පළාත් සභා සතු බලතල වල වෙනසක් සිදුකරන්නේ නෑ – අගමැති

අධ්‍යාපනය දියුණු කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී පළාත් සභා සතු බලතල මධ්‍යම රජයට පවරා නොගන්නා සේම මධ්‍යම රජය සතු බලතල පළාත් සභාවලට පවරා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නව ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජය විශාල මුදලක් වෙන් කරන බවද ගුරුවරුන් බඳවා ගෙන පුහුණු කරන ක්‍රමයට තිත තබා ගුරුවරුන් පුහුණු කර පාසල්වලට යෙදවීමට ක්‍රියා කරන බවද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මින් ඉදිරියට රජයේ ගුරුවරුන් බඳවා ගන්නේ අදාළ පාසලට මිස පළාත් සේවයට හෝ මධ්‍යම ආණ්ඩුවේ සේවයට නොවන බව පැවසූ අගමැතිවරයා එමගින් පාසල්වල අධ්‍යාපන තත්ත්වය නඟාසිටුවීමට පිටුබලයක් ලැබෙන බව සඳහන් කළේය. ගුරුවරුන්ගේ සහ පාසල්වල ප්‍රගති සමාලෝචන ක්‍රමයක් හඳුන්වා දෙන බවද ඊට අමතරව පෙර පැවති පාසල් පරීක්ෂණ සේවය ආරම්භ කර ඔවුන් පාසල්වලට ගොස් ලබා දෙන වාර්තාවන් පාසල් මණ්ඩලයට සහ අධ්‍යාපන බලධාරීන්ට ඉදිරිපත් කර ප්‍රගතිය සමාලෝචනය කරන බවද අගමැතිවරයා පැවසීය.

එසේම සෑම වසර දෙක තුනකට වරක් ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව කී අගමැති වික්‍රමසිංහ මහතා අධ්‍යාපනය සාර්ථක වන්නේ හොඳ ගුරුවරු සිටියහොත් පමණක් බවද පෙන්වා දුන්නේය. ඉදිරි වසර පහේ දී මෙම අධ්‍යාපන ප්‍රතිසංවිධානය සිදු කරන බවද අගමැතිවරයා අවධාරණය කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *