මේ හාල්මැස්සෝ ඉල්ලන් කන එකක් නැහැ -භාතිය බරුකන්ද

යහපාලන ආණ්ඩුව බලයට පත් කළ මූලික කාරණා වෙතින් ආණ්ඩුව වේගයෙන් විතැන් වෙමින් සිටින බව මෑතක සිට නැෙඟන ප‍්‍රබල චෝදනාවකි. ‘ගින්නක් නැතිව දුමක් නොනගින්නා සේ ’ මෙම චෝදනාවට බලපාන කරුණු ගණනාවක් පසුගිය කාලය තුළ යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාව අත්විඳිමින් සිටින්නේය.
ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ 10 වසරක පාලන කාලය තුළ සිදු වූ බව කියන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, පැහැර ගෙන යාම්, ඝාතනය කිරීම්, පහරදීම් ආදි සිදුවීම්ය.
ජනතාව කම්පනයට හා භීතියට පත් කළ මෙම චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශන, නඩු විභාග ආදිය දිගින් දිගටම ඇදීයාම ගැන ජනතාව සහ සිවිල් සමාජය අතර බරපතල නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් තිබිය දී පසුගිය මැයි 25 වැනිදා ගම්පහ අධිකරණය විසින් ඉතා වැදගත් තීන්දුවක් දුන්නේය. ඒ රතුපස්වල පැවැති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වෙමින් සිටි නිරායුධ ජනතාවට වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන මහතා රිමාන්ඩි භාරයට පත් කිරීමට ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා කළ නියෝගයයි. බි‍්‍රගේඩියර් දේශපි‍්‍රිය ගුණවර්ධනට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයින් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර තිබේ.
මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ බව කියන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, ඝාතනය කිරීම් හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ හා නඩු විභාග අතර රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් අධිකරණය දුන් මෙම මූලික තීන්දුව පවා යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාව සහ සිවිල් සමාජය අතර ප‍්‍රසාදනීය හැඟීමක් ඇති කිරීමට සමත් වූයේ මෙම ඝාතනයන්ට අණදුන් බව කියන යුධ හමුදාවේ ඉහළ නිලධාරියකුට එරෙහිව පුද්ගල ඝාතන චෝදනා ඉදිරිපත් වීම හා ඔහු රිමාන්ඩි බන්ධනාගාර ගත කිරීම දුන් තීන්දුව සමග මේ හා සමාන තවත් නඩු විභාග රැුසකට මෙමගින් යම් ආලෝකයක් ලැබෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් වර්ධනය වෙමින් පවතින හෙයිනි.
මේ වන විට පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ මෙවැනි සිදුවීම් රැුසකට සම්බන්ධ මූලික පරීක්ෂණ සිදුවෙමින් පවතින ආකාරය සම්බන්ධයෙන් ජනතාව සහ සිවිල් සමාජය දැඩි අවධානයෙන් පසු වන්නේ හේතු කිහිපයක් නිසාය. එයින් ප‍්‍රධානතම කරුණ වන්නේ රතුපස්වල ඇතුළු ඝාතන සිදුවීම්වල මහ මොළකරුවන් සේ සැලකිය හැකි පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබලයින් කිහිප දෙනකු මෙම පරීක්ෂණ කටයුතු යට ගැසීම හෝ අඩපණ කිරීම සඳහා ප‍්‍රබල ප‍්‍රයත්නයක් දැරීමයි. අනෙක් ප‍්‍රධාන කරුණ වන්නේ යහපාලන ආණ්ඩුවේ අනාගතය තීරණ කරන ප‍්‍රධාන සාධකයක් බවට මෙම පරීක්ෂණ පත්ව තිබීමයි. එනිසා රතුපස්වල මූලික පරීක්ෂණ සිදුවන ධනාත්මක ආකාරය ශක්තිමත්ව හා නිවැරදිව ඉදිරියට යාම සිවිල් සමාජයේ අපේක්ෂාවයි.
ඉතිහාසය නිවැරදි කළ යුතුව ඇත
මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ඝාතන ඇතුළු සමාජය තිගැස්මට ලක් කළ ප‍්‍රධාන සිදුවීම් සමුදාය තුළ දැකිය හැකි පොදු ලක්ෂණයක් වූයේ එකී සිදුවීම්වලට ඍජුව චූදිතයින් වන පුද්ගලයින් විෂයෙහි රාජපක්ෂ පාලනය දැක්වූ වරදාන පිළිවෙතයි. උදාහරණයක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදල් කොල්ලයට එරෙහිව උද්ඝෝෂණය කළ කටුනායක ඇතුළු නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ගේ සාමකාමී උද්ඝෝෂණයට පහරදී නිදහස් වෙළෙඳ කලාප සේවකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට ඍජුව චෝදනා එල්ල වෙද්දී එකී පීඩනය හමුවේ විශ‍්‍රාම ගිය පොලිස්පතිවරයාව බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් වහාම පත් කිරීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පියවර ගැනීම දැක්විය හැකිය.
රතුපස්වල සිදුවීමේදී ද මෙකී ප‍්‍රවණතාවම දැකිය හැකි වූ බව මාධ්‍ය කරුණු දක්වයි. ඒ අනුව රතුපස්වල ත‍්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන මහතාව තුර්කියේ තානාපති සේවය සඳහා අනුයුක්ත කළ බව මෙකී මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ( ඔහු නැවත කැඳවන ලද්දේ වත්මන් ආණ්ඩුව විසිනි*
මේ තත්ත්වය රතුපස්වල, කටුනායක වැනි සිවිල් ජන ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් පමණක් නොව පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, වැලිකඩ බන්ධනාගාරයේ රැුඳවියන් ඝාතනය කිරීම, ත‍්‍රිකුණාමලයේ පාසල් සිසුන් පස් දෙනාගේ ඝාතනය සහ රගර් ක‍්‍රීඩක වයීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ද දැකිය හැකි බවට ජනතාව තුළ ප‍්‍රබල විවේචනයක් පවතී. එම නිසා මෙම සිදුවීම් සම්බන්ධ පරීක්ෂණ සිදුවන අතරතුර මෙවැනි වරප‍්‍රසාදිත චූදිතයින් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුවිය යුතු බවට සමාජය තුළ දැඩි අදහසක් පවතී.
අනුන්ගේ පවු කරගැසීම
ප‍්‍රබල පුද්ගලයින් යම් කිසි නෛතික ක‍්‍රියාවලික චූදිතයින් වූ වහාම ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වීම ( වරද භාර ගැනීම) ලංකාව තුළ පමණක් නොව පොදුවේ ලෝකය තුළ දැකිය හැකි සුලභ තත්ත්වයක් වශයෙන් සැලකේ.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ තීරණාත්මක ඝාතන හා වෙනත් සිදුවීම් රැුසක් හමුවේද මෙවැනි ‘අනුන්ගේ පවුවලට කර ගැසීමේ ස්වේච්ඡුා උත්සාහයක් දැකිය හැකි බව මෙම සිදුවීම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහසයි. උදාහරණයක් වශයෙන් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය දැක්විය හැකිය. මහින්ද රාජපක්ෂ යුගයේදී හමස් පෙට්ටියේ දමා තිබූ ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුවන විට හදිසියේම ඉදිරිපත් වූ බුද්ධි අංශ නිලධාරියකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු එම ඝාතනයේ වගකීම භාර ගනිමින් දියදිවි නසාගත්තේ ඉතා මෑතකදීය.
එමෙන්ම වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් ඍජුව චෝදනා එල්ල වූ පාර්ශ්ව වෙතින් පරීක්ෂණ කටයුතු ක‍්‍රමිකව ඉවත් වෙමින් එයද අනුන්ගේ පවුවලට කර ගැසීමට ස්වේව්ඡුාවෙන් ඉදිරිපත් වන පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනකුගේ කර මතින් යාමට ඇති අවස්ථාව කිසිසේත් බැහැර කළ නොහැකිය.
කැකිල්ලේ තීන්දු නොවිය යුතුයි
පුද්ගල ඝාතන හෝ තවත් එවැනි බරපතළ සිදුවීම් සම්බන්ධ පරීක්ෂණ කටයුතු අඩාල කිරීම හෝ යට ගැසීම සඳහා ගතහැකි පහසුව පියවරක් වන්නේ එම සිදුවීමට අදාළ වගකීම කවුරුන් හෝ පිට පැටවීමයි. මෙය ප‍්‍රකට කතාවක් වන  ‘කැකිලේ රජුගේ නඩු තීන්දු ආකාරයෙන්  ’ සිදුවිය හැකිය. එනම් අදාළ ඍජු හා තීරණාත්මක තීන්දුව ගත් පුද්ගලයා වෙනුවට ඒ සිදුවීම් ජාලයේ අවසානයට සිටින පුද්ගලයා හෝ පුද්ගලයින් කිහිප දෙනා අවසන් චූදිතයින් බවට පත් කිරීම මේ හරහා සිදුවීමයි.
රතුපස්වල ඇතුළු පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ගැන අවධානයෙන් පසුවන පාර්ශ්ව අතර මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් පවතින්නේ මෙවැනි කැකිල්ලේ තීන්දු මගින් සමස්ත සිදුවීම් ජාලයම ආපසු හැරවීමේ හැකියාවක් පැවතීම හේතු කොට ගෙනය.
මෙම තත්ත්වය රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් ද පහසුවෙන් අදාළ කරගත හැකිය. රතුපස්වල සිදුවූ මහජන උද්ඝෝෂණය කැරලිකාරී තත්ත්වයක් බවට පත් වන්නේ යැයි සිතන්නේ නම් එම කැරලිකාරීත්වය මැඩ පැවැත්වීම සඳහා හමුදා සහාය අවශ්‍ය යැයි පොලීසිය කල්පනා කරන්නේ නම්  හමුදා සහාය ඉල්ලා සිටීමේ බලය ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් ඉහළ පොලිස් නිලධාරියකුට පමණකි.
රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලදී මේ වන විට අනාවරණය වී ඇති ආකාරයට එදින කිසිදු උසස් පොලිස් නිලධාරියකු හමුදාවේ සහාය ඉල්ලා නැත.
මේ සමග පරීක්ෂණ කණ්ඩායම් මතු කළ ප‍්‍රශ්නය වූයේ මෙවැනි තත්ත්වයක් තිබුණේ නම් බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධනට වැලිවේරියට යාමට උපදෙස් දුන්නේ කවුරුන් විසින් ද යන්නයි. අද බි‍්‍රගේඩියර්වරයා හමුවේ පවතින යුතුකම වන්නේ අනුන්ගේ පවුවලට කර ගැසීම නොව ‘තමාට වැලිවේරියට යාම සඳහා නියෝග දුන් පුද්ගලයා සහ එකී නියෝගය කුමක්ද යන්න අධිකරණය හමුවේ හෙළිකිරීමයි.
මේ තත්ත්වය සමග අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගම්පහ අධිකරණයට කළ කරුණු දැක්වීම ද අවධානයට ගත යුතුය. ඔවුන්ට අනුව වැලිවේරිය ජනතා උද්ඝෝෂණය මැඩපැවැත්වීම සඳහා යුද හමුදාව පැමිණ ඇත්තේ පොලීසියේ ඉල්ලීමකින් තොරවය. එහි ඇති විශේෂත්වය වන්නේ හමුදාව පැමිණෙන අවස්ථාවේදී වැලිවේරියට රැුස්ව සිටි රතුපස්වල ජනතාව අතර කැරලිකාරීත්වයක සේයාවක් පවා නොතිබීමයි. එය හුදු විරෝධතාවක් පමණක් බවයි. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා පැහැදිලිව අධිකරණයට වාර්තා කළේ වැලිවේරිය නගරය තුළ කැරලිකාරීත්වයක් වර්ධනය වුවහොත් එය විසුරුවා හැරීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකය සහ ජල ප‍්‍රහාරක රථ ද සූදානම් කර තිබූ බවයි. එහෙත් ඒ කිසිවක් නොමැතිව හමුදාව පැමිණි වහාම සාම්ප‍්‍රදායික ආකාරයෙන් උද්ඝෝෂණයක් විසුරුවා හැරීමේ ක‍්‍රියාමාර්ග මුලූමනින්ම නොකතා හරිමින් ජීව උණ්ඩ යොදා ගෙන කැරලිකරුවන්ට වෙඩි තබා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධනට මහතාට එරෙහිව පුද්ගලයින් තිදෙනකු ඝාතනය කිරීම, මිනී මැරීමට තැත් කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නේ ඒ අනුවය.
ඇඟිල්ල දෙස නොව හඳ දෙස බැලීම
රතුපස්වල ඝාතනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් ප‍්‍රකාශ කරන්නේ වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැුඳවියන්ගේ උද්ඝෝෂණය හමුවේ ද එදා විශේෂ කාර්ය බලකාය හැසිරුණේ හා මෙහෙයවනු ලැබුවේ මේ ආකාරයෙන්ම බවයි.
එනිසා රාජකාරීමය වශයෙන් වන බැඳීමට මුවාවෙන් තවත් විවිධ වුවමනා එපාකම් හා පක්ෂපාතීත්වයන් හමුවේ හමුදා හා පොලිස් නිලධාරීන් අතින් සිදු වූ ඝාතන හා තවත් ප‍්‍රබල අපරාධ රැුසක් සම්බන්ධයෙන් ‘අණ දුන් හා උපදෙස් දුන් තැන’ වෙනුවට අණ ක‍්‍රියාත්මක කළ පුද්ගලයා හෝ පුද්ගලයින් කිහිප දෙනා දංගෙඩියට යාම කිසිසේත් යුක්තිය ඉටුවීමක් වශයෙන් සැලකිය නොහැකිය. මන්ද රතුපස්වල, කටුනායක, වැලිඩක ආදි සිවිල් ඝාතන මෙන්ම ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ, වසීම් තාඩුඞීන් වැනි අතිෂයින් තීරණාත්මක ඝාතන හමුවේ ද සියල්ලට ඉහළින් සිටින නායකත්වයක් ක‍්‍රියාත්මක වී ඇති බව පැහැදිලිව පෙනී යන හෙයිනි. එනිසා ඇඟිල්ල දෙස නොව හඳ දෙස බලන ප‍්‍රතිපත්තියක් වෙත අදාළ බලධාරීන් යොමුවිය යුතු බව ජනතාවගේ අදහසයි.
මුක්තියක් තිබිය යුතු නැත
මහින්ද රාජපක්ෂ යුගයේ සිදු වූ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ක‍්‍රියාවලිය අතරතුර හමුදාවේ හා බුද්ධි අංශ සාමාජිකයින් විශාල පිරිසක් මේ වන විට සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට පත්ව සිටිති. රතුපස්වල ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් ද යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයෙකු, සැරයන්වරයෙකු සහ කෝප‍්‍රල්වරයෙකු අත්අඩංගුවට පත්ව සිටිති.
මෙම ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන සියලූම හමුදා හා බුද්ධි අංශ නිලධාරීන් ‘රණවිරුවන්’ යැයි නාමරණය කරන අතර සිදුවන තවත් සුලභ තත්ත්වයක් වන්නේ ‘ඉහළින් ආ අණ අනුව මේ නියෝග ඉටු කළා ’ යැයි හෝ ‘රාජකාරීමය වශයෙන් ’ යන තත්ත්වයන්ට ඔවුන් විසින් සිදු කළ ඝාතන ලඝු කිරීමයි.
එහෙත් දෙවැනි ලෝක යුධ සමයේ හිට්ලර් විසින් කළ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ‘නියුරම්බර්ග් අධිකරණය’ ඉතා පැහැදිලිව කියා සිටියේ ‘ඉහළින් ලැබුණ අණ ඉටු කිරීම’ හේතුව දක්වමින් අපරාධ චෝදනාවලින් ගැළවී යාමට කිසිවකුට හැකියාවක් නොහැකි බවයි.
මේ තත්ත්වය ලංකාව තුළ ද ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක විය යුතු බව ජනතාවගේ පොදු අදහසයි. එහෙත් ඒ සමඟම එකී ඉහළිව් අණ දුන් කිසිවකුට නීතියෙන් ගැළවීයාමට අවස්ථාවක් හෝ සිදුරක් නිර්මාණය නොකළ යුතු බව ඔවුහු අවධාරණය කරති. මන්ද ඉහත සඳහන් සියලූම ඝාතනයන් හා ඝාතන ප‍්‍රයත්නයන් පිටුපස ඉතාම පැහැදිලි දේශපාලන හා බල වුවමනා එපාකම් තීරණාත්මකව දැකිය හැකි හෙයිනි.
එනිසා කැකිල්ලේ පන්නයේ තීන්දු මෙන් නොව ‘බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධනට අණ දුන්නේ කවුද ? ’ ඔහු වෙත අපරාධ පරීක්ෂකයින්ගේ දැඩි අවදානය යොමු විය යුතු බව ජනතාව අතර පවතින පොදු මතයයි. මන්ද කොතරම් ජාතික හා ජනතා මෙහෙවරක් කළ පුද්ගලයෙකු වුවද ඝාතකයෙක් නම්, ඔහු බලය අවභාවිත කළ අයෙක් නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ඔහුට මුක්තියක් හිමි නොවන හෙයිනි.
එනිසා රතුපස්වල වේවා, වැලිකඩ වේවා, ලසන්ත වික‍්‍රමතුංග වේවා, වසීම් තාජුඞීන් වේවා මේ සියලූ ඝාතනයක් පිටුපස සිටින සුපිරි බලය, අදෘෂ්‍යමාන හස්තය සමාජය හමුවේ නිරාවරණය කර යුක්තිය ඉටු කිරීම යහපාලන ආණ්ඩුවේ වගකීමකි.
අනාගතයට පාඩමක් වේවා
යුද්ධයකදී වේවා, සාමාන්‍ය සිවිල් සමාජ තත්ත්වයකදී වේවා මනුෂ්‍ය ඝාතන කිසිදු ශිෂ්ඨසමාජටක් ඉවසන්නේ නැත. එනිසා යුක්තිය ඉටුවන ක‍්‍රියාවලිය තවත් යුග යුග ගණනකට ආදර්ශයක් හා බලපෑමක් සිදුවන බව අප වටහාගත යුතුය.
අද හමුදා සාමාජිකයින්ට වේවා, බුද්ධි අංශ සාමාජිකයින්ට එරෙහිව හෝ වේවා සිදුවන පරීක්ෂණ කටයුතු හා නෛතික කටයුතු අප සලකන්නේ තවත් වරක් එවැනි තත්ත්වයකට පත් නොවීමට පූර්වගාමීන්ට කරන අනතුරු ඇඟයීමක් ද වශයෙනි. එනිසා අද රතුපස්වල ඝාතන හමුවේ සැකකරුවන්ට රිමාන්ඩි බන්ධනාගාර ගත වන හමුදා නිලධාරීන් ද ලසන්ත, ප‍්‍රගීත් ඝාතන හමුවේ චූදිතයින්ව රිමාන්ඞ් බන්ධනාගාර ගත වන චූදිතයින් ද පවසන සත්‍ය වන්නේ ‘ඉහළින් අණ දුන් පළියට’ මෙවැනි මනුෂ්‍ය ඝාතන වෙත ඉලක්කය නොගන්නා ලෙසයි.
එනිසා තවමත් තෝරු, මෝරු නැතත් අපරාධ දැලට හසුවන හාල්මැස්සන්, සාලයන් දෙස බලමින් ජනතාව හිතහදා ගන්නේ ‘මේ හාල්මැස්සන්, සාලයින් කිසිවකු ඉල්ලන් නොකනු ඇති බවට’ පවතින දැඩි විශ්වාසය මතය. ඔවුන් සත්‍යය වමාරන දින සියලූ ඝාතන සිදුවීම් පිටුපස ඇති සුපිරි හස්තය හෙළිවනු ඇති බවට පවතින විශ්වාසයෙනි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *