ප්‍රමිතිය හොඳනම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුණට කමක් නැහැ – ඩිව් ගුණසේකර – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධා‍න ලේකම්

 

පසුගිය මැයි රැළියට ඒකාබද්ධයෙන් වෙන්වී තනිවම ගියේ ඇයි? ව්‍යවස්ථා සංශෝධනය, සයිටම් ප්‍රශ්නය ඒකාබද්ධය කියන ආණ්ඩු පෙරළීම ආදිය පිළිබඳ කියන්නේ කුමක්ද? යන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර එහා ඉවුරට එක් වේ.

* එක්සත් ජාතික පක්ෂ ශ්‍රී.ල.නි.ප හවුල් ආණ්ඩුව පෙරළන්න ශ්‍රීලනිපයේම කොටසක් උත්සාහ දරනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

මේ තත්ත්වය ඇතිවීමට තුඩුදුන්න කාරණා කීපයක් තිබෙනවා. 2015 ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයේ දී ජනතාව දුන්නු තීන්දුව ඒ අතර ප්‍රධාන වෙනවා. කව්රුත් අපේක්ෂා නොකළ මොහොතක රටේ නව දේශපාලන පෙලගැස්මක් ඇතිවුණා. මේ ඉතිහාසයේ කවරදාකවත් ඇති නොවිච්ච තත්ත්වයක්. ශ්‍රී.ල.නිපයේ නායකයාට එරෙහිව ශ්‍රී.ල.නිපයේම මහ ලේකම්වරයා ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ජයගත්තා. ඒ සමගම සිදුවූ අනිත් අනපේක්ෂිත කාරණය තමයි මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ ගමන් ශ්‍රීලනිපයේ නායකත්වය ප්‍රතිවාදී අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පවරාදීම.

පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵලයක් ඔබ කියූ කාරණාවලට ප්‍රධාන හේතුවක්. එ.ජා.පයට ආසන 106ක් ලැබුණත් ආණ්ඩුවක් පිහිටුවීමට බහුතර බලයක් හිමිවන්නේ නැහැ. ඒ අනුව ශ්‍රී.ල.නි.පයේ නායකත්වය සමඟ කොටසක් එ.ජා.පය හා එක්ව වර්තමාන ආණ්ඩුව පිහිටුවනවා. මේ ආණ්ඩුව පිහිටුවීමට එක් නොවුණු ශ්‍රී.ල.නිපයේ තවත් කොටසක් අවසරය සහිතව විපක්ෂයේ පෙනීසිටිනවා. ඒ අනුව කවදාවත් නොමැති ආකාරයට අද පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයක් හා නිල නොවන විපක්ෂයක් ඇතිවෙලා. මේ කාරණාව ඇතිවුණු දේශපාලන සංකීර්ණතාවය රටේ ජනතාවට තේරුම්ගැනීමට නොහැකිවෙලා. දේශපාලන ව්‍යාකූලත්වයක් රට තුළ ඇතිවෙලා.

* රට ආර්ථික අර්බුදයකට මුහුණපා ඇති බවට කරණ ප්‍රකාශ ගැන ඔබේ අදහස මොකක්ද?

අපේ රටේ ආර්ථික අර්බුදයට කාරණා තුනක් බලපානවා. අය – වැය හිඟයේ අර්බුදය, විනිමය අර්බුදය හා ණය අර්බුදය මේ කාරණායි. පසුගිය අවුරුදු 38 පුරාම රාජ්‍ය ආදායම පහත වැටෙනවා. 1978 24%ක් වූ රාජ්‍ය ආදායම අද 10% දක්වා පහත වැටිලා. මේකට අද බලයේ ඉන්න ආණ්ඩුව පමණක් වගකිවයුතු නැහැ. මේ තත්ත්වය පසුගිය අවුරුදු 38 පුරා ක්‍රමානුකූලව ඇතිවූවක්. 1978 සිට බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම මේකට වගකියන්න ඕන.

* රාජ්‍ය ආදායම අඩුවීමට හේතු මොනවද දකින්නේ?

1978 දී හඳුන්වාදුන් විවෘත ආර්ථිකය හා රටේ ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය මෙයට සෘජුවම බලපෑවා. පැවැති බදු සීමා අහෝසි කළා. රාජ්‍ය බදු ආදායමෙන් 80%ක් වක්‍ර බදු ලෙසත් 20%ක් සෘජු බදු ලෙසත් අයකළා. පසුගිය අයවැයේ දී ආර්ථික අමාත්‍යවරයා වශයෙන් අගමැතිතුමා බදු අය කිරීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කරන බවට පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා.

ඒ අනුව 80%ක් වූ වක්‍ර බදු 65% දක්වා පහත හෙළන බවත් 20%ක් වූ සෘජු බදු 35%දක්වා ඉහළ දමන බවටත් ප්‍රකාශ වුනා. නමුත් රජය අපේක්ෂා කළ පරිදි එය කිරීමට නොහැකි වුණා. අවසානයේ 80%ක් වූ වක්‍ර බදු ප්‍රතිශතය 90% දක්වා ඉහළ ගියා. 20%ක් වූ සෘජු බදු ප්‍රතිශතය 15% දක්වා පහළ බැස්සා. ඇත්ත තත්ත්වය අද කිසිකෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේවත්, අමාත්‍ය මණ්ඩලයේවත් රටේ මහජනතාවවත් වෘත්තීය සමිතිවත් අවධානය යොමු කරල නැහැ.

* මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් නව රජයක් බිහි කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කරන ප්‍රකාශ ඔබ දකින්නේ කොහොමද?

අවුරුදු 20ක් බලයේ ඉඳල බලය අහිමිවුණ පක්ෂයක් කරන්න ඕන ස්වයං විවේචනයක් එහෙම කළාම අඩුපාඩු හදාගන්න හැකිවෙනවා. නිවැරදි උපාය, උපාය මාර්ග අනුගමනය කරන්න හැකිවෙනවා. නමුත් අද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම කටයුතු කරන්නේ මනෝමූල කාරණා මුල්කරගෙනයි. ප්‍රතිපත්තිමය වශයෙන් බෙදීමක් ඇතිවුණ විට සාකච්ඡා කරල තර්ක විතර්ක ඉදිරිපත් කරල නැවත නිවැරදි මාර්ගයට එන්න පුළුවනි. නමුත් මනෝමූල කාරණා මුල්කරගෙන බෙදීමක් ඇතිවුනහම යළි ගොඩගැනීම ඉතාමත් අසීරුයි. අද මේ කාරණා ඒකාබද්ධ විපක්ෂයේ සිදු කරන වෛරය, කේන්තිය මුල්කරගත් ප්‍රකාශවලින් හොඳින් පේනවා. මේවා පරිණත නායකයන්ට සුදුසු වැඩ නෙමෙයි.

* ඉතා සුළු කාරණා පවා මුල්කරගෙන කරන වැඩවර්ජන උද්ඝෝෂණ ගැන ඔබේ අදහස් කිව්වොත්?

අද රටේ පක්ෂ විපක්ෂ දේශපාලකයින්වත් මාධ්‍යයවත් රටේ ජනතාවට බලපාන කතා කළයුතු ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. මේ වර්ජන කරන උද්ඝෝෂණය කරන හැමෝම ආණ්ඩු විරෝධීන් කියල කියන්න බැහැ. රජයවත් විපක්ෂයත් මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙනව කියල ඔවුන්ගේ ක්‍රියාකලාපය තුළින් පැහැදිලි වන්නේත් නැහැ. ආණ්ඩුව පැත්තෙන් ර‍ටේ තිත්ත ඇත්ත ජනතාවට කියන්න ඕනා. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒකත් මේ වර්ජන රැල්ලට එක හේතුවක්. ලෙනින් සහෝදරයා කියූ පරිදි ඇත්ත ජනතාවගෙන් කිසිවිට වසන් නොකළ යුතුයි.

* අද ඇතැම් දේශපාලන කොටස් වැඩකරන ජනතාව වර්ජනවලට පොළඹවමින් කෙසේ හෝ බලය ලබා ගැනීමට උත්සාහ කරනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?

අද ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලන ගුණාත්මක භාවය බිඳවැටිලා. විපක්ෂයේ ඉද්දි ජනතාවට දෙන පොරොන්දු ආණ්ඩු බලය ගත්තහම අමතක වෙනවා. වැඩකරන ජනතාව දඩමීමා කරගෙන ආණ්ඩු බලය ලබාගන්න කවුරු හෝ කටයුතු කරනවා නම් ඒක පිළිකුල් සහගත ක්‍රියාවක්. එවැනි ක්‍රියා අපි අනුමත කරන්නේ නැහැ.

* මෙවර මැයි දිනය වෙනම සමරන්න ඔබේ පක්ෂය තීරණය කළේ ඇයි?

ඉතිහාසයේ ඉඳලා මැයි දිනය සැමරුවේ වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් දේශපාලන පක්ෂ කළේ පිටුපසින් සිට සහයෝගය දීම. නමුත් මේ තත්ත්වය 1956 ශ්‍රී.ල.නිපයේ ආරම්භ කළ පසු වෙනස් වෙනවා.

පළමු වතාවට ශ්‍රී.ල.නි.පය දේශපාලන පක්ෂයක් ලෙස මැයි දිනය සමරනවා. වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා 40%ක සාමාජිකයන් සිටිය යුතු යැයි තිබූ නීතිය අහෝසි කරමින් 7 දෙනෙකුගේ එකතුවකින් වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමට හැකිවන පරිදි නීති සකස් කරනවා. අද දහස් ගණනින් වෘත්තීය සමිති බිහිවෙන්න මේක හේතුවක්.

අපි හැමදාම මැයි දිනය සැමරුවේ එක්කෝ වෘත්තීය සමිති සමඟ නැතිනම් වමේ පක්ෂ එකතුවකින්, ශ්‍රී.ල.නි.පය සමඟ ආණ්ඩු කරද් දී පොදුවේ මැයි රැලියට සහභාගි වෙනවා. හැබැයි කල්තියා එකඟතාවයන්ට පැමිණෙනවා. එහි දී අපි සටන්පාඨ හා කරනු ලබන ඉල්ලීම් පවා තීරණය කරනවා. 2015න් පස්සේ මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ අනුව අපේ මැයි දිනය වෙනම පවත්වන්න තීරණය කළා.

අපි අපේ මැයි දිනය වෙනම පැවැත්වූවට සන්ධාන ආණ්ඩුවේ මැයි රැලියක් නියෝජනය කරනවා. පහුවෙනකොට අපිට කතාවක්වත් ඒ මැයි රැළියේ නැහැ. ජනාධිපතිතුමායි තව එක්කෙනයි කතා කරන්නේ. ඒ අනුව මේ මැයි දිනයේ හරය රැකගන්න ඕන නිසා මෙවර අපි මැයි දිනය තනියෙන් සැමරුවා. 1979න් පස්සේ පළමු වතාවටයි තනිව මැයි දිනයක් අපි සැමරුවේ. මේක අභියෝගයක් වුණා. අපි ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා.

* මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙද්දී ඉන්දියානු අගමැතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරල කළු කොඩි ඔසවන්නැයි කරන ලද ප්‍රකාශ ගැන මොකද හිතන්නේ?

මට කියන්න තියෙන්නේ මැයි දිනයේ දී කිසිදාක නොකළ යුතු ප්‍රකාශයක් ඒක. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් වේදිකාවේ සිටිය දී එවැනි ප්‍රකාශයක් කිරීම බරපතළ තත්ත්වයක්.

මේ ගැන කතාකරද් දී ආගමික කාරණය පැත්තකින් තිබ්බත් ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසි රාජ්‍යය. ලෝකයේ වේගවත්ම ආර්ථිකයකට උරුමකම් කියන රට. මෙවැනි ප්‍රකාශ කළහම ජාත්‍යන්තර වශයෙන් රටවල් දෙක අතර තියෙන මිත්‍රත්වය පළුදු වෙනවා.

මේ ප්‍රකාශය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මේ තුළින් ලෝකයට යන්නේ අපේ රට ඉන්දියන් විරෝධී කියන ආකල්පය මට මේ ගැන විද්‍යාත්මකව කියන්න තියෙන්නේ මොළයේ වම් පැත්ත ක්‍රියාත්මක වනවානම් පුද්ගලයකුගේ බුද්ධියට කතා කරන්න පුළුවන්. දකුණු පැත්ත පමණක් ක්‍රියාත්මක වනවානම් එවැනි පුද්ගලයන් කතා කරන්නේ හැඟීම් අවුස්වන්න. මේකත් මොළයේ දකුණු පැත්ත පමණක් ක්‍රියාත්මකවන පුද්ගලයකුගේ ප්‍රකාශයක් ලෙසයි මම දකින්නේ.

* ඉතිහාසයේ පළමු වතාවට ද්විත්ව පුරවැසි භාවය පදනම් කරගෙන මන්ත්‍රීවරියකගේ ධූරය අහෝසි වෙනවානේද?

මේ නීතිය ගේන්නේ 19වෙනි සංශෝධනයෙන් 19 වෙනි සංශෝධනය ගේන්නේ එදා පාර්ලිමේන්තුවේ හිටපු හැමෝගේම ඒකමතික තීරණයෙන්. එදා පාර්ලිමේන්තුවේ හිටපු කාටවත්වත් මේකට විරුද්ධව කතාකරන්න පුළුවන් ද? අධිකරණය කරල තියෙන්නේ පාර්ලිමේන්තුව හදපු නීතිය ක්‍රියාත්මක කිරීම. එතුමියට එදා තිබුණේ මැතිවරණයට ඉදිරිපත්වීමට පෙර විදේශ පුරවැසිභාවයෙන් ඉවත් වෙන්න.

එහෙම වුණා නම් ඔය ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ. එහෙම කරන්නේ නැතිව අද මාව මන්ත්‍රීධුරයෙන් ඉවත්කළා කියලා දොස් කියල වැඩක් නැහැ.තවත් ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්නව කියල කියනවා. ඒක අපි හරියටම දන්නේ නැහැ.

හැබැයි ඡන්ද පෙත්සමක් ඉදිරිපත් නොකර දැන් ඒ නීතිය යටතේ යන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ. දැන් ඡන්ද පෙත්සම් ඉදිරිපත් කරන්න කාලය ඉවර වෙලානේ එහෙම නම් දැන් වෙනත් නීතියක් ඔස්සේ යන්න වෙන්නේ. මට ප්‍රශ්නයක් තියෙන්නේ මෙවැනි කාරණා ඇයි දේශපාලනීකරණය කරන්න හදන්නේ කියලා.

* කෝප් කමිටුවට පැවරෙන බලය ප්‍රමාණවත් නැහැ කියන මතය අද සමාජයේ ඉදිරියට ඇවිල්ලා. කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් මෙය දකින්නේ කොහොමද?

බලය මදි කියල මම පිළිගන්නවා. මම ඉදිරිපත් කරල තියෙන වාර්තාවල පවා ස්ථිර අණ පනත් වෙනස් කරල හෝ බලය දෙන්න ඕනා කියල තියෙනවා එහෙම දෙන්න පුළුවන්.

* කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඔබ ඉටුකළ කාර්යය ගැන සෑහීමකට පත්විය හැකිද?

කෝප් කමිටුව ආරම්භ කරන්නේ 1979 දී ඒ 2010 දක්වා කෝප් කමිටුව ගැන මේ රටේ මිනිස්සු අහල තිබුණෙත් නැති තරම්. මේ අවුරුදු 21 ට ම විමර්ශනය කරල තිබුණේ පැමිණිලි 660යි. ඒත් 2010 සිට 2015 කාලය තුළ මම පැමිණිලි 700 ගණනක් විමර්ශනය කරල අවසන් කළා.

කිසිම දවසක කෝප් කමිටුවට කැඳවපු නැති ආයතන පවා කැ‍ෙඳව්වා හැම ආයතනයක් ගැනම වාර්තා ඉදිරිපත් කළා විතරක් නෙමෙ‍යි හැම ආයතනයක් ගැනම දින දෙකක විවාදයක් පවත්වන්නත් කටයුතු කළා. අද අගමැතිතුමා එදා විපක්ෂය නායකවරයා ලෙස කෝප් එකට ප්‍රශංසාකරල කතා කරපු වාර අනන්තයි. අදාළ කැබිනට් අමාත්‍යවරයා හරහා ඇතැම් සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කරන්න අපි බලපෑම් කළා. ඒ අනුව මම සෑහීමකට පත් වෙනවා.

* විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධව විවේචන තියෙනවා නේද?

මම මුල ඉඳලම කියපු දෙයක් තමයි ඕක පවත්වාගෙන යන්න බැහැ කියන එක. මේ වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් කඩිනමින් නිර්මාණය කරන්න ඕනා. අවුරුදු දෙකක් තිස්සේ මේ ගැන කතා කරනවා මිසක් තවම ඒක කරගන්න බැරිවෙලා. එහෙම ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නැතිව පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය නැති කරන එක ප්‍රායෝගික නැහැ.

* සයිටම් විරෝධය පිළිබඳ ඔබේ අදහස කිව්වොත්?

විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය යටතේ දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ඇතුළත් කර ගැනීම හඳුන්වා දුන්නු අපේ පක්ෂයේ පීටර් කේනමන් සහෝදරයා එයින් බලාපොරොත්තු වුණේ ගම්බද පාසල්වල දරුවන්ට සාධාරණයක් ඉටු කරන්නයි. මේ ක්‍රමය හඳුන්වාදීල අවුරුදු 30 කටත් වැඩිය ගතවෙලා. ගණනය කරන්නේ තවම ඒ මට්ටමින්මයි. මම මේ ක්‍රමය අහෝසි කරන්න කියල කියන්නේ නැහැ.

යළි මේ ගැන සලකා බලන්න ඕන. එදා අවම මට්ටමේ පැවැති ග්‍රාමීය පාසල්වල අධ්‍යාපන මට්ටම අද ඉහළ ගිහිල්ලා කියලා කාටත් පිළිගන්න වෙනවා. විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය වැඩිකර ගන්න පුළුවන්නම් ඒක හොඳයි. නමුත් එය අපේ ජාතික ආර්ථිකයට දරාගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.

අවුරුද්දකට අපේ දරුවෝ 4000 – 5000කට අධික ප්‍රමාණයක් පිටරට යනවා උපාධිය හදාරන්න. මේ නිසා අපේ රටේ ධනය විශාල ලෙස පිටරටවලට ඇදී යනවා. මේ අතින් බැලුවහම අපේ රටේ ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ගැටලුවක් නෙමෙයි. වෛද්‍ය සභාව කරන්න ඕන මේ සඳහා නිසි ප්‍රමිතියක් හදා දීල ඊට අවශ්‍ය නිසි මඟ පෙන්වීම ලබාදීමයි. ලෝකයේ පූර්ණ නිදහස් අධ්‍යාපනය දෙන්නේ කියුබාව විතරයි. එහෙම දෙන්න අපටත් හැකියාව තියෙනවානම් කිසිදු පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අවශ්‍ය වන්නේ නැහැ.

* නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැන ඔබේ අදහස කොහොමද?

නව ව්‍යවස්ථා ගෙන ඒම කඩිනම් කරන්න කියන්නේ අඩුම ගානේ මෙය අවුරුද්දක් ඇතුළතවත් අවසන් කරන්න ඕනා. චන්ද්‍රිකාගේ පාලන කාලයේ අතගගා හිටියා වගේ හරියන්නේ නැහැ.

* නව ව්‍යවස්ථාව මරඋගුලක් බව ඇතැම් දේශපාලනඥයින් කියනවා නේද?

ඒවා හිස් දේශපාලන සටන් පාඨ, අර්ථවත් ඒවා නෙමෙයි. ඔය වගේ මතවලින් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. අපි ඔය ස්ථාවරයේ නැහැ. ඒක පැහැදිලිවම කියනවා. මෙවර මැයි දිනය අපි වෙනම පවත්වන්නත් ඕක එක හේතුවක්.

* නව ව්‍යවස්ථාවේ බුදු දහමට ඇති තැන අහිමි කරනවා කියන ප්‍රකාශය ගැන ඔබේ මතය කිව්වොත්.

බලය ලබා ගන්න කරන අන්තවාදී ප්‍රකාශනේ. මේකෙන් වෙන්නේ රට අවුල් කිරීමක් පමණයි. දකුණේ අන්තවාදීන් කරන මේ ප්‍රකාශ උතුරේ අන්තවාදීන්ට නොමිනේෂන් දුන්නා වෙනවා. අධිරාජ්‍ය විරෝධී කියන බොහෝ දෙනා කරන්නේ අධිරාජ්‍ය වාදීන්ට අපේ රටට අත පොවන්න පාර කපන එක.

සටහන පබුදු සපුතන්ත්‍රී

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *