මහ ඇමැති මාරුව! කැහැපට ගැසුවාට නීතිය හරහට

පළාත් සභාවේ බලය හරිහැටි අර්ථකතනය කළහොත් එය දකුණු අතින් ලබාදී වමතින් යළි ලබා ගැනීමක් ලෙස පෙන්වා දිය හැකිය. පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයා පක්ෂයක් නියෝජනය කරන්නේය. ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවිට එය ප්‍රතික්ෂේප කිරීමේ බලය ආණ්ඩුකාරවරයාට ඇති සේම එම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බලපෑම් කරන්නටද මන්ත්‍රීවරුන්ට හැකියාවක් නැත.

මධ්‍යම රජ‍ය යටතේ තිබූ බලය පළාත් මට්ටමට විමධ්‍යගත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ස්ථාපිත කර මේවන විට දශක තුනකට ආසන්න කාලයක් ගතව තිබේ. උතුර නැඟෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලෙසින් හඳුන්වා දුන් පළාත් සභා මුල් අවස්ථාවේ උතුරු නැගෙනහිර හැර සෙසු පළාත්වල ක්‍රියාත්මක වූයේ නැත. පළාත් සභා හඳුන්වා දීමේ මූලික අරමුණම මෙහිදී ප්‍රශ්නාර්ථයකට තුඩු දුන් නමුත් මේවන විට දිවයිනේ පළාත් නවයේම පළාත් සභා ක්‍රියාත්මක වෙමින් තිබේ. විධායක ජනපති ධූරය වෙනස් වීම, පාර්ලිමේන්තුවේ බලය වෙනස් වීම යන කරුණු ගණනාවක් මත පළාත් සභාවන්හි බලතුනයෙහිද විවිධ වෙනස්කම් ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස පළාත් සභාවල ප්‍රධාන අමාත්‍ය ධූර වෙනස් කිරීම සඳහා වන මාතෘකා මේ මොහොතේ විටින් විට කරළියට පැමිණෙමින් තිබේ.

උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් මහ ඇමැතිවරයා ඉවත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. එහි වර්තමානයේ ප්‍රධාන ඇමැති ධූරය හොබවන පේෂල ජයරත්න මහතා පිළිබඳ වූ විශ්වාසය කඩව ඇති බව දක්වමින් එම ධූරය ඡන්දයෙන් වැඩිම මනාප ගත් පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත වර්තමානයේ ඇති එස්. එම්. රංජිත් මහතාට ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරු පිරිසක් දිව්රුම් ප්‍රකාශ මගින් උතුරුමැද ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා ගෙන් ඉල්ලීමක් කර තිබිණි. එම දිවුරුම් ප්‍රකාශ භාර ගැනීම ආණ්ඩුකාරවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දැන් අලුත් කථිකාවක් මතුව තිබේ.

මෙම පසුබිම තුළ මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය ලබා ගැනීම සඳහාද ඒකාබද්ධයේ ප්‍රයත්නයක් දියත් වෙමින් ඇත. මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වීමේ තීරණයක් ගැනීමත් සමඟ මේවන විට මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති ධූරය වෙනස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරළියට පැමිණ තිබේ.මෙයට පෙරද මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැතිවරයා ඉවත් කරන ලෙස මන්ත්‍රීවරු පිරිසක් මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයාට දිව්රුම් ප්‍රකාශ ලබා දුන්නද එම අවස්ථාවේ එම දිව්රුම් ප්‍රකාශ බාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.මෙලෙස මධ්‍යම පළාතේ හා උතුරු මැද පළාතේ මහ ඇමැති ධූර වෙනස් කිරීම සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වුවද ඌව පළාත් සභාවේ මහ ඇමැතිධූරය වෙනස් කිරීමේ ප්‍රයත්නය සාර්ථක විය.එහිදී සිදුවූයේ එවකට සිටි ඌව පළාත් ආණ්ඩුකාරවරයා අදාළ දිව්රුම් ප්‍රකාශය පිළි ගැනීමය.

පළාතක ආණ්ඩුකාරවරයා පත්කරනු ලබන්නේ විධායක ජනපතිවරයා විසිනි.මේ ආණ්ඩුකාරවරයා නිතරම කටයුතු කරනු ලබන්නේ ජනපතිවරයාගේ නියෝජිතයා ලෙසනි.1987 අංක 42 දරන පළාත් සභා පනත හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ 154 බී.සී වගන්තියට අනුව ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත නොමැතිව පළාතේ මහ ඇමැතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකිය.

එය වෙනත් ආර්ථයකින් පවසන්නේ නම් ප්‍රධාන ඇමැතිවරයාට එරෙහිව පළාත් සභාවේ මන්ත්‍රීවරු බහුතරයක් ලබාදෙන දිව්රුම් පෙත්සම් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුකාරවරයාට අයිතිය ඇත. ආණ්ඩුකාරධූරය සඳහා පත්වීම ඡන්දයකින් සිදු නොවන අතර එම පත් කිරීම සිදු කරන්නේ පෙර දැක්වූ පරිදි විධායක ජනපතිවරයා විසිනි. පළාත් සභාව තුළ විධායකය එම ධුරය තුළින් නියෝජනය වන අතර මන්ත්‍රීවරු පත්වන්නේ ජනතා ඡන්දයෙනි.

විධායකයේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයා සෑම විටම ක්‍රියා කරන්නේ විධායක ජනපතිවරයාගේ උපදෙස් මතය. එහිදී ජාතික වශයෙන් බලපාන්නාවූ තීන්දු තීරණ විධායකයෙන් විමසා ක්‍රියාවට නැන්වීම සිදුවෙයි. වර්තමානයේ සිදුවන දේශාපාලන ක්‍රියාවලිය තුළ ආණ්ඩුකාරවරු වත්මන් මහ ඇමැතිවරුන්ට එරෙහිව මන්ත්‍රීවරු ලබාදෙන දිව්රුම් ප්‍රකාශ පිළිගනීවි යැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකිය. එමඟින් ගම්‍යය වන්නේ ඔළුගෙඩි සංඛ්‍යාව වෙනස්වූ පමණින් මහ ඇමැතිධූර වෙනස් නොවන බවයි.

බහුතර මන්ත්‍රී පිරිසක් මහ ඇමැති ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය සමග නොසිටින විට පළාත් සභාව සාර්ථකව පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් යම් යම් අර්බුද මතුවීම සාමාන්‍ය සිද්ධියකි. මුදල් හා ප්‍රඥ්ඥප්ති අනුමත කර ගැනීමට යාමේදී විවිධ ගැටලු මතුවීම මෙහිදී සිදුවීමට පුළුවන. පළාත් සභාව තුළ තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නොහැකිවූ පිරිස සභාව අකර්මණ්‍ය කිරීම පිණිස නොයෙක් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩි ඉඩ කඩක් නිර්මාණය වීම පළාත් සභාව විසුරුවා හැරීමක් දක්වා දුරදිග යෑමටද ඉඩ තිබේ. එහෙත් එයද සිදුවන්නේ විධායක ජනපතිවරයාගේ කැමැත්ත අකමැත්ත අනුවය.

බහුතර මන්ත්‍රී පිරිසකගේ දිවුරුම් ප්‍රකාශ මගින් ප්‍රධාන ඇමැති ධූරය වෙනස් කරන ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වුවහොත් ඉන් පසු එම පිරිසට ඊළඟට කළ හැක්කේ මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමය. එයද භාර නොගෙන ඉඳීම සඳහා නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුකාරවරයාට ඇත. ඉන් පසුව ආණ්ඩුකාවරයා තමන්ට සමානයන් ලෙස නොසලකන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලීක අයිතිවාසකම් පෙත්සමක් ගොනු කිරීමේ අවකාශ අදාළ මන්ත්‍රී පිරිසට ඇත. ඒ සඳහා පෙර සිදුවූ සිදුවීමක් ආදර්ශයට ගෙන ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින අතර ඌවේ සිද්ධිය මෙහිදී යම් ගම්‍යතාවක් පෙන්නුම් කරයි.

ආණ්ඩුකාරවරයාට එරෙහිව රිට් ආඥාවක් අභියාචනාධිරණයෙන් ලබා ගැනීමේ අවකාශයක්ද මෙහිදී නොමැත. පළාත් සභාවේ බලය හරිහැටි අර්ථකතනය කළහොත් එය දකුණු අතින් ලබාදී වමතින් යළි ලබා ගැනීමක් ලෙස පෙන්වා දිය හැකිය. පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයා පක්ෂයක් නියෝජනය කරන්නේය. ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවිට එය ප්‍රතික්ෂේප කිරීමේ බලය ආණ්ඩුකාරවරයාට ඇති සේම එම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බලපෑම් කරන්නටද මන්ත්‍රීවරුන්ට හැකියාවක් නැත.

පළාත් මහ ඇමැතිවරු සම්බන්ධයෙන් දිව්රුම් ප්‍රකාශ හෝ විශ්වාස ගෙන ඒම සඳහා මුල්වී ක‍ටයුතු කරන්නේ පාලක පක්ෂය නියෝජනය කරන්නාවූ මන්ත්‍රීවරුන්මය. මෙය විශේෂ අවස්ථාවකි.මහ ඇමැතිවරු හා ඔවුන් එකම පක්ෂයක වීම නිසා මෙවැනි කටයුතු පක්ෂ නායකත්වයේ අනුදැනුමකින් තොරව සිදුවීම අදාළ පක්ෂයේ විනය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු කරුණකි.

වත්මන් තත්ත්වය තුළ පැහැදිලි වන්නේ එකම පක්ෂයක කණ්ඩායම් දෙකක් අරමුණු දෙකකින් ක්‍රියාකරන බවකි. මෙහිදී බලය දරන මහ ඇමැතිවරු විධායකය සමඟ සමීපව කටයුතු කරත්දී ඊට එරෙහිව ක්‍රියාකරන සෙසු පිරිසගේ අවශ්‍යතා ඉටුවීම සම්බන්ධයෙන් පවතින්නේ ප්‍රශ්නාර්ථයකි. පක්ෂ මතයට ගරු නොකරමින් ක්‍රියාකිරීම තුළ ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම වැඩි ඉඩක් පවතී.

පවතින මැතිවරණ ක්‍රමය තුළ පුද්ගලයින්ට වඩා බලවත් වන්නේ පක්ෂයයි.සාමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පුද්ගලයාට පෙර ඡන්දය ලබා දිය යුත්තේ පක්ෂයටය. පක්ෂයට ඡන්දය නොදී පුද්ගලයා ජයග්‍රහණය කරවිය නොහැකිය. පක්ෂය මගින් තීන්දුවක් ගෙන මහ ඇමැතිවරයකු පත්කළ පසු ඔහු ඉවත් කිරීම ඉතා අසීරුය. බදුල්ලේ සිද්ධිය ආදර්ශයට ගෙන සෑම පළාත් සභාවකම බල වෙනසක් අපේක්ෂා කළ නොහැකිය.

පළාත් සභාවක බලය මැතිවරණයකදී ලබා ගැනීම සඳහා කටයුතු කිරීම පක්ෂයකට වැදගත්ය. ජනතා කැමැත්තෙන් පළාත් සභාවේ ආණ්ඩු බලයට හා විපක්ෂයට පත්වූ පිරිස කළ යුත්තේ බලය විමධ්‍යගත කිරීම ඔස්සේ පළාත් සභාව ස්ථාපිත කිරීමෙන් අපේක්ෂා කළ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීමය.ඒ සඳහා සියලු දෙනා එකට එක්වී කටයුතු කිරීම වැදගත්ය.

පළාත් සභා තුළ මන්ත්‍රීවරුන් අතර බල අරගල ඇති වීමෙන් ගැටලු මතුවන්නේ ජනතාවටය. බලපෑම් එල්ල වන්නේ පළාතේ සංවර්ධනයටය. පත්වූ දේශපාලනඥයෝ ඒ ලෙසම වරප්‍රසාද භුක්ති විඳිනුද ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පරාමාධිත්‍යය බලය හිමිව ඇත්තේ ජනතාවටය. ඒ අනුව සියල්ලට ඉහළින් සිටිය යුත්තේ ජනතාවය. ජනතාව විසින් පත්කර යවන මන්ත්‍රීවරු තීන්දු තීරණ ගතයුතු වන්නේ ජනතාව වෙනුවෙන් මිස ඔවුන් වෙනුවෙන් නොවේ. පළාත් සභාව පවතින්නේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට යෑම සඳහා ඉණිමගක් ලෙසිනි. පළාත් පනතට අනුව එහි මහ ඇමැතිවරයාද සමඟ ඇමැතිවරු සිටින්නේ සිව් දෙනකු පමණි. ඊට එහා ගොස් පත් කිරීම් සිදු කිරීමට කිසිදු හැකියාවක් නොමැත. මෙය යහපත් ලක්ෂණයකි. මහ ඇමැතිවරු තුළ දුර්වලතා ඇත්නම් ඒවා හදාගත යුතුය.

ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත නොමැතිව දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් පමණක් මහ ඇමැතිවරු ඉවත් කළ නොහැකි බව අදාළ මන්ත්‍රීවරු නොදන්වා විය නොහැකිය. පෙර අවස්ථාවල ගත් ක්‍රියාමාර්ගද ආදර්ශයට ගත්විට ඒ පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නොමැති බව පිළිගැනීමට නොපුළුවන. එහෙත් ඒ සඳහා උත්සාහයන් හෝ යම් ප්‍රයත්න දැරීම් ඔවුන් දිගින් දිගටම සිදුකරනු ඇත. දේශපාලනික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීමට වඩා ජනතාව අපේක්ෂා කරන්නේ ප්‍රාදේශීය සංවර්ධනය බව පළාත් සභාවල සියලු මහජන නියෝජිතයන් මුලින් තේරුම් ගත යුතුය.

අසේල කුරුළුවංශ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *