|

මහින්ද රාජපක්ෂගේ තවත් මුදල් ගැහිල්ලක් කෝප් කමිටුවේ හෙළිවෙයි

 

කලක් කවරුත් බලාපොරොත්තුව සිටි ඇමැති මණ්ඩල සංශෝධනය ජනාධිපති තුමා සඳුදා සිදුකළා. කළ නොහැකි යැයි ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් සිතා සිටි ඇමැති තනතුරු මාරුකිරීම්ද එහි දී සාර්ථකව සිදු කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකිවුණා. එතුමා තම මැති ඇමැතිවරුන්ට කීවේ නියෝජ්‍ය ඇමැති හා රාජ්‍ය ඇමැති තනතුරුවල වෙනෙසක්ද ඉදිරියේ දී සිදුවන බවයි. මහින්ද අමරවීර ඇමැතිවරයා එම තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කළා.

ජනාධිපතිතුමා බදාදා ආරම්භ කළ ඕස්ට්‍රේලියානු තෙදින නිල සංචාරය කාගේත් අවධානයට ලක්වූවක්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු මීට පෙර ඕස්ට්‍රේලියාවේ මෙබඳු සංචාරයක නිරතවී නැහැ. එදින ජනාධිපතිතුමාට ලැබුණේ ඉහළම පිළිගැනීමක්. ගුවන් තොටුපළේ දී ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ ඕස්ට්‍රේලියානු අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හා රජයේ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම් නිලධාරී ඇතුළු කණ්ඩායමක් විසිනි.

සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු ඇමැති ජෝන් අමරතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා හා හර්ෂණ රාජකරුණා මහත්වරුන් ජනාධිපතිතුමාගේ නියෝජිත පිරිසට ඇතුළත් වී සිටියා.

ජනාධිපතිතුමා ඇතුළු පිරිස නැවතී සිටි කැන්බරා නයිට් හෝටලයට පැමිණි ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ඇමැති ආණ්ඩුකාර ලේකම්, අගමැති කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් හා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාද ජනාධිපතිතුමා හමුවුණා.

තෙදින නිල සංචාරය අරඹමින් ජනාධිපතිතුමා කැන්බරා නුවර විද්‍යා හා නවෝත්පාදක රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහි දී තම සංචාරය සනිටුහන් කරමින් මහෝගනි පැළයක් රෝපණය කරනු ලැබුණා.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකියන් ජනාධිපතිතුමා හමුවීම බදාදා සවස සිදුවුණා. එහි දී ශ්‍රී ලංකාවේ තත්ත්වය හා සමහර අන්තවාදීන්ගේ ක්‍රියා නිසා විදේශගත ප්‍රජාව අපහසුතාවයට පත්වීමස ගැනත් කතා බහ වුණා. ජනාධිපතිතුමා කීවේ එවැනි ක්‍රියාකාරකම් ගැන ආණ්ඩුව තදින් ක්‍රියාකරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ගියා. ඒ එරට අගමැති මැල්කම් ටර්න් බුල් මහතාගේ ආරාධනයකට අනුවයි. එහි දී ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුවේ උත්තමාචාරය පිළිගනු ලැබුවා. දෙරට නායකයන් අතර නිල සාකච්ඡා හා දෙරට අතර ගිවිසුම් අත්සන් කිරීමක් එහි දී සිදුවුණා.

පසුව එරට ආණ්ඩුකාර නිල නිවසට කැඳවාගෙන යනු ලැබූ ජනාධිපතිතුමාට ආචාර වෙඩි මුර 21ක් සමඟ හමුදා උත්තම ආචාර පිරිනමනු ලැබුවා. මෙය රාජ්‍ය නායකයකුට ඔස්ටට්‍රේලියා රජයෙන් ලබාදෙන ඉහළම උත්තමාචාරයයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 19 දා ගතකළේ මන්නාරමේ හා යාපනයේයි. එහි දී අගමැතිවරයා අදහස් කළේ රටේ ජනාධිපතිතුමා කොළඹ දී රණවිරු දිනය සමරද් දී එම යුද්ධයෙන් පීඩා විඳි උතුරේ ජනතාවගේ තත්ත්වය සොයා බලමින් ඔවුන්ගේ සිත් සන සාලීම යි. යුද්ධයෙන් වැඩියෙන්ම පීඩාවට පත් වූ ජනතාව සිටින්නේ උතුරු නැ‍ඟෙනහිර පළාත් වලයි. එල්. ටී. ටී. ඊ.ය විසින් බලහත්කාරයෙන් බඳවාගත් දහස් ගණනක් තරුණයින් මිය ගියා. විශාල පිරිසකට අත් පා අහිමි වුණා. ගෙවල් දොරවල් විනාශ වුණා. දකුණේ ජනයා යුද ජයග්‍රහණය සමරද් දී උතුරේ ජනයාගේ සිත් සතන් සැනසීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වුණා.

අගමැතිතුමා 19 දා උදේම මන්නාරම බලා පිටත්වුණා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාද සමඟයි. එහි දී මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිකරන ලද නව පරිපාලන සේවා ගොඩනැඟිල්ල අගමැතිතුමා අතින් විවෘතකරනු ලැබුවා. එම අවස්ථාවට ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ද එක්ව සිටියා.

මන්නාරමේ සිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් කෙළින්ම ගියේ යාපනයටයි. එහි දී එතුමා පිළිගන්නා ලද්දේ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ඇතුළු මැති ඇමැතිවරුන් විසින්. උතුරේ රජයේ නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයන්ගේ සමුළුවකට අගමැතිතුමා සහභාගී විය. එයට උතුරු පළාත් මහ ඇමැතිතුමාත්, පළාත් සභා මන්ත්‍රී වරුන්, පළාත් නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් රජයේ මැති ඇමැතිවරුන් රජයේ නිලධාරීන් සහභාගී වී සිටියා. උතුරු පළාත සංවර්ධනය කිරීමේ දී මතුවන ප්‍රශ්න පිළිබඳව එහිදී දිගු සාකච්ඡාවක් සිදුවුණා. සියලු අංග සම්බන්ධීකරණය කරගනිමින් උතුරු පළාතේ සංවර්ධනය වේගවත් කිරීමටත්, ජනතා ප්‍රශ්න කඩිනමින් විසඳීමටත් අගමැතිතුමා එහි දී උපදෙස් දුන්නා.

එම සමුළුවෙන් අනතුරුව අගමැති තුමා මාධ්‍යයට අදහස් දැක්වීමක් කළා . උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතාද එම අවස්ථාවට එක්ව සිටිති. එහි දී අගමැතිතුමා කීවේ උතුරු පළාත් යුද්ධය නිසා සංවර්ධනයෙන් පසුබැස සිටින පළාතක් බවයි. රට සංවර්ධනයට නම් උතුරු පළාත සංවර්ධනයට විශේෂ අවධානයක් යොමුකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා මධ්‍යම රජයේ නිලධාරින් හා පළාත් සභා නිලධාරීන් ද ජනතා නියෝජිතය න් සම්බන්ධවන යාන්ත්‍රණයක් ගොඩනඟන බව අගමැතිතුමා එහි දී ප්‍රකාශ කළා.

යාපනයේ සිට කොළඹට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අවධානය යොමු වුණේ ජනාධිපතිතුමා සමඟ එක්ව ඇමැති මණ්ඩල සංශෝධනය පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීමයි. එහි දී විවිධ අදහස් හා විරෝධතා පළවී තිබුණා. මලික් සමරවික්‍රම ඇමැතිවරයා හා ජනාධිපතිතුමා සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව අවසන් එකඟත්වයක් ඇතිකර ගැනීමට හැකිවුණා. ඒ අනුව ඇමැතිධුර වෙනස් වන එජාප මැති ඇමැතිවරුන් ඉරිදා අරලියගහ මැදුරට කැඳවා ඔවුන්ට සිදුවන වෙනස්කම් පිළිබඳ දැනුම් දෙනු ලැබුවා. සම්මුතිවාදී ආණ්ඩුව ගෙනයාම සඳහා මෙම කැබිනට් සංශෝධනය අවශ්‍ය බව වික්‍රමසිංහ මහතා ඇමැතිවරුන්ට ‍පෙන්වා දුන්නා. ඒ අනුව ඇමැති මණ්ඩල සංශෝධනය සඳුදා සාර්ථකව සිදුකරන්න හැකි වුණා.

සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමට තරුණ සේවා සභාව සංවිධානය කළ උත්සවයක් 23 දා උදේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. එහි දී සාර්ථක ව්‍යාපෘති කළ තරුණ තරුණිය න් ඇගයීමට ලක්වුණා. යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ තරුණ තරුණියන්ගේ ජයග්‍රහණ ගැන තමා විශේෂයෙන් සතුටුවන බව එහි දී අගමැතිතුමා ප්‍රකාශ කළා.

1985 වසරෙන් පසුව උතුරේඋතුරු වැඩසටහන් සියල්ල කඩා කප්පල් වූ බවත් උතුර යුද්ධ ප්‍රදේශයක් බවට පත්වූ බවත්, තරුණ තරුණියන් රට අතහැර ගිය බවත් වික්‍රමසිංහ මහතා මතක් කළා . එම තත්ත්වය වෙනස්ව උතුරේ තරුණ තරුණියන් ජයග්‍රාහී ව්‍යාපෘති ඉදිරිපත් කිරීම අගමැතිතුමාගේ පැසසුමට ලක් වුණා.

කඩවත ප්ලින්ත් කොමර්ෂල් පාර්ක්හි ඉදිවූ ප්ලෙක්ෂිප්‍රින්ට් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවය පසුගිය බදාදා පැවැත්වුණා. එය විවෘත කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින්. කර්මාන්තශාලාව ආරම්භ කරන ලද්දේ සතිෂ් අබේවික්‍රම නම් ව්‍යාපාරිකයා විසින්. විදේශ වෙළෙඳ පොළට තේ බෑග් නිෂ්පාදනය සඳහා මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබෙනවා. වසරක නිෂ්පාදන ඉලක්කය බෑග් කෝටි හැටක්.

එහි දී කතාකළ අගමැතිතුමා කීවේ ජීඑස්පී ප්ලස් සහනය ලැබෙනවාදැයි සතිෂ් අබේවික්‍රම මහතා තමාගෙන් ඇසූ බවත්, ඒ ගැන සැකයක් තියාගන්න එපා කියා තමා කී බවත්, ජීඑස්පී ප්ලස් ලැබෙන තුරු බලානොසිට සතිෂ් අබේවික්‍රම මහතා කර්මාන්ත ශාලාව ආරම්භ කළ බවයි. ජිඑස් පී ලැබී සති දෙකකින් විවෘතවන මෙම කර්මාන්ත ශාලාවට දැන් ලෝකයේ ධනවත්ම වෙළෙඳපොළ විවෘත වන බව අගමැතිතුමා කීවා. ජීඑස්පී සහනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නනම් මෙවැනි කර්මාන්තත ශාලා වැඩිවැඩියෙන් බිහිවිය යුතු බව ද අගමැතිතුමා කීවා.

මුදල් ඇමැතිධූරයට හා ජනමාධ්‍ය ඇමැතිධුරයට පත්වූ මංගල සමරවීර මහතා කී කතාවක් කාගේත් අවධානයට ලක් වුණා. ඒ මහතා කීවේ තමන්ට ලැබුණු සපත්තු දෙක ලොකු වැඩියි කියා හිතෙනවා කියායි.

මේ අතර හිටපු ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අඟහරුවාදා ජනමාධ්‍ය අමාත්‍යංශයට ගොස් සමුගැනීමක් කළා. අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලු දෙනා එයට සහභාගී වුණා. එහි දී ඇමැති ගයන්ත කීවේ “මම මේ අමාත්‍යාංශයේ අවුරුදු දෙකක් විතර වැඩ කළා. නිති පතා මම මෙහි ආවා ගියා. ඒත් පසුගිය මාස ගණනාවක් තිස්සේ මට මගේ අමාත්‍යාංශ ලේකම් තුමා මුණගැසුණේ නැහැ යනුවෙන් එය ඉතාම සිත්ගත් සමුගැනීමේ කතාවක් වුණා.

තිස්සමහාරාම, යෝධකණ්ඩිය, වෙසක් පෙරහර වසර ගණනාවක් මුළුල්ලේ පැවැති රුහුණේ එක් ප්‍රකට සංස්කෘතික කටයුත්තක් පෙරහර සමයට පෙර ප්‍රදේශයේ තරුණ තරුණියන් ප්‍රදේශයේ නිවෙසක් පාසා යමින් ඊට මුදල් එකතු කර ගැනීම සිරිතක්ව තිබෙනවා. අවට ප්‍රදේශය පුරා බහුතරයක් ඇත්තේ දුප්පත් හේන් ගොවීන්ගේ පැල්පත්. මෙවර නියගයෙන් බව භෝග විනාශ වීම නිසා පෙරහරට දෙන්නට පිච්චියක් නැතිව හූල්ලන ගැමියන්ගේ අ‍ඳෝනා අසා දැනගත් ඇමැති සජිත් ප්‍රේමදාස කළේ සිය ව්‍යාපාරික මිතුරන් හා පරිත්‍යාගශීලීන් කීපදෙනෙකුට මේ බව දන්වා රුපියල් ලක්ෂ 7කට වැඩි මුදලක් සොයා දීමයි විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටියගෙන් සජිත් ඉල්ලා සිටියේ මේ පෙරහර උත්සවය වෙනුවෙන් නොමිලයේ විදුලි බලය ලබාදෙන ලෙසයි.

ඊට නොපමාව අනුමැතිය ලැබුණා. සියලු ප්‍රත්‍ය පහසුකම් මැනවින් සම්බන්ධීකරණය වුණා. පෙරහර නැරඹීමට තනා තිබූ වේදිකාවේ සිටි සජිත් හමුවීමට පැමිණි වයෝවෘද්ධ මවක් ඊට ගොඩවීමට අමාරුවෙන් තැත් කරද් දී සජිත් උස් හඬින් කීවේ “අම්මා ඔහොම ඉන්න. මං ඔතැන්ට එන්නම්” කියායි. මව කීවේ “ පුතේ, පරහරට උදව් කළාට පිං. මාත් වෙනදා රුපියල් සීයක්ම දෙනවා. මේ පාර අපට ගායක් නෑ. කාස්ටක පෑවිල්ලෙන් ඔක්කොම දාලා පිච්චිලා ගියා නොවැ” කියායි. සජිත් කීවේ “මගේ දිවංගත තාත්තට පිං දෙන්න කරන මේ පිංකමෙන් මේ අම්මටත් පිං අයිති වෙනවා” කියායි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු යොවුන් ගම්මානයට තිස්සමහාරාම, විරවිලවත්තේ දී සජිත් අතින් මුල්ගල් තැබුණේ ඉකුත් ඉරිදායි. ‘සියවිරුගම” යනුවෙන් නම් කර ඇති එය වත්මන් රජය යටතේ ඉදිවන තුන්වැනි යොවුන් ගම්මානය මෙන්ම උදා ගම්මාන වැඩපිළිවෙ‍ලේ 418 වැනි උදා ගම්මානයද වෙනවා. වයස අවුරුදු 18 – 35 අතර විවාහක අනු පවුල් 27කට එහි නිවාස තනා ගැනීමට හැකියාව තිබෙනවා. සුබ මොහොතින් ගම්මානයේ වැඩ අරඹා අනතුරුව එහි සිටි යෞවන – යෞවනියන් සමඟ පිළිසඳරේ යෙදුණු සජිත්ට එම පිරිස කීවේ හැඟුම්බර කතාවක්. “සර් මැදිහත් වෙලා මේ වැඩේ පටන් ගත්තා මිසක් කවුරුවත් අපි දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ. අපි හැමදාම දේශපාලන ෆුට් බෝලයක් වුණා විතරයි. එක එක්කෙනාට පාප්ප බාල්දි අරන් අපි කොච්චරක් කියල ඇවිදල තියෙනවාද? නැති බැරි දුප්පත් පංතියේ අපිට ඉඩම් කෑල්ලක්, ගෙයක් කියන්නෙ හරිම වැදගත් දෙයක්. අපිට ගෙවල් හදන්න තිබුණු අක්කර 7, 000ක් පහුගිය කා‍ලෙ අමු අමුවේ කොල් කෑවා. පෝසත් උදවියට කාර් රේස් පදින්ඩ තැනක් හදන්න කියලා. දැන් නං අපිට ජීවිතේ ගැන පුංචි පහේ බලාපොරොත්තුවක් තියෙනවා සර්” කියා කිද් දී සජිත් කීවේ “අපි පක්ෂ, පාට බලන්නේ නැතිව සුදුස්සන් තේරුවා. ‘යහපාලනය’ කියන්නෙ මේක තමයි.” කියාය.

රුපියල් ලක්ෂ 3067ක වියදමකින් යුතුව ඉදි කළ මන්නාරම දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය විවෘත කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ගුවනින්ම මන්නාරමට ගියේ ඉකුත් 19 වැනි සිකුරාදා උදෑසනමයි.

ඇමැති වජිර 20 වැනි සෙනසුරාදා උදෑසනම කිලිනොච්චිය, කණ්ඩවාලයි, ධර්මපුරම් විද්‍යාලයට පැමිණියේ නිල මෙහෙවරට එක්වීමටයි. ඒ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මැතිනියද සමඟයි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු උතුරු පළාත් සභාව නියෝජනය කරන නියෝජිතයෝ රැසක්ද එක්ව සිටියා.

එහි දී වජිර අබේවර්ධන ඇමතිවරයා මහේෂ්වරන් පිළිබඳව අතීත මතක රැසක්ම ඇමතිනී විජයකලා මැතිනියට සිහිපත් කර දුන්නා. නිල මෙහෙවර පැවැති විදුහල් භූමියේ ඇවිදිමින් ජනතා ප්‍රශ්න විසඳීම පිළිබඳවද ඇමතිවරයා මෙහි දී සොයා බැලුවා.

එදින ඇමැතිවරයා කිලිනොච්චියේ රාත්‍රිය ගත කළේ පසුදින පලෙයි මහා විද්‍යාලයේ පැවැත්වීමට නියමිත තවත් නිල මෙහෙවර වැඩසටහනකට එක්වීම සඳහායි. පසුදින පැවැති එම අවස්ථාවට ද රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ද එක් වුණා . දහවල් වන විට එම භූමියෙන් පිටත් වූ ඇමැතිවරයා කෙලින්ම කොළඹ බලා ගියේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ජාවට එක් වීමටයි.

පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාව පසුගිය විසිහතර වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණේ ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා ය. එදින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශන සඳහා කැඳවා තිබුණා. සිසුන් මුහුණ දී සිටින දැඩි නේවාසිකාගාර ප්‍රශ්නයට පිළිතුරක් ලෙස නේවාසිකාගාර හැටක් ඉදිකිරීමට පසුගිය ආණ්ඩුව සමයේදීත් යෝජනා සම්මත වී තිබිණා.

ඒ අනුව මේ වනවිට එක් නේවාසිකාගාරයක් මිලියන 221ක වියදමින් ඉදිකොට තිබෙනවා. ඒ හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේය. එහි කාමර සියයක් ඇති අතර මේ වනවිට එහි කිසිදු කාමරයක් සිසුන්ගේ පාවිච්චියට ලබා දී නොතිබීම ගිණුම් කාරක සභාවේ විශේෂ අවධානයට යොමු වුණා. එයට හේතුව ලෙස හෙළිදරව් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව එහි ඉදිකිරීමට නියමිතව තිබූ පටක රෝපණ පීඨය ඉදිකොට නොතිබීමයි.

”පීඨයක් ඉදිකරන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් හරි උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හරි අනුමැතියක් ලබාගෙන තිබෙනවා” දැයි බිමල් රත්නායක මන්ත්‍රීවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කොට සිටියා. නමුත් නිලධාරීන් කියා සිටියේ එවැනි කිසිදු අනුමැතියක් සහිත ලේඛනයක් තමන් සතුව නොමැති බවයි. ”මේක පුදුම කතාවක්. පීඨයක් නැතිව හොස්ටල් එකක් හදලා. දැන් කිසිදු ප්‍රයෝජනයක් නැති ගොඩනැගිල්ලක් වෙලා. සිසුන් ඉන්න තැන්වලනේ මුලින්ම හොස්ටල් හදන්න ඕනෑ.” බිමල් රත්නායක කියා සිටියා. මෙහි දී වැඩිදුරටත් අනාවරණය වූයේ, විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට වෙන්කළ මුදලින් රුපියල් මිලියන විසිදෙකකට අධික මුදලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක වියදම් සඳහා කිසිදු අනුමැතියකින් තොරව වියදම් කොට ඇති බවයි.

පසුගිය විසිදෙවැනිදා ජවිපෙ දේශපාලන මණ්ඩලය පැවැති අතර එහි දී නැවත පැනනගින ජාතිවාදී ප්‍රවණතා පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. ”පසුගිය කාලේ වගේම ආයෙත් ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙන්න පටන් අරගෙන. විවිධ සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. මේවට හරි විදියට ආණ්ඩුව මැදිහත්වෙන්නේ නැති නිසා නැවත ජාතිවාදී ප්‍රවණතා උඩට මතුවෙනවා.” ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියා. කටාර් සංචාරයක් නිමවී එදිනම දිවයිනට පැමිණි විජිත හේරත් මේ පිළිබඳව විශේෂ සිදුවීම් කිහිපයක් පක්ෂ නායකයින්ට විස්තර කළා. ”මම කටාර්වල දී ලාංකිකයින් පවත්වාගෙන යන මිශ්‍ර පාසලකට ගියා. ඒකේ ළමයි 2000කට ආසන්න පිරිසක් ඉන්නවා. වෙසක් උත්සවයක් තිබුණේ. ඒකේ ක්‍රියාකාරකම්වලට සහභාගි වුන ළමයිට

මම ත්‍යාග, සහතික පත් දුන්නා. විශේෂම කාරණය වුණේ බෞද්ධ නාට්‍ය රඟපෑවේ මුස්ලිම් ළමයි. බෞද්ධ ගීත ගායනා කළේ දෙමළ ළමයි. උත්සවය ඉවර වෙලා ලොකු දන්සලක් දුන්නා. ඒ දන්සල සංවිධානය කළේ දමිළ ව්‍යාපාරිකයෙක්. එහෙ මිනිස්සු ඉතාම සමගියෙන් සතුටින් ජීවත් වෙනවා. මෙහෙ මිනිස්සු ජාතිවාදය වපුරනවා.” විජිත හේරත් කියා සිටියා.

”ඔව් සමහර සිදුවීම්වලට ආණ්ඩුවේ නිශ්චිත මැදිහත්වීමක් කරනවානම් ජාතිවාදී ගැටුම්වලට නොගිහින් ඒවා වළක්වාගන්න පුළුවන්. නමුත් ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැති නිසා ජාතිවාදී පැත්තට තල්ලූ වෙනවා. මේ ගැන අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් දාමු. පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන එක වැදගත්.” අනුර දිසානායක කීවා.

එක්සත් සමාජවාදී පෙරමුණේ පුවත්පත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර මහතා කළ ප්‍රකාශයක් නිසා එම පක්ෂය තුළ ගැටුමක් ඇතිවී තිබෙනවා.

ගජධීර මහතා කීවේ අපට අවශ්‍ය ඇමැති මාරුවක් නොව ආණ්ඩු මාරුවක් බවයි. මෙම ප්‍රකාශය ඒ මහතා කළේ පක්ෂයේ නිසි අවසරයකින් නොවෙයි. පක්ෂයේ බහුතරය නියෝජනය කරන ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායම ප්‍රශ්න කරන්නේ මේ අවස්ථාවේ ආණ්ඩු වෙනසක් ඉල්ලන්නේ කවුරු බලයට ගේන්නද? යන්නයි. පක්ෂයේ මතය වී ඇත්තේ මේ මොහොතේ අවශ්‍යතාව ආණ්ඩුවත් සමඟ එක්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම බව යි. ජාතිවාදීන්ට බලය ගැනීමට උදව් වන වැඩ කිරීමට පක්ෂයේ එකඟත්වයක් නැහැ. ඒ නිසා ගජධීර මහතාගේ ඉහත ප්‍රකාශය ගැන නිදහසට කරුණු විමසීමත්, එයට විනය පියවර ගැනීමටත් අවශ්‍යබව පක්ෂයේ බහුතරයකගේ මතය වී තිබෙනවා. මේ ගැන පක්ෂය තුළ දැඩිවාද විවාද සිදුවෙනවා.

දිණමින – ගොසිප්ලන්තය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *