ජාතිවාදී කුමන්ත්‍රණ වැලැක්වීමට පොලීසියට විශේෂ බලතල –

ජන වර්ග අතර සමඟියට බාධාවන ආකාරයේ සිදුවීම් සඳහා වගකිය යුත්තන්ට එරෙහිව පවතින නීතිය ප්‍රකාරව කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. එවැනි සිදුවීම් තම බල ප්‍රදේශය තුළ ඇති නොවීමට වගබලා ගන්නා මෙන් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කිරීමට ද අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය විය.

ඇතැම් පාර්ශවයන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් පිළිබඳව ද මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ලක් වී තිබේ. ඉහත සඳහන් පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ එවැනි සිදුවීම් හා හැසිරීම් රටේ කිසිදු ප්‍රදේශයක යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහාය. මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව චෝදනා කරති. පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වනවිට රට පුරා විවිධ ප්‍රදේශවල මෙවැනි ප්‍රහාර සහ උසිගැන්වීම් 15ක් වත් සිදු වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

මේ අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ කියා සිටියේ ජාතිය,ආගම කුමක් වුවත් රටේ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවය. “නීතිය කැඩුවොත් පොලිසියේ යුතුකමක් තිබෙනවා වහාම ක්‍රියා කරන්න ඒ පුද්ගලයන්ට එරෙහිව. කොයි ආගමක, කොයි ජාතියකට අයත් වුනත් කමක් නැහැ” යනුවෙන් අගමැතිවරයා කියා සිටියේ ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *