|

සම්මුතිවාදී ඇමැති මාරුව – සී. ජේ. අමරතුංග

 ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ඇමැති මණ්ඩල සංශෝධනය සඳුදා සිදුවිය . එය සිදුවන තෙක් ප්‍රචාරය වූයේ මහා අවුලක් ඇති බවටය. යහපාලනයට සම්බන්ධ පක්ෂ දෙක අතර මහා ගැටුමක් ඇති බවට පුවත් පළවිය. ඒකාබද්ධ විපක්ෂය බලා සිටියේ ‍මෙයින් ආණ්ඩුව කැඩෙනතෙක්ය. ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ නිසාද එබඳු ප්‍රචාරයන්ට වාසියක් අත්වූ බව පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත් අවසානයේ දෙපාර්ශ්වයට එකඟ විය හැකි ඇමැති මාරුවක් සිදුවී තිබේ. දෙපැත්තේම ඇමැතිවරුන් කිහිපදෙනකුගේ විෂයන් වෙනස් වී ඇත. සමහරුන්ට අමතර විෂයන් පවරා දී තිබේ.

කාගේත් අවධානයට ලක්වූ ප්‍රධාන සිදුවීම නම් රවි කරුණානායක මහතා විසින් දරන ලද මුදල් අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතාටත්, සමරවීර මහතා දැරූ විදේශ අමාත්‍ය ධුරය කරුණානායක මහතාටත් හිමිවීමයි. ජනමාධ්‍ය අමාත්‍ය ධුරයද මංගල සමරවීර මහතාට හිමි වී තිබේ. ජනමාධ්‍ය ඇමැති ධුරය දැරූ ගයන්ත කරුණාතිලක මහතාට ඉඩම් ඇමැති ධුරය හිමිව තිබේ.

අනෙක් ප්‍රධාන වෙනස නම් අර්ජුන රණතුංග මහතා දැරූ වරාය ඇමැති ධුරයට මහින්ද සමරසිංහ මහතා පත්කොට අර්ජුනට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය ධුරය ලබාදීමයි. නිපුනතා සංවර්ධන ඇමැති ධුරය චන්දිම වීරක්කොඩ මහතාට හිමිවිය. එස්. බී. දිසානායකට හා ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරුන්ට පළාත් සංවර්ධනය සඳහා අමතර විෂයක් එක්කර ඇත . මහින්ද අමරවීර ඇමැතිවරයාට ධීවර ඇමැති ධුරයට අමතරව මහ වැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයද හිමිව තිබේ. කලකට පෙර ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ තිලක් මාරපන මහතාට සංවර්ධන කාර්යයන් පිළිබඳ කැබිනට් ඇමැති ධුරය හිමිවීමද විශේෂ සිදුවීමක් වී තිබේ.

ෙදවසරක අභිෙයා්ග

2016 අගෝස්තු මැතිවරණයෙන් පසුව සම්මුතිවාදී ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය පත්කිරීමේදී මංගල සමරවීර මහතාටත් රවී කරුණානායක මහතාටත් පැවරුණේ ඉතාමත් වැදගත් අමාත්‍යංශ දෙකකි. ඒ වනවිට රට ආර්ථික අගාධයක තිබූ අතර රජයේ වියදම් පියවාගැනීම ද අමාරු තත්ත්වයක පැවතිණි. ඒ අතර රජයේ සේවක වැටුප් වැඩිකිරීම, ඛනිජ තෙල් මිල හා වෙනත් භාණ්ඩ මිල අඩුකිරීම වැනි ජනතාවට දුන් සහන සඳහා ද මුදල් සොයාගත යුතුව තිබිණ. ඒ සඳහා රජයේ ආදායම් වැඩිකර ගත යුතුව තිබිණ . එම තත්ත්වය හමු‍වේ මුදල් ඇමැති ධුරය අතිශයින් වැදගත් තත්ත්වයක තිබිණ. එය හිමිවූයේ රවී කරුණානායක ඇමැතිවරයාටය.

අනෙක් අතට ජාත්‍යන්තර වශයෙන් ද අපට තිබුණේ විශාල අභියෝගයකි. ඊට පෙර කාලයේ සිදුවූ මානවහිමිකම් කඩවීම් ආදිය ගැන ජාත්‍යන්තරය ප්‍රශ්න කළේය. ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගැන යෝජනා සම්මත වී තිබිණ . යුද අපරාධ පරීක්ෂා කරන ලෙස බලපෑම් එල්ල වෙමින් තිබිණ. පෙර සිටි ජනාධිපතිවරයා ඒ කාලයේ කීවේ තමන්ව විදුලි පුටුවට ගෙනයාමට ජාත්‍යන්තරය කැස කවන බවකි.ඒ අතර යුරෝපයෙන් දී තිබුණු ජී. එස්. පී. ප්ලස් සහනය නවතාදමා තිබිණ. ඉන් පසුව අපගේ අපනයන දිගින් දිගට පහළ බසිමින් තිබිණි. එමෙන්ම රටේ මත්ස්‍ය නිෂ්පාදන සඳහා ද තහනමක් යු‍රෝපා සංගමය පනවා තිබිණි. මංගල සමරවීර මහතාට පැවරුණේ මෙම අභියෝගවලින් රට බේරාගැනීමයි.

කඩාවැටෙමින් තිබූ ආර්ථිකය ගොඩගැනීම පහසු කටයුත්තක් වූයේ නැත . එමෙන්ම එය මුදල් ඇමැතිවරයාට පමණක් කළ හැක්කක් වූයේ ද නැත. වෙනත් අමාත්‍යංශවලින් මෙන්ම අගමැතිතුමා විසින්ද ඒ සඳහා වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කොට තිබිණි. තරමක් ප්‍රමාද වුවද දැන් ආර්ථිකයේ යම් යහපත් තත්ත්වයක් පෙනෙන්නට පටන්ගෙන ඇත. රවී කරුණානායක ඇමැතිවරයා කීවේ දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගියා රෝහල් වාට්ටුවට ගෙන එන්නට හැකිවූ බවයි. ඒ සඳහා මුදල් ඇමැතිවරයා ලෙස කරුණානායක මහතා කළ වැඩකොටස ගැන හරි තක්සේරුවක් ඇද්ද යන්න සැක සහිත වේ.

අමාරු අඩියක තිබූ ආර්ථිකය ගොඩගැනීමට මුදල් අමාත්‍යංශයෙන් ඉදිරිපත් වූ ඇතැම් යෝජනා ජනප්‍රිය නොවූ බවද කවුරුත් දන්නා කාරණයකි. එමෙන්ම වාර්ෂික අය වැය ලේඛනය ද ඉදිරිපත් කළ පසුව සංශෝධනය කෙරිණි. එහිදී පෙනීගියේ කුමක් හෝ දුර්වලතාවයක් ඇති බවයි. ආණ්ඩුව තුළ මෙම කරුණු ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් නොවීමත් ජනමතය ගැන සංවේදී නොවීමත් ගැන විචාරකයන්ගේ චෝදනා එල්ල වූ බව පෙනෙන්න තිබිණි.

ආණ්ඩුවේ සම්මුතිය ද මත ගැටුම්වලට හේතුවක් බව පැහැදිලිය. ප්‍රධාන පක්ෂ දෙකේ මතවාද වඩාත්ම ගැටුම්කාරි වන්නේ ආර්ථික ක්ෂේත්‍රයේදී ය. කලකට පෙර කැපී පෙනෙන මට්ටමක මෙම වෙනස පැවතිණි. එකල ශ්‍රීලනිපය සංවෘත්ත ආර්ථිකයක් වෙනුවෙන් හා එජාපය විවෘත ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටියේය. කල් ගතවෙද්දී එම වෙනස තරමක් දුරට සමනය වී ඇතත් කලින් සිටි මතවාද වලින් සම්පූර්ණයෙන් වෙනස්වී නැති බව පෙනෙන්නට තිබේ. පසුගිය කාලයේ ඇතිවූ ඇතැම් මත ගැටුම් මඟින්ද මෙය ප්‍රකාශ විය. එහිදී අනෙක් පාර්ශ්වයේ අදහස් ගැනද සංවේදීවීම අවශ්‍යය .

මංගල සමරවීර මහතා භාරගත් විදේශ ඇමැති තනතුරේ කාර්ය භාරයද පහසු නොවීය. එහිදී ඇතැම් අවස්ථාවල නම්‍යශීලීවීමත්, රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරීමක් අවශ්‍ය වෙයි. ඇතැමුන්ට එය පෙනෙන්නට ඉඩ තිබෙන්නේ අනවශ්‍ය ලෙස හිස පහත් කිරීමක් නැතහොත් නිවටවීමක් වශයෙනි. එබඳු විවේචන එල්ල වුවද විදේශ අමාත්‍යාංශය රටට අවශ්‍ය ජයග්‍රහණ ලබාදී ඇති බව පැහැදිලිය. අපගේ සංහිඳියා ක්‍රියාවලිය සඳහා තවත් වසර දෙකක කාලයක් ලබා ගැනීමට ජිනීවා මානවහිමිකම් කවුන්සිලයේදී හැකියාව ලැබීම, යුරෝපයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත්කරගැනීම, ජී. එස්. පී . ප්ලස් සහනය ලබාගැනීම ඒ අතරින් කැපී පෙනෙන සිදුවීම්ය. එය යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණ මෙන්ම රටේ ද ජයග්‍රහණ ද වන අතර ඒ සඳහා ඇමැති මංගල සමරවීරගේ මෙන්ම නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා‍ගේ කැපවීම පැසසීමට ලක්ව තිබේ.

වෙනසේ අරමුණ

කෙසේ වෙතත් දැන් පෙනීයන්නේ විදේශ කටයුතු ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රධාන ජයග්‍රහණ, මේ වනවිට දිනාගෙන අවසන් බවයි. එමෙන්ම මේ තත්ත්වය යටතේ විදේශ ප්‍රතිපත්ති‍යේ අරමුණ වෙනස් කිරීමටද ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් තීරණය කළ බව ද වාර්තාවීය. ඉදිරි කාලයේදී විදේශ කටයුතු සිදුකිරීමට යන්නේ ආර්ථික කටයුතුවලට මුල්තැන දෙමින් බව ප්‍රකාශ වී ඇත. ඇමැති මණ්ඩල සංශෝධනයේදී එම කාරණයටද වැදගත්කමක් ලබාදී තිබෙන බව පෙනෙන්නට ඇත.

ආණ්ඩුවක් තුළ මත ගැටුම් තිබීමද අලුත් දෙයක් නොවේ. 1956 පිහිටුවන ලද ආණ්ඩුවේ මත ගැටුම් අවසන් වූයේ බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීමෙනි. ජේ. ආර්. ආණ්ඩු‍වේ ප්‍රධාන ඇමැතිවරුන් අතර ගැටුම් ගැන කව්රුත් දැන සිටියෝය. ඇතැම් විට ඒවා අභ්‍යන්තර වශයෙන් සමනය කරගැනීමට හැකිවෙයි. ඇතැම් විට සිදුවන්නේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් මඟින් විෂයයන් වෙනස් කිරීමෙන් ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීමයි. මෙම ඇමැති මණ්ඩල සංශෝධනයේ එම ලක්ෂණයද පවතින බව හඳුනාගත හැකිය.

සාමුහික වගකීම

ක්‍රිකට් ක්‍රීඩාවේදී ඇතැම් විට පළ පුරුදු නමගිය ක්‍රීඩකයන්ද ඇතැම් කාලවල ලකුණු අතරට පැමිණෙන්නේ නැත. ඇතැම් ක්‍රීඩකයන් දිගටම ලකුණු අතර සිටින බවද පෙනෙන්නට තිබේ. එහිදී බොහෝ විට සිදුකරන්නේ පිතිකරු ලැයිස්තුව වෙනස් කරමින් එම ක්‍රීඩකයනට අවස්ථාව ලබා දීමයි. ලකුණු අතර සිටින ක්‍රීඩකයාට වැඩි අවස්ථාවක් ලබාදීමත්, ලකුණු අතර නැති ක්‍රීඩකයාට පීඩනයකින් තොරව ලකුණු අතරට පැමිණීමට අවස්ථාව සලසාදීමත් එමඟින් සිදුකරයි. ආණ්ඩුවක ඇමැති මාරුවකදී ද සිදුවන්නේද එබඳු ක්‍රියාවකි.

දැන් ආණ්ඩුවේද පිතිකරු ලැයිස්තුව වෙනස්කොට ඇත. පසුගිය කාලයේ ලකුණු අතර සිටි මංගල සමරවීර මහතා ඉහළ ස්ථානයකට ගෙනැවිත් වැඩි වගකීමක් භාරදී තිබේ. රවී කරුණානායක මහතාට භාරදී ඇත්තේ ඔහුට කළ හැකි වෙනත් කාර්යයකි. මහින්ද සමරසිංහට වරායද, ගයන්තට ඉඩම්ද, අර්ජුනට ඛනිජ තෙල් ද භාරදී ඇත්තේ එම ක්ෂේත්‍රවල දස්කම් පෙන්වන්නට ය. එස්.බී., ජෝන්, අමරවීරට තවත් වගකීම් පවරා ඇත. මාරපනටද අවස්ථාවක් දී තිබේ. අ‍නෙක් කණ්ඩායම වෙනස්කොට නැත. දැන් මේ අයට තිබෙන්නේ කණ්ඩායම සමඟ එක්ව කණ්ඩායම් හැඟී‍මෙන් ‍හොඳින් සෙල්ලම් කරන්නටය.

මේ ඇමැති මාරුව කාගෙත් අවධානයට ලක්වුණේත් ඒ ගැන කතාබහ කළේත් මේ අමාත්‍යවරුන්ගේ හා විෂයයන්ගේ ඇති වැදගත්කම නිසාය. ඔවුනට කරන්නට වගකීම් ප්‍රමාණයක් ඇත. එහි තේරුම නම් මේ ඇමැති ධුර මීට පෙර රජයේ ඇතැම් ඇමැති තනතුරු මෙන් බලයක් නැති පට්ටම් නොවන බවයි. යහපාලන ආණ්ඩුව තුළ ඇමැතිවරුන්ට සාමුහික වගකීමට යටත්ව නමුත් ස්වාධීනව වැඩ කරන්නට ඉඩදී ඇති බවයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඇතැම් ඇමැතිවරුන් සුපිරි තත්ත්වයේ සිටින අතර බොහෝදෙනෙක් සිටියේ නමට ඇමැතිවරුන් වශයෙනි. ඔවුනට වැඩ කරන්න ඉඩ දුන්නේ නැත. මුදල් දුන්නේ නැත. සියල්ල ලැබුණේ රාජපක්ෂ පවුලේ සුපිරි ඇමැතිට හා ජනාධිපතිටය. ඒ අතර නාමල් පුතා ඇමැතිවරුන්ට අණ දෙන තත්ත්වයේ සිටියේය. ඇමැතිවරුන් සිටියේ අන්ත කලකිරීමකය. ඔවුන්ගෙ තනතුරු කුමක් වුණත් වෙනසක් නැත. ජනතාව ඒ ගැන උනන්දු වූයේ නැත්තේ තත්ත්වය දැන සිටි හෙයිනි.

ඒ කාලයේ ඇමැතිකම් ලබාදුන්නේ රටේ අවශ්‍යතාවය හා දක්ෂතාවය සලකා නොවේ. බොහෝවිට ඇමැතිකම් දුන්නේ පක්ෂ කඩන්නටය. එවිට ඇමැතිවරුන් ආවේ රටට වැඩක් කරන්නට නොව තමන්ට වැඩක් කරගන්නටය. ඊට ඉඩදී තිබිණි. මුදල් වියදම් කරන ලොකු වැඩ, ගනුදෙනු සියල්ල තිබුණේ රාජපක්ෂ පවුල අතේය. නැතහොත් ඔවුනට හිතවත්ම නඩයේ උදවිය අතේය. දැන් විවිධ තැන්වලින් හිමිකරුවන් නැති මන්දිර මතුවන්නේ, බැංකු ගිණුම් මතුවන්නේ ඒ සියල්ලේ ප්‍රතිඵල වශයෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදත් කතා කරන්නේ එදා කළ දේ නැවත කරන්නටය. ඇමැති මාරුව ගැන ඔහු කියා තිබුණේ එය ජනාධිපතිතුමාට තිබිය යුතු බලයක් බව හා එම විධායක බලය ජනාධිපති හා අගමැති යන දෙදෙනකු පරිහරණය කිරීම රටට අහිතකර බවය. කෙසේ වෙතත් මෙබඳු ක්‍රමයක් බිහිවූයේ හිටපු ජනාධිපති විධායක ජනාධිපති බලය යොදාගෙන රටට කළ වින්නැහිය මහජනයාට පෙනීගිය නිසා බව ඔහුට අදටත් තේරෙන්නේ නැත. තවමත් හදන්නේ නැවතත් ඒ වියරු ඒකාධිපති ගමන යන්නටය.

ආණ්ඩුවේ ශක්තිය

ලෝකයේ බලගතුම, විධායක ජනාධිපති ක්‍රමය ලෙස බොහෝ දෙනා කියන්නේ ඇමෙරිකාවේ ජනාධිපති ක්‍රමය ගැනය. එහි ජනාධිපතිට තම ඇමැතිවරුන් ලෙස ඕනෑ කෙනෙක් පත්කරගත හැකිය. ලේකම්වරුන් ලෙස හඳුන්වන මේ අය සෙනේට් සභාවේ හෝ කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් විය යුතු නැත. තමන්ගේ සමාගමක විධායකයන්ද මෙම තනතුරුවලට පත්කළ අවස්ථා ඇත. එසේ වුවද ඒ සඳහා සෙනේට් සභාවේ අනුමැතිය හිමිවිය යුතුය. සම්මුතිය ඇතිවන්නේ එතැනය. බලයට සීමා පනවා ඇත්තේ එහෙමය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති විදේශ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කළ නියෝගය අධිකරණයෙන් බල රහිත කළේය. එලෙස විධායක බලයට සීමා තිබිය යුතු බව, සංවරණ හා තුලන ක්‍රම තිබිය යුතු බව ශිෂ්ට ලෝකයේ පිළිගැනීමයි. මේවා නොතේරෙන්නේ අශිෂ්ට ඒකාධිපතියන්ටය. මහින්ද රාජපක්ෂත්, ඒකාබද්ධ විපක්ෂයත් මෙම ඇමැති මාරුවට විරුද්ධ වන බව නිසැකය. එයට හේතුව නම් මේ සමඟ ආණ්ඩුව නව ජවයකින් ඉදිරියටයාම ආරම්භවීමයි.

මෙම ඇමැති මාරුව තුළින් පෙනීයන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය සම්පන්න බවයි. ඕනෑම අමාරු තත්ත්වයක් යටතේ වුවද සාකච්ඡාවෙන් එකඟතතාවට පැමිණ සම්මුති ඇතිකර ගැනීමේ හැකියාව ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ආණ්ඩුවේ පක්ෂ දෙකත් පෙන්නුම්කර ඇත. එය ජයග්‍රහණයකි. දැන් එතැනින් ඉදිරියට යෑම අවශ්‍යය. දැන් වඩාත් අවශ්‍ය වන්නේ කණ්ඩායම් හැඟීම ඇතිකරගෙන එක්සත්ව ක්‍රියාත්මකවීම ය .

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *