ඉන්දියන් විරෝධය අතේ පත්තුවීම – වසන්ත ප්‍රිය රාමනායක

ඉන්දියානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අපේ රටේ වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ අවධානයට ලක් වූ තවත් කරුණක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමකට අනුව ඉන්දියානු අගමැතිවරයා ඔහු මුණ ගැසීමය. එසේ ම උතුරේ මහ ඇමැති විශ්නේෂ්වරම් මහතා සමඟ ඉන්දියානු අගමැතිවරයා ද්වීපාක්ෂික සාකච්ඡාවක් නොපැවැත්වීමය.

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම 2003 වසරේ සිට ඇරඹිණ. එහි ප්‍රථම සැමරුම පැවැතියේ එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ දීය. එතැන් සිට තායිලන්තය වියට්නාමය ආදි රටවල ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සව සංවිධානය වුණි. එහෙත් ශ්‍රී ලංකාවට එ් සඳහා අවස්ථාවක් නොලැබිණි. ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයකු මුල් වී කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර වෙසක් සැමරුම අනුමත කළ නමුදු එවන් උළෙලක් අප රටේ පැවැත්වීමට අවස්ථාවක් නොලැබිණි.

එක්තරා ලෙසකින් එය පුදුම සහගතය. සම්බුද්ධ ජයන්ති සැමරුමේ 2600 උදාවී තිබුණේ 2011 වසරේ දී ය. එය උත්කර්ෂවත් අයුරින් සැමරීමට එවකට පැවැති රජය කටයුතු යොදා තිබුණි. මේ සඳහා ජාත්‍යන්තර වෙසක් සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අවශ්‍යතාවය ද දැඩි ව පැවැතිණ. එවිට 2600 සම්බුද්ධත්වය ජයන්තිය තවත් ඔපවත් වනු ඇත. මේ නිසා එය 2011 සම්බුද්ධත්ව සැමරුමට සමගාමීව හෝ අපේ රටට ලබා ගැනීමේ අවශ්‍යතාවක් පැවතීම සාධාරණය. එසේ ම එහි උරුමයක් මෙන් ම ගැලපීමක් ද එම වසර තුළ පැවැතිණ.

මෛත්‍රී පාලනය

එහෙත් ඊට ඉඩක් නොලැබිණ. මෙය අපේ රට සම්බන්ධයෙන් බටහිර ජාත්‍යන්තර පමණක් නොව ආසියාතික බෞද්ධ ජාත්‍යන්තර පවා දැක් වූ ආකල්පවල ප්‍රතිඵලයක් දැයි කියන්න දන්නේ නැත. බැලූ බැල්ලමට නම් පෙනෙන්නේ ආසියාතික බෞද්ධ ජාත්‍යන්තරයේ පවා එදා අප සම්බන්ධයෙන් යම් වෙනස් මතයක් පැවැති බවය.

එහෙත් 2015 ජනවාරි 8 වැනිදායින් පසු එම තත්ත්ව වෙනස් වී තිබෙන බව පැහැදිලිය. එය ‘මෛත්‍රී පාලනය’ සමඟ සිදු වූවක් බව පෙනේ. 2016 තායිලන්තයේ පැවැති සමුළුවක දී බුද්ධ සාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ යෝජනාවකට අනුව 2017 ජාත්‍යන්තර වෙනසක් සැමරුම ශ්‍රී ලංකාවට ලබාදීමේ එකඟතාවයක් ඇති විය.

මෙවර ජාත්‍යන්තර වෙසක් සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වූයේ එම එකඟතාවයේ ප්‍රතිඵලයක් වශයෙනි. එය ලබා ගැනීම සම්බන්ධයෙන් කළ කාර්ය භාරයට විජේදාස රාජපක්ෂ ඇමැතිතුමා හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පැසසුමට ලක් වේ. ඊට අවැසි ජාත්‍යන්තර පසුබිම සැකසෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයත් සමඟ පිහිටු වනු ලැබූ මෛත්‍රී පාලනය නිසා බව පැහැදිලිය. ජාත්‍යන්තර සිදු වූ මෙම වෙනස වසර 14කට පසු ප්‍රථම වරට ජාත්‍යන්තර වෙසක් දින සැමරුමක් ශ්‍රී ලංකාවට ලැබීමෙන් වුව ද පැහැදිලිවේ.

ථෙරවාදී බුදු සමයේ උරුමක්කාරකම් හා පොල්මත් කාරකම් තිබු පමණින් බෞද්ධ ජාත්‍යන්තරය වුවද අපට ජාත්‍යන්තර වෙසක් සැමරුම් ලබා දීමට සුදානම් නැති බව වසර 14ක් තිස්සේ එවැන්නක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම අවස්ථාවක් නොලැබීමෙන් ම පැහැදිලිවේ.

මීට බුදුන් උපන් දේශයේ වත්මන් රාජ්‍ය නායකයා වන ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වය ද ශ්‍රී ලංකාව කෙරෙහි යහපත් අයුරින් ජාත්‍යන්තර අවධානය යොමු වීමට හේතු වුණි. මේ වන විට ඉන්දියාව ලෝකයේ බලවත් රාජ්‍යයකි. ජනාධිපතිවරයාගේ ඇරයුමින් වෙසක් දින සැමරුමට ශ්‍රී ලංකාවට පැමිණියේ එවන් බලවත් රාජ්‍යයක නායකයෙකි. එසේ ම ශ්‍රී ලංකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවයේ සමාප්ති උළෙල සඳහා නේපාල ජනාධිපතිනී විද්‍යා දේවීබන්ධාරි මැතිනියගේ පැමිණිමේ ද විශේෂත්වයක් ඇත. බන්ධාරී මැතිනිය ඇරයුම් ලබන්නේ බුදුන් උපන් දේශයේ වත්මන් රාජ්‍ය නායිකාව ලෙසිනි.

මේ ආකාරයෙන් ගත් කල, එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් සැමරුම් උත්සවයට සාර්ථක මෙන් ම ගාම්භිර උළෙලක් ලෙසින් නිමා කිරීමට අපට හැකි විය. මෙය ශ්‍රී ලංකාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලැබු තවත් ජයග්‍රහණයකි. රටවල් 72ක් නියෝජිත කණ්ඩායම් සහභාගි වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම සාමය හා සහජීවනය පිළිබඳව බෞද්ධ දේශනාවේ පණිවුඩය ජාත්‍යන්තරයට ලබාදීමට මෙහි දී අපට හැකි විය.

ඊට අමතරව මෙහි සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධිතා ලෙසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීම සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන ක්‍ෂේත්‍ර රැසක කතා බහට ලක් වූ බවට සැකයක් නොමැත. ඉන්දියාව ඉදිරියට ද ඇමෙරිකා ඩොලර් බිලියන 2.6ක ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානමින් සිටී. දැනටමත් එම ප්‍රමාණයේ ම ද්වී පාක්ෂික වෙළෙඳාමක් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතී. එසේ ම ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍ර මීට ඉහත අගමැතිවරයා ඉන්දියාවේ කළ සංචාරයේ දී ප්‍රකාශයට පත් වුණි.

ඉන්දියානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අපේ රටේ වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ අවධානයට ලක් වූ තවත් කරුණක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමකට අනුව ඉන්දියානු අගමැතිවරයා ඔහු මුණ ගැසීමය. එසේ ම උතුරේ මහ ඇමැති විශ්නේෂ්වරම් මහතා සමඟ ඉන්දියානු අගමැතිවරයා ද්වීපාක්ෂික සාකච්ඡාවක් නොපැවැත්වීමය. එ් සඳහා තමා (උතුරේ මහ ඇමැතිවරයා) එතරම් වැදගත් නොවන්නට ඇතැයි’ යනුවෙන් ඔහු මේ ගැන මාධ්‍යයට කනස්සල්ල පළ කර තිබුණි. උතුරේ මහ ඇමැතිවරයා සමහර අවස්ථාවල ජාතික ප්‍රශ්න උදෙසා අන්තවාදී ලෙස කටයුතු කිරීම ඊට හේතු වූවාදැයි කියන්න දන්නේ නැත. අවස්ථාවක් ලැබෙන්නේ නම් උතුරේ මහ ඇමතිවරයා ඉන්දියානු අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සුදානමින් සිටි බව නම් පැහැදලිය. එසේ ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට ඉන්දියානු අගමැතිවරයාගේ කෙටිකාලීන කාර්ය බහුල කාල සටහනේ ඉඩක් ලැබී තිබීම ද විශේෂත්වයකි.

ඉන්දීය අගමැතිවරයාගේ පැමිණීමට එරෙහිව වෙසක් පෝය දිනයේ වුව ද කළු කොඩි දැමීමට යෝජනා කරන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන එ්කාබද්ධ විපක්ෂයේ සිටින මහින්ද පාර්ශ්වයේ ම නායකයෙකි. සිය කණ්ඩායමේ නායකයෙක් ප්‍රසිද්ධියේම එවන් දරදඬු ‘මෝදි විරෝධයක්’ මතු කරද්දීම මහින්ද මෝදි හමු වන්නේ ඔහුගේ ඉල්ලීමකටය. එයද තනියම නොවේ හිටපු ආරක්ෂ ලේකම්වරයා සමගිනි. මෙය සිය සගයාට මෝදි විරෝධයෙන් පස්ස බිම ඇන ගැනීමට සැලැස්වීමක් වාගේ ය. තම නායකයා මෝදිගෙන් ආරාධනාවක් ඉල්ලා හමු වන විට මෝදි විරෝධයකට ගොස් තමන් තනි වුවා ද, තනි කළා දැයි ඔවුන් සිතෙනවාට සැකයක් නැත. මේ අතර තමත් ඉන්දියන් විරෝධියකු නොවේ යැයි ඉන්දියන් නායකයාට පෙන්වීමට හිටපු ජනාධිපතිවරයා උත්සාහයක් ගත්තා විය හැකිය. එහෙත් ඔහුට ලැඟ සිටිමට සිදු වී තිබෙන්නේ ඉන්දියන් විරෝධීන් ද සමගිනි. අනාගතේ දී වුවද ප්‍රශ්න මතුවන්නේ මෙවන් පරස්පරතක් තුළිනි.

ඉන්දියානු විරෝධය

කලාපීය බලවතෙක් ලෙස ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයට ඉන්දියාවේ මැදිහත් වීම හා ආධාර උපකාර වැදගත් වේ. ඉන්දියානු නායකයා මෙරටට පැමිණීමට පෙර පතුරුවා හරින ලද සියල්ල මිථ්‍යාවක් වුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ පරිදම ඔහු කිසිදු ගිවිසුමකට අත්සන් කළේ නැත. එවන් කාරණා සම්බන්ධයෙන් කතාබහකවත් සිදු වී නොමැත.

මේ නිසා ගිවිසුම්, පාවදීම හා ඉන්දියන් විරෝධය අතේ පත්තු වු බව පෙනේ. තවදුරටත් මේ රටේ ජනතාව විශ්වාස කළ යුත්තේ රාජ්‍ය නායකයා කියන දේ ද බංකොළොත් දේශපාලනඥයන් කියන දේ දැයි කල්පනා කිරීමට ජාත්‍යන්තර වෙසක් සමරුමට සමගාමිව සිදු වූ මේ දේශපාලන සංසිද්ධින් වැදගත් වේ.

අද වේගයෙන් ශක්තිමත්ව දියුණුවන රටක් විදිහට අසල්වැසි ඉන්දීය මිත්‍රත්වය ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය ගොඩනැගීම රටට හොඳ දෙයක්. ඉන්දීය අගමැතිතුමා ලංකාවට පැමිණීම ලෝකයේ අනෙක් රාජ්‍යවල රාජ්‍යනායකයන්ගේ අවධානයට යොමු වන කාරණයක් එ් නිසා වැරදි දේශපාලන ප්‍රචාරයන් මම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා. (ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 12.05.2017) අවසානේ සිදු වුයේ ඉන්දියාව සමඟ වූ යහපත් සබඳතා තවදුරටත් තහවුරු විමයි. එය පොදුවේ රටක් වශයෙන් වැඩ දායකය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *