බිල්ලන්ගෙන් තොර පැවැත්මක් නැති ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය

ලංකාවේ වාමංශික දේශපාලනයේ නැඟී සිටීම සැලකිය හැක්කේ යළිත් තරුණ සංහාරයක් සඳහා කැඳවීමක් ලෙසය. මන්ද බිල්ලන් මවමින් කරන මේ දේශපාලනය තරුණ රුධිරයම ඉල්ලා මොර දෙන හෙයිනි. ඒ නිසා අවස්ථා දෙකකදීම ඇති පදම් ගිනිපෙළිවලින් නොව ගිනි අවියෙන්ම බැට කා ඇති මෙරට ජනතාව නම් ප්‍රාර්ථනා කරන්නේ යළි මෙරට වාමාංශික නැගිටීමක් නොව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයකි. ඒ නිසා රට නැවත වළට යාමක් නොව රට වැටී සිටින වළෙන් ගොඩගැනීමට රජය ගන්නා මේ උත්සාහයට අප සහාය දැක්විය යුතුය.

බිල්ලන් නැතිව වාමාංශික දේශපාලනයට පැවැත්මක් නැහැ. ඒ වගේම ඇත්ත බොරුව නොකර, බොරුව ඇත්ත නොකර දේශපාලන අන්තවාදයට පැවැත්මක් නැහැ” ලංකාවේ වාමාංශික දේශපාලනය සහ දේශපාලන අන්තවාදය ගැන මධ්‍යස්ථ විශ්ලේෂණයක යෙදෙන ඕනෑම අයෙක් අවසානයේ ඉහත ප්‍රකාශය රුවන් වැකියක් සේ උපුටා දක්වනවා ඇත. මන්ද ලංකාවේ අන්ත වාමාංශික දේශපාලනය හා දේශපාලන අන්තවාදය තරම් බිල්ලන් සහ කබරගොයි-තලගොයි න්‍යාය’ මත යැපෙන වෙනත් දේශපාලන හා සමාජ බලවේගයක් නොමැති නිසාය.

මේ බව යළිත් මනාව තහවුරු වන කතාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා වන කුමාර් ගුණරත්නම් පසුගිය 29 වැනිදා ‘දිනමිණ’ පුවත්පත හා සමඟ එක් වූ සාකච්ඡාවක දී කියා තිබුණේය. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ප්‍රවණතා ගැන ගුණරත්නම් මහතාගේ අදහස විමසන අවස්ථාවේ දී ඔහු දෙන්නේ මේ ආකාරයේ පිළිතුරකි.රටේ දේශපාලනික තත්ත්වය ලොකු අර්බුදයක තියෙන්නේ. මේ අර්බුදය ප්‍රකාශයට පත්වෙන පැති ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල පාර්ශ්ව‍යත් අගමැති රනිල් පාර්ශ්වයත් අතර පැහැදිලි බෙදීමක් තියෙනවා. මේ බෙදීමත් සමඟ ඇතිවන ගැටුම විවිධ තලයන්ගෙන් පේන්න තියෙනවා. මේ හවුල් ආණ්ඩුව බලයට පත්වෙලා දැන් වසර දෙකකට වැඩියි. මේක යහපාලනය වුණාට රටේ මූලික ප්‍රශ්නවලට උත්තර දීගන්න බැරිවෙලා. රැකියා දසලක්ෂය වොක්ස්වැගන් කර්මාන්තශාලා ව්‍යාපෘතිය අසාර්ථකයි. අධ්‍යාපනය විකිණීම ඇරෙන්න වෙන තත්ත්වයක් නැහැ.

මෙහි දී ගුණරත්නම් මහතා සමාජය හමුවේ අවධාරණය කිරීමට උත්සාහ ගන්නේ,

1. රටේ ලොකු දේශපාලන අර්බුදයක් තිබෙන බව.

2. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයන් අතර පැහැදිලි බෙදීමක් ඇති බව.

3. රටේ මූලික ප්‍රශ්නවලට මේ දක්වා පිළිතුරු දී නැති බව.

කුමාර් ගුණරත්නම් මහතා මේ පුන පුනා අවධාරණය කරන්නේ පසුගිය 2015 ජනවාරි 09 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට ගුණරත්නම් මහතා ද ඇතුළත් වන ජනතාව හමුවේ අන්ත පරාජයක් ලැබූ පාර්ශ්වයන් දිගින් දිගටම කියමින් සිටින ‘ආණ්ඩුව අස්ථාවරයි’ කියන ඔවුන් විසින් උදේ සවස ප්‍රාර්ථනා කරන සිහින කතාවයි. කොටින්ම විපක්ෂ දේශපාලන හා සමාජ බලවේග විසින් ගොබෙල්ස්වාදී ප්‍රචාරක යාන්ත්‍රණය මගින් අඛණ්ඩව, දැවැන්තව හා නිර්මාණශීලීව සමාජගත කරමින් සිටින මිත්‍යාවයි. එහෙත් අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ විපක්ෂ බලවේග අපේක්ෂා කරන දේශපාලන අස්ථාවරත්වය වෙනුවට පසුගිය ආණ්ඩුව විසින් නිර්මාණය කළ දේශපාලන අස්ථාවරත්වය නම් ක්‍රමයෙන් දේශපාලන ස්ථාවරභාවයක්, දේශපාලන සංහිඳියාවක් කරා ගමන් කරමින් සිටින බවයි. ඒ සඳහා දැක්විය හැකි පැහැදිලි උදාහරණය වන්නේ පසුගිය කාලය පුරා රටේ දේශපාලන අස්ථාවරභාවය වර්ධනය කළ ප්‍රධාන කරුණ වූ ‘රටේ ඒකීයභාවය හා බුද්ධාගමට ප්‍රමුඛතාව ලබාදීම’ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ දමිළ දේශපාලන පක්ෂ ඉතාමත් පැහැදිලි ධනාත්මක ස්ථාවරයකට පැමිණ සිටීමයි. ඒ අනුව උතුරේ ප්‍රධාන දමිළ දේශපාලන පක්ෂය වන දමිළ ජාතික සන්ධානය පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුව හමුවේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය හා බුද්ධාගමට ප්‍රමුඛභාවය ලබාදීම සම්බන්ධයෙන් තම සන්ධානයේ එකඟත්වය හිමිවන බවයි.

මේ අතර රටේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වීම කෙරෙහි බලපෑ ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර අර්බුද ආණ්ඩුව විසින් පසුගිය කාලය තුළ ඉතාමත් සාර්ථක ආකාරයෙන් කළමනාකරණය කරගෙන ඇති අතර ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය ආදි තවත් අංශ කිහිපයක් සාර්ථක අවසානයක් කරා ගෙන ගොස් ඇත. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ අර්බුදයට ලක් වෙමින් පැවැති ලංකාවේ ජාත්‍යන්තර දේශපාලන අර්බුද (කුප්‍රකට විදුලි පුටුව වැනි) නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත්ව සිටී. එමෙන්ම ඉන්දියාව සහ චීනය අතර බැඳියාවන් පිළිබඳ ගැටලූව ද ආණ්ඩුව නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් සිටින බව අපට දැකිය හැකිය.

ගිනි තියන්නේ කවුද ?

ආණ්ඩුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කරගනිමින් සිටින අවස්ථාවේ දී ඒ සියල්ල කඩාකප්පල් කරමින් රටේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කරමින් යළි බලය ඩැහැ ගැනීමට කැස කවන්නේ පෙරටුගාමීන් ද ඇතුළත් දේශපාලන බලවේග විසිනි. මේ සම්මුඛ සාකච්ඡාවේ දී කුමාර් ගුණරත්නම් මහතා අවධාරණය කරන මේ කරුණ ඒ සඳහා පැහැදිලි උදාහරණයක් වශයෙන් ගත හැකිය.

“ශිෂ්‍යයෝ, වෛද්‍යවරු, වෘත්තීය සමිති සියලුදෙනා ඒකාබද්ධව සටන්කරන තත්ත්වයට පත්වෙලා. සෞඛ්‍යය ප්‍රශ්නය එන්න එන්නම වැඩිවෙනවා. තෙල් ටැංකි බදුදීම, විශ්‍රාම වැටුප් ප්‍රශ්නය ඊපීඑෆ් එකට අත තැබීම වගේ ප්‍රශ්න කරළියට එනකොට ආණ්ඩුව මර්දනය මුදා හරිනවා”

ඔහු මේ කරන වෘත්තීය හා සරසවි සිසුන් මහපාරට කැඳවීම පිටුපස සිටින්නේ යළි දේශපාලන බලය ලබාගැනීමේ පිපාසයෙන් පෙළෙන හිටපු පාලකයන් සහ කුමාර් ගුණරත්නම් ඇතුළු දේශපාලන බලවේග පමණකි. අනෙක් අතින් සේවක අර්ථසාධක අරමුදලින් බදු ගැනීම, තෙල් ටැංකි බදුදීම වැනි කතා හුදු බිල්ලන් පමණක් බව අදාළ ආයතන සහ ආණ්ඩුව විසින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇත. එහෙත් විරුද්ධ පක්ෂවලට මේ කිසිම කතාවක් හෝ තහවුරු කිරීමක් අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට ‘බිල්ලන් මැවීම හා ඇත්ත බොරුව කර බොරුව ඇත්ත කිරීමම පමණකි. ඒ වෙන කිසිවක් නිසා නොව තම දේශපාලන පැවැත්ම වෙනුවෙනි. ඒ නිසා ගුණරත්නම් මහතා මේ අවධාරණය කරන දේශපාලන අර්බුදය මෙරට සාමාන්‍ය ජනතාව මත බලහත්කාරයෙන් රෝපණය කිරීමට ගන්නා අවස්ථාවාදී ප්‍රයත්නයක් මිස සැබෑ දේශපාලන භූමිය මත සිදුවන්නක් නොවේ.

මෛත්‍රී- රනිල් අවුල ගැන කතා

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතරත් ශ්‍රීලනිප හා එජාප මන්ත්‍රී කණ්ඩායම් අතරත් පැහැදිලි බෙදීමක් ඇති බව ගුණරත්නම් මහතා කියයි. කතාව ඇත්තය. යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා අතර බිඳීමක් ගැන යහපාලන ආණ්ඩුවට එරෙහි සියලූ පාර්ශ්ව අතර පසුගිය කාලය පුරාම පවතින්නේ පුදුමාකාර වුවමනාවකි. එහෙත් පසුගිය කැබිනට් සංශෝධනය ඇතුළු ක්‍රියාකාරකම් සියුම්ව නිරීක්ෂණය කරන විට අපට පෙනී යන්නේ ජනපතිවරයා සහ අගමැතිවරයා ඉතා උනන්දුවෙන් හා ප්‍රවේශමෙන් තමන් බලයට පත් කළ ජනතා අපේක්ෂා සමඟ ගමන් කිරීමට තීක්ෂණ වෑයමක් ගන්නා බවයි. ඒ බව පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල සංශෝධනය වෙතින් ද මනාව පැහැදිලි විය. ‘කොරහේ කිඹුලන් දකින’ ඊනියා ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය වේදිකාවල මාස ගණනක් ප්‍රචාරය වෙමින් පැවැති ‘දේශපාලන හිතලූ’ සහ ‘අපේක්ෂාවන්’ පුස්සක් බවට පත් කරමින් කැබිනට් සංශෝධනය නිසි පරිදි සිදුවිය. ඒ ආකාරයෙන්ම තම තම විෂය පථය තුළ ප්‍රධාන බලධාරාවන් වඩාත් විචක්ෂණව ක්‍රියාත්මක වන බවක් අපට නිරීක්ෂණය කළ හැකිය. එවිට අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ ‘ජනපතිවරයා සහ අගමැතිවරයා අතර දේශපාලන සංහිඳියාවක් හා අවබෝධයක් මිස’ එකිනෙකා පරයා නැඟී සිටීමේ හෝ පිටුපසින් සිට පිහියෙන් ඇනීමේ අභිලාෂයක් නොවන බවයි.

මූලික ප්‍රශ්න නොවිසඳු බව

පසුගිය ආණ්ඩුව සමයේ පැවැති විජ්ජාකාරී ආර්ථික වර්ධනය හා අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ සමස්ත ආර්ථිකයම අනතුරුදායක ස්ථානයකට පැමිණ තිබූ බව පොදුවේ පිළිගන්නා කරුණකි. විශේෂයෙන් ඌණ උපයෝගී මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අනවශ්‍ය ආකාරයෙන් ඉහළ ගිය ණය බර පමණක් නොව ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය, යුරෝපා සංගම් මත්ස්‍ය තහනම ආදි ඍණාත්මක ආර්ථික කරුණු හමුවේ අර්බුදයට පත් දේශීය ආර්ථිකය පසුගිය කාලය තුළ ක්‍රමිකව යළි සක්‍රීය වෙමින් පවතින බවක් දැකිය හැකිය. ඒ සඳහා ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය යළි හිමිවීම දැවැන්ත ශක්තියක් වන බව ද පැහැදිලිය.

මේ තත්ත්වය තුළ එජාපයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ රැකියා දස ලක්ෂයේ ඉලක්කය කරා හඹා යා හැකි වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතින බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ. මේ නිසා ආණ්ඩුවේ අදහස වන්නේ නිර්මාණාත්මක හා ඵලදායී ප්‍රවේශ ඔස්සේ විරැකියාව පමණක් නොව විදේශ ණය බර, ඌණ උපයෝගී දැවැන්ත ඉදිකිරීම් ආදිය කඩිනමින් ආර්ථික ක්‍රියාවලිය වෙත සක්‍රීය ආකාරයෙන් එක්කොට ගැනීමට හැකියාව උදාවෙමින් පවතින බවයි.

එහෙත් මේ ධනාත්මක ප්‍රවේශ කඩාකප්පල් කිරීමට පියවර ගන්නේද, ජනතාව තුළ සාපරාධි මත ඇති කරමින් ජනතාව කුපිත කරමින් සිටින්නේ ද පසුගිය වසර දෙක තුළ ජනතාවගේ දැවෙන ප්‍රශ්න නොවිසඳු බවට බොරු දොඩවන පෙරටුගාමීන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයයි. විශේෂයෙන් චීන සහ ඉන්දියානු ආයෝජන ගැන මිත්‍යා සහ අපහාසාත්මක ප්‍රකාශ කරමින් මේ බලවේග කැසකවන්නේ ආණ්ඩුවේ සියලූ ආකාරයේ සංවර්ධන ප්‍රවේශ කඩාකප්පල් කරමින් ජනතාව තුළ ආණ්ඩු විරෝධය හා අසහනය නිර්මාණය කිරීමටය. එවන් කඩාකප්පල්කාරී භාවිතයන් තුළ අඛණ්ඩව සිටිමින් ‘ආණ්ඩුව ජනතාවගේ දැවෙන ප්‍රශ්න නොවිසඳු බවට’ වහසිබස් දෙඩවීම කොතරම් නින්දා සහගත ක්‍රියාවක් දැයි මේ පාර්ශ්ව කල්පනා කළ යුතුය.

ඒ නිසා අප ඉතා අවධාරණයෙන් කියන්නේ බිල්ලන් මවමින් ද ආණ්ඩුවේ සියලූ ධනාත්මක සංවර්ධන ප්‍රවේශයන්ට සපුරා එරෙහි ආකල්පයක් අනුගමනය කරමින් ද කුමාර් ගුණරත්නම් ඇතුළු කල්ලි හැසිරෙන අන්තවාදී හා අවස්ථාවාදී ප්‍රවේශය ජනතා ද්‍රෝහී භාවිතයක්ම පමණක් බවයි.

යළි ගල් යුගයට යාමට සිහින දැකීම

සමාජවාදය මේ පොළෝ තලය මත කිසිදා යථාර්ථයක් නොවන බව මේ වන විට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සනාථ කර ඇත. මේ තත්ත්වය තුළ අදත් මනෝරාජික සමාජවාදීන් සිහින දකින්නේ ලංකාවේ සකලවිධ ගැටලූ විසඳිය හැක්කේ රටේ සමාජවාදය ගොඩනැඟීමෙන් පමණක් බව නම් එය ඔවුන්ගේ දේශපාලන භාවිතයේ නොව දේශපාලන අවස්ථාවාදය සම්බන්ධ ප්‍රශ්නයකි. ඊනියා සමාජවාදය මත බිහි වී අතිශය පීඩක ආණ්ඩු බවට පත් සෝවියට් දේශය ප්‍රමුඛ නැඟෙනහිර යුරෝපය පමණක් නොව, චීනය, කියුබාව, වියට්නාමය, උතුරු කොරියාව ආදි සමාජවාදී යැයි ස්වයං නාමකරණය වූ ඒකාධිපති රාජ්‍ය පමණක් නොව පසුගිය කාලයේ ලංකාවේ ද ඇතුළු බොහෝ රටවල සමාජවාදීන්ගේ වැනුමට පාත්‍ර වූ වෙනිසියුලාව ආදි රාජ්‍ය ද අසාර්ථකත්වය කරා පහසුවෙන් ගමන් කරද් දී ලංකාවේ වාමාංශිකයන් තවදුරටත් සමාජවාදය ගැන සිහින දැකීම විස්මයට නොව කනගාටුවට කරුණකි.

වත්මන් ලෝකය තුළ කම්කරුවන්, ගොවීන් ඇතුළු පීඩිත යැයි කියා ගන්නා පන්තිය වඩාත් සුවපහසු හා සාර්ථක ජීවිත ගත කරන්නේ ඊනියා සමාජවාදී රාජ්‍ය තුළ නොව ප්‍රශස්ත ආකාරයෙන් ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ධනවාදී රාජ්‍ය තුළය. ලංකාවේ තත්ත්වය ගත් විට ද කම්කරුවන් වඩාත් වරප්‍රසාදිත තත්ත්වයක සිටින්නේ බහුජාතික සහ වඩාත් සමෘද්ධිමත් සමාගම්වලය.

එහෙත් කුමාර් ගුණරත්නම් ඇතුළු වාමාංශිකයන් තවදුරටත් විශ්වාසය තබමින් සිටින්නේ මේ ඊනියා සමාජවාදය කෙරෙහි බව ඔහු ‘දිනමිණ’ සම්මුඛ සාකච්ඡාවේ දී අවධාරණය කරයි.

‘‘මේ සමාජ ආර්ථික ක්‍රමය මේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙම්ම තියෙද් දී, ජනතා විරෝධී දේශපාලන ක්‍රමය මෙහෙම්ම තියෙද් දී ව්‍යවස්ථාවේ වගන්ති වෙනස් කරලා ජනතාවට සහනයක් වෙන්නේ නැහැ. ෆෙඩරල්ද, ඒකීයද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. මේ සමාජ ආර්ථික ක්‍රමයෙයි ප්‍රශ්නෙ තියෙන්නේ”. සමාජවාදය ගොඩනැඟීමෙන් තොරව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

අපිත් කාලයක් හිටපු ජවිපෙ සහ සමහර වාමාංශික කණ්ඩායම් සමාජවාදය ගැන කතා කරන්න අපහසු යුගයක් කියලා තියෙනවා. නමුත් අපි පැහැදිලිව කොන්දේසි විරහිතව කියනවා. රටේ ප්‍රශ්නවලට සමාජවාදය හැරෙන්න වෙන උත්තරයක් නැහැ. පසුගිය කාලේ බටහිර රටවල තියපු මැතිවරණවලින් පවා සමාජවාදී අදහස් ඉදිරියට ආවා’’

මේ ලංකාවේ ඊනියා වාමාංශිකයන් සමාජ අර්බුද හා අභියෝග හමුවේ ලිස්සා යාම සඳහා ‘කෝකටත් තෛලය’ වශයෙන් භාවිත කරන කතාවයි. එහෙත් ඔවුන් කියන ‘ආර්ථික ක්‍රමය’ තුළ ඊනියා සමාජවාදයට වඩා ජනතාව සුරක්ෂිත වන බවත්, ඔවුන්ගේ නිසඟ නිර්මාණශීලී හා ව්‍යවසායකත්ව හැකියාවන්ට අසහාය ඉඩක් ලැබෙන බවත් අමතක කරයි. උදාහරණයක් වශයෙන් වත්මන් ධනවාදී ආර්ථික ක්‍රමය තුළ සමාජ ධූරාවලියේ ඉහළම මානයට ගමන් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට නිර්බාධ හැකියාවක් ඇත. එය ගෝලීය තත්ත්වය තුළ ද වඩාත් ප්‍රායෝගිකය. ඒ නිසා ‘මේ රටේ සියලූම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සමාජවාදය උදාවන තෙක් සිටින්න ’ යැයි ප්‍රාර්ථනීය කතාවක් කළ හැක්කේ ඔරුව ගඟෙන් එගොඩටට ගෙන යාමට එක හබල් පහරක් ගැසීමට පවා උනන්දුවක් හෝ කැමැත්තක් නැති ඊනියා වාමාංශිකයන්ට මිස යථාර්ථවාදී සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන ප්‍රායෝගිකවාදීන්ට නොවේ.

මෙහි දී අප තවත් වැදගත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුය. ඒ මනෝරාජික සමාජවාදයක් වෙනුවෙන් සිහින දකින මේ වාමාංශිකයන් කාලයෙන් කාලයට සිහින රාජ්‍ය හා බටහිර දේශපාලන හා ආර්ථික අර්බුද නාමකරණය කර ගැනීමයි. මෑත කාලීන උදාහරණයක් වශයෙන් වෙනිසියුලාවේ, බොලිවියාවේ ප්‍රමුඛ ලතින් අමෙරිකාවේ පසුගිය දශකයේ ඇති වූ ක්ෂණික වාමාංශික රැල්ල මෙරට වාමාංශිකයන්ගේ අමන්දානන්දයට හේතු වූ අතර ඔවුන් කඩිනම් ලතින් අමෙරිකානු සමාජවාදයක් ගැන අපූරු සිහින ද දුටුවේය.

එහෙත් හියුගෝ චාවේස්ගේ මරණයෙන් පසුව අනාථ වූ වෙනිසියුලානු සමාජවාදයත් ආ වේගයෙන්ම පළාගිය ලතින් අමෙරිකානු සමාජවාදයත් ඔවුන්ගේ විග්‍රහයට හසුවන්නේම නැත. ඒ වෙනුවට වත්මන් යුරෝපීය වාමාංශික ජයග්‍රහණ ගැන ඔවුන් පුරසාරම් දොඩන්නේ ලංකාවේ ජනතාවට කොළේ වසමිනි. මන්ද බටහිර යුරෝපියානු වාමාංශික දේශපාලනය හා කුමාර් ගුණරත්නම්ලා ප්‍රාර්ථනා කරන වාමාංශික දේශපාලනය අතර අහසට පොළොව මෙන් දැවැන්ත පරතරයක් පවතින හෙයිනි. ඒ නිසා මෙරට සබුද්ධික ජනතාව වටහාගත යුත්තේ මේ ‘ක්‍රමයේ වෙනසක් ගැන’ කතා කරන්නේ වෙනසක් වෙනුවෙන් එක අඟලක් ඉදිරියට යාමට හැකියාවක් නැති දේශපාලන බලවේගයන් විසින් බවයි.

නැවත වළටද ?

ලංකාවේ වාමංශික දේශපාලනයේ නැඟී සිටීම සැලකිය හැක්කේ යළිත් තරුණ සංහාරයක් සඳහා කැඳවීමක් ලෙසය. මන්ද බිල්ලන් මවමින් කරන මේ දේශපාලනය තරුණ රුධිරයම ඉල්ලා මොර දෙන හෙයිනි. ඒ නිසා අවස්ථා දෙකකදීම ඇති පදම් ගිනිපෙළිවලින් නොව ගිනි අවියෙන්ම බැට කා ඇති මෙරට ජනතාව නම් ප්‍රාර්ථනා කරන්නේ යළි මෙරට වාමාංශික නැගිටීමක් නොව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයකි. ඒ නිසා රට නැවත වළට යාමක් නොව රට වැටී සිටින වළෙන් ගොඩගැනීමට රජය ගන්නා මේ උත්සාහයට අප සහාය දැක්විය යුතුය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *