ඉන්දියානු ව්‍යාප්තවාදය චීන ප්‍රබන්ධයක් ද? – අජිත් පැරකුම් ජයසිංහ

විජේවීර 1971දී රහස් පොලිසියට දුන්න කට උත්තරේ තියෙනවා ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස ලංකාවේ මුලින් ම ප්‍රචාරය කළේ චීනය විසින් ය කියලා.

මේ වකවානුව චීන රුසියන් මතභේදය පටන් ගත් කාලය. ඒ කියන්නෙ 1960ගණන්වල මැද හරිය. වසර 1967 ඉන්දු චීන යුද්ධය ආසන්න වකවානුවයි ඒ.

ඔය කාලෙ තමයි විජේවීර චීන පිලෙන් කැඩෙන්නෙ. ඊට කලින් විජේවීර හිටියෙ රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගනිමින්.

ඒ වකවානුව වන විට ලුමුම්බා විශ්වවිද්‍යාලය පටන් ගත් අලුත. එහි වෛද්‍ය උපාධි බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් පිළි ගන්නා තෙක් ලංකාවේ පිළි ගත්තේත් නැහැ. විජේවීර එහි යන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එච්.එස්.සී. (වර්තමානයේ අ.පො.ස. උසස් පෙළ) පන්තියේ අවුරුද්දක් ඉගෙනගත් පසුවයි. එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සෝවියට් දේශය සූදානම් වන බව ඔහු දැන ගන්නේ සෝවියට් දේශය සඟරාවෙනුයි. ඒ අනුව අයදුම්පතක් යවන ඔහුව විභාගයකින් ඒ සඳහා තෝරා ගන්නවා. ගැමි තරුණයකු වන ඔහු අධ්‍යාපනයේ දක්ෂයකු බවට සැකයක් නැහැ.

1964 දක්වා පැවැත්වුණු සියලු විභාගවලින්, ජීව රසායන විද්‍යාව විෂය හැර, සමත් වූ බව ඔහු 1971දී පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වෙනවා.

ඔහු 1964 මාර්තු මස ලංකාවට එන්නේ නිදි මැරීම නිසා අසනීප වූ බැවින් එම අධ්‍යයන වර්ෂය අවසන් වී ඊළඟ අධ්‍යයනය වර්ෂය ආරම්භ වනතුරු අධ්‍යයන නිවාඩු ලැබුණු නිසා බව ඔහු පවසනවා.

චීන රුසියන් මතභේදය ඇති වන විට ඔහු චීනය නිවැරදියි කියන ස්ථාවරයේ සිටි බව කියනවා.

නැවත 1964 අගෝස්තු මස ඔහු ආපසු යා යුතුව තිබුණත් රුසියානු තානාපති කාර්යාලයෙන් ඔහුට වීසා නිකුත් නො කළ බව කියනවා.

ඉන් පසු ඔහු ෂන්මුගදාසන් නායකත්වය දුන් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙහි වැටුප් ලබන පූර්ණකාලිකයකු ලෙස සේවය කරනවා. ඔහු එයට සම්බන්ධ වන්නේ කලක් හක්මණ මන්ත්‍රීව සිටි ප්‍රේමලාල් කුමාරසිරි හරහායි.

විජේවීර කටඋත්තරේ කියන්නෙ තමන් ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස පිළිගන්නෙ නැහැ කියලායි.

ඔහුගේ කටඋත්තරය ඉතා දීර්ඝ එකක්. එය ඉතා වැදගත් ඓතිහාසික ලේඛනයක්. එහි විස්තර රැසක් සඳහන් වෙනවා. ඔහු කරුණු වසන් කිරීමක් කරන බවක් පෙනෙන්නේ නැහැ. මේ කටඋත්තරය දැන් උදේනි සමන් කුමාර විසින් කොටස් වශයෙන් මව්බිම පුවත්පතේ හටන අතිරේකයෙහි පළ කරනවා. පහත දැක්වෙන්නේ විජේවීරගේ ම වචනයි.

ඉන්දියානු ප්‍රශ්නය ගත්තොත් මාඕ සේතුංගෙ තර්ක එහෙම දාලා චීන-ඉන්දීය මතභේදය උඩ ෂන් පොත් ගහලා තිබුණා. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන චීන තානාපති කාර්යාලය ගහපු සිංහල පොත් තිබුණා. චීනය පැත්තෙන් ඒ තර්ක ගොඩනගල තිබුණේ. ඉන්දියානු ව්‍යාප්තවාදය කියන මතය ආවේ එතැනින්. මම ස්වයං විවේචනය කරල පස්සෙ ඒ මතයෙන් බැහැර වුණා. 

විජේවීර මෙසේ කීවත්, 1971ට පෙරත්, 1989ට පෙර වකවානුවේත් ඉන්දියානු ව්‍යාප්තවාදය ජවිපෙ දේශපාලන පන්ති අතර තිබුණා.

මේ පන්ති ගැන විජේවීර සඳහන් කරන්නේ ඒකටත් පරිණාමයක් තියෙනවා. කවුරුත් අදහස් පිළි අරගෙන පොදු එකඟතාවකට ඇවිත් පන්ති පහක් හදනවා කියලා තීරණයක් ගත්තෙ නැහැ.

1971දී විජේවීර කියූ කාරණය වන්නේ චීන ඉන්දීය ගැටුමේදී ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස නිර්මානය කළේ චීනය විසින් බවයි. තමන් ඒ පිළිබඳ ස්වයං විවේචනයක් කර මතයෙන් ඉවත් වූ බව කීවත්, පසු කලෙකත් ජවිපෙ මෙම ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ මතය ඉදිරියට ගෙන ආවා. වර්තමානයේත් එය සිදු වෙමින් තිබෙනවා.

වසර 1960 කාලයේදී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල නඩත්තු වුණේ චීනයෙන් ලැබුණු ආධාර මතයි. ඔවුහු ද සෝවියට් දේශය වගේ ම, සිංහලෙන් දෙමළෙන් පොත් පත් විශාල වශයෙන් පළ කළා. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පවත්වාගෙන ගිය ප්‍රකාශන ආයතනය විසින් ඒවා අඩු මිළට විකිණුවා. මට මතක විදියට එම ප්‍රකාශන ආයතනයේ නම අරුණ ප්‍රකාශකයෝ.

වර්තමානයේ ලංකාවේ ඉන්දියානු විරෝධය ගැන සලකා බලන විට අපට චීනය අමතක කරන්නට බැහැ. හැබැයි, එහෙම නැතුව පවා ලංකාවේ සිංහල ජනයා අතර ඉන්දියානු විරෝධය මුල් බැසගෙන තිබෙනවා. එයට හේතුව නූතන සිංහල ජාතිය ගොඩනැගෙන්නේ ම දෙමළ ජාතිය අනෙකා කරගෙන වීමයි. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් පිළිකුල් කිරීම වගේ ම, ලාංකීය දෙමළ ජාතිකයන් ද ඉන්දියාව සමග සම්බන්ධ කර සැලකීම ලාංකිකයන්ගේ පුරුද්දක්.

ඒ නිසා චීන යුවාන් ඇතුවත්, නැතුවත්, ඉන්දියානු විරෝධයට ලංකාව සරු පොළවක්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *