මෝදි ගැන මුසාවාද – සී.ජේ.අමරතුංග

 ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද හෙට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ මෙරටදී ප්‍රථම වරට පවත්වනු ලබන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ ප්‍රධාන අමුත්තා වශයෙනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව අගමැති මෝදි මෙරටට පැමිණීම මෙන්ම ජාත්‍යන්තර වෙසක් දිනයට සහභාගී වීමද සුවිශේෂී අවස්ථාවකි.

අගමැති මෝදි ශ්‍රී ලංකාවට පැමිණීම ගැන නොයෙක් විරෝධතා මතුවන බවද වාර්තා විය. ඉන්දියාවේ හින්දු අන්තවාදී පක්ෂ කියන්නේ මෝදි ශ්‍රී ලංකාවේ වෙසක් දිනයට සහභාගී නොවිය යුතු බවය. හින්දු මක්කල් පක්ෂයේ නායකයා කියා ඇත්තේ මෙරට බෞද්ධයන් හින්දුන්ට හිරිහැර කරන බවයි. එසේ තිබියදී අගමැති මෝදි මෙරට බෞද්ධයන්ගේ ප්‍රධාන උත්සවයට සහභාගීවීම ගැන ඔවුහු විරෝධය දක්වති. කෙසේ වෙතත් ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණෙන්නේ එම විරෝධතා තුට්ටුවකට මායිම් නොකරමිනි.

ශ්‍රී ලංකාවේ ඇතැම් අන්තවාදී කණ්ඩායම්ද නරේන්ද්‍ර මෝදිගේ ගමනට විරෝධය පළ කරන්නට ඉදිරිපත්ව සිටින බව පෙනෙන්නට තිබේ. සමහරු කියන්නේ මෝදි එන දිනය දා කළු කොඩි ඔසවන්නය. මෝදි එන්නේ ජාත්‍යන්තර වෙසක් උළෙලට නිසා මොවුන් කියන්නේ එදිනට කළුකොඩි ඔසවන ලෙසයි. බෞද්ධ සමාජයේ ගිහි, ප්‍රභූ බොහෝ පිරිසක් මෙයට විරෝධය පළකොට ඇතත් අන්තවාදී සුළු පිරිසක් එබඳු දෑ කරන්නට උත්සාහ දැරීමට ඉඩ ඇත. රටත් බෞද්ධයාත් අපකීර්තියට ලක් වුවද මෙම අන්තවාදීන්ට අවශ්‍යව ඇත්තේ රජය අපහසුතාවයට පත්කිරීම බව පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ එම වියරුව ‍කොතෙක්ද යත් බෞද්ධයාගේ උතුම්ම දිනය කිලිටිකරන්නට පවා එමඟින් මොවුන් පෙලඹෙන බව පෙනෙන්නට තිබේ.

අගමැති මෝදි බලයට පත්වූදා සිට ක්‍රියා ක‍ළේ සියලු අසල්වැසි රටවල් සමඟ හොඳ හිත ගොඩනඟන්නට කැපවූ නායකයකු වශයෙනි. ඔහු තම ධුරයේ දිව්රුම්දීමේ උත්සවයට කලාපයේ සියලු රාජ්‍ය නායකයන්ට ආරාධනා ක‍ළේ සියලු දෙනාට හොඳ හිත පෙන්වන්නටය. ඒ ඉන්දියාව තුළින් ම නැඟුණු විරෝධතා නොතකාය.

මෝදිගේ දිව්රුම්දීමේ උළෙලට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම ගැන තමිල්නාඩු දේශපාලනඥයෝ දැඩි විරෝධයක් පළ කළ බව කවුරුත් දන්නා කාරණයකි. තමන් සමඟ සන්ධානගතව සිටි තමිල්නාඩු නායකයන්, නායිකාවන්ගේ විරෝධය නොතකා ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරාධනා කළ අතර නවදිල්ලියේදී ඔහුට උණුසුම් පිළිගැනීමක් ද ලබාදුන්නේය. එම පිළිගැනීම ඔහු ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ නම් දේශපාලනඥයාට නොව අසල්වැසි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටය යන්න කවුරුත් තේරුම්ගත යුතු කාරණයකි. එදත් මෝදිට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සුහද සබඳතාවයක් ගොඩනඟා ගැනීමයි.

අගමැති ධුරයට පත්වීමෙන් පසුව ගිය වසරේ ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. එම සංචාරයේදී ඔහු ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමටද අවස්ථාව යොදාගත්තේ මේ රටේ බහුතර බෞද්ධ ජනයාට කිසියම් පණිවිඩයක් ලබාදීම සඳහාය. එනම් ඔහුට යමක් අවශ්‍ය බවයි. ඒ අන් යමක් නොව මෙරට ජනයාගේ සුහදත්වයයි. එම පණිවිඩය ශ්‍රී ලාංකික සියලු දෙනා තේරුම්ගත යුත්තකි.

ශ්‍රී ලංකාවට මෙවර පැමිණීමට දින කිහිපයකට පෙර නරේන්ද්‍ර මෝදි දකුණු ආසියාවටම තෑග්ගක් ලබාදීමට කටයුතු කළේය. එනම් ඔවුන් විසින් ගුවන්ගත කරනු ලැබූ දකුණු ආසියා සන්නිවේදන චන්ද්‍රිකාවය. එහි පහසුකම් භුක්ති විඳින ලෙස ඉන්දීය අගමැතිවරයා දකුණු ආසියානු රටවලට ආරාධනා කළේය. පාකිස්ථානය හැර අන් රටවල් එම පහසුකම ලබාගැනීමට ඉදිරිපත්වී සිටිති. ශ්‍රී ලංකාව , බංගලිදේශය, භූතානය, නේපාලය, මාලදිවයින හා ඇ‍ෆ්ගනිස්ථානය ඒ අතර තිබේ. චන්ද්‍රිකාව සාර්ථක ලෙස කක්ෂගත කිරීම ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට සුභපැතුම් පණිවිඩයක්ද යැවීය. මෙම චන්ද්‍රිකාව මඟින්ද මෝදි අසල්වැසි රටවලට දුන්නේ එකම පණිවිඩයකි. එය නම් සියලු රටවල හොඳ හිත අවශ්‍ය බවයි.

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින එක් ගැටලුකාරී ප්‍රශ්නයක් නම් ඉන්දීය ධීවරයන් අප රටේ මුහුදු තීරයට ඇතුළු වී මසුන් ඇල්ලීමයි. මෙරට යුද්ධය පවතිද්දී අප රටේ උතුරු නැගෙනහිර ධීවර කටයුතු බොහෝදුරට සීමා වී තිබියදී ඉන්දියානු ධීවරයන් අපගේ මුහුදු තීරය ඔවුන්ගේ මුහුද මෙන් භාවිත ක‍ළෝය. එසේ වුවද දැන් අප රටේ ධීවර කර්මාන්තය යළි ක්‍රියාත්මකවෙද්දී ඉන්දියානු ධීවරයන් පැමිණීම ගැටලුවකි. ශ්‍රී ලංකාව විසින් එලෙස එන ධීවර බෝට්ටු අත්අඩංගුවට ගැනීම ගැන තමිල්නාඩු දෙමළ නායකයන් ඉන්නේ කෝපයෙනි. ඔවුනට අවශ්‍ය වන්නේ ඉන්දියාවේ බලය යොදාගෙන මේ නීති විරෝධී ධීවරයන්ට ආරක්ෂාව සපයන්නටය. ඒ සඳහා ඔවුන් අගමැති මෝදිට කරන බලපෑම සුළු පටු නැත. එසේ වුවද ශ්‍රී ලංකාවේ අයිතියට එරෙහිව බලය යොදන්නට නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සූදානම් වූයේ නැත. තමිල් නාඩුවේ අන්තවාදී දෙමළ නායකයන් ඒ ගැන ඉන්නේ කෝපයෙනි. එසේ වුවද මෝදි පෙන්නුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හොඳ හිත ඔහුට වඩා වැදගත් බවයි.

මෑතකදී මෝදි තවත් වැදගත් ප්‍රකාශයක් කළේය. එනම් ඉන්දියාව ආර්ථික බලවතෙකු ලෙස සංවර්ධනය වන බව හා එම සංවර්ධනය අසල්වැසියන් සමඟ බෙදාහදාගත යුතු බවයි. වි‍ශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමඟ සංවර්ධනය බෙදාගත යුතු බව ඔහු කීවේය.

මෙලෙස හෙට අනිද්දා ශ්‍රී ලංකාවේ සංචාරය කරන මෝදි පුළුල් දැක්මක් ඇති නායකයකු බව තේරුම්ගත යුතුව ඇත. ඔහුගේ අරමුණ ඉන්දියාවේ යහපත යන්න ගැන සැකයක් නැත. එසේ වුවද එයට අසල්වැසි රටවල් ද ඔහුට අවශ්‍යය. එක අතෙකින් එය වඩා සාර්ථක ආර්ථික සංවර්ධනයක් සඳහා ය. ඒ මෙම ආර්ථිකයන් සම්බන්ධ වූ තරමට සංවර්ධනය වේගවත්වන නිසාය. අනෙක් අතට කලාපීය බලවතෙකු හා මහ බලවතෙකු ලෙස නැගී සිටින්නට හදන රටකට අසල්වැසි රටවල සුහද සම්බන්ධය අවශ්‍යය.

මෙයට තවත් පැත්තක්ද තිබිය හැකිය. එනම් භූ දේශපාලනික අවශ්‍යතාවයයි. විශේෂයෙන්ම චීනය මෙම කලාපයේ ආර්ථික දේශපාලන කටයුතුවලට මැදිහත්වීම තුලනය කරන්නට ඉන්දියාවටත් මෝදිටත් අවශ්‍ය වන බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. ඒ සඳහා ද මෝදිට ශ්‍රී ලංකාවේ හොඳ හිත අවශ්‍යය.

අප රට සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉන්දීය අගමැතිවරයා තර්ජන ගර්ජන හෝ වෙනත් බලපෑම් උපයෝගීකරගත් බවක් දැනගන්නට නැත. ශ්‍රී ලංකාවේ චීන බලපෑම ඉන්දියාවට ප්‍රශ්නයක් වන බව බොහෝ දේශපාලනඥයන් කියන කතාවකි. එසේ වුවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ශ්‍රී ලංකාව චීන යටත් විජිතයක් බවට පත්වෙමින් තිබෙන තත්ත්වයක් පෙන්නුම් කළ ද අගමැති මෝදි අනුගමනය කළේ ඉවසිලිවන්ත ක්‍රියාමාර්ගයකි. ශ්‍රී ලංකාවට පාඩමක් උගන්වන්නට ඔහු කල්පනා කළේ නැත.

මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ රජය චීනය සමඟ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම්වලට යන්නට උත්සාහ දරන විටද මෝදි විශාල ලෙස කලබල වූයේ නැත. ඉන්දියාවේ ජනමාධ්‍යවලට ඒ ගැන තිබූ විරෝධය ඉන්දියන් රජය තුළින් ප්‍රකාශ වූයේ නැත. එසේ වුවද රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග උපයෝගීකරගෙන මෙම ප්‍රශ්නයට මුහුණදීමට ඉන්දියාව කල්පනා කළ බව පෙනෙන්නට තිබේ.

ඉන්දියාවේ උපාය මාර්ගය වී ඇත්තේ ශ්‍රී ලංකාවට දෙන සහයෝගය වැඩිකිරීම මඟින් මෙරට සමඟ හොඳ සබඳතාවයක් ගොඩනඟා ගැනීමයි. ඒ සඳහා උතුරේ නිවාස ව්‍යාපෘති, දුම්රිය මාර්ග සංවර්ධනය, මාර්ග සංවර්ධනය ආදියට ආධාර කළා මෙන්ම ණය හා ආධාරද පිරිනැමූ බව කවුරුත් දන්නා කාරණයකි.

ශ්‍රී ලංකාවටද ඉන්දියාවේ හොඳ හිත හා ආධාර අවශ්‍ය බව පැහැදිලිය. මේ රටේ සංවර්ධනය සඳහා බොහෝ දේ කළ යුතුව ඇත. අන්තයට ණය වී සිටින රටට ඒ සඳහා මුදල් නැත. විශාල ව්‍යාපෘති හා ව්‍යාපාර කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම හා සබඳකම් ද නැත. මේ සඳහා ඉන්දියාවේ සහය ලබාගැනීම අවශ්‍යය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවට ගොස් අවබෝධතා ගිවිසුමකට අස්සන් ක‍ළේ එබඳු ව්‍යාපෘති හවුලේ කරන්නටය. සාම්පුර් හි විදුලි බලාගාරය , කෙරවලපිටියේ ස්වභාවික වායු බලාගාරය, ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ආදී ව්‍යාපෘති රැසක් සඳහා දෙරට අතර හවුල් ව්‍යාපාර ඇරඹීම එම ගිවිසුමේ අරමුණ වී ඇත.

මේවා ඉන්දියාව සමඟ කරන්නට යන්නේ අපට තනිවම කරන්නට බැරි වැඩ නිසාය. එසේ වුවද විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් කියන්න හදන්නේ මේවා මහා පාවාදීම් බවයි. සම්පත් විකිණීම් බවයි.

විපක්ෂය තව බොරු තොගයක් මෙයට සම්බන්ධ කරයි. මෝදි මෙවර එන්නේ වෙසක් උත්සවයටය. ඊට අමතරව ඉන්දියාවෙන් ලබාදුන් රෝහලක් විවෘත කිරීමට ය. විපක්ෂය කියන්න හදන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබාගැනීමේ ගිවිසුම අස්සන් කරන්න එන බවකි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය අපේ තෙල් සංස්ථාවෙන් කළ යුතු යැයි කියන උදවියද සිටිති. වසර හැත්තෑවක් තිස්සේ මේවා නිකම් තිබ්බේ ඒවා සංවර්ධනය කිරීමට අප රටට බැරි නිසාය. අප රටේ වෙළෙඳ පොළට එන තෙල් ගබඩා කිරීමට මුතුරාජවෙල හා කොළොන්නාවේ තෙල් ටැංකි හොඳටම ප්‍රමාණවත්ය. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි භාවිත කරන්න නම් අපට ජාත්‍යන්තර වෙළෙඳ පොළට යන්නට සිදුවෙයි. එයට විශාල වෙළෙඳ පොළක් අවශ්‍යය. ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය, ශිල්ප ඥානය, සබඳතා හා උපාය මාර්ග අපට නැත. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් හවුලේ මේවා සංවර්ධනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ඒක නිසාය. විපක්ෂය ලෙඩ දාන්න හදන්නේ මෙම සංවර්ධන උපාය මාර්ග සාර්ථක වූ විට ඔවුන් නන්නත්තාර වන බව දන්නා නිසාය.

දිගින් දිගටම විපක්ෂයේ උපාය මාර්ගය වී ඇත්තේ කුමන සංවර්ධන වැඩක් ජනතා සුබසාධනයක් වුවත් එය බිල්ලෙකු කර පෙන්වීමයි. වරෙක චීනයත් වරෙක ඉන්දියාවත්, තවත් වරෙක බටහිර රටවලුත් බිල්ලා කර පෙන්වා එයට එරෙහි වීරයන් තමන් බව පෙන්වීමට ඔවුහු උත්සාහ දරති.

විපක්ෂයේ මේ ක්‍රියාවලියේ බොළඳ බව පෙන්වන හොඳම සිදුවීම නම් ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කළ නොමිලේ ගිලන් රථ ලබාදීමේ සේවයට ඔවුන් දැක්වූ විරෝධයයි. ඔවුන් එදා කීවේ එය මෙරට ජනතාවගේ තොරතුරු රැස් කරන ඔත්තු සේවයක් බවයි. කෙසේ හෝ රජය එය ක්‍රියාත්මක කළේය. පසුගියදා ගෝල්ෆේස් විපක්ෂ මැයි දිනයේදී  රෝගාතුර වූවන් වහාම රෝහල් කරා ගෙනයාමට පිහිටට පැමිණියේ එම ඉන්දියානු ගිලන්රථ වීම දෛවයේ සරදමකි.

විපක්ෂය තේරුම්ගත යුතු කාරණය නම් මෙලෙස බිල්ලන් මැවීම සැමදාම සාර්ථක නොවන බවයි. ජනතාව කරුණු තේරුම්ගන්නා විට විපක්ෂය තව තවත් පචවීම හැර වෙනත් යමක් සිදු නොවනු ඇත.

සී.ජේ.අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *