පාදෙණිය මහත්තයෝ කාගෙත් රතු ඉර පනින්න ළඟයි – භාතිය බරුකන්ද

 

මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවටවත්, යමක් කමක් තියෙන පුද්ගලයන්ටවත් කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේකෙන් බැට කන්නේ දුප්පත්ම ජනතාව තමයි. මොකද අද රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට එන්නේ ඔවුන්ම පමණයි. අනෙක් පිරිස තමයි විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන්. අද ලංකාවේ විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන්ගෙන් අති බහුතරය තමන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා ගන්නේ රජයේ රෝහල්වලින්.

අකමැත්තෙන් හෝ නැවත වරක් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වැඩ වර්ජනය ගැන ලිවීමට සිදුව තිබේ. ඒ පහසුවෙන් බැහැර කරලිය නොහැකි කාරණා කිහිපයක් නිසාය. අනෙක් අතින් මොවුන් විසින් දිගින් දිගටම රැඳී සිටින අන්තවාදී හා ෂයිලොක් මානසිකත්වය නිසා දුකටත් පීඩාවටත් පත්ව සිටින පාර්ශ්වයන් රැසකට යුක්තිය ඉටුවිය යුතු නිසාය.

‘සත්‍යග්‍රහයට දින 500 ’ වෛද්‍ය පීඨ සිසුන්ගේ මවුපිය එකමුතුව’ පසුගියදා දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් මතභේදයට ලක්ව ඇති සයිටම් ආයතනය වසා දමන ලෙස රජයට බල කර තිබුණේය. ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සඳුදා දින යළිත් ඒකපාර්ශ්විකව දිනක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරමින් සුපුරුදු ආකාරයට මෙරට දුප්පත් රෝගීන් හා රජයේ රෝහල්වලින් සිදු කරගත යුතු වෙනත් සේවා ලබාගැනීමට සිටින ජනතාව දැඩි අපහසුතාවට පත් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයෙන් දිගින් දිගටම අත්තනෝමතික ආකාරයෙන් වැඩවර්ජන වෙත යාම සමඟ ඔවුන් වැඩවර්ජන සම්බන්ධයෙන් වන සියලූම ආකාරයේ සදාචාරාත්මක සීමා ඉක්මවා ගොස් සිටින බව මොනවට පැහැදිලි වෙයි. ඔවුන් අද ඒ සම්බන්ධයෙන් කොතරම් දුරට පිරිහී සිටින්නේ ද යන්න සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයකට ( සයිටම් විරෝධී පහර දීම වැනි නිතර දැකිය හැකි සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇති හුදු සිදුවීමක් පවා දඩමීමා කර ගනිමින් ) පසුගිය සඳුදා එක්දින වැඩවර්ජනයක් වෙත යාම මගින් පෙන්වා ඇත.

මෙරට පොදු ජනතාව පමණක් නොව සයිටම් ආයතනය අර්බුදයක් කර ගනිමින් මීට පෙර පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනයට සහාය දුන් දුම්රිය, ගුරු ඇතුළු වෘත්තීය සමිති පසුගිය සඳුදා පැවැති වැඩවර්ජනයට සහභාගි නොවීම හරහා ද පැහැදිලි වන්නේ වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළින් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යම් ආකාරයක හුදකලා වීමක් දක්වා ගමන් කරමින් සිටින බවයි. ඒ සමඟම ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් ප්‍රබලයන් පවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අන්තනෝමතික හා ෂයිලොක්වාදී ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට ගමන් කරමින් සිටින බවක් දැකිය හැකි බව මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහසයි. එසේ නොවේ නම් පසුගිය සඳුදා සිදු වූ ආකාරයෙන් හුදකලා වැඩවර්ජනයක් වෙත ගොස් තමන් ගමන් කරමින් සිටින අාගාධය ප්‍රදර්ශනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවන්නේ නැත.

පසුගිය සඳුදා පැවැති වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් තම සංගමය තුළ පොදුවේත් වෛද්‍යවරුන් බහුතරයක් තුළ පුද්ගලිකවත් කිසිඳු ආකාරයක ප්‍රසාදයක් නොමැති බව මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ වෛද්‍යවරුන් කිහිප දෙනකු සඳහන් කළේය.

‘මේක සම්පූර්ණයෙන්ම වෘත්තීය සමිති බලය පමණක් නොවෙයි. වෛද්‍ය ආචාර ධර්ම පවා නොතකා හැරීමක්. අපි වෛද්‍යවරුන් විදිහට දන්නවා යම් පුද්ගලයෙක් රජයේ රෝහලකට එනවා කියන්නේ ඔහු දුප්පත් අයෙක්. යමක් කමක් පුළුවන් අති බහුතරයක් ආණ්ඩුවේ රෝහලකට එන්නේ නැහැ. ඉතිං මේ අපි පීඩාවට පත් කරන්නේ මේ රටේ දුප්පත් ජනතාව. අනෙක් පැත්තෙන් රෝගියෙක් කියන්නේ ප්‍රතිකාර කිරීම එක මොහොතක්වත් පමා නොකළ යුතු කෙනෙක්. ඔහු රෝගී වූ විට දැඩි වේදනාවකට පත් වෙනවා. අසරණ වෙනවා. එහෙම පුද්ගලයෙක් තවත් අමතර දවසක් මේ වේදනාව, අසරණකම ඉවසා ගෙන ඉන්නවා කියන්නේ, ඉන්න වෙනවා කියන්නේ ඇත්තටම මානුෂික ප්‍රශ්නයක්. වෛද්‍යවරුන්ට වෘත්තීය ආචාර ධර්ම මත පමණක් නොවෙයි සදාචාරය මත වුණත් මේ වාගේ රෝගීන්ට ප්‍රතිකාර නොකර ඉන්න බැහැ. හැබැයි අපේ වෛද්‍ය සංගමය ඒ වැඩේ පසුගිය කාලය පුරාම දිගින් දිගටම කරමින් ඉන්නවා. මේ ප්‍රවීණ වෛද්‍යවරයෙක් තමන් පත්ව ඇති අසරණභාවය මේ ලියුම්කරු සමඟ හෙළිකළ ආකාරයයි.

රජයේ වෛද්‍යවරුන් මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයන් කිහිප දෙනකුගේ පටු දේශපාලන වුවමනා එපාකම්වල ඉත්තන් වී සිටින බව වත්මන් තත්ත්වයේ මානුෂික පැතිකඩ දෙස වඩාත් සංවේදීව බලන වෛද්‍යවරුන් බහුතරයකගේ අදහසයි.

‘අපි දන්නවා මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවටවත්, යමක් කමක් තියෙන පුද්ගලයන්ටවත් කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේකෙන් බැට කන්නේ දුප්පත්ම ජනතාව තමයි. මොකද අද රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට එන්නේ ඔවුන්ම පමණයි. අනෙක් පිරිස තමයි විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන්. අද ලංකාවේ විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන්ගෙන් අති බහුතරය තමන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා ගන්නේ රජයේ රෝහල්වලින්. බලන්න බාහිර ප්‍රතිකාර අංශය පිරිලා තියෙන්නේ මෙවැනි වැඩිහිටියන්ගෙන් සහ දුප්පත් පවුල්වල දරුවන්ගෙන්. අද වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනවල ගොදුර වෙලා තියෙන්නේ මේ පිරිස. අපිටත් තේරෙන්නේ නැහැ අපි මේ වැඩවර්ජනය කරන්නේ කවුරුන් වෙනුවෙන්ද කියලා. අපිට වෘත්තිකයන් විදිහට වෘත්තීය සමිතිය ගන්න තීරණවලට එකඟ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි අපේ වෘත්තීය අයිතිවාසිකම් සියල්ල දිනාගත්තේ මේ හරහා. ඒ නිසා අපි කැමැති නැහැ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිම ආකාරයකින් දුර්වල වෙනවා දකින්න. ඒත් අපිට දැන් ඒ ගැනත් හිතන්න තරම් කරුණු යෙදිලා තියෙනවා. අපිත් දැන් ඉන්නේ දෙඩිගියාවෙන් ’ කොළඹ මහ රෝහලට සම්බන්ධ වෛද්‍යවරුන් කිහිප දෙනකුම තම අදහස සාරංශ කළේ මේ ආකාරයෙනි.

අද වෛද්‍යවරුන් අති බහුතරයකගේ අදහස වන්නේ මේ ආකාරයෙන් ඉහළින් එන අණක් අනුව තමන් දිගින් දිගටම වැඩවර්ජනය කරන්නේ කවුරුන් වෙනුවෙන් ද යන්න තමන්ට පැහැදිලි නැති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන් තම සංගමයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ස්වයං විවේචනයක යාම වර්තමානය වන විට වර්ධනය වෙමින් පවතින ධනාත්මක ප්‍රවණතාවක් වශයෙන් සැලකිය හැකිය. මේ තත්ත්වය පොදුවේ ජනතාව සම්බන්ධයෙන් අස්වැසිල්ලක් වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයන් සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීමක් වනවාට සැක නැත.

වෛද්‍යවරුන් පමණක් නොව පසුගිය කාලය පුරාම පොදුවේ වෘත්තිකයන් අසන ප්‍රශ්නයක් වන්නේ තම ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා සම්බන්ධයෙන් මේ ආකාරයේ මරාගෙන මැරෙන කැක්කුමක් තිබෙන්නේ වෛද්‍යවරුන්ටම පමණක් ද ? යන ප්‍රශ්නයයි. ඔවුන්ගේ පොදු අදහස වන්නේ වත්මන් විවෘත වෙළෙඳපොළ ආර්ථිකය තුළ පෞද්ගලික අධ්‍යාපනය යථාර්ථයක් වන තත්ත්වයක් හමුවේ කිසිම වෘත්තියකට අදාළ අධ්‍යාපනය තුළ සියයට සියයක ගුණත්වයක් අපේක්ෂා කළ නොහැකි බවයි. එය ගණකාධිකාරී, නීතිඥ ඇතුළු සියලූම වෘත්තීය ක්ෂේත්‍රවලට පමණක් නොව ජනමාධ්‍ය ඇතුළු තවත් අධ්‍යාපන ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ඍජුවම අදාළ වන බව ඔවුන්ගේ අදහසයි.

‘අපිටත් මේක තේරුම් ගන්න බැහැ. මේ රටේ ගණකාධිකාරී, කළමනාකරණ, මිනින්දෝරු, නීතිඥ වාගේ උපාධි රාජ්‍ය විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන විශාල ගණනකින් ලබා දෙනවා. අපිත් පුද්ගලිකව දන්නවා. මේ බොහොම ආයතනවල පමණක් නොවෙයි. උපාධියේ පවා ගුණාත්මකභාවය හා සම්බන්ධ ගැටලූ තිබෙන බව. ඒත් අපිත් රජයේ වෛද්‍යවරුන් වාගේ වැඩවර්ජනවලට ගියොත් මොකද වෙන්නේ ? ’ මේ වරලත් ගණකාධිකාරීවරයකු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ප්‍රවේශය හමුවේ තවත් වෘත්තිකයන් පිරිසක් දරන මතය ප්‍රකාශ කළ ආකාරයයි.

මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පමණක් නොව වෘත්තිකයන්ගේ පවා පොදු අදහස වන්නේ කිසිදු ආකාරයකින් කිසියම් වෘත්තියක් හෝ වෘත්තීන් කිහිපයක් උසස් කොට සැලකීම හෝ අධි වරප්‍රසාදිත තත්ත්වයක සැලසීම ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව මානව ගරුත්වයට පවා හානියක්, නිගරුවක් වන බවයි. මේ කතාව අප විශේෂ අවධානයට ගත යුත්තකි. මන්ද මේ සමාජය තුළ අධි වරප්‍රසාදිත තත්ත්වයක් අත්පත් කොට ගැනීමට තැත් කරන්නේ මිනිස් ජීවිත හා මිනිසාගේ දුක හා වේදනාව ඇපයට ගත හැකි එක් වෘත්තිකයන් පිරිසක් පමණක් වීම නිසාය.

‘දොස්තරලා වගේම නර්ස්ලාත් රෝගීන් හා සම්බන්ධයෙන් වැදගත්. ඒත් මේ දොස්තර මහත්තුරු හෙදියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කර ගන්න කිසිම ආකාරයක අවස්ථාවක් දෙනවාද ? නැහැ. අදත් හෙද උපාධිය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරාම දැවැන්ත අර්බුදයක් තිබෙනවා. මේ වෛද්‍යවරු රෝගීන්ගේ ජීවිත ගැන හරියට වගකියනවා නම් හෙදියන්ටත් වඩාත් හොඳ වෘත්තීය අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට සහාය විය යුතුයි. අනුබල දිය යුතුයි. එහෙම වුණොත් විතරයි රෝගීන්ට වඩාත් හොඳ සේවයක් ලැබෙන්නේ. ඒත් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපි කවුරුත් දන්නවා. හෙද උපාධිය ඇතුළු වෙනත් රෝහල් කාර්ය මණ්ඩලවල උසස් අධ්‍යාපන හා වෘත්තීය අවස්ථාවන්ට මේ වෛද්‍යවරු අකුල් හෙළනවා. ඔවුන්ම සියල්ලම අත්පත් කර ගන්න තමයි හැමදාම උත්සාහ කරන්නේ. කොටින්ම කියනවා නම් මේ දොස්තර මහත්තුරු කිසිම කෙනෙක් ඉහළට ඉගෙන ගන්නවාට කැමැති නැහැ. කුහකයි’ මේ මහරගම පිළිකා රෝහලේ හෙදියක් තමන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සෙසු වෘත්තීන් වෛද්‍යවරුන්ගේ ‘ගොඩබදා ගැනීමේ න්‍යාය’ හමුවේ අසරණභාවයට පත්ව සිටින ආකාරය දකින ආකාරයයි.

මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ හෙදියන් ඇතුළු රජයේ රෝහල් හා සම්බන්ධ සෙසු නිලයන්ගේ බහුතරයක් කියා සිටියේ වෛද්‍යවරුන් ඔවුන්ගේ හැර සෙසු සියලූ රෝහල් කාර්ය මණ්ඩලවල උසස් අධ්‍යාපන අවස්ථාවන්ට එරෙහි වෙමින් අතිශයින් කුහක සහ ආත්මාර්ථකාමී භාවිතයක් ප්‍රදර්ශනය කරන බවයි.

‘මේකට හේතුව පැහැදිලියි. මෙතැන තියෙන්නේ වරප්‍රසාද සහ මුදල් සම්බන්ධ ගැටලූවක්. ලංකාවේ වෛද්‍යවරු කෝටිපතියෝ වුණාට, මෙහෙ සුපිරි වරප්‍රසාද ලැබුවට බටහිර රටවල්වල එහෙම තත්ත්වයක් නැහැ. මේ ගොඩක් දොස්තර මහත්තුරු බලන්නේ ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය වාගේ රටකට පැන ගන්න. එහෙම ගියත් එහෙ දොස්තරකම් අමාරුයි. මේ වගේ සල්ලි හොයන්න බැහැ. ඒ නිසා මෙහෙන් දෙන අයිටී පුහුණුව පවා ඔවුන් අපිට නො දී ඩැහැ ගන්නවා. ඒ වෙන මොනවටවත් නොමෙයි. රටින් පැනලා ගිහින් පිටරටක මොනවා හැරි වැඩ කරන්න’

හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල තමන්ගේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය මේ ආකාරයෙන් හෙළා දකින්නේ කරුණු කාරණා ඇතිව බව අප වටහා ගත යුතුය. ‘තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන මිනිහා’ කිව්වා සේ අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය අත්තනෝමතිකත්වයෙන් හා ආත්මාර්ථකාමීත්වයෙන් බැට කන්නේ අහිංසක රෝගීන් පමණක් නොවන බව පමණක් අප වටහා ගත යුතුය.

හතු පිපෙනා ආකාරයෙන් අයිතිවාසිකම් දිනා ගැනීමේ සංවිධාන බිහිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකමක් වශයෙන් අර්ථ ගැන්විය හැකිද යන්න ගැන අප ප්‍රශ්න කළ යුතුය. මන්ද මේ වන විට විවිධ දේශපාලන පක්ෂ හා සංවිධානවල අතකොළු බවට පත්ව සිටින හුදු නාමධාරී සංවිධාන රැසක් කලඑළි බැස තිබෙන නිසාය. මේ අතරින් මේ ලියුම්කරුගේ දැඩි අවධානය දිනාගත්තේ ‘රජයේ වෙද්‍ය සිසුන්ගේ මවුපිය එකුමුතුව’ හෝ ආසන්න නමක් යටතේ පසුගිය බදාදා දින ප්‍රධාන නගර රැසක අලවා තිබූ දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයයි.

බැලූ බැල්මට ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමීන්ගේ අනුබලය හෝ අධාර ලබන කිසියම් කල්ලියක් විසින් අලවා තිබූ මේ පෝස්ටරයෙන් කියා තිබුණේ ‘සත්‍යග්‍රහයට දින 500 ’ යි යනුවෙනි. මේ කියන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ගේ මවුපියන් විසින් කරන සත්‍යග්‍රහයක් ගැන විය යුතුය.

ප්‍රථමයෙන්ම ලංකාවේ කවුරුන් හෝ විසින් කුමන අරමුණක් හෝ වෙනුවෙන් දින 500ක සත්‍යග්‍රහයක් කිරීම ගැන අප ආඩම්බර විය යුතුය. මන්ද ‘සත්‍යග්‍රහ’ ලෝකයට හඳුන්වා දුන්, අතිශයින්ම මානවවාදී අරමුණු වෙනුවෙන් එම බලය කැප කළ මහත්මා ගාන්ධිතුමාගේ නාමයට පවා මෙවැනි දින 500ක සත්‍යග්‍රහ ව්‍යාපාරයක් මගින් ගෞරවයක් එකතු වන බැවිනි.

එහෙත් ඇත්තටම මේ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ අරමුණ කුමක්ද ? වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයන්ගේ මවුපියන්ට තම දරුවන් වැනි තවත් දරුවන් පිරිසකගේ අධ්‍යාපන අවස්ථා මේ ආකාරයෙන් පැහැර ගැනීමට ඇති අයිතිය කුමක්ද යන්න ගැන අප විමසිය යුතුය. මන්ද ‘මොන ධෛර්ය දමා හෝ වාසනාව නිසා හෝ තම දරුවා වෛද්‍ය පීඨයට තේරුණු පසු ඔහුට පිටුපසින් සිටි අනෙකා ගැන සංවේ දී නොවී ඔහු හෝ ඇයගේ අධ්‍යාපන අයිතියට බාධාකාරී ආකාරයෙන් හැසිරීමට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැති බව අපගේ විශ්වාසය වන හෙයිනි.

මෙය තවත් සරලව පැහැදිලි කරන්නේ නම් කොළඹ දිස්ත්‍රික්කයට හිමිවන වෛද්‍ය පීඨ කෝටාවෙන් පසු ඊළඟට සිටින මුල්ම සිසුවාට වෛද්‍යවරයකු වීම සඳහා ඇති අයිතිය ප්‍රශ්න කිරීමට ඔහුට ඉදිරියෙන් සිටි ශිෂ්‍යයාගේ මවුපියන්ට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද ?

මේ ගැන මනා වැටහීමක් අපට සයිටම් සිසුවියකගේ මවක් කී මේ කතාව ප්‍රමාණවත් වේ.

‘‘මගේ දුව ගම්පහ ප්‍රධාන බාලිකාවක ඉගෙන ගත්තේ. උසස් පෙළින් ඉහළම ලකුණු ගත්තා. ඒත් වෛද්‍ය පීඨයට තේරුණේ නැහැ. එයාට වඩා ගොඩක් අඩු ලකුණු ගත්ත පුත්තලමේ එයාගේ යාළුවා පුත්තලමෙන් වෛද්‍ය පීඨයට තේරුණා. ඒ ළමයයි අපේ දුවයි සාමාන්‍ය පෙළ ඉවර වුණ කාලේ ඉඳන් ක්ලාස් ගියේ ගම්පහට. ඒ ළමයා ඉස්කෝලේ ගියේ නැති තරම්. ඒත් ප්‍රතිඵල ආවම එකට ගම්පහ පන්ති ගිය වැඩි ලකුණු ගත්ත මගේ ළමයා ගෙදර. අඩු ලකුණු ගත්ත ළමයා කැම්පස්. මේක මගේ දුවගේ මානසිකත්වයට හොඳටම බලපෑවා. ඒ නිසයි අපි අපේ සේරම වත්කම් එකතු කරලා හොයා ගත්ත සල්ලිවලින් අපේ දුවව සයිටම් එකට දැම්මේ. දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ කබළෙන් ළිපට වැටුණා වාගේ තත්ත්වයක්. අපේ ළමයි අද සමාජය ඉදිරියේ හෑල්ලූවට ලක් වෙලා. අපහාසයට ලක් වෙලා ’

මෙවැනි කතා සිය ගණනක් අපට මේ වන විට එකතු කර ගත හැකියි. මේ ලියුම්කරු සමඟ අදහස් දක්වමින් සයිටම්හි අධ්‍යාපනය ලබන සිසුවකුගේ තවත් පියෙක් කියා සිටියේ ‘බංග්ලාදේශයෙන් ඉගෙන ගෙන ආපු අය වෛද්‍යවරු වෙන හැටි අද අපිට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. අපේ ළමයින්ට වෙලා තියෙන අසාධාරණය ගැන කිසිම කෙනෙකුට වගකීමක් නැහැ’ යනුවෙනි.

යම් කිසි රෝගයක් සඳහා ලබාදෙන ඖෂධය මුලින්ම ලබා දී එය දිගින් දිගටම එකී රෝගියා වෙනුවෙන් ලබාදුනහොත් සිදුවන දේ ගැන අපට වඩා වෛද්‍යවරුන්ට මනා අවබෝධයක් තිබෙන බව අපගේ විශ්වාසයි. වැඩවර්ජන ද සැලකිය හැක්කේ ඒ ආකාරයෙනි. වෘත්තීය අයිතිවාකම් දිනාගැනීමේ අරගලයේ තීරණාත්මකම අවිය, අවසන් අවිය වන වැඩවර්ජන දිගින් දිගටම කිරීම මගින් මේ වෛද්‍යවරුන් කරමින් සිටින්නේද ඉහත සඳහන් පරිදි අසාධ්‍ය රෝගියා සඳහා අවසන් ඖෂධය දිගින් දිගටම භාවිත කිරීමයි. මේ නිසා අපට නුදුරේම අප කිසිවකු විශ්වාස නොකරන ප්‍රතිඵලයක් දැකගත හැකිවනු ඇත. මන්ද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අවසන් ඖෂධය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ගෙන ඇති නිසා පමණක් නොව සමාජයක් ලෙස ඉවසීමේ ද සීමාවක් ඇති හෙයිනි.

භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *