ඉන්දීය අගමැතිගේ පැමිණීමේ කිසිදු යටි අරමුණක් නැහැ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කිසිදු දේශපාලනික හෝ ආර්ථික අරමුණකින් සිදුවන්නක් නොවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සදහන් කරයි.

ඉන්දීය මහකොමසාරිස් තරින්ජිත් සිං සඳු මහතා පෙන්වා දෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ එකම අරමුණ මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම බවයි.

ලබන 12 වන දින සිට 14 වන දින දක්වා මෙරට දි පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ලබන 11 වන දින දිවයිනට පැමිණීමට නියමිතය.

එදින පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට සහභාගී වන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එදින රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමට නියමිතය.

එහිදී ජනාධිපතිවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ලබාදීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

12 වන දින කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහනුවර දළදා මාලිගාවට ගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමට ද නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී ඉන්දීය ආධාර යටතේ ඉදිකෙරුණු හැටන් දික්ඔය මුලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ද විවෘත කිරීම සැලසුම් කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *