මහ ඇමැති සමුළුවේ උණුසුම් කතා : ගීතාගේ තීන්දුවෙන් විපක්ෂය අවුලක
ලැබුණු තවත් තොරතුරකින් ඒකාබද්ධ විපක්ෂයේ තිගැස්මක් ඇති වී තිබෙනවා. එය නම් මැතිවරණයකට තරග කළ ලැයිස්තුවක එක් නමක් නුසුදුසු වූ විට එම නාම යෝජනා ලැයිස්තුවම අවලංගු වන බවට වන නීතිමය තර්කයයි. මීට පෙර අවස්ථාවක කොළඹ නගර සභාවේ එජාප ලැයිස්තුවම අවලංගු වූයේ එයට ඇතුළු කර තිබූ එක් අයෙකු නුසුදුස්සකු වීම නිසාය.
පළාත් මහ ඇමැතිවරුන් ජනාධිපතිතුමාගෙන් එක හඬින් ඉල්ලා සිටියේ පළාත් සභාවලට අවශ්‍ය බලතල ලබාදෙන ලෙසයි. පළාත් සභා පනතින් දී ඇති බලය පළාත්වලට ලැබී නැති බව මහ ඇමැතිවරුන් කීවා. පළාතට අර්ථවත් ලෙස සේවය කිරීමට නම් එම බලතල ලැබිය යුතු බව මහ ඇමැතිවරුන්ගේ ඉල්ලීම වුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ රජරට ප්‍රදේශයේ වැඩකටයුතු රාශියකට සහභාගි වුණා. අනුරාධපුර නගර අලංකරණය හා ආරක්ෂාව සඳහා කළ සැලසුමක වැදගත් අංග කිහිපයක් ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණේ සමස්ත සැලසුම සංකේතවත් කරමින්.
අනුරාධපුර නගරයේ ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීම එක් වැදගත් පියවරක්. කොළඹින් පිට නගරයක ස්ථාපිත පළමු කැමරා පද්ධතිය මෙයයි. එය ජනාධිපතිතුමා අතින් විවෘත වූයේ ඉකුත් පස්වැනිදායි. නුවරවැව ආශ්‍රිතව ඉදිකර ඇති ඇවිදින මංතීරුවද එදිනම විවෘත කළා.
ඉන් අනතුරුව ජනාධිපතිතුමා ගියේ නවීකරණය කර ඇති උතුරු මැද පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයටයි. එහි අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය සිදුවූයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. බුද්ධ ප්‍රතිමා වහන්සේට දැහැත් ගිලන්පස මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය සියක් නමක් සඳහා වූ දානමය පුණ්‍යකර්මයටද ජනාධිපතිතුමා සහභාගි වුණා. මේ සියල්ල සිදුකරන ලද්දේ උතුරුමැද මහ ඇමැති පේෂල බණ්ඩාර ජයරත්න මහතාගේ ආරාධනය මතයි. කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඇතුළු මැති ඇමැතිවරු එයට සහභාගි වී සිටියා.
එහිදී පැවැති උත්සව සභාව ඇමතූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රශ්න කළේ බෞද්ධයාගේ උතුම්ම දවස වන වෙසක් දිනයේ කළු කොඩි ඔසවන්නට කියන්නේ කොයි බෞද්ධයාද කියායි.
වැඩ වර්ජනය කළ වෛද්‍යවරුන්ගෙන්ද ජනාධිපතිතුමා ප්‍රශ්න කළා. සායනික පුහුණුව මදි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ සයිටම් ආයතනයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව අනිවාර්ය කිරීමටත්, ඔවුන් ප්‍රතිපාදන කොමිසම හා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විභාගයකට පෙනී සිටිය යුතු බවටත්, සයිටම් ආයතනය පොදු සමාගමක් කොට රජයෙන් පාලන මණ්ඩලයක් පත් කිරීමටත්, සයිටම් රෝහල රජයට පවරාගැනීමටත් කටයුතු කර තිබියදී තවත් වර්ජනය කරන්නේ කුමකටදැයි ජනාධිපතිතුමා එහිදී ප්‍රශ්න කළා.
එදින සවස අනුරාධපුර “ගෝල්ඩන් මැංගෝ“ හෝටලයේදී පැවැති “රජරට ස්වර්ණ සම්මාන“ උළෙලටද ජනාධිපතිතුමා සහභාගි වුණා. සවස 6.00ට එහි පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ දුමින්ද දිසානායක, පී. හැරිසන් ඇමැතිවරුන් සමඟ පේෂල ජයරත්න උතුරුමැද මහ ඇමැතිතුමා විසින්. එහිදී රටින් බිහි වී රටට සේවය කළ පිරිසකට සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවුණා. කලා, නාට්‍ය, ගීත රචනා, සාහිත්‍ය, ක්‍රීඩා, නව නිර්මාණ අංශවලින් මෙන්ම පාරම්පරික වෛද්‍යවරුන්, දක්ෂ ව්‍යාපාරිකයන් හා සමාජ සේවාවල නිරතවූවන් ඇගයීම එහිදී සිදුවුණා. එලෙස පළාතෙන් තෝරාගත් විසිදෙදෙනකුට ජනාධිපතිතුමා අතින් සම්මාන ප්‍රදානය කෙරුණා. අනුස්මරණ සම්මාන හයක් පිරිනැමීමද සිදුවුණා.
ජනාධිපතිතුමා එදින රාත්‍රීය ගත කළේ අනුරාධපුර ඇති ජනාධිපති මන්දිරයේයි. එහිදී ප්‍රදේශයේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් සමඟ පළාතේ තත්ත්වය හා දේශපාලනය පිළිබඳ කතාබස් කිරීමද සිදුවුණා.
පසුදින ජනාධිපතිතුමා අනුරාධපුරයෙන් පිටත්ව හබරණ නගරය බලා ගියා. හබරණ නගරයේ සවිකොට ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධතිය විවෘත කිරීමද සිදුවුණේ ජනාධිපතිතුමා අතින්. ඉන්පසුව ජනාධිපතිතුමා ගියේ හබරණ ‘සිනමන් ලොජ්’ හෝටලයේ පවත්වනු ලැබූ පළාත් මහ ඇමැතිවරුන්ගේ සමුළුවට සහභාගි වීමටයි.
පළාත් මහ ඇමැතිවරුන්ගේ සමුළුව මෙවර පැවැතියේ තිස්තුන්වන වතාවටයි. උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු පළාත් මහ ඇමැතිවරුන් සියලුදෙනා එයට සහභාගි වී සිටියා. පළාත් සභාවල කටයුතු සම්බන්ධයෙන් හා ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පළාත් මහ ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කළා. රේඛීය අමාත්‍යාංශවලින් එල්ල වන බලපෑම්, මුදල් ප්‍රතිපාදන ලබාදීමේ සිදුවන ප්‍රමාදයන් ආදිය ගැන මහ ඇමැතිවරුන් ජනාධිපතිතුමා දැනුවත් කළා. ඒවා විසඳීමේ ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට ජනාධිපතිතුමා පොරොන්දු වුණා.
මෙම සමුළුවේදී පළාත් මහ ඇමැතිවරුන් ජනාධිපතිතුමාගෙන් එක හඬින් ඉල්ලා සිටියේ පළාත් සභාවලට අවශ්‍ය බලතල ලබාදෙන ලෙසයි. පළාත් සභා පනතින් දී ඇති බලය පළාත්වලට ලැබී නැති බව මහ ඇමැතිවරුන් කීවා. පළාතට අර්ථවත් ලෙස සේවය කිරීමට නම් එම බලතල ලැබිය යුතු බව මහ ඇමැතිවරුන්ගේ ඉල්ලීම වුණා. ඉදිරියේදී ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එම ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා කීවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේදී හිටපු අමාත්‍ය ජයලත් ජයවර්ධන මහතාගේ සිව් වැනි සංවත්සරයට සහභාගි වුණේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්ත්වයක සිටියදීයි. සිය පැරණි සගයාගේ සංවත්සරයට පැමිණි අගමැතිවරයා අසනීපයෙන් සිටි නිසා උත්සව සභාව ආමන්ත්‍රණය කළේ නැහැ. ජයලත් ජයවර්ධන මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සභාව ඇමතීමෙන් පසු වික්‍රමසිංහ මහතා පිට වී ගියා. මේ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාද පැමිණ සිටියා. අගමැති වික්‍රමසිංහ මහතා වාඩි වී සිටි පළමු පෙළියේ වම් පසට වෙන්න තිස්ස අත්තනායක වාඩි වී සිටියේ අමාත්‍ය සාගල රත්නායක, මහතාගේ ආසනයට අල්ලපු ආසනයේයි. සාගල රත්නායක තිස්ස අත්තනායක සමග කතා බහ කළත් අගමැතිවරයා තිස්ස සමග කතා කළේ නැහැ. උත්සවය අවසානයේ පැවැත්වුණු තේ පැන් සංග්‍රහයටද තිස්ස අත්තනායක මහතා සහභාගි වුණා. මුහුණ පුරා රැවුළ වවා ගත් හුරුපුරුදු මුහුණක්ද ආරාධිතයින් අතර සිටියා. ඒ කලක් දේශපාලන කරළියේ කතා බහට ලක් වූ හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා මහතායි.
අසනීප තත්ත්වයෙන් සුවය ලැබූ අගමැති වික්‍රමසිංහ මහතා සිකුරාදා උදේ ඌව පරණගම කෘෂි අපනයන ගම්මානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වුණා. පසෙකින් උමා ඔය ගලා යන මිටියාවතක පිහිටි බිම් ප්‍රදේශයක පිහිටි කෘෂි ගම්මානයට පැමිණි අගමැතිවරයා එහි අඹ පැළ සිටෙව්වා. වියළි කාලගුණයක් පවතින යාලගම දුෂ්කර ගම්මානයේ ජනතාව දැඩි උෂ්ණත්වය නොතකමින් අගමැතිවරයා දැක බලා ගැනිමට පැමිණ සිටියා.
පසුවදා උදේ බදුල්ලේ ඔනෙක්ස් හෝටලයේ පැවති බදුල්ල සංවර්ධන කමිටු රැස්වීම සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවටද අගමැතිවරයා සහභාගි වුණා. මෙහිදි පක්ෂ ක්‍රියාකාරින් සමග අදහස් හුවමාරු කර ගත්තා. සිය නායකයා සමග සෘජුව කථා බහ කිරීමට අවස්ථාව ලත් බදුල්ලේ එක්සත් ජාතික පාක්ෂිකයින් පක්ෂයේ ඉදිරි ගමන් මග ගැන සිය අදහස් ඉදිරිපත් කළා.
සඳුදා හවස එක්සත් ජාතික පක්ෂය මාසිකව පවත්වන = කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවතුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අති සාර්ථක මැයි දින රැළියක් පැවැත්වීමෙන් පසු එහි අභිමානය සහ සතුට සමගින් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. මැයි දිනය ඉතා හොඳින් පැවැත්වීමට දායක වූ සියලු දෙනාටම අගමැති වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුද කළා. පක්ෂයේ නව සහකාර නායකයින් පත් කිරීම එදින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදු කෙරෙන බවට සමහර මාධ්‍ය වාර්තා කර තිබුණත් එදින එවැනි දෙයක් සිදු වුණේ නැහැ. ඇමති මාරු සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන කරළියේ කථා පිට කතා කෙරුණත් එදින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ ඒ සම්බන්ධයෙන්ද කතා බහ වුණේ නැහැ.
2017 දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන ‘ග්‍රාම ශක්ති’ වැඩපිළිවෙළ දියත් කිරීම වෙනුවෙන් අඟහරුවාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සහභාගී වූයේ එහි ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙසයි. එහිදී පිළිසඳරේ යෙදී සිටියදී සජිත් ජනාධිපතිවරයාට කීවේ ‘සර් ග්‍රාම ශක්ති වැඩසටහනට සමගාමීව ග්‍රාම ශක්ති උදාගම්මාන වැඩසටහනකුත් ආරම්භ කරනවා’ කියායි. ‘බොහොම හොඳයි එයින් දුප්පත්කම තුරන් කරලීමේ කාලීන වැඩපිළිවෙළ තවදුරටත් අරුත් ගැන්වෙනවා’ යි ජනාධිපතිවරයා කියද්දී සජිත් කීවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සංඛ්‍යා ලේඛනවලට හසුනොවන සැඟවුණු දුප්පත්කමක් පවතින බවයි. ‘ඒ පන්තියේ ජනතාව සවිබල ගැන්විය හැකිවන්නේ දෛනික හෝ මාසික දීමනා ලබාදීමෙන් නොවෙයි. ‘ප්‍රාග්ධන ශක්තියක්’ ඔවුන්ට ලබාදීමෙන් විතරයි සජිත් කියද්දී ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ ‘හරියට හරි ඔයා වැඩේ කරගෙන යන්න. මම උදව් කරන්නම්’ කියායි.
එදිනම පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් තිස්සමහාරාමය ප්‍රදේශය පොසොන් කලාපයක් බවට පත්කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමයි. ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ වෙහෙර විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් ඊට සහභාගී වී සිටියා. උත්සවයේ අංග පිළිබඳ එකින් එක සාකච්ඡා කරමින් සිටියදී සජිත් එකවරම ඇසුවේ ‘පොසොන් කලාපය දින කීයක් පවත්වනවද?’ කියායි. ‘දින හතයි’ සියල්ලෝම එක් හඬින් පිළිතුරු දෙද්දී සජිත් ඇසුවේ ‘තැබෑරුම්, මත්පැන් හල් කී දවසක් වහල තියෙනවද?’ කියායි. ‘දවස් තුනයි’ අතරින් පතර කීපදෙනෙක් පිළිතුරු දුන්නා. ‘ඒක හරි වැඩක්නේ. පොසොන් කලාපය දවස් 7යි. මත්පැන් අලෙවි තහනම් දින 3ක් විතරයි. එහෙම හරියන්නේ නෑ. පොසොන් කලාපය පවත්වන දින 7ම අනිවාර්යයෙන්ම තැබෑරුම්, මත්පැන් හල් වහල තියන්න ඕනෑ. අපේ ආණ්ඩුව තැබෑරුම්වලට උදව් කරන ආණ්ඩුවක් නොවෙයිනේ. මෙතන ඉන්න රාජ්‍ය නිලධාරීන් ඒ පිළිබඳව අවශ්‍ය පියවර වහාම ගන්න. තැබෑරුම් ඇරගෙන පවත්වන පොසොන් කලාපයකින් ඵලක් නෑ’ සජිත්ගේ පිළිතුර වුණා.
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහල් හතරකින් යුත් නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනපති මෛත්‍රී සමඟ ස්වදේශීය කටයුතු ඇමැති ඇමති වජිර අබේවර්ධන මහතා ගුවනින්ම පොළොන්නරුව බලා පිටත්ව ගියේ ඉකුත් සිකුරාදා උදෑසනමයි. නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව රුපියල් ලක්ෂ 15,000ක වියදමකින් යුතුව ඉදි කරන පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සඳහා ඇමති වජිර නිලධාරීන් සමඟ එක් වුණා. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ මුලදී අවසන් කිරීමට ඉදිකිරීමේ නිරත කොන්ත්‍රාත් සමාගමට ඇමති වජිර මෙහිදි උපදෙස් දුන්නා.
නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ඇහැටුවැව ප්‍රාදේශීය ජනතා සේවයට එක්වීම සඳහා වජිර සෙනසුරාදා උදෑසන ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසල වෙත ගියේ ඇමති එස්.බී. නාවින්න සමඟය. ජනතාව අතරට යමින් ඇමති වජිර ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා පෞද්ගලිකවම මැදිහත් වුණා.
ඉකුත් සඳුදා උදෑසනම වජිර අබේවර්ධන අමාත්‍යවරයා සිය ගමට ගියේ ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම් කාර්යාල උප කාර්යාලය විවෘත කිරීම සඳහායි. ඒ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වඳුරඹ උප කාර්යාලයයි. ඇමති ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මෙන්ම විජේපාල හා බන්දුල බණ්ඩාරිගොඩ ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ගෝල්ෆේස් මැයි රැලියේ අභියෝගය ජයගත් බව සිතූ ඒකාබද්ධ විපක්ෂයේ උදවිය මේ දිනවල සිටින්නේ ප්‍රීතියෙන්. එසේ වුවද එම ප්‍රීතිය මැකීයන්නට මත්තෙන් තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට ඔවුනට සිදු වුණා. එය නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් 42ක් හදිසියේ ඉවත් කිරීමයි. එය සිදුවුණේ මැයි දිනයෙන් දින දෙකකට පසුව නිසා ඒකාබද්ධ විපක්ෂය කීවේ එය පළිගැනීමක් බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කළා.
කෙසේ වෙතත් නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා කීවේ වෙනත් කතාවක්. ඒ මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කළේ දේශපාලන හේතුවක් නිසා නොවන බවයි. එය ඔහුට ඇති තර්ජනය පිළිබඳ තක්සේරු කළ කමිටුවක නිර්දේශ මත ගත් තීරණයක් බව ඇමැතිවරයා කීවා.
මෙම ප්‍රශ්නයට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියද සම්බන්ධ වුණා. එතුමිය කීවේ මහින්ද තමන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කළ බවයි. එය ලබාගත්තේ මාස දෙකකට පසුව බවත් දැන් ඇයට සිටින්නේ ආරක්ෂකයන් තිස්දෙනකු පමණක් බවත් ඇය කියා සිටියා. සාගල ඇමැතිවරයාට අනුව තවමත් මහින්ද ළඟ ආරක්ෂකයන් 187 දෙනකු සිටිනවා. චන්ද්‍රිකා මැතිනිය කීවේ එසේ නම් තමන්ටත් එම ප්‍රමාණයේ ආරක්ෂාවක් ලැබිය යුතු බවයි.
මෙලෙස ආරක්ෂාව ගැන ප්‍රශ්නය විවාද වන අතර සති අන්තයේ තවත් ආරක්ෂකයන් 50ක් මහින්දගේ ආරක්ෂාවෙන් ඉවත් කළා. කෙසේ වෙතත් දවසක් ගතවීමටත් පෙර එම පිරිස නැවත සේවයට යවා තිබුණා. එය සිදුවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන්.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට ශෝකී අවස්ථාවකටද මුහුණදීමට සිදු වුණා. එනම් තම බාල නැගණිය මෙලොවින් සමුගැනීමයි. සහෝදර සහෝදරියන් අටදෙනෙකු සිටි පවුලේ බාලයා වූ ඇය පදිංචිව සිටියේ ඇඹුල්දෙණිය මහවත්ත පාරේ නිවෙසකයි. ඇයට අවසන් ගෞරව දැක්වීමට ඥාති හිතවතුන් මෙන්ම රාජපක්ෂ පවුලේ දේශපාලන හිතවතුන්ද පැමිණීම නිසා ඇඹුල්දෙණිය හන්දිය අවට ප්‍රදේශයේ රථවාහන තදබදයක් ඇතිවී තිබුණා.
ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය උසාවි නියෝගයකින් අහෝසි වීම ඒකාබද්ධ විපක්ෂයට පසුබෑමක් වුණා. ඇයට මන්ත්‍රී ධුරය අහිමිවූයේ මැතිවරණයට නාමයෝජනා භාරදෙන අවස්ථාවේ ඇය ද්විත්ව පුරවැසිභාවයක් දැරීම නිසායි. ගීතා තර්ක කළේ ඇය දැන් එම පුරවැසිභාවය අතහැර ඇති නිසා තමා මන්ත්‍රී ධුරයට සුදුසු බවයි. අධිකරණය තීන්දු කළේ ඇය මැතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුස්සියක වී සිටි නිසා එම පත්වීම වලංගු නොවන බවයි. පාර්ලිමේන්තුවෙන් ඇයට කළ සියලු ගෙවීම් අයකරගන්නා ලෙස ද අධිකරණය රජයට නියෝග කළා. ගීතාගේ තනතුර අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට පසුගිය සඳුදා දැනුම් දුන්නා. ඒ අනුව එම අසුනට පත්වීමට නියමිතව සිටින්නේ පියසේන ගමගේ මහතායි. මනාප ලැයිස්තුවේ ඊළඟ ස්ථානයේ සිටින්නේ ඒ මහතායි. ගීතා වෙනුවට ගමගේ පැමිණීමෙන් මහින්ද පිලට මන්ත්‍රී ධුරයක් අහිමි වී මෛත්‍රී පිලට මන්ත්‍රී ධුරයක් වැඩි වෙනවා.
මේ අතර ලැබුණු තවත් තොරතුරකින් ඒකාබද්ධ විපක්ෂයේ තිගැස්මක් ඇතිවී තිබෙනවා. එය නම් මැතිවරණයකට තරග කළ ලැයිස්තුවක එක් නමක් නුසුදුසු වූ විට එම නාම යෝජනා ලැයිස්තුවම අවලංගු වන බවට වන නීතිමය තර්කයයි. මීට පෙර අවස්ථාවක කොළඹ නගර සභාවේ එජාප ලැයිස්තුවම අවලංගු වූයේ එයට ඇතුළු කර තිබූ එක් අයෙකු නුසුදුස්සකුවීම නිසාය.
2016 මැතිවරණයට ගාලු දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කළ ලැයිස්තුවට එදා විරෝධතාවක් ඉදිරිපත් වුණා. ඒ ගීතා කුමාරසිංහ මහත්මියට දිවිත්ව පුරවැසිභාවය ඇති නිසා ඇය නුසුදුස්සියක බවයි. එවිට සන්ධානයේ නීති තර්කය වුණේ 19 වන සංශෝධනය සම්මත වුවද 1981 මැතිවරණ පනත ඒ අනුව සශෝධනය කර නැති නිසා මැතිවරණයට වලංගු වන්නේ පනතේ ඇති විධිවිධාන බවයි. තේරීම් භාර නිලධාරියා එය පිළිගත් නිසා එම ලැයිස්තුව ප්‍රතික්ෂේප වූයේ නැහැ. නමුත් දැන් අධිකරණය තීන්දුකොට තිබෙන්නේ දහනවවන සංශෝධනයේ විධිවිධාන මැතිවරණයට බලපාන බවයි. ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ඒ අනුවයි.
දැන් නීති තර්කය වන්නේ ගීතා නුසුදුසු නිසා එම ලැයිස්තුවම ප්‍රතික්ෂේප විය යුතු බවයි. එම ප්‍රශ්නය අධිකරණයට ගෙන ගියහොත් දෙන තීන්දුව අනුව එජනිස මන්ත්‍රීන් හයදෙනාටම තනතුරු අහිමි විය හැකියි.
ගීතාට නැඟූ විරෝධයම මාතර එජනිස ලැයිස්තුවටද එදා මතුකළා. එහි එක් අපේක්ෂකයකුට ද ද්විත්ව පුරවැසිභාවය තිබූ බව ඔප්පු වුණා. එම ලැයිස්තුවත් එදා ප්‍රතික්ෂේප නොවුණේ ඉහත තර්කය මතයි. දැන් අධිකරණ තීන්දුව අනුව එම ලැයිස්තුවද අනතුරට ලක්වනවා. එම ක්‍රියාවලිය එලෙස ක්‍රියාත්මක වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර එකොළහක් අහිමිවනවා. එයින් වැඩිම අවාසිය සිදුවන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමටයි.
මේ අතර සිවිල් සංවිධාන ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් ගැන සෙවීමට උත්සාහයක් දරනවා. එහි ප්‍රතිඵල අනුව තවත් බරපතළ දේශපාලන අවුලක් නිර්මාණය විය හැකි බව පෙනෙන්නට තිබෙනවා.