ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ආපදාව – අජිත් පැරකුම් ජයසිංහ

ආපදාවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ ගුවන් හමුදාවේ වයි.එම්.එස්. යාපාරත්න

*ශ්‍රී ලංකාව ආපදා බහුල රටක් බවට පත් වී තිබේ. මිහිතලය උණුසුම් වීමත් සමග ඇති වූ දේශගුණික විපර්යාස මෙන් ම, දේශීයව සිදු වූ භූගෝලීය හා සමාජයීය වෙනස්කම් ද එයට හේතු වී තිබේ.

දැවැන්ත රජයක්, වරප්‍රසාදිත විශාල ඇමති මණ්ඩලයක්, නිතර විදේශ පුහුණුවීම් හා තීරු බදු රහිත වාහන වැනි වරප්‍රසාද ලබන ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණය සම්බන්ධ ආයතන පද්ධතියක් තිබුණත්, ආපදාවක් සිදු වී සෑහෙන වෙලාවක් යන තෙක් එම යාන්ත්‍රණය පණ ගන්වා ගැනීම දුෂ්කර ය.

එහෙත්, රජයේ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයෝ හැකි ඉක්මණින් ආපදා සිදු වන ස්ථාන වෙත ළඟා වී සේවා සපයති. ආපදා කළමනාකරණයේදී දැවැන්ත ම වැඩකොටස ඉටු කරන්නේ ඔවුන් ය.

මෙවර ද ආපදාවට ලක් වූවන් බේරා ගැනීමට ගොස් හෙලිකොප්ටරයේ කේබලය කැඩී යාමෙන් ගුවන් හමුදා නිලධාරියකු මරණයට පත් විය.

මේ මිනිසුන්ගේ සේවය කිසිදු කලෙක ලංකාවේ ඇගයීමට ලක් නො වේ. ලංකාවේ මිනිසුන් ඔවුන් ගැන කතා කරන්නේ අටපාස් හමුදාකාරයන් ය කියා ය. මේ මිනිස්සු කිසි දිනෙක තමන් ආපදාවෙහිදී කළ කටයුතු ගැන පෞද්ගලික විස්තර කියනු, ලියනු දක්නට නො ලැබේ. එය ඔවුන්ගේ රාජකාරිය බව ද, ඒ වෙනුවෙන් මහජන මුදලින් වැටුප් ගෙවන බව ද ඇත්ත ය. එහෙත්, ඔවුන්ගේ ඇපකැප වීම ඊට වඩා දෙයකි.

එසේම, ගිලන් රථ සේවා, රෝහල් වැනි තවත් තැන්වල පිරිස් ද ආපදාවලදී ඇප කැප වී වැඩ කරති.

එහෙත්, ෆේස්බුක් එකෙන් ආපදා කළමනාකරණය කරන තව පිරිසක් සිටිති. ඒ අය පටන් ගන්නේ ම රජය කිසිවක් නො කරන බව, බෝට්ටු නැති බව, කෑම නැති බව කියමිනි. එහෙත්, ඒ වන විටත් රජයේ ත්‍රිවිධ හමුදා හා ආපදා කළමනාකරණය සම්බන්ධ නිලධාරීහු වැඩට බැස හමාර බව ඔවුහු අමතක කරති. ආපදාවට ලක් වූවන් දියේ ගිලෙමින් සිටියදී මේ ෆේස්බුක් වීරයන් කරන්නේ ඒ මළමිනී මතින් දේශපාලනය කිරීමයි. රජය වැඩක් නැති බව ද, දේශපාලකයන් වගකිව යුතු බව ද කියමින් තමන් කැමති දේශපාලකයන් බලයේ සිටියා නම් මෙවැනි ආපදා සිදු නො වන බවට වහසි බස් දොඩමින් තිරිසනුන් සේ හැසිරෙති.

හුදකලා ෆේස්බුක් වීරයන්ට ඇත්ත වශයෙන් ම කළ හැකි ලොකු දෙයක් නැත. ඔවුන් වැඩි දෙනෙක් කරන්නේ ආපදා සහන සේවාවල යෙදෙන අයට බාධා වන පරිදි ආපදා සංචාරවල යෙදීමයි. ඡායාරූප ගැනීමයි. තමන් අරෙහෙම කළා, මෙහෙම කළා ය කියමින් පම්පෝරි ගැසීමයි. ඔවුන්ට අමතක වන කාරණය වන්නේ ඔවුන් කරන දේ ඉතා ම සුළු බවයි. එහෙත්, නිහඬව කරන සේවය වෙනුවෙන් ෆේස්බුක් වැනි නව තාක්ෂණයන් භාවිතා කරන පිරිස්වලට මා කියන මේ දෙය අදාළ වන්නේ නැත.

මේ අතර තවත් පිරිසක් ජනතාව බියපත් වන පරිදි වැරදි තොරතුරු පතුරුවති. පහත දැක්වෙන්නේ එවැනි වැරදි තොරතුරක් පිළිබඳව පැහැදිලි කිරීමකි. මෙම සටහන ෆේස්බුක් සමාජ ජාලය වෙතින් උපුටා ගන්නා ලද්දකි.

ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර හා කැනියොන් ජලාශ දොරටු ඇරීමෙන් කැලනි ගඟ ශීඝ්‍රයෙන් ඉහළ යන බවට සටහනක් ඔබ දැනටමත් දැක ඇතුවාට සැක නැත. නමුත් එය සැබෑ තත්වය නොවේ. ඉහත කී ජලාශ අනෙකුත් ජලාශ හා සසඳන කල කුඩා ප්‍රමාණයේ ජලාශ වේ. එබැවින් ඒ ජලාශයන්ගේ දොරටු විවර කිරීම නිසා දැනට පවත්නා තත්වයේ දැනෙන වෙනසක් සිදු නොවේ. මෙම සියලු ජලාශයන්ට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙනුයේ මාඋස්සාකැලේ සහ කාසල්රි ජලාශ මගිනි. කැලනි ගංගා ද්‍රෝණියට වඩාත් දැඩිව බලපානු ලබන ජලාශ වන්නේ කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශයන්‍ ය. යම් හෙයකින් ඒ ජලාශයන් පිටාර මට්ටමට පැමිණියහොත් කැලනි ගඟේ ජල මට්ටම කෙටි කාලයක් තුල ඉහළ යාම හා සිදු වන හානිය වැඩිවිය හැක. නමුත් දැනට පවත්නා තත්වය නම් ඒ ජලාශයන් තවම අර්ධයක් හෝ පිරී නොමැත. එබැවින් පෙර කී ජලාශයන් පිලිබද සටහන් ෂෙයාර් කිරීමෙන් මිනිසුන් කලබල කිරීමෙන් වලකින මෙන් ඉල්ලා සිටිමි. අද දිනයේ ආරම්භයට වඩා කැලනි මිටියාවත අවට තත්වය මේ වන විට තරමක් යහපත් බව මේ වන විට දැකිය හැකිය , එමෙන්ම අද රාත්‍රියේ වැසි නොවැස්සොත් ගංවතුර අවදානම පහව යා හැකිය.
– අනුරාධ සංජය සේනානායක

ලංකාවේ රජයේ ආපදා කළමනාකරණය ද සෙසු සියලු කාරණා මෙන් ම පවතින්නේ ඌන සංවර්ධිත මට්ටමක බවට විවාදයක් නැත. එහෙත්, එයට හේතු හඳුනා ගෙන පිළියම් යෝජනා කරනවා වෙනුවට එයින් දේශපාලන වාසි ගන්නට යාමෙන් මේ රටට කිසිවක් සිදු වන්නේ නැත.

අනෙක් පැත්තෙන් ආපදාවක් ඇති වන්නේ කෙසේ ද යන්න ගැන ජනතාව තේරුම් ගැනීම වැදගත් ය. ආපදා යනු කල් තබා දැනුම් දී උදා වන අවස්ථා නො වේ. එසේ ම, ආපදාවේ පරිමාණය ද කිසිවෙකුට අනුමාන කළ නො හැකි ය. ආපදා වෙනුවෙන් පූර්ව සූදානම ගම් මට්ටම දක්වා විහිදිය යුතු ය. ලංකාවේ දැවැන්ත රාජ්‍ය සේවය මේ වෙනුවෙන් සංවිධානය කළ හැකි ය. ආණ්ඩුව එය කරන තෙක් බලා නො සිට රාජ්‍ය සේවයට ම මේ පිළිබඳ යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කළ හැකි ය.

අනෙක් වැදගත් කාරණය වන්නේ ආපදාව සිදු වන්නට පෙර වළක්වා ගැනීමයි. බොහෝ නාය යාම්වලට හේතුව කඳු මුදුන් වගාවන් හා පදිංචිය සඳහා හෙළි පෙහෙළි කිරීමයි. මේ හෙළි පෙහෙළි කිරීම් කරන්නේ අන් කවරෙකුවත් නොව, මේ රටේ ජනතාව ම බව අපි දනිමු. රජයේ කැළෑ අත්පත් කරගෙන, ඒවාට බලපත්‍ර, ඔප්පු ආදිය හදා ගන්නට දන්නා අය ඒවා හෙළි පෙහෙළි කිරීම නිසා තමන්ගේ ම ජීවිතවලට සිදු වන අවදානම ගැන නො දන්නේ යයි කියන්නේ බොරුවට ය. එහෙත්, මේ ජනතාවගෙන් ඇතැම් අය දිළින්දෝ ය. ඔවුන් ඒ තැන්වල වගා කරන්නේ, ගෙවල් හදා ගන්නේ වෙනත් විකල්ප නැති නිසා ය. ලංකාවේ රජයට මේ ජනතාවට මග පෙන්වීමේ යාන්ත්‍රණයක් නැත.

ගංවතුරට ලක් වන ඇතැම් නිවාස ද නුසුදුසු තැන්වල, ප්‍රමිතියෙන් තොරව ඉදි කරන ලද ඒවා ය. එහෙත්, ජනතාවට එසේ නිවාස ඉදි කර ගැනීමට සිදු වන්නේ ඇයි ද යන්න ද වටහා ගත යුතු ය.

මේ වන විට කොළඹ හතර වටේ ම සුඛෝපභෝගී නිවාස විශාල වශයෙන් ඉදි වෙමින් තිබේ. එහෙත්, මධ්‍යම මට්ටමේ හා පහළ මට්ටමේ ආදායම්ලාභීන්ට දරා ගත හැකි කිසිදු නිවාස යෝජනා ක්‍රමයක් කොළඹ හෝ රටේ කොහේවත් නැත. තිබෙනවා නම් තිබෙන්නේ හොර මගඩි ය.

අවදානම් සහිත ස්ථානවලින් ඉවත් වන්නැයි කරන දැනුම් දීම් නො තකා හැරීම ද, සූදානමක් නැතිකම ද අවදානම දෙගුණ, තෙගුණ කරයි. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ආපදා තත්වයන් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් කරන මුත්, ඉවත් වීමට සිදු වන මිනිසුන්ගේ ගැටලු පිළිබඳ රජය හෝ වෙනත් කිසිවෙකු හෝ සොයා බලන්නේ නැත.

අපදා වැළැක්වීම සම්පූර්ණයෙන් ම ආණ්ඩුවට පවරා බැන අඬගසමින් සිටීම තරම් මුග්ධ ක්‍රියාවක් තවත් නැත. ජනතාව සියලු වගකීම් ආණ්ඩුවට නො පැවරිය යුතු ය. ආණ්ඩුවෙන් ස්වාධීනව සිය වගකීම් ඉටු කිරීමේ හැකියාව රජයට ගොඩනගා දිය යුතු ය. ඒ සඳහා ආපදා සම්බන්ධයෙන් රජය හරි හැටි ක්‍රියාත්මක වන්නේ ද යන්න විමසා බැලිය යුතු ය. එසේ ක්‍රියාත්මක වී නැති නම්,  ඔවුන්ගේ වගවීම ප්‍රශ්න කළ යුතු ය.

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ආණ්ඩුවට වඩා රජයයි. ආණ්ඩුව කළ යුත්තේ අවශ්‍ය තීරණ, තීන්දු ගැනීමයි. එහෙත්, රජය මෙතෙක් ගත් තීරණ, තීන්දු අනුව කටයුතු කර තිබිය යුතු ය.

දේශපාලකයන් සංඛ්‍යාවෙන් 500කි. රජය ලක්ෂ 14කට වැඩි මිනිස් බලයකි. එහි කළමනාකාර මට්ටමේ පමණක් 40,000ක් පමණ සිටිති.

ආණ්ඩු හා දේශපාලකයන් සාමාන්‍යයෙන් ම ආත්මාර්ථකාමී ය; ජනතාව විෂයෙහි සැබෑ සංවේදිතාවකින් තොර ය. එසේම කපටි ය. ඇමතිවරුන්ට වාහන මිළ දී ගැනීමට හෝ අමාත්‍යාංශ ගොඩනැගිලි කුලී ගෙවීමට හෝ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පරිපූරක ඇස්තමේන්තු අඩු තරමේ සිදු වී තිබෙන ආපදාව නිසා කල් තැබීමට හෝ තරම් සංවේදිතාවක් තබා උපායශීලිත්වයක්වත් වර්තමාන ආණ්ඩුවට නැත.

ඒ මුග්ධ ක්‍රියාව පාවිච්චි කර අධි සංවේදී කතා පවත්වන දේශපාලකයිනුත්, තීරු බදු රහිතව වාහන ආනයනය කර ගන්නා, ඒවා විකුණාගන්නා, පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද කිසිවක් ප්‍රතික්ෂේප නො කරන, මෙතෙක් රටට කිසිදු වැඩක් කර නැති සෝබනකාරයන් බව ද අප අමතක නො කළ යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *