ජෝන් කොතලාවලගෙන් පසු මෛත්‍රීපාල

ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුවක් අද(25) කැන්බරා නුවර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
දෙරට අතර සම්බන්ධතාවය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ජනපති හා ඕස්ට්‍රේලියා අගමැති අතර සාකච්ඡා පැවැත්වෙන අතර දෙරටෙහිම ඇමැතිවරුන් හා නිලධාරීන් අතර ද සාකච්ඡා පැවැත්වේ.
එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඕස්ට්‍රේලියානු සංචාරය මගින් දෙරට අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතා විශාල පරිමාණයකින් ඉහළ යනු ඇතැයි එම සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ තුන්දින නිල සංචාරය සිදු කෙරෙන්නේ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් විසින් කරන ලද ආරාධනයකිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර හැටක පමණ කාලයකට පසුව බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

හිටපු අගමැති ජෝන් කොතලාවල මෙයින් දශක හයකට පෙර ඕස්ට්‍රේලියාවේ නිලසංචාරයක නිරත වූ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වන අතර ඔහු එම සංචාරයේ නිරත වී ඇත්තේ ‘කොළඹ ක්‍රමය’ (Colombo Plan) ආර්ථික සැලැස්ම ආරම්භ කරනු ලැබීමෙන් පසුවයි.

ඔස්ට්‍රේලියාව ‘කොළඹ ක්‍රමය’ (Colombo Plan) ආර්ථික සැලැස්මේ ඉදිරි පෙළේ සාමාජික රාජ්‍යයක් විය. ‘කොළඹ ක්‍රමය’ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතීන් කීපයකට දායක වී ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය , කිරි නිෂ්පාදනය සහ පතල් කර්මාන්තය ඇතුළුව තවත් ක්ෂේත්‍ර කීපයක ආයෝජන පිළිබඳව ඕස්ට්‍රේලියාවේ අවධානය දැනට යොමුව ඇති බව ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ද්විපාර්ශ්වීය සම්බන්ධතා ශක්තිමත් කරමින් අවබෝධතා ගිවිසුම් කීපයක් ද අත්සන් තැබීමට නියමිත බවත් මහකොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කෙරුණ නිවේදනයේ දැක්වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *