|

ජවිපෙ-කොප-පෙරටුගාමී හුණුවටයේ කතාවක්

වෙසක් පෝයට පෙර ඇමැති මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිතුමා සැලසුම්කොට තිබුණා. ඒ සඳහා අගමැතිතුමාගේද කැමැත්ත ලබා ගත්තා. කෙසේ වෙතත් අන්තිමේදී එයට හරස් වූයේ ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමයි. වෙසක් උළෙල සඳහා ඉන්දීය අගමැති මෝදි මහතා පැමිණෙනවිට මෙරට වැදගත් ඇමැතිවරුන්ගේ වෙනසක් සිදුවීම නුසුදුසු බවට මතයක් පළවුණා. ඊටත් වඩා බරපතළ කාරණය වූයේ වෙසක් උළෙලේ ආරාධිතයන්ගේ ආසන සැලැසුමට බලපෑමක් සිදුවීමයි.

එම ආසන සැලසුම සකසා තිබුණේ ඇමැතිධුර හා ජෙෂ්ඨත්වය අනුවයි. ඇමැති මණ්ඩලය සංශෝධනය කළහොත් ඒ සියල්ල අවුල්වන බව එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. එබැවින් වෙසක් පෝයට පෙර කරන්නට තිබුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල් දමන්නට ජනාධිපතිතුමාට සිදුවුණා.

ඉන්පසුව ජනාධිපතිතුමා අදහස් කළේ ජාත්‍යන්තර වෙසක් උළෙල අවසන් වූ වහාම ඇමැති මණ්ඩල සංශෝධනය කිරීමටයි. එසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම ඇමැතිවරුන් ජනාධිපතිවරයා මුණගැසී ඉල්ලා සිටියේ වෙසක් සමුළුවෙන් පසුව චීනය බලා යන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආපසු පැමිණෙන තෙක් ඇමැති මණ්ඩල සංශෝධනය කල් දමන ලෙසයි. ඒ අනුව යළිත් වරක් ඇමැති මණ්ඩල සංශෝධනය කල් දැමීමට සිදුවුණා.

තවත් බරපතළ ප්‍රශ්නයක් වී ඇත්තේ ඇමැතිධුර වෙනස්වීමට නියමිත ඇමැතිවරුන් ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට දැඩි විරෝධය ප්‍රකාශ කිරීමයි. ඊට අමතරව මන්ත්‍රීවරුන් හා ප්‍රභූන්ද ඒ සඳහා යොදාගෙන තිබෙනවා. ජනාධිපතිතුමාට සම්බන්ධ විවිධ පුද්ගලයින් හරහාද මෙම බලපෑම සිදුවනවා. එය දැන් ජනාධිපතිතුමාට හිසරදයක් වෙලා.

පසුගිය සෙනසුරාදා කොළඹ රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති ජාත්‍යන්තර හෙද දිනයටද ජනාධිපතිතුමා සහභාගී වුණා. එම උත්සවය සංවිධානයකොට තිබුණේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින්. එම සංගමයේ සභාපතිත්වය දරන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේයි. උන්වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට අභයාරාමය පසුගිය කාලයේ අවධානයට ලක්ව තිබුණේ එහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත් වූ නිසායි. ඒ නිසාම මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ සමුළුවට ජනාධිපතිවරයා සහභාගිවීම විශේෂත්වයක් මෙන් පෙනුණත් පසුගිය වසරේද එම අවස්ථාවට ජනාධිපතිතුමා එක් වුණා. එහිදී ජනාධිපතිතුමා කීවේ තමා සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටි කාලයේ දිගටම වසර හතක් මෙම අවස්ථාවට සහභාගී වූ බවත් දැන් ජනාධිපතිවරයා වශයෙන් සහභාගිවීමට ලැබීම ගැන සතුටුවන බවත් ය.

කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උළෙලටද පසුගියදා ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී කතා කළ ජනාධිපතිතුමා කීවේ මෙම ගොඩනැගිල්ල විවෘත කරන්න දින දෙන විට අනෙක් ගොඩනැගිල්ලට මුල්ගල තබන්නත් නිලධාරීන් ජනාධිපතිතුමාට ආරාධනා කළ බවයි. එක එක ගොඩනැගිල්ලට වෙන වෙනම මුල්ගල් නොතබන බවත් කලින් මුල්ගල තැබුවේ මුළු ව්‍යාපෘතියටම බවත් ජනාධිපතිතුමා නිලධාරින්ට කී බවත් හෙළිදරව් වුණා.

‘අතුරුදන් කිරීම අපරාධ වරදක් කරනු’ මැයෙන් කොළඹ තැපැල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයේදී මහින්ද අමරවීර මහතා හැඟීම්බර කතාවක් කළා. ඔහු කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයට ඡන්දය දුන් දා තමන්ට නින්ද නොගිය රාත්‍රියක් වූ බවයි. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම ආදියට දායකවීම ගැන ඔහු කතා කළේ විශාල සිත් තැවුලකින්. ජනවාරි අට ජයග්‍රහණයට තමා දායක නොවූ බවත් ඒ වනවිටත් තමන් සිටියේ සතුරු පිලේ බවත් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේ ස්වයං විවේචනාත්මකවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ පිටත්ව ගිය පසුගිය 12 දාට පසුවදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීනය බලා යාමට ගුවන් ගත වුණා. ‘එක් තීරයක් – එක් මාවතක්’ මහා සමුළුව චීනයේ බෙයිජිං චීන ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී 14 දා ආරම්භ වුණා. රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සියයකට අධික සංඛ්‍යාවක් සහ රටවල් 29 ක රාජ්‍ය සහ දේශපාලන නායකයින් සමගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම සමුළුවට සහභාගි වුණා. ශ්‍රී ලංකාවේ මුල්‍ය සම්බන්ධතාව ශක්තිමත් කරලීමට පදනම සකසන කොළඹ මුල්‍ය නගරය ඉදි කිරීම ආරම්භ කෙරුණේත් එක් තීරයක් – එක්මාවතක් ප්‍රයත්නය යටතේයි. මේ යටතේ ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන සවියක් ලබා ගැනීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුවට සහභාගි වීමේ ඒකායන අරමුණ වී තිබුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතමින් ප්‍රකාශ කළ අන්දමට ඉහළ ආදායම් ආර්ථිකයන් හා ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයන් එක්තැන් කරමින් ගෝලීය වෙ‍ළෙඳ වර්ධනයේ නව අවකාශයන් උදා කිරීමට මෙම සමුළුව සමත් වෙනවා. සියලු රටවල දුර බැහැර පළාත්වලට පවා ප්‍රතිලාභ ගලා යන යුරෝපීය සහ ආසියානු කලාපයන් එක් කෙරෙන මුල්ම ආර්ථික සහයෝගීතා වැඩ සැලැස්ම එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය බැවින් සියලු දෙනා එක්ව අධිෂ්ඨාන සහගතව, සමීප සම්බන්ධතා ඇති කර ගනිමින් ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට එක් වෙමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි ඉල්ලා සිටියා.

එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය ආරම්භ කළේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින්. එසේ වුවත් එය සැමට ප්‍රතිලාභ ලබා දෙන හෙයින් සියලු දෙනාම මේ ප්‍රයත්නයේ කොටස්කරුවන් විය යුතු බවද අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නා. ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ ලාංකේය අභිලාශය මුදුන් පත් කර ගැනීම සඳහාද එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය යටතේ ප්‍රතිලාභ සැලසෙන බවද අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදි අවධාරණය කළා.

මෙම සමුළුව අතරවාරයේදී සමුළුව සඳහා පැමිණ සිටි රාජ්‍ය නායකයින් සමඟ ද්වි පාර්ශ්වික සාකච්ජා පැවැත්වීමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තා. මැලේසියාවේ අග්‍රාමාත්‍ය නජිබ් රසාක් මහතා සමග වික්‍රමසිංහ මහතා එහිදි කළ සාකච්ඡාවේදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කළමනාකරණ හැකියාවන් වැඩි දියුණු කරලීමට සහ මැලේසියානු තාක්ෂණික සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය සේවකයින් වැඩි වැඩියෙන් පුහුණු කරලීමට සහයෝගය ලබා දීමට මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් මහතා කැමැත්ත පළ කළා.ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සකස් කරලීමේ පසුබිම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරුන් දෙපළ සාකච්ඡා කළ අතර, කඩිනමින්ම ඒ සඳහා මූලික පියවර ගත යුතු බවට ද එහිදි එකඟත්වයකට එළැඹුණා.

මැලේසියානු ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරලීම සඳහා පෙළඹවීම සම්බන්ධයෙන්ද සාකච්ජා කෙරුණා. මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී මහත්මියද චීනයේදී අගමැති වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා. චීනයේ සිට 17 දා අලුයම යළි දිවයිනට පැමිණි අගමැතිවරයා පැය කිහිපයක් යාමට පෙර කොළඹ ටාජ් හෝටලයේ පැවති සාර්ක් රටවල කාන්තා ව්‍යවසායකයින්ගේ කවුන්සිලයේ කාන්තා නායකත්ව සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වුණා. එහිදි අගමැතිවරයා පැවසුවේ එම අවස්ථාවට සහභාගි වීමේ අවස්ථාව අහිමි කර ගැනීමට තමා අදහස් නොකළ නිසා අළුයම පැමිණ එයට සහභාගි වීමේ අවස්ථාව උදා කර ගත් බවයි.

එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පමණක් පරීක්ෂා කරන ලෙසත් අනෙකුත් ආරාධිතයින් පරීක්ෂා නොකරන ලෙසත් එම උත්සවයේ සංවිධායකවරියක් අගමැති ආරක්ෂක අංශයට ප්‍රසිද්ධියේම පැවසීම පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ අප්‍රසාදයට ලක් වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පෙරවරුවේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පවත්වන අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කිරීමට සහභාගි වුණා. එහිදි අගමැතිවරයා සඳහන් කළේ ශාන්ත තෝමස් විද්‍යාලයට තමාගේ සම්බන්ධකමක් ඇති බවයි.

27 වැනිදා උදා ගම්මානය ලෙස ජනතා අයිතියට පත් වුණු අම්පාර දිස්ත්‍රික්කයේ උහන, සමනබැද්දේ’ “මහතිසගම” විවෘත කිරීමේ උත්සවයට ගිය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ දයා ගමගේ සහ අනෝමා ගමගේ යුවළ විසින්. දයා හැඟුම්බරව කීවේ ඔබතුමා අපට ආඩම්බරයක් වගේම ශක්තියක්” කියායි. සජිත් පිළිතුරු දෙමින් කීවේ “අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්නය බරපතළයි.

ජාතික නිවාස සමීක්ෂණයට අනුව මේ දිස්ත්‍රික්කයේ ඉන්න පවුල් 209,796න් පවුල් 102,550කට ඒ කියන්නෙ, හරි අඩකටම වගේ නිවාස ගැටලු පවතිනවා. එහෙම තියෙද්දීත් සමහරු තමන් දිහා ඇහැක් ඇරල නොබලපු පසුගිය පාලකයන්ට මේ රට ආපහු දෙන්න කතා කරනවා” කියායි. දයා එහිදී සිහිපත් කර දුන්නේ මුල්ම “ගම් උදාව” පවත්වා ඇත්තේ ද ‍අම්පාරේදී බවයි. මෙම අවස්ථාවට හිටපු ඇමැති පී. දයාරත්න, දිලීප් වෙදආරච්චි, නැ‍ඟෙහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රසිරි ගලප්පත්ති ඇතුළු ආරාධිතයන් විශාල ගණනක් සහභාගි වී සිටියා.

දෙබරවැව ජාතික පාසලේ 80 වැනි සංවත්සර උත්සවයේදී සජිත් පොරොන්දු වූ පරිදි එහි ළමුන්ගේ ප්‍රයෝජනය පිණිස ආසන 42 කින් සමන්විත වායු සමනය කළ අලුත්ම බස් රථයක් පිරිනැමීමේ උත්සවය යෙදී තිබුණේ ඉකුත් සඳුදාටයි. රුපියල් ලක්ෂ 71න් වටිනා මෙම බස් රථය මිලදී ගනු ලැබුවේ පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන්ගේ මුදලින්. ඉතා අලංකාර ලෙස පින්තාරු කර තිබුණු කහ පාට බස්රිය පාසලට රැනෙ ආවේ ළමුන්ගේම පෙරහරකින්. පාසල් ළමුන්ගේ මුහුණු ප්‍රීතියෙන් පිරී තිබුණා. සංඝරත්නයේ පිරිත් සජ්ඡායනයෙන් පසුව පීත්ත පටිය කපා සජිත් ඇතුළු පිරිස ඉදිරි දොරටුවෙන් බස් රථයට ඇතුළු වුණා. මුලින්ම බස් රථය පැදවූ සජිත් අනතුරුව ළමුන්ට කීවේ “ ඔන්න වටිනා තෑග්ගක්. මේක පණ වගේ පරිස්සම් කරගන්න ඕනෑ” කියායි.

වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජවිපෙ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් පසුගිය දාසයවෙනිදා කොළඹදී පැවැත්වුණා. එහිදී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් කැබිනට් සංශෝධනය ඇතුළු දේශපාලන තත්වය ගැනත් කතාබහක් ඇති වුණා. ”දැන් ආණ්ඩුවේ අලූත්ම මාධ්‍ය සංදර්ශනේ කැබිනට් සංශෝධනය ගැන. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා වෙනුවට ඔළුගෙඩි මාරු කරලා සෙල්ලමක් දාන්න යන්නේ.” විජිත හේරත් කියා සිටියා. ”ඔළුගෙඩි මාරුකරලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේ කරන්න යන්නේ රටේ මිනිස්සුන්ට අලූත් බලපොරොත්තුවක් ඇති කරන්න. එක අමාත්‍යංශයකවත් අලූත් ව්‍යාපෘතියක් ගැන සංවාදයක් නැහැ. අලූත් වැඩපිළිවෙළක් නැහැ. ඒ වෙනුවට ඇමති මාරු කරනවා කියලා හැමදාම නිවුස් දානවා. මේක මේ අතීසාරට අමුඩගහනවා වගේ වැඩක්.” බිමල් රත්නායක කියා සිටියා. ජනාධිපතිතුමත් ලොකු ලොකු කතා කිව්වට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇමති මණ්ඩල සංශෝධනයක් කිව්වට මුදල් ඇමතිකම විතරක් මාරු කරන්න යනවා කියලයි ආරංචි. වෙන ඇමතිකම් මාරු කරන්න ගියාම ඇතුලේ කචල් වැඩිවෙනවලූ.” අනුර දිසානායක කියා සිටියා

මේ අතර මහින්ද රාජපක්ෂ මෝදි හමුවීම ගැනද ජවිපෙ නායකයෝ කතාබහ කළා. ”කළු කොඩි දාන්න කතා කරපු අය මෝදි හම්බවුණා. මහකොමසාරිස් කාර්යාලයට කතා කරලා තමයි වෙලාව වෙන්කරගෙන තියෙන්නේ. මේ ගැන ජීඑල් පීරිස් කිව්වේ නම් සාකච්ඡා කරපු දේවල් මාධ්‍යට කියන්න බැහැ රහසිගතයි කියලා. කොහොමත් මේ අය ආණ්ඩුවේ ඉන්නකොටත් රහස් දේවල් තමයි කළේ. බලයේ ඉන්නකන් ඉන්දියාවට ඕන විදියට වැඩ කරලා දැන් කළුකොඩි දාන්න කතා කරනවා. ඒත් හොරෙන් හොරෙන් මෝදි එක්ක ඩීල් දානවා” හඳුන්නෙත්ති කියා සිටියා.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලබන 27 සිට 30 දක්වා සිදුකිරීමට යන දින හතරක දිස්ත්‍රික් මෙහෙයුම සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වුණා. අනුර දිසානායක, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති සහ වසන්ත සමරසිංහ යන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම දිස්ත්‍රික් මෙහෙයුම ක්‍රියාත්මක ‍වනවා. දින හතරක් පුරා පක්ෂ නායකයින් දිස්ත්‍රික්කයේ රැඳීසිටිමින් ජනහමු, විද්වත් සාකච්ඡා, සුහද හමු, දිරිය පුරවැසි සමිති වැඩසටහන්, ආසන බලමණ්ඩල රැස්වීම්, සංස්කෘතික වැඩසටහන් ඇතුළු දේශපාලන වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා

වෙසක් පොහෝදා සිය ගමට ගියේ වෙසක් තොරණ, වෙසක් කලාප කිහිපයක් විවෘත කිරීමට තිබු ඇරයුම් සඳහායි. ඒ අතරින් විශේෂත්වයක් ගත්තේ ගාල්ල, කොටුව ශ්‍රී සුධර්මාලය විහාරස්ථානයේ ස්ථාපිත සංචාරකයින් සඳහා වු බෞද්ධ පුස්තකාලය විවෘත කිරීමයි. එහි වු පොත්පත් අතරට ඇස යොමු කරමින් ඇමති වජිර එක් පොතක් විශේෂ අවධානයෙන් අතට ගත්තා. ඒ තිලක් මාරපන විසින් රචිත “THE MECHANICS OF BUDDHISM“ ග්‍රන්ථයයි. බුදු දහම පිළිබඳව ලියවී ඇති ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස ඇමති වජිර, එය ළඟ සිටි පිරිසට හඳුන්වා දුන්නා.

අනතුරුව ඌරගස්මංහන්දිය ශ්‍රී වජිරඥාණය වෙත ද ගියේ එහි වු වෙසක් කලාපය විවෘත කිරීමටයි. අනතුරුව අසල තිබු කඩල කඩයක් වෙත ගිය වජිර වෙසක් බැලීමට ආ දරුදැරියන් රැසකට එම කඩල කඩයෙන් කඩල මිලට ගෙන බෙදා දුන්නා. එම දරුදැරියන්ද පොරකමින් ඇමතිවරයාගෙන් කඩල ලබා ගත්තා.

ඇමැතිවරයා. සෙනසුරාදා ජනපති මෛත්‍රී සමඟ කොළඹ රාජකීය විද්‍යාලයට ගියේ ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවයට එක්වීමටයි. නැවත සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණට ඇමති වජිර ආවේද ජනපතිවරයා සමඟයි. ඒ ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වුණු සංස්කෘතික ප්‍රසංගය නැරඹීමටයි. එහි විශේෂ ආරාධිත ලෙස පැමිණ නේපාල ජනාධිපතිනිය සමඟ සුහද පිළිසදරක යෙදීමේ අවස්ථාව ද ඇමති වජිරට හිමි වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමටත් පසුගිය දිනවල කාර්යබහුල තත්ත්වයක් ඇතිවුණා. ඉන්දීය අගමැති මෝදි එන දිනට කළු කොඩි ඔසවන ලෙස විමල් වීරවංශ මහතා මැයි දිනයේ කළ ඉල්ලීමට බරපතළ විරෝධයක් එල්ලවීමත්, කිසිවකු එයට සහය නොදීමත් නිසා ඇතිවුණේ හානිකර තත්ත්වයක්. එයින් තමන්ට වන හානිය අවම කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර කිහිපයක් ගත්තා. පළමුවැනිව ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කළු කොඩි දැමීමේ අදහස විමල්ගේ මෝඩ ප්‍රකාශයක් බව කීවා. විමල් ඒ ගැන කිසිවක්ම කීවේ නැහැ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාට කතා කළ මහින්ද රාජපක්ෂ මහතා අගමැති මෝදි හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියා. ඒ වනවිට මෝදි සඳහා යොදාගෙන තිබූ හමුවීම් අතර එබඳු හමුවීමකට ඉඩක් තිබුණේ නැහැ. ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද විමසීමක් කළා. ජනාධිපතිතුමා කීවේ හිටපු ජනාධිපතිවරයාට අවස්ථාවක් දීමට තමන් විරුද්ධ නැති බවයි. ඒ අනුව එකොළොස් වැනිදා රාත්‍රී 11.00ට හමුවීම සූදානම් කෙරුණා.

අගමැති මෝදි හමුවීමට මහින්ද රාජපක්ෂ මහතා ගියේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාද සමඟයි. එහිදී කතා කළ දේවල් ගැන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීවේ ඒ සියල්ල රහසිගත බවයි. එනම් මෙරට ජනතාවට හෙළි කළ නොහැකි කරුණු ගණනාවක් ගැන අගමැති මෝදි සමඟ ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා කළ බවයි. එහිදී ඇති කරගත් එකඟතා ගැනද දෙපාර්ශ්වයෙන්ම කිසිදු ප්‍රකාශයක් සිදුකෙරුණේ නැහැ. ජනාධිපතිතුමා කීවේ කළු කොඩි දමන්න කියු අය මහ රෑ ගොස් මෝදි හමුවූ බවත්, මෝදි එබඳු සාකච්ඡාවක් ලබාදුන්නේ තමන්ගේ අනුමැතිය ඇතිව බවත්ය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසිවීමේ ප්‍රශ්නයටද ඒකාබද්ධ විපක්ෂයට මුහුණදීමට සිදුවුණා. මෙම කාරණයේදී හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගෙන්ද උපදෙස් ගැනීමට ඔවුන් කටයුතු කළා. වඩාත් බරපතළ කාරණයක් වී තිබුණේ ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සමඟ ගාල්ලේ සන්ධාන මන්ත්‍රී ලැයිස්තුව අවලංගු වන බවට එජාපය ගෙනා නීති තර්කයයි. කෙසේ වෙතත් පළමු පියවර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කළා. එමඟින් බෙදුණු තීන්දුවකින් මන්ත්‍රී ධුරය තාවකාලිකව රැකගැනීමට හැකිවුණා.

මේ අතර උතුරුමැද පළාත් ඇමැති ධුර අවුලද දුරදිග ගියා. නන්දසේන ඇමැතිවරයා ඉවත්කිරීමත් සමඟ එස්. එම්. රංජිත් ඇමැතිවරයා ඉල්ලා අස්වුණා. උතුරු මැද ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසට රැස්වී තීරණය කළේ මහ ඇමැති ධුරය තම කණ්ඩායමට ලබාගැනීමටයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා හමුවී උපදෙස් ලබාගැනීමටද කටයුතු කළා. එච්. බී. සේමසිංහ ඇමැතිවරයාද තනතුරින් අස්වීමට සූදානමින් සිටියා.

මහින්ද රාජපක්ෂ මහතා කීවේ නිසි වේලාව එන තෙක් සේමසිංහ මහතා තනතුරේ සිටිය යුතු බවයි. තම කණ්ඩායමේ දහහත් දෙනාගේ දිවුරුම් පෙත්සම් සමඟ එස්. එම්. රංජිත් මහතාට මහ ඇමැති තනතුර ගන්න ඉල්ලීමක් ඉදිරිපත් කළත් ආණ්ඩුකාරවරයා එය ප්‍රතික්ෂේප කළා. එලෙස දිවුරුම් පෙත්සම් දුන් මන්ත්‍රීවරයකු වන සුසිල් ගුණරත්න මහතා පහුවදා එනවිට පැත්ත මාරුකොට උතුරු මැද පළාත් සභා ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන්නා.

උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් සහයද ලැබී තිබෙන්නේ මහ ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතාටයි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම කියන්නේ තමන්ට පළාත් සභාවේ බහුතරය හිමි බවයි. එසේ වූවද නීතිය අනුව පළාත් සභාවේ මහ ඇමැතිවරයකු මෙලෙස වෙනස් කරන්නට බැරි බව සන්ධානයේ උදවිය කියනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට වෙනත් පක්ෂ දෙකකින් ඉල්ලීම් ලැබී තිබෙනවා. ඒ එක්සත් ක්‍රියාකාරිත්වයක් සඳහායි. එක ඉල්ලීමක් ජනතා විමුක්ති පෙරමුණෙන්. අනෙක පෙරටුගාමී සමාජවාදීන්ගෙන්. මේ දෙපාර්ශ්වයම සමඟ සාකච්ඡා ආරම්භවී තිබෙනවා. එහිදී මූලික එකඟත්වය වී තිබෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා එක්සත් ක්‍රියාකාරිත්වයකටය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *