ජනපති ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක …

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදිනක රාජ්‍ය සංචාරයක් සඳහා මැයි 23 දා ඔස්ට්‍රේලියාව බලා පිටත්වේ. මෙහි ඇති සුවිශේෂත්වය නම් රාජ්‍ය මට්ටමේ චාරිකාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය අවසන් නායකයා වන්නේ මීට අවුරුදු 63 කට පෙර එරටේ චාරිකා කළ අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා වීම ය.
පසුගිය වසර දෙක තුළ දී ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා ක්‍රමානුකූල ලෙස වර්ධනය වූ අතර, මේ වසරේ මුල් මාස 05 තුළ දී එහි ක්ෂණික ඉදිරි පිම්මක් දක්නට ලැබුණි. වසර ආරම්භයේ දී යුරෝපීය සංගමය මෙරටට පණවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කළ අතර,  පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන 600 කට GSP+ තීරු බදු සහනය යලි ලැබුණි. ඒ අතරතුර කාලයේ දී ජනාධිපති සිරිසේනගේ රුසියානු චාරිකාව, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා චාරිකාව, අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සංහිඳියාව දෙසට ගත් පියවර පිළිබඳව පැහැදීම පල කරමින් ප්‍රගති සමාලෝචනය දෙවසරකින් කල් දැමීම මෙරටට බහෙවින් වාසි ගෙන දුනි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දශක හතක් තිස්සේ පැවති සවිමත් සබඳතාවල සීග්‍ර වර්ධනයක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. පසුගිය කාලයේ බොහෝ ජාත්‍යන්තර වේදිකාවලදී ජනාධිපති සිරිසේන සහ ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් අතර සුහද සාකච්ඡා පැවැත්වුණි. නායක දෙපල අවසන්වරට හමුවූයේ පසුගිය මාර්තු මස ජකර්තා හි පැවති ඉන්දියානු සාගර කලාපීය සංවිධානයේ රාජ්‍ය නායක හමුවේ දීය. එහිදී ටර්න්බුල් මහතා ශ්‍රී ලංකාවේ මුහුදු නාවුක සුරක්ෂිතභාවය උදෙසාත් බල ශක්ති ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහාත් සහාය දැක්වීමට එකඟ විය.

ආරක්ෂක ක්ෂේත්‍රයේ දෙරටේ කිට්ටු සහයෝගතවයක් පවතී. එයට නාවුක ගමනාගමන කටයුතුවලට පමණක් නොව මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහි පියවර ද ඇතුළත්ය. නීති විරෝධී සංක්‍රමණිකයින් බෝට්ටු මගින් ගෙන යාමේ කටයුතු නැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ දැඩි පැහැදීම පල කළ ඔස්ට්‍රේලියාව මේ සඳහා මුර බෝට්ටු දෙකක් ද ප්‍රදානය කළාය. එම යාත්‍රා ශ්‍රී ලංකාවේ වෙරළ සහ සමුද්‍ර ආරක්ෂක කටයුතුවලට බෙහෙවින් ආධාරවී ඇත. දෙරට මිනිස් ජාවාරම් මැඩලීමේ සහ රටවල් අතර අපරාධ වැලැක්වීමේ කටයුතු පිළිබඳ ඒකාබද්ධ කාර්යමණ්ඩලයක් ද පත් කරගෙන මේ ක්ෂේත්‍රයන්හි සහයෝගතාවය තවත් පුළුල් කරගෙන තිබේ.

මෑත දී පල කළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක කටයුතු පිළිබඳ ධවල පත්‍රිකාවේ විශේෂයෙන් සඳහන් කර තිබෙන්නේ සමුද්‍ර ආරක්ෂක සහ මිනිස් ජාවාරම් මැඩලීමේ කටයුතුවල දෙරට අතර සහයෝගතාවය තවත් වර්ධනය කර ගැනීමට පියවර ගත යුතු බවය. විදේශික යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලීම වැලැක්වීම සඳහා ද ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට සහාය දිය යුතු බව ධවල පත්‍රිකාවේ සඳහන් වේ. දෙරට අතර සහයෝගතාව තර කරගත හැකි තවත් ක්ෂේත්‍රයකි, සමුද්‍ර ඛනිජ සම්පත් ආරක්ෂා කර ගැනීම. මේ ක්ෂේත්‍රයන්හි ඔස්ට්‍රේලියාවේ බහුල අත්දැකිම්වලින් ශ්‍රී ලංකාවට ප්‍රයෝජන ගත හැකියි.

එමෙන්ම කෘෂිකර්මය, කිරි නිෂ්පාදනය, අධ්‍යාපනය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රයන්හි ද දෙරට අතර කිට්ටු සහයෝගතාවයක් පවතින අතර, ඒ සඳහා අවබෝධතා ගිවිසුම් ද ඇතිකරගෙන තිබේ. කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය ගැන දැඩි අවධානයක් දක්වන ජනාධිපති සිරිසේන, මෙම සංචාරයේ දී ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගයෙන් ස්ථාපිත කර ඇති ආහාර ද්‍රව්‍ය පර්යේෂණාගාරය නැරඹීමට යාමට ද නියමිත ය. ආහාර නිෂ්පාදන වර්ධනය සඳහා ඔස්ට්‍රේලියාව දියුණු කර ඇති නව ක්‍රමවේදයන් සහ නවෝත්පාදනවලින් ශ්‍රී ලංකාවට ප්‍රයෝජන ගත හැක.

පරිසර අමාත්‍ය ධුරය දරන ජනාධිපති සිරිසේන සිය ක්ෂේත්‍රයට අදාල වනාන්තර ඝනත්වය වර්ධනය කිරීම ගැන දැඩි උනන්දුවක් දක්වයි. මේ ගැන ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් හැදෑරීම සඳහා කැන්බරා හි සුප්‍රකට වනෝද්‍යානය නැරඹීමට ද එතුමා සිය චාරිකාව තුළ කාලය ගත කරනු ඇති.

දෙරට අතර වෙළඳාමේ ද පසුගිය කාලයේ හොඳ වර්ධනයක් දක්නට ලැබුණි. ශ්‍රී ලංකාව එරටට අපනයනය කරන ප්‍රධාන ද්‍රව්‍ය නම් නිමි ඇඳුම්, තේ, ටයර් සහ රබර් නිෂ්පාදන, රබර් අත්වැසුම්, පාවහන්, රටකජු සහ අනෙකුත් ඇට සහ බීජ වර්ග, සෙල්ලම් බඩු, ක්‍රීඩා උපකරණ, කාබන් නිෂ්පාදන, ලී බඩු, විදුලි ලාම්පු සහ විදුලි උපකරණ, වීදුරු සහ වීදුරු නිෂ්පාදන සහ කොහු නිෂ්පාදන ද ප්‍රධාන තැනක් ගනී. ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කරන ද්‍රව්‍ය අතර ධාන්‍ය වර්ග, පිටි කිරි සහ කිරි නිෂ්පාදන, පිටි වර්ග, තිරිඟු සහ විවිධ මිශ්‍ර පිටි වර්ග ප්‍රධාන තැනක් ගනී.

ජනාධිපති සිරිසේනගේ නූතන චාරිකාවේදී වැඩි අවධානයක් දක්වනු ඇත්තේ ඔස්ට්‍රේලියානු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමත් ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස ද්විපාර්ශවික වෙළඳාම වර්ධනය කර ගැනීමත් සම්බන්ධයෙනි. ද්විපාර්ශවික සහයෝගතාවය වර්ධනය කර ගැනීම සඳහා දෙරට අතර ගිවිසුම් කීපයක් ද මේ සංචාරයේ දී අත්සන් කිරීමට නියමිතය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *