ජනපති නිවාස වටලා කුඩු කරන බවට 119 ට ඇමතුමක් !

ජනාධිපති නිල නිවෙස වටලා කුඩු කරන බවට ලද තර්ජනාත්මක දුරකථන ඇමැතුමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (24දා) දක්වා සිටියේය. පොලිස් හදිසි ඇමැතුම් අංශයට (119) ලද එම තර්ජනාත්මක දුරකථන ඇමැතුම පිළිබද එම අංශයේ ස්ථානාධිපතිවරයා කුරුදුවත්ත පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

පෙරේදා (23දා) දින පොලිස් හදිසි ඇමැතුම් අංශය වෙත එම තර්ජනාත්මක දුරකතන ඇමැතුම් ලැබී ඇතැයි දන්වා සිටි පොලීසිය අදාළ ඇමැතුම දුන් පුද්ගලයා ජනාධිපතිතුමා සුළු ජාතීන්ට අදින පුද්ගලයකු බවත්, අද දින රාත්‍රී ජනාධිපති නිල නිවෙස හාමුදුරුවන් සමග වටලා කුඩු කරන බවත් සදහන් කරමින් තර්ජනයක් එල්ල කර ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.එම තර්ජනාත්මක දුරකතන ඇමැතුමට අනුව යම් සිදුවීමක් වුවහොත් එය ජාතික සංහිදියාවට බාධාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් දුරකතන ඇමැතුම දුන් අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වන බව පොලීසිය දන්වා සිටියේය.

මෙම තර්ජනාත්මක දුරකථන ඇමැතුම ජාතිවාදය අවුස්සන කල්ලියකගේ වැඩක්ද ? යන්න පිළිබද සෙවීමට පරීක්ෂණ පවත්වන බව දැනුම් දුන් පොලීසිය, තර්ජනය එල්ල කරනු ලැබූ දුරකථනයට අදාළ ඇමැතුම් විස්තර වාර්තා අධිකරණ නියෝග පරිදි ලබාදෙන ඉදිරි විමර්ශන කරන බව දන්වා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *