දිවයින පුරා හදිසි ආපදා තත්වයක් !

දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් තත්ත්වයක් උද්ගතවී ඇත.

ගාල්ල, මාතර, හම්බන්තොට, මතුගම, රත්නපුර, කළුතර ආදී දිස්ත්‍රික්ක රැසක මාර්ග හා නගර ගංවතුරින් යටවී ඇති අතර නාය යාම් හේතුවෙන් බුලත්සිංහල, සපුගස්කන්ද හා අගලවත්ත යන ප්‍රදේශවලින් ජීවිත හානිද වාර්තා විය.

පවතින අධික වර්ෂාවත් සමග දකුණු හා සබරගමු පළාත් ජලයෙන් යටවී ඇති අතර අගලවත්ත, බුලත්සිංහල හා සපුගස්කන්ද ප්‍රදේශවලින් ජීවිත හානි ද වාර්තා වේ. මේ වනවිට මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ නැග ඇත. බුලත්සිංහල, බෝගහවත්ත කන්ද නාය යාමෙන් 9 දෙනකු මියගොස් ඇති අතර අගලවත්ත, මාවතවත්ත නිවාස තුනක් නාය යාමෙන් පුද්ගලයින් සිව් දෙනකු මියගොස් ඇත. මේ අතර සපුගස්කන්දේ පස් කන්දකට යටවූ මවක හා දියණියක ද මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මාතර දිස්ත්‍රික්කයට නොකඩවා දින දෙකක් තිස්සේ ඇඳ හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් දෙණියාය මොරවක,වරල්ල,අකුරැස්ස,කඹුරුපිටිය,දෙයියන්දර,පල්ලේගම සහ මාකදුර ආදි ප්‍රදේශ රැසක් ගංවතුරින් යට වීම නිසා අවතැන් වූ  ජනතාව බෝට්ටු මඟින් බේරා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි. මේ හේතුවෙන් මොරවක් කන්ද ප්‍රදේශයේ නාය යාම හේතුවෙන්  නිවාස 10ක් පමණ සම්පූර්ණයෙන් නාය ගොස් ඇති අතර 20 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇත.

අධික වර්ෂාවත් සමග රත්නපුර නගරය ද ජලයෙන් යටවී ඇත.  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 6කට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට එලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, කුරුවිට, ඉඹුල්පේ, අයගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය හා දෙහිඕවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදාළ අනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.

Gayan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *