කුහක දේශපාලනඥයන් ජනතාව මුළා කිරීමට උත්සාහ ගන්නවා – අගමැති

නව තාක්ෂණය උපයෝගී කරගෙන අපනයන කෘෂිකර්මාන්තය දියුණුකර මෙරට ගැමි ආර්ථිකය ශක්තිමත් කරමින් වැඩි වැඩියෙන් විදේශ විනිමය රටට ගලා ඒමට කටයුතු කර ඇති බවත්, එමඟින් රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම යාගමුවේදී පැවසීය.

ජාතික තරුණ සේවා සභාව හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ඌවපරණගම මැතිවරණ කොට්ඨාසයේ යෞවන සමාජ තරුණ තරුණියන් සවිබල ගැන්වීම උදෙසා “යාලගමුව එක්ස්පෝ ඇග්‍රො යූත් විලේජ්” නමින් අපනයන කෘෂිකාර්මික යොවුන් ගම්මානය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසූ අතර තවදුරටත් රැස්වීම ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ දකීය.

කෘෂිකාර්මික වශයෙන් ඌව පළාත සංවර්ධනය කිරීම සඳහා දැනුම – අවබෝධය හා ශක්තිය ඇති උපාලි සමරවීර වැනි මන්ත්‍රීවරයකු හට එය පැවරීම ගැන මා සතුටු වනවා. ඒ වගේම ඔහුගේ වැඩපිළිවෙළ මා ඇති කරනවා. එක් පැත්තකින් වලපනේටත් තවත් පැත්තකින් වියලුව හාලිඇල ආසනවලට මායිම්ව උමාඔය අසබඩ අති දුෂ්කර ගම්මානයක් වන යාලගමුව ප්‍රදේශයේ මෙම අපනයන කෘෂිකාර්මික යොවුන් ගම්මානය පිහිටුවීම තුළින් හා මෙම ස්ථානයට නුදුරින් සල්පිටිගල මහා ජලාශය ඉදිකිරීමට සැලසුම් කර තිබීම නිසා නොබෝ දිනකින් මෙම අති දුෂ්කර යාලගුමව ඉතා සංවර්ධිත ප්‍රදේශයක් බවට පත්වෙනවා.

මහා මාර්ගයේ සිට කි.මී 5ක් පමණ දුරකතර ගෙවා දූවිලි කාගෙන පයින් ඇවිත් තද අව්වේ හිඳිමින් මෙම ස්ථානයේ රැඳී සිටින දහස් ගණන් ජනතාවට මගේ ගෞරවාදර ස්තූතිය විශේෂයෙන් පුද කරනවා. රස්නය වැඩි කමට සමහරක් අය උමා ඔයට බැහැලා නානවා. කොහොමත් ඌවපරණගම, වැලිමඩ ඇතුළු බදුලු දිස්ත්‍රික්කයේ ජනතාව අපට ගොඩක් හිතවත්. අප කිසිදාක බදුලු දිස්ත්‍රික් ජනතාව අමතක කරන්නේ නෑ. එදා ඒකාධිපති පාලනය පෙරළා දැමීමේ මුල් පියවර තැබූයේ බදුලු දිස්ත්‍රික් විරෝධාර ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා.

එදා 1977 දී අපි අපනයන ආර්ථිකයක් ඇති කරමින් ඇඟලුම් කර්මාන්තය ආරම්භ කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්තශාලා 200 ආරම්භ කර රටේ තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා ලබාදුන්නා. ඒ වාගේම රටට විදේශ විනිමයක් ලබා දුන්නා. ඇතැම් අය එදා ඒ වැඩසටහන විවේචනය කළා. නමුත් අද අපට නැවත අපනයන ආර්ථිකය කරා යොමුවෙන්ට සිදුවෙලා තියෙනවා.

එදා අපේ අපනයන ආර්ථිකය යුද්ධය නිසා කඩාවැටුනා. 2003 දී අපට ලැබුණු ඇඟලුම් ආදායම ඩොලර් මිලියන 2. 5 බංගලාදේශය එම අවුරුද්දෙ ඩොලර් මිලියන 5.6ක ආදායමක් ලැබුවා. 2012 වන විටත් බංගලාදේශයේ විදේශ විනිමයවත් තිබුණේ නෑ. නමුත් 2015 වන විට බංගලාදේශය ඔවුන්ගේ අපනයන ආදායම පස්ගුණයකින් වැඩිකරගෙන ඩොලර් මිලියන 26.6 ආදායමක් උපයාගනිද්දී අපේ ආදායම ඩොලර් මිලියන 4.5 දක්වා පහත බැස්සා.

අපට අහිමි වූ ඒ අපනයන ආදායම යළි ලබාගෙන අවශ්‍ය තරම් කර්මාන්තශාලා ඇතිකර රටට අවශ්‍ය විදේශ විනිමය නැවත මේ රටට අද්වාගැනීමට කටයුතු කර අපේ ණය බර අඩු කිරීමට පියවර ගන්නවා. රාජපක්ෂ රෙජිමය සීමාවකින් තොරව අසීමිත ලෙස ණය ගැනීම නිසා අපි මේ වනවිට ඩොලර් කෝටි 1500 ණය උගුලක හිරවී සිටිනවා. මේ ණය උගු‍ෙලන් බේරෙන්ට තමයි අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ. ටිකෙන් ටික ණය ගෙවා දමමින් රටේ ජනතාවට නිදහසේ ජීවත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය දැන් යහපාලනය තුළින් උදාවෙලා තියෙනවා. දැන් සුදු වෑන් නෑ. මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට දැන් ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසා දී තිබෙනවා. ඇතැම් කුහකයින්ට හා ඊර්ෂ්‍යාකාරයින්ට අපේ යහපාලනය ලොකු විහිළුවක් වෙලා.

එදා 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතා අපේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජනතාව අතට මුදල් ලබාදී ඔවුන්ගේ අතමිට සරු කිරීමටයි. අපනයන ආදායම වැඩිවන විට ජනතාව ශක්තිමත් වුණා. නමුත් අවාසනාවකට වගේ යුද්ධය නිසා ඒ සැලසුම් ගත ආර්ථිකය කඩා වැටුණා. 2003 දී මා අගමැති වශයෙන් කටයුතු කරද්දී යුරෝපා වෙළඳ ප්‍රජාව සමඟ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් ජී.එස්.පී. ප්ලස් සහනය අපට ලබාගැනීමට හැකි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ රජය ඒ ජී.එස්. පී. ප්ලස් සහනය අහිමිවන තැනට කටයුතු කරමින් අපට ලැබුණු විශාල ආදායමක් අහිමි කළා. අපට ලැබුණු විදේශ විනිමය අඩුවුණා. අපනයන වෙළෙඳ පොළ නැතිකරගත්ත නිසා අපේ රටේ කර්මාන්තශාලා වැහිලා ගියා. තරුණ තරුණියන්ට රැකියා අහිමි වුණා.

එදා මහින්ද රෙජිමය රටේ මානවහිමිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම නිසා යුරෝපා ප්‍රජාව අපට ලබාදුන් ජී.එස්. පී. ප්ලස් සහනය කපාහැරියා. 2015 ජනවාරි 08 දා ඇරඹූ යහපාලනය නිසා යුරෝපා ප්‍රජාව නැවතත් අපේ රට දිහා බලා පසුගිය සතියේ යුරෝපා පාර්ලිමේන්තුව අපට ජී.එස්. පී. ෆ්ලස් සහනය ලබාදීමට තීරණය කළා. මේ රටේ සමස්ත ජනතාව ලැබූ සුවිශාල ජයග්‍රහණයක්. මේක විඳ දරාගන්ඩ බැරි පොදු විපක්ෂය රජයට ඇති තරම් මඩ ගහන්ට උත්සාහ කරනවා. රටේ ජනතාවට බොරු කියා ඔවුන් රවටන්ඩ උත්සාහ ගන්නවා.

යහපාලනය නිසා අපට නැවත ලැබුණු ජී.එස්. පී. ෆ්ලස් සහනය නිසා අපේ අපනයනවලට ලොකු වාසියක් හිමිවුණා. දැන් අපට කිසිම බියක් සැකයක් නැතිව ඕනතරම් කර්මාන්තශාලා ආරම්භ කරන්න පුළුවන්. අපට ලැබී තිබෙන ජාත්‍යන්තර විශ්වාසය හා හිතවත්කම තුළින් අපට ලෝක වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. ජී.එස්. පී. ෆ්ලස් තීරු බදු සහනය තුළින් අපට භාණ්ඩ වර්ග 6600ක් තීරු බදු රහිතව යුරෝපයට අපනයන කිරීමට අවකාශ සැලසී තිබෙනවා.

රාජපක්ෂ රෙජිමය විසින් ඉවක් බවක් නැතිව ලබාගන්නා ලද ණය අද මේ රටේ අසරණ ජනතාවගේ කර මත නොපටවා ජනතාවට නොරිදෙන අයුරින් එම ණය ගෙවා දැමීමට අපි කටයුතු කරනවා. 2018 වන විට අපි ගෙවිය යුතු ණය මුදල රුපියල් කෝටි 9600, 2020 වන අපි ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් කෝටි 1500ක්.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක හා ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට අපි බලාපොරොත්තු වනවා. රටේ මංමාවත්,වරායවල් ගුවන්තොටුපළවල් සංවර්ධනය කරනවා. කොළඹ වරායට උතුරින් තව අංගසම්පූර්ණ වරායක් ඉදිකිරීමට කටයුතු කරනවා. නාගරික ප්‍රදේශවල සැහැල්ලු දුම්රිය මාර්ග ඇතිකිරීමට කටයුතු කරනවා. මේ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබාදීමට ජපන් රජය ඉදිරිපත් වී සිටිනවා. ඩිජිටල් තාක්ෂණය තුළින් රූපවාහිනිය සංවර්ධනය කිරීමට ජපන් රජය එකඟවී සිටිනවා.

කොළඹ, මහනුවර, ත්‍රිකුණාමලය, දියුණු නගර ලෙස සංවර්ධනය කිරීමට ජපන් රජය එකඟවී තිබෙනවා. වෙනත් අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් අපේ රටට නව තාක්ෂණය හඳුන්වාදීමට ජපන් රජය ඉදිරිපත්වී සිටීම මේ රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක්. කෙරවලපිටිය එල්.එන්.පී තාප බලාගාරය මේ වසරේදී ආරම්භ කිරීමට ඉන්දීය රජය එකඟවී තිබෙනවා. මෙම බලාගාරයට අමතරව තවත් එවැනිම බලාගාර දෙකක් ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. අපේ ර‍ටේ ආයෝජනය කිරීම සඳහා ඉන්දියාවේ ව්‍යාපාරිකයන් රැසක් තැමැත්ත පළකර තිබෙනවා. ඒ වගේම සිංගප්පූරුව අපේ රටේ ආයෝජනය කිරීම සඳහා සූදානමින් සිටිනවා.

යාපනය – වවුනියාව, ත්‍රිකුණාමලය – වවුනියාව හා ත්‍රිකුණාමලය – දඹුල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් මහා අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජපන් රජය එකඟවී තිබෙනවා. හම්බන්තොට, කළුතර හා වැල්ලවාය නගර ආශ්‍රිතව අක්කර 100 බැගින් වූ වෙළෙඳ කලාප 3ක් ඇතිකිරීමට පියවර ගන්නවා.

මහනුවර හරිත නගරයක් ලෙසින් සංවර්ධනය කර මහනුවර, නුවරඑළිය, බණ්ඩාරවෙල හා බදුල්ල නගර ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන කලාපයන් පිහිටුවා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.

ප්‍රයෝජනයට ගන්නෙ නැතිව කැලේට යටවෙලා තිබෙන තෙල් ටැංකිවලින් ප්‍රයෝජන අරන් එම ආදායම රටේ තිරසාර සංවර්ධනය සඳහා යෙදවීමට පියවර ගන්නා අතර මුළු රටම සංවර්ධනය කරනවිට අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ලබාදීමට ඉඩ කඩ සලසා තිබෙනවා. අපේ සංවර්ධන කාර්ය පිළිබඳ බිය වූ බොරු කුහක දේශපාලනඥයින් පිරිසක් බොරුවට කෑගසමින් මේ රටේ ජනතාව මුළා කිරීමට උත්සාහ ගන්නවා.

සාම්පූර් තාප බලාගාරය ඉදිකර එහි බලශක්ති මධ්‍යස්ථානයක් ඇතිකිරීමට පියවර ගන්නවා. යුරෝපය අපට ජී.එස්.පී. ෆ්ලස් සහනය ලබා දෙනවා. එයට අමතරව ජපානය, චීනය හා ඉන්දියාව රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. එමඟින් චීන, ජපන් හා ඉන්දියන් මහා ධනවතුන් , ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවට ඇවිත් ආයෝජනවල යෙදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. චීනය හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ඇති කිරීමට එකඟවී තිබෙනවා. සංගප්පූරුව වයඹ පළාත් වෙළෙඳ කලාපයක් ඇතිකිරීමට පියවර ගෙන තිබෙනවා. මධ්‍යම කඳුකරයේ වෙළෙඳ කලාපයක් ඇතිකිරීම සඳහා තායිලන්තය ඉදිරිපත් වී සිටිනවා.

යහපාලන රජයේ සංවර්ධන කටයුතු පමණක් නොවෙයි සියලුම කටයුතු විනයක් ඇතිව, විනිවිදභාවයෙන් යුතුව සියලුම දෙනාගේ අදහස් හා එකඟතාවය මතයි සිදු කරනු ලබන්නේ. මේ වැඩවලට හුරු නැති ඒ වගේම හොඳ වැඩවලට එකඟ නැති විපක්ෂයේ ඇතැම් පිරිස් බොරුවට කෑ මොරදෙනවා. කොහොම හරි අපි 2020 වන විට මේ ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කරනවා යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කීය.

කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා – එදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මෙම ප්‍රදේශයේ අති දුෂ්කර ගම්මානයක් වූ “වාසනා” ‘ උදාගම ආරම්භ කළා. මෙම අති දුෂ්කර ගමට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාය. එතුමා කළ උදාර මෙහෙයට කෘතගුණ සැලකූ එම ගමේ ජනතාව රණසිංහ ප්‍රේමදාස මහතාගේ භෂ්මාවශේෂ “වාසනා’ ගම තැන්පත්කර එතුමාට උපහාර පිදුවා. ඉන්පසු ඌවපරණගම යාලගමුව වැනි දුෂ්කර ගමට පැමිණි දෙවන රාජ්‍ය නායකයා ලෙසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වනවා. ගම්බද දුගී දුප්පත් ජනතාවගේ හදවතට සමීපව කටයුතු කළ පක්ෂයක් තමයි. එ.ජා. පක්ෂය. එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගෙන් පටන්ගෙන වර්තමාන රනිල් වික්‍රමසිංහ මහතා දක්වා එ.ජා.ප. නායකයින් මේ රටේ දුගී දුප්පත් ජනතාව සමීපයට ගොස් ඔවුන් සමඟ දුක සැප බෙදාගත්තා. මේ රටේ දුගී දුප්පත් ජ නතාවත් කිසිදා එ.ජා.ප පක්ෂය අමතක කළේ නෑ. පසුගිය දුර්දාන්ත රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ මුල් වෙඩිල්ල පත්තුකළේ බදුලු දිස්ත්‍රික් විරෝධාර ජනතාව බව අපට කිසිදාක අමතක කරන්ඩ බෑ යනුවෙන් ඔහු කීය.

ඌව පළාත් කෘෂිකර්ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය මිරිදිය ධීවර කර්මාන්ත හා වාරිමාර්ග අමාත්‍ය උපාලි සමරවීර මහතා –

අපේ රටේ ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කෘෂිකාර්මික වශයෙන් රට දියුණු කළ යුතුය යන සංකල්පය පිහිටුවා කටයුතු කරනු ලබන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඌව පළාත් කෘෂිකර්මාන්තය දියුණුව සඳහා විශාල සහයෝගයක් හා දායකත්වයක් ලබාදී තිබෙනවා. විශේෂයෙන් ඌව පළාත තුළ අපනයන කෘෂිකර්මාන්ත දියුණු කිරීම සඳහා පිහිටුවීමට නියමිත “අපනයන කෘෂිකාර්මික යොමුවක්” ගම්මානයේ පළමු පියවර ඌව පරණගම යාලගමුව අති දුෂ්කර ගම්මානයක පිහිටුවීමට හැකි වූයේ ජාතික තරුණ සේවා සභාව හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සහයෝගය නිසයි. උමා ඔය අසබඩට සල්පිටිගල ජලාශය ඉදිකිරීමට යෝජජිත ස්ථානය අසල අක්කර 53ක, භුමියක ස්ථාපිත කිරීමට නියමිත මෙම ගම්මානයේ අඹ, අන්නාසි, වැල්දොඩම්, රටකජු, ගම්මිරිස් වගාකිරීමටත් එයට අමතරව මී මැසි පාලනය හා ගවපට්ටි පාලනය ද ඇතිකිරීමට බලාපොරොත්තු වනවා. මෙහි නිෂ්පාදනය සෘජුව විදේශවලට අපනයන කිරීමට සැලසුම් කර තිබෙනවා යනුවෙන් ඔහු කීය.

මෙම උත්සවය අමතා ඌවපරණගම ප්‍රාදේශීය සභා හිටපු සභාපතිනී කාංචනා රුවන්මලී මල්වත්ත මෙනවිය හා ඌවපරණගම යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් ශ්‍රීනාත් දේශප්‍රිය මහතාද කතා කළහ.

උපුටා ගැනීම – දිනමිණ

වැලිමඩ විශේෂ – එස්. එම්. ෆාරුක්
ඡායාරූප-වැලිමඩ විශේෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *