පක්ෂය නොව රටගැන සිතියයුතු මොහොතක් -හිටපු ජනපතිනි

Chandrikaපක්ෂයකට අන්ඳ ව ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත් වී සිටින බලවේගයට ඡන්දය ලබාදීමට හිතහදා ගැනීමට නොහැකිව සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට චන්ද්‍රිකා කුමාරතුග මැතිනිය කිසියම් ධෛර්යයක් ලබා දී තිබේ.
එළඹෙන මැතිවරණය සම්බන්ධයෙන් තම ස්ථාවර පැහැදිළි කරමින් කුමාරණතුංග මැතිනිය එයට අදාළ නිවේදනය පසුගිය දා නිකුත් කළා ය. සියලූම මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍යයන් හී පලවී ඇති එම නිවේදනයේ ඇති කරුණු අතරින් කරුණු දෙකක් අතිශයින්ම වැදගත් ය. තමාට ඉදිරිපත්වන ලෙස පුරවැසි සංවිධාන කළ ඉල්ලීම පිළිගැනීමට හැකියාවක් නොතිබු නමුත්, මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි අපේක්ෂකයෙකු ශ්‍රීලනිපයෙන් ලබාදීම ඉන් එකකි. නිවේදනයේ එය සඳහන් වන්නේ මෙසේ ය.
“මා වෙනුවෙන් අප පක්ෂයෙන් ම සුදුසු නායකයෙකුව හඳුනාගෙන රාජපක්ෂ අදූරදර්ශී පාලනය නොයිවසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිදෙනෙකුගේ ද, එක්සත් ජාතික පක්ෂයේ ද, පිළිගත් සමහර දේශපාලන පක්ෂවල ද, පුරවැසි සංවිධානවල ද, එකඟත්වය ලබාගෙන ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්කොට, ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුනෙමි.□
ජයගත් පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන් පසු පක්ෂයේ නිලතල දැරූවන් සමඟ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත්තේ ය. තෙවරක් මහින්ද රාජපක්ෂ හමු වූ අතර අවසන්වර ඇතිකරගත් එකඟතාවය මේ වනතුරු ද මාධ්‍යට අනාවරණයකර නැත. මෛත්‍රිපාල සිරිසේන මහතාට ඕනෑම තීරණයක් ගැනීමට අයිතියක් ඇතත්, ඔහුගේ එම ක්‍රියාදාමය සම්බන්ධව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ පැහැදීමක් නැති බව ඉතා පැහැදිළි ය. මක්නිදා ද යත් ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය දුන්නේ මහින්දවාදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට නොව එය පරාජය කර රට රැකගැනීමට වන නිසාය.
ඒ අනුව රාජපක්ෂවාදය විසින් මෙහෙයවනු ලබන ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයට එරෙහිවූවන් මුහුණ දී සිටින උභතෝකෝටිකයට ඇය ද මුහුණ දී සිටීම එහි දෙවැන්න ය. ඒ බව මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.
“අප පක්ෂයේ උතුම් ප්‍රතිපත්ති විනාශකරමින්, රට යළ විනාශකිරීමට ඉදිරිපත්ව සිටින ප්‍රතිගාමී කණ්ඩායම සමඟ සිටිනවා ද, එසේ නැතිනම් රට ජයග්‍රහණය කරන්නට ඉදිරිපත්ව සිටින, ඊට අවශ්‍ය දර්ශනය හා කැපවීම තිබෙන කණ්ඩායම සමඟ කටයුතු කරනවා ද යන්න තීන්දු කිරීම අප ඉදිරියේ මේ අවස්ථාවේ ඇති ප්‍රධාන ප්‍රහේලිකාවයි.□
ජනාධිපති සිරිසේන තමාව බලයටපත් කළ බලවේගය අතහැර රාජපක්ෂවාදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රමුඛත්වය දී මැතිවරණය දෙස උපේක්ෂාවෙන් බලාසිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. රාජපක්ෂගේ නැවත පැමිණීම යනු දූෂිත රාජපක්ෂවාදි ශ්‍රී ලංකා නිදහස්පක්ෂය බලයට පත්කිරීමකි. ජනාධිපති ලෙස මෛත්‍රිපාල සිරිසේනට හෙළිනොකළ එකඟතාවය අනුව නිහඬව සිටිය හැකි නමුත් ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයට කැපවූවන්ට එසේ සිටිය නොහැක. ඒ අනුව පක්ෂ මායිම් නොතකා මහින්ද රාජපක්ෂ පරාජය කරනවාද නැතිනම් මාස කිහිපයකට ප්‍රථම පරාජය කළ කුරීරු රාජපක්ෂ පාලනයට නැවත ඉඩදෙනවා ද යන තීරණයට ඒ සෑම එළඹිය යුතුව තිබේ.
කෙසේ නමුත් දූෂිත රාජපක්ෂ පාලනය නැවත ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව රට ද නොරැකෙන බව තේරුම් ගත් හිටපු ජනපතිනිය ජනවාරි 8වෙනිදා අත්කරගත් ජයග්‍රහණය පෙරට ගෙන යන්නට තීරණයකර තිබේ. නිවේදනයෙන් ඒ ගැන මෙසේ කියයි.

“මේ ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන් අනතුරුව මගේ නිගමනය වන්නේ පක්ෂය ආරක්ෂා කිරීම සඳහා පළමුව රට හැදිය යුතු බවයි. එබැවින් ජනවාරි 08වෙනිදා ලද ජයග්‍රහණය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් වේ.□
උක්ත ජයග්‍රහණය ආරක්ෂාකර පෙරට ගෙන යෑමේ සටනට සහය පලකරමින් පුරවැසි සංවිධාන සමග එක්ව රැස්වීම් මාලාවක් පැවැත්වීමට ඇය මේ වනවිට ද තීරණයකර ඇත. එහි ප්‍රථම රැස්වීම ජනවාරි 08 වෙනිදා කුරුණෑගල දී පැවැත්වීමට සියලූ කටයුතු සුදානම් බව වාර්තා වේ. පක්ෂය පිළිබඳව, මුල් බැසගත් සම්ප්‍රදායික මත ඉවතලමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තීරණයක් ගැනීමට නොහැකිව ලතැවෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මේ මගින් හිටපු ජනපතිනිය ධෛර්යක් ලබා දී ඇත. ඒ අනුව රාජපක්ෂවාදය පක්ෂයෙන් තුරන් කරන්නට නම් ඉදිරි මැතිවරණයේ දී, ජනවාරි 08 වෙනිදා ලැබූ ජයග්‍රහණය තහවුරු කළ යුතුව තිබේ. එයින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු පක්ෂයක් ලෙස අනාගතයේ දී නැවත මහ ජනතාව අතරට පැමිණිමට හැකිවනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *