීමයි.
ඥානසාර භික්ෂුව විසින් නායකත්වය දෙන ඇතැම් ජාතික යැයි කියා ගන්නා පුවත්පත් විසින් මතවාදී ආවරණය සපයන ඊනියා සිංහල බෞද්ධ අන්තවාදයේ ගමන්මග අප වටහා ගත යුත්තේ මේ අනුවයි.
අතීතය යළි කියවමු
‘කොරහේ කිඹුලන් දකින්න’ අපි කවුරුත් කැමැතියි. ඒත් ‘? වැටුණු වළේ දවල් වැටෙනවාට නම් ’ අපි කවුරුත් කැමැති නැහැ. ඒ නිසා මුස්ලිම් අන්තවාදයක්, තලේබාන්කරණයක් හෝ අයි.එස්. භීතියක් ගැන බිල්ලෙක් මවාපාන්නේ නැතිව අතළඟ ඇති නිසැත අනතුර ගැන නම් අපි අති සංවේදී විය යුතුයි.
එහෙම නොවුනොත් වෙන්නේ දමිළ ජනතාවගේ ගැටලූ හමුවේ නෑසූකන්ව සිටි පාලකයින් 30 අවුරුදු දැවැන්ත සිවිල් යුද්ධයකට පාර කැපුවා සේ මුස්ලිම් ජාතිකයින් ද ඇතුළුත් සුළු ආගමිකයින්ගේ ගැටලූ හමුවේ නෑසූ කන්ව සිටින පාලකයින්, කටින් බතල කොළ හිටුවන පාලකයින් උතුරේ දමිළ තරුණයින්ගේ සාම්ප‍්‍රදායික සන්නද්ධ ( ගරිල්ලා * ව්‍යාපාරයට වඩා අති සංකීර්ණ මුස්ලිම් සංකීර්ණතාවක පහසු ගොදුරු බවට පත්වීමයි.
මෙය හිතලූවක් නොවෙයි. 1947 සිට දකුණේ සිංහල ආණ්ඩු වලට සහාය දෙමින් පාර්ලිමේන්තුව හරහා තමන්ගේ ගැටලූ විසඳා ගැනීමට තැත් කළ උතුරේ ප‍්‍රබුද්ධ දේශපාලනයේ වලංගුභාවය 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, බණ්ඩාරනායක- වේල්වනායගම් ගිවිසුම, ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුම, 1971 ජනරජ ව්‍යවස්ථාව, අධ්‍යාපන ප‍්‍රමිතිකරණය ( දිස්ත‍්‍රික් කෝටාව* හරහා උතුරේ තරුණයින් හමුවේ පරීක්ෂාවට ලක් වුණා.
එහි අවසන් පරීක්ෂණය වශයෙන් 1971 ජනරජ ව්‍යවස්ථාව සහ උතුරේ තරුණයින් දැඩිව කම්පනය පත් කළ ‘අධ්‍යාපන ප‍්‍රමිතිකරණය’ සැලකිය හැකියි. මේ සියලූ පරීක්ෂණයන්ගෙන් උතුරේ ප‍්‍රබුද්ධ පාර්ලිමේන්තු දේශපාලනඥයින්ට ලැබුණේ ලකුණු බින්ඳුවක් පමණකි. 1975 දී සාම්ප‍්‍රදායික, ප‍්‍රබුද්ධ දමිළ දේශපාලනය අභිබවා යමින් දමිළ සන්නද්ධ ව්‍යාපාරය කලඑළි බසින්නේ මේ අසමාර්ථභාවය තුළිනි. ‘වඩුක්කෝෙඩෙයි ප‍්‍රඥප්තිය හරහා, ඇල්ප‍්‍රඞ් දොරේඅප්පා ඝාතය හරහා හිස එළියට දැමූ  දමිළ තරුණයින්ගේ සන්නද්ධ ව්‍යාපාරය සුජාතකරණය ලැබුවේ 1983 අපකීර්තිමත් කලූ ජූලිය සමගිනුයි.
ජාතියේ අවසානාවටදෝ එදා දෙමළ ලෙය ඉල්ලා මුළු රටම ගිනිබත් කරමින් ලංකාවේ කීර්ති නාමයට තාර ගෑ කල්ලියට නායකත්වය දුන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ප‍්‍රමුඛ කල්ලිය වළිඟයට ගිනි තැබූ හනුමා සේ අද ඊනියා මුස්ලිම් විරෝධයක් වපුරමින් නිදැල්ලේ හැසිරෙමින් සිටිනවා. එදා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් වගකීමක් හා වගවීමක් ඇතිව හැසිරුණා නම්, කල්පනා කළා නම් කළු ජූලිය භීෂණයක් නොවන්නට ඉඩ තිබුණා.
එහෙත් මොනයම් හේතුවක් නිසාදෝ අදත් ඥානසාර භික්ෂුව ප‍්‍රමුඛ ජාතිවාදි නඩය නිදැල්ලේ හැසිරෙනවා. හිතූමතේ කි‍්‍රයා කිරීමේ, මතවාද වැපිරීමේ හැකියාව ඇතිව බලවත්ව සිටිනවා. ඇගමැතිවරයා කොතරම් පම්පෝරි ගැසුවද, පොලිස්පති කොතරම් නියෝග දුන්නද ඔහු නිදැල්ලේ හැසිරෙනවා. ජාතික මාධ්‍ය, සමාජමාධ්‍ය පමණක් නොව රටවටා පෝස්ටර් ද ගසමින් මේ මෘග බෞද්ධ ජාතිවාදයට ආවරණය හා සුජාතභාවය ඉල්ලනවා.
මේ තත්ත්වය තුළ අප අවධාරණය කරන්නේ 1983 කලූ ජූලිය හා දෙමළ තරුණයින්ගේ සන්නද්ධ නැගිටීමට බලපෑ දෘෂ්ටිමය හා ප‍්‍රායෝගික කාරණා නොතකා හරිමින් 30 අවුරුදු සංහාරයකට පාර කපා ගත්තා සේ යළිත් රට ලෙයින්, කඳුලෙන් නැහැවෙන තවත් අන්තවාදයකට පාර කපා ගැනීමට කිසිදු කල්ලියකට හෝ බලවේගයකට ඉඩ නොදෙන ලෙයසි.
ප‍්‍රශ්නය කිරීම
ලංකාවේ නිදහස් අරගලයේ ආරම්භයේ සිටම සිංහල බෞද්ධ නායකයින් සමග හරි හරියට මුස්ලිම් නායකයින් ද ක‍්‍රියා කළ බව අප අමතක නොකළ යුතුයි. ඔවුන් මේ රටේ ආර්ථිය ගොඩනැගීමට, සංස්කෘතිය පෝෂණය කිරීමට සිංහල බෞද්ධ බහුතරයට සහාය දුන් බව අප අමතක නොකළ යුතුයි. විශේෂයෙන් 30 අවුරුදු යුද්ධයේදී මුස්ලිම් ජනතාව හා නායකයින් ආණ්ඩුවට ලබා දුන් සහාය අප කිසිසේත් ලඝු නොකළ යුතුයි. එනිසා ‘ඔබලා සිංහල බෞද්ධ දේශපාලනඥයින් සමග හවුල් ආණ්ඩු කරමින් මුස්ලිම් අපට ලබා දුන්නේ මේ අවමානය පමණක් දැයි’ තම වියපත් පාර්ලිමේන්තු දේශපාලනඥයින්ගේ ප‍්‍රශ්න කිරීමට පසුබිමක් අප විසින් මුස්ලිම් තරුණයින්ට නොදිය යුතුයි.
පැළවීමට පහසු ගොදුරු බිම් සොයමින් මුළු ලෝකය වටා රවුම් ගසන මුස්ලිම් අන්තවාදයට පහසු බිමක් මේ රට තුළ සොයා දීමට මේ අන්තවාදීන් ගන්නා උත්සාහය අප පරාජය කළ යුත්තේ මේ නිසයි. ඥානසාර භික්ෂුවත් ඔහුගේ ඊනියා අනුගාමික කල්ලියත් යන ගමන වහා නතර කිරීමේ සැබෑ අවශ්‍යතාවක් මේ මොහොතේ රට හමුවේ පවතින්නේ 30 වසරක් පුරා දමිළ තරුණයින් සමග කළ නිර්ථක යුද්ධයේ භෞතික හා ආධ්‍යාත්මික තුවාලය තවමත් සුවකර ගැනීමට අපට නොහැකි වී ඇති නිසයි. කොටින්ම තවත් ලේ දකින්න මේ රටේ අති බහුතරයක් වන ජනතාව අකමැති නිසයි. සූදානම් නැති නිසයි.
ඒ නිසා මේ ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා සිටින්නේ  අපට යළිත් ලේ දකින්න වුවමනා නම් අපගේ ඥානයේ සාරය ඥානසාරටම දෙමු. එය ගල්ගොඩක හෝ කොළ අත්තක් මත හෙළමු. එවිට තවත් නොබෝ දිනකින් තවත් විසාලාවක් දැකගත හැකිවනු ඇත. සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා මානව වටිනාකම්වලින් තොර දේශපාලන අන්තවාදයක් වෙත මුළු රටම තල්ලූ වනු ඇත.
මහත්වරුණි, තවත් රුවන්ඩාවක් වීමට අපට අවශ්‍ය නැත. ඒ නිසා වහාම මේ ජාතිවාදී කල්ලිය බැඳ දමන්න. එසේ නොකළොත් ප‍්‍රථමයෙන්ම ඔබලාගේ දේශපාලන ගමනේ අවසානය ද දෙවැනුව සමත් ජාතියේම මළගම ද සිදුවනු ඇත.
සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *