දුක්වීමේ අයිතිය – අනුර සූරියබණ්ඩාර

පසුගිය සතියේ උතුරේත් දකුණේත් සැමරුම් දෙකක් සිදුවිය. ඒ වසර තිහක් පැවති මෙරටේ සිවිල් යුද්ධය එනම් ඊලාම් සටන පදනම් කර ගනිමිනි.උතුරේදීද ඊලාම් සටන සම්බන්ධව මියගිය අය සැමරූ අතර ,දකුණේදී ඊලාම් සටනට විරුද්ධව සටන් කොට මියගිය සොල්දාදුවන් සැමරීම ආදී වශයෙනි. කොළඹ පැවති මියගිය සොල්දාදුවන් සැමරීම මහින්ද රාජපක්ෂ සමයේ තරම් වර්ණවත්ව හෝ උත්කර්ශවත්ව නොපැවැත්වීම සම්බන්ධව ආණ්ඩුවට විවේචන එල්ල වෙමින් පවති.උතුරේ සැමරුම ප්‍රභාකරන් සමයේ උත්කර්ෂවත් නොවූවත් චාම්ව හෝ පැවැත්වීමට ඉඩ දීම සම්බන්දයෙන් ආණ්ඩුවට විවේනයක් එල්ල වී තිබේ.

නිදහසින් පසුව මෙරට කැරලි තුනකි ඉන් දෙකක්ම දකුනේය. දකුණේ කැරලි දෙකට සම්බන්දව මියගිය අය සැමරීම සදහා අප්‍රේල් මාසයේ සහ නොවැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් සෑම වසරකම සැමරුම් දෙකක් පැවැත්වේ. ජවිපෙන් බිදී ගියපසු පෙරටුගාමීන්ද අප්‍රේල් සහ ඉල්මහ විරුවන් සමරන බැවින් දකුනේ කැරලි දෙකෙන් මියගිය තැනැත්තන් සැමරීම සදහා දැනට වසරකට උත්සව දෙක බැගින් සංවිධානය කෙරේ. කිසිවෙකු ඒවාට විරුද්ධ නැත.

1971 අප්‍රේල් කැරැල්ල සහ 88-89 කැරැල්ල හේතුවෙන් මිය ගියේ කැරලිකරුවන් පමණක් නොවේ. හමුදාවේ සහ පොලීසියෙ සාමාජිකයින්ද පමණට නොවුනද යම්කිසි ප්‍රමාණයකින් හෝ මරණයට පත් වූහ. ආබාධිත වූහ, තුවාල ලැබූහ. එහෙත් එසේ මියගිය සෙබලුන් සැමරීමට එතෙක් මෙතෙක් පැවති කිසියම් ආණ්ඩුවක් උත්සව සංවිධානය කලේ හෝ කරන්නේ නැත.එසේ නොකරන්නෙ යැයි කිසිවකු ආණ්ඩුවට දොස් කීවේ හෝ කියන්නේ නැත.

බැලූබැල්මට මෙය යම් විකෘති තත්වයක් බව තර්කානුකූලව සිතන්නෙකුට පෙනී යා යුතුය. උතුරේත් දකුනේත් කැරලි වලින් මියගියේ පුරවැසියන් (ඔවුන් කැරලි කරුවන් වුවත්) නම් ඔවුන් සැමරීමේ අයිතිය එක ප්‍රදේශයකට තිබෙන්නටත් අනෙක් ප්‍රදේශයට නොතිබෙන්නටත් හේතුවක්ද නැත. උතුරේ පිරිස් සටන් කලේ රටින් කොටසක් කඩා ගැනීමට බැවින් ඔවුනට ඒ අයිතිය නොදිය යුතුය යන්න දකුණේ අන්තවාදීන්ගේ මතයයි. උතුරේ කැරලිකරුවන් අතින් සිවිල් ජනතාව මියගිය බවත් ඔවුන්ගේ මිනිස් ඝාතන මිලේච්ඡ බවත් කියන්නටද පුලුවන්.

තර්කානුකූලව සිතන්නේ නම් දකුණේ කැරලිවලද උතුරේ තරමට නොවූවත් සිවිල් වැසියන් මියගියහ. උතුරේ මෙන් ගම්බිම් වනසීම, සමූහික ඝාතන සිදු නොකලද දකුණේ කැරලි කරුවන් අතින් මිලේච්ඡ ආකාරයෙන් මිනිස් ඝාතනද සිදු වූවා නොවේ..එකම වෙනස ඔවුන් රටින් කොටසක් නොව රටම අල්ලා ගැනීම සදහා සටන් කිරීම පමණි රටින් අඩක් ඇල්ලීම වරදක්ය යන්න තර්කය රටම අල්ලා ගැනීමට සටන් කිරීම දෙගුණයකි.

රට බෙදිම මිලේච්ඡත්වය ආදී තර්ක ඉදිරිපත් කෙරුනද සැමරුම් දෙකෙන් එකකට විරුද්ධ නොවීමටත් අනෙකට විරුද්ධ වීමටත් සැබෑ හේතුව එක් කැරැල්ලක් සිංහල වීම හා අනෙක දෙමල වීමය. ඇමෙරිකානු සිවිල් යුද්ධය අවසානයේ ජයග්‍රාහී පාර්ශවය එනම් ආණ්ඩුවේ හමුදා පිලිගත්තෙ ඒ යුද්ධයේ කිසිවෙකු ජයග්‍රාහිකයෙකු නොවන්නාසේම, කිසිවෙකු පරාජිතයෙකුද නොවන බවය.දෙපැත්තෙන්ම මියගියේ එකම රටේ පුරවැසියන් බැවිනි.

අපේ රටේ කැරලි තුනම සම්බන්ධයෙන් ගත්තද තත්වය එයයි.ආණ්ඩුවකට විරුද්ධව ජනතාවගෙන් කොටසක් සටන් කරන්නේ නම් ඒ වරදෙන් පංගුවක් ආණ්ඩුව බාරගත යුතුය. අඩුම තරමින් කැරැල්ල පරාජය කිරීම උන්මාදයක් බවට පත් කිරීමෙන් වැලකී සිටිමට හෝ වගබලා ගත යුතුය.පුරවැසියන්ගෙන් කොටසක් මැඩලා ජයපැන් බීම මිලේච්ඡ සිරිතකි. එවැනි ක්‍රියාවලින් සිදුවන්නේ පරාජිතයාගේ පරාජිත හැගීම වර්ධනය වීමයි. රාජ්‍යය කෙරෙහි ඔවුනට වෛ යිරයක් ඇති වීමයි.

දුටුගැමුණු රජතුමා ලක්දිව එක්සේසත් කොට වසරක් පාසා ජයපැන් බොන්නට පෙලපාලි ගිය බවත් මහා වංසය හෝ වෙනත් තැනක හෝ කියවෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු කලේ පරාජිත සතුරාගේ වීරත්වයට ගරුකොට ඔහු වෙනුවෙන් සමාරකයක් තැනීමයි. දෙවනි දුටුගැමුණු ලෙස පෙනී සිටින්නට උත්සහ කල මහින්ද රාජපක්ෂ මහරජු තෝරා ගත්තේ සේස්ට දුටුගැමුණු ප්‍රතික්ෂේප කල මාවතයි. එනම් යුද්ධයේ ජයග්‍රහණය උත්කර්ෂයට නංවා ජනතාව මුලාකොට බලය වඩා ගැනීමයි . යුද්ධයෙන් පසුවත් මේ වනතුරුත් ජාතීන් අතර සාමයක් ගොඩනගා ගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ ඒ කූට වැඩපිළිවෙළ නිසාය.

උතුරේදීත් දකුනේදීත් මියගියේ මිනිසුන්ය, එකම රටක පුරවැසියන් යන පදනමේ සිට දෙපිරිසම එකවර සමරන වැඩපිලිවෙලකට එකල ආණ්ඩුවට යොමු වන්නට තිබුණා නොවේද ? එවැන්නක් සිදුවූයේ නම් උතුරේදී මියගිය අය සමරන්නට උතුරේ වෙනම උත්සව සංවිධානය කරන්නට අවශ්‍ය වන්නේ නැත.උතුරටත් දකුණටත් එකට එක්වී එකම මොහොතක දුක බෙදාගන්නට තිබුණි.

යුද්ධකදී පළමුවෙන්ම මිය යන්නේ මනුස්සකම බව උතුරටත් දකුණටත් එකවර අවබෝධ කරන්නට අවස්ථාව ලැබෙන්නටද තිබුණි. අධිවේගී මාර්ග තනනවාටත් වඩා මහාමාර්ග කාපට් කරනවාටත් වඩා ජනතාවගේ හදවත් යාකරන්නට එවැනි වැඩසටහන් වලට පුලුවන. හෝටල් හෝ ගොවිපළවල් හෝ හදනවාට වඩා පහසුවෙන් හදවත් සුවපත් කරන්නට එවැනි වැඩසටහන් වලට හැකියාව ඇත.

ඊලාම් යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළෝ හමුදා සොල්දාදුවන් හෝ ගරිල්ලා බටයන් හෝ පමණක් නොවේ. මහබැංකු ප්‍රහාරයෙන් ,කෙන්ට් ෆාම් නම් ප්‍රහාර වලින් සිවිල් ජනතාවද උතුරේත් නැගෙනහිරත් මුස්ලිම්වරුන් සහ එම ප්‍රදේශ වල ඊලාම් විරෝධී දෙමළ දේශපාලනඥයන් ද සිවිල් යුද්ධය හේතුවෙන් ජීවිත පරිත්‍යාග කළහ. ඔවුනටද සැමරුම් උත්සව තිබියයුතුය.

තවත් ආකාරයකින් ගත්කල ඊලාම් යුද්ධය යනු දෙමළ ජනතාවගේ පූර්ණ ආශිර්වාදය ඇතුව ක්‍රියාත්මක වූ සටනක්ද නොවේ. ළමා සොල්දාදුවන් බදවා ගන්නටත් තරුණයන් පැහැරගෙන ගොස් සටනෙහි යොදවන්නටත් එල්ටීටීඊයට සිදුවූයේ එහෙයිනි . ජනතාව ස්ව කැමැත්තෙන් සටනට දායක වූයේ නම්, බලෙන් බදවා ගන්නට එල්ටීටීඊ යට සිදුවන්නේ නැත. එසේ බලහත්කාරයෙන් බදවා ගෙන මියගිය දූ දරුවන් හෝ ඥාතීන් වෙනුවෙන් දුක්වීමට අවස්ථා වක් උතුරේ ජනතාවට නොතිබිය යුතුද? සංහිදියාවේ මාවත වැටී ඇත්තේ දකුණේ හෝ උතුරේ යුද වීරයන් සමරන වීර දින හරහා නොවන බව උතුරත් දකුණත් ඉක්මනින් වටහාගත යුතුය .

යුද්ධය අවසන් වූ දිනය වීර දිනයක් ලෙස සලකණු වෙනුවට ජාතික සෝක දිනයක් ලෙස වටහාගත හැකිනම් දකුණේත් උතුරේත් හදවත්වල තුවාල ඉක්මනින් සුවවනු ඇත . ආණ්ඩුවට නොව සිවිල් සංවිධානයකට වුවද එවැනි දිනයක් සංවිධානය කිරීමේ කටයුත්තට මූලිකත්වය ගත හැකිය. යුද විරෝධී සියලු ජනතාවගේ ආශිර්වාදය ඊට නිසැකවම හිමිවනවා ඇත.

නැවත යුද්ධයක් ඇති නොවන මාවතකට ජනතාව යොමු කිරීමටත් ජාතීන් අතර පරතරය අකාමකා දමා ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩ නැගීමේ අරමුණ වෙත ජනතාව පෙළගැස්වීමටත් එවැනි වැඩසටහන් වලට යෝධ ශක්තියක් තිබේ. ලබන අවුරුද්දේ මැයි මාසයේවත් එවැන්නකට කවුරුන් හෝ පෙරමුණ ගනු ඇතිද යනු සැකයකි .

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *