සයිටම් අර්බුදයට පිළිගතහැකි විසඳුම් වෙත ගමන් කරන ලකුණු – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

සයිටම් ආයතනයේ අර්බුදය විසඳීම සඳහා වර්තමානය වන විට දේශපාලන අධිකාරිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගත හැකි ආකාරයේ විසඳුමක් ලබාදෙන දිශාවට ගමන් කරමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

සයිටම් සංකීර්ණ අර්බුදයේ එකම පාර්ශ්වකරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නොවන බව ද ඒ මහතා අවධාරණය කළේය.

වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගැනීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (15) පැවසීය. උපාධිධාරී සිසුන් 1200කට වඩා ලියාපදිංචි කර ගැනීම මෙහිදී සිදුකෙරිණි. ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි උත්සවයක් පවත්වමින් උපාධිධාරීන් ලියාපදිංචි කර ගැනීම ඊයේ(15) සිදුකෙරිණි.

සයිටම් අර්බුදය යනු වෛද්‍ය උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වන ගැටලුවක් වන බවත් එය නීතිමය ගැටලුවක් නොවන බවත් ඔහු කීය.

වසර 2015 දි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් කණ්ඩායමක් සයිටම් ආයතනයට ගොස් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළ ද එහි සායනික පුහුණුව ගැන විශාල අඩුපාඩු පැවැති බවත් ඒ බව එම ආයතනයට දැනුම් දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රතිකාර ලබාදීමේදි රෝගියාගේ ආරක්ෂාව සැලසීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධාන කාර්යක් බවත් වෛද්‍ය උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට අදාළ පාර්ශ්වයන් පියවර ගත යුතු බවත් ඒ මහතා පැවසීය.

සන්ධ්‍යා කරුණාරත්න

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *