සයිටම් තීන්දුව ගැන අපහාසාත්මක ප්‍රකාශ කිරීම පාදෙනියට තහනම් – 22 දා උසාවි එන්න නියෝග

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ජනවාරි 31දා  දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකිරීම වෙනුවෙන් දඬුවම් නොකිරීමට හේතු දැක්වීම සඳහා මේ 22 දින අධිකරණය හමුවෙහි පෙනී සිටින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට නියෝග කරමින් සිතාසි නිකුත් කළ අභියාචනාධිකරණය ‍එවැනි ප්‍රකාශ කිරීම, ලිපි පළකිරීම, ප්‍රකාශ පළකිරීමෙන් ඔහු වළක්වමින් අතුරු තහනම් නියෝගයක්  නිකුත් කෙළේය. එම අතුරු තහනම් නියෝගය මැයි 22 දින තෙක් බලපැවැත්වේ.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණ තීන්දු විවේචනය කරමින් අධිකරණයට අපහස කොට ඇති බවට ඉදිරිපත් කල පෙත්සමක් සලකා  බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය කළේය .සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහත්වරුන් මෙම පෙත්සම ඉදිරිපනත් කර තිබිණි.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රය එදින හෝ ඊට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට උපදෙස් දෙන ලදී.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා හමුවෙහි එම පෙත්සම  කැඳවන ලදී.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කෙළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙහි ‍ෛ‍වද්‍ය උපාධිය සම්පූර්ණ කළ සිසුවියක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය ඉකුත් ජනවාරි මස 31 වැනිදා නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කෙළේය.

ඉන් දින දෙකකට පසුව මහා සභා රැස්වීමක් කැඳවා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදුකර ඇතැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී කීය.

එයින් සතියකට පසුව එබඳු ලිපියක් නිකුත් කළ බව ද, වීදි උද්ඝෝෂණ සහ වැඩ වර්ජන ද ක්‍රියාත්මක කිරීමට වගඋත්තරකාර වෛද්‍යවරයා කටයුතු කළ බව පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා කීය.

අප්‍රේල් මස 07 වැනිදා පැවැත්වූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් නිසා රෝගීන් ගණනකගේ ජීවිත ගණනාවක් අනුතරට ලක්කළ බව ද, රෝහල් ගණනාවක කටයුතු අඩපණ වූ බව ද ඒ මහතා කීය. එදින පාදෙණිය මහතා කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් මඟින් අදාළ අධිකරණ තීන්දුව නිර්දය ලෙස විවේචනය කරන ලද බව ඒ මහතා කීය.

අධිකරණ තීන්දුව, නීතිපතිවරයා සහ අධිකරණ විනිසුරුවරුන් නිර්දය ලෙස විවේචනය කරමින් අපහාස වන අන්දමින් එම ප්‍රකාශය කර ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

එම ප්‍රකාශය ඇතුළත් සී. ඩී. තැටියක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම ප්‍රකාශය සිදුකිරීමෙන් වෛද්‍ය පාදෙණිය මහතා අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1) වගන්තිය අනුව ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ අධිකරණය මේ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කෙළේය.

නීතිඥ චිත්‍රානන්ද ලියනගේ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සහ ලක්නාත් සෙනෙවිරත්න, සිතාර සේනානායක යන නීතිඥවරු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *