ආර්ථිකයට නව ජවයක් – කරුණාරත්න අමරතුංග

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය රෝහල් ගතව සිටින නමුත්, එය දැඩි සත්කාර ඒකකයට ඇතුල්කර නැතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කළ ප්‍රකාශයක් පසුගිය සමයේ කාගේත් අවධානයට ලක්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුර්වල කරන ජාත්‍යන්තර තීරණ රාශියක් වෙනස් කර ගැනීමට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමත් වූ බව රහසක් නොවේ. නවතා දමා තිබූ ශ්‍රී ලංකා‍ මත්ස්‍ය මිලදී ගැනීම් පිළිබඳ තීරණය වෙනසකට ලක්කර, නැවත යුරෝපා සංගමයට මත්ස්‍ය අපනයනයට ඉඩ ලබා ගැනීම දැන් මෙරට ධීවර කර්මාන්තයට යහපතක් ව තිබේ.

යුරෝපා සංගමය ශ්‍රී ලංකා නිෂ්පාදන අපනයනයෙන් සියයට 31ක් මිල දී ගන්නා විශාලතම වෙළෙඳ පොළකි. රටවල් 28කින් සැදුම් ලත් යුරෝපා සංගමය GSP නම් බදු සහනයක් සපයාදීම ශ්‍රී ලංකාවේ ආර්ථික සවිශක්තියට මහත් පිටිවහලක් වු නමුත් 2010 දී එම සහනය අඩුකර දැමීමට යුරෝපා සංගමය පියවර ගත්තේය. හේතුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ගරා වැටීමයි.

නව පිබිදීමක්

මේ නිසා වඩාත් පහර වැදුණේ ඇඟලුම් කර්මාන්තයටය. සමහර කර්මාන්ත ශාලා වියට්නාමයට සහ බංගලිදේශයට සංක්‍රමණය වූ අතර ලාංකික කර්මාන්තශාලා පවා ඉතියෝපියාවට ගොස් එරට කර්මාන්ත ලෙසින් පෙනී සිට එමගින් ජී. එස්. පී. සහනය ලබාගත් අවස්ථා තිබේ. යුරෝ මිලියන 150ක් පාඩු සිදුවිය.

සම්පූර්ණ ජී. එස්. පී. සහනය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව විවිධ උත්සාහයන් ගනු ලැබුව ද ඊට ‘ විරුද්ධ බලවේග’ ද ක්‍රියාත්මකව ජී. එස්. පී. සහනය ප්‍රමාද විය. රටවල් 52ක් එක්ක යුරෝපා සංගම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකින් ඉල්ලා සිටියේ දේශපාලනමය සහ ව්‍යවස්ථාමය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ දක්වන ‘ අලස ස්වභාවය’ නිසා ජී.එස්.පී. සහනය ප්‍රමාද කළ යුතු බවයි.

මේ යෝජනාව සාකච්ඡාවට ගෙන ඡන්ද විමසීම ගිය සතියේ බ්‍රසිල්ස් නුවර යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ දී පැවති අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සහායට මන්ත්‍රීවරු 436ක් ඉදිරිපත් වූහ. තවත් මන්ත්‍රීවරු 22ක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියහ. මන්ත්‍රීවරුන් 751කින් සමන්විත යුරෝපා පාර්ලිමේන්තුවේදී එම යෝජනාවට පක්ෂ වූයේ මන්ත්‍රීවරුන් 119කි.

මේ කඩුලු තරගයෙන් ජයලැබීම නිසා ජී. එස්. පී. සහනය හිමිවීම රටට වාසියකි. රටේ අපනයනය පුළුල් වීමටත්, විදේශ ආයෝජන රටට ඇදී ඒමටත් හේතුවෙයි. ඇඟලුම් අපනයනය ප්‍රධාන කොටගත් අපනයන සමාගම් කොටස් අලෙවිය මේ නිසා දෙගුණ තෙගුණවීම පසුගිය සිකුරාදා දක්නට ලැබුණු විශේෂ සිදුවීමකි.

උදාහරණයක් ලෙස ගතහොත් පසුගිය සිකුරාදා එම්. ජී. ටී. සමාගමයේ කොටස් 302096ක් ද ටී. ජේ. එල්. සංගමයේ කොටස් 2054755ක් ද හුවමාරු විය.

ජී. එස්. පී. සහනය රටට විදේශ ආදායම වැඩි කර දෙන අතර කොළඹ කොටස් වෙළෙඳ පොළට මෑතක සිට විදේශ මිලට ගැනීම් නිසා ලැබෙන විදේශ ආදායම් වැඩිවෙමින් තිබේ.

ඒ පිළිබඳව කරුණු දක්වන වාර්තාවක් පවසන්නේ මේ 2017 වසරේ විදේශිය සහභාගිත්වය නිසා ලැබුණු ආර්ථිකමය අගය රුපියල් බිලියන 14.3ක් බවයි. මෙයින් සියයට 50ක් විදේශිය මිලට ගැනීම්ය. පසුගිය දින 21 තුළ විදේශ දායකත්වය රුපියල් බිලියන 13.9කි (ඩොලර් දස ලක්ෂ 91)

රටේ විදේශ වත්කම් ශීඝ්‍රයෙන් පහත බසිමින් තිබෙන බවට පසුගිය කාලය තුළ හඬක් අසන්නට ලැබුණි. අපනයන ආදායම් පරදවා ආනයන වියදම පිළිබඳ වාර්තා ද පළවිය. 2015 ජනවාරි – දෙසැම්බර් ආනයනය ඇ.ඩොලර් දසලක්ෂ 18935ක් වූ අතර 2016 එම කාලය තුළ ආනයන වියදම ඇ.ඩොලර් දසලක්ෂ 19400කි. එය පසුගිය වසරට සාපේක්ෂව 2.5ක වියදම් වැඩිවීමකි. එහෙයින් ඒ හ‍ඬේ සත්‍යයක් තිබේ.

විදේශ සංචිත පහළ යෑම ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා මගින් ද පෙන්වා දී තිබුණි. ටෙම්පල්ටන් සමාගමය ශ්‍රී ලංකාවේ කර තිබූ ආයෝජන රටින් ඉවත් කර ගැනීම හුදෙක් ව්‍යාපාරික තීරණයකැයි දැන් අනාවරණය වෙමින් තිබේ. ඒ දිනවල පැතිර ගිය ආරංචි මගින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අවිනිශ්චිත භාවය නිසා විදේශ ආ‍යෝජන ඉවතට ඇදී යන බවයි.

මුදල් ඇමැතිවරයා ගිය සතියේ ප්‍රකාශ කෙළේ 2017 වසර අග වනවිට ඇ.ඩොලර් බිලියන 10ක විදේශ සංචිතයක් රට තුළ ඉතිරිවන බවයි. මේ වර්ෂයේ පළමුවන කාර්තුව වන විට වඩාත් ධනාත්මක ආර්ථික පරිසරයක් ගොඩනැගෙන ලකුණු පහළ වේ.

ග්‍රාමීය ආර්ථිකයක සිට නාගරික ආර්ථිකයක් දෙසටත්, කෘෂිකාර්මික ආර්ථිකයක සිට කර්මාන්තය ආර්ථිකයක් දෙසටත් ශ්‍රී ලංකාව පැති මාරුකරමින් සිටින බව ලෝක බැංකු වාර්තාවක්ද කියා තිබුණි.

ග්‍රාමීය ආර්ථිකය

කර්මාන්ත අංශයන්හි වර්ධනයක් සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මඟින් ද පෙන්වා දී තිබේ. අග්නිදිග ආසියාවේ කෘෂිකාර්මික පදනමක් මත කටයුතු කළ රටවල් බොහොමයක් මේ වනවිට කාර්මික නිෂ්පාදන‍ දෙසට හැරෙමින් තිබේ. අප්‍රිකාවේ ඉතියෝපියා ආර්ථිකය ද ඒ මගට හැරී තිබේ‍.

එසේ වුවත් ශ්‍රී ලංකා‍ව සිය කෘෂිකාර්මික අංශය වර්ධනය සඳහා දෙන සහනාධාර, ණය ක්‍රම අඩුකර නැත. තේ, රබර්, පොල්, කිරි නිෂ්පාදනය, එළවළු හා පළතුරු, කුළුබඩු අංශ සඳහා වගාකරුවනට ආධාර සැපයේ. එම අංශ හැම පැත්තකින් දියුණුවන බව ලෝක වෙළෙඳ පොළ වාර්තා මගින් කියැවේ. එහෙයින් සිය පාරම්පරික වැවිලි කර්මාන්තයෙන් වැඩි ආදායමක් උපදවා ගැනීමට 2017/2018 ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවේ වානිජ මණ්ඩල මේ ගැන අදහස් පළ කර ඇත.

කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි පසුගිය මාස් කන්නයේ පසුබෑමක් සිදුවුයේ කාලගුණික බලපෑම නිසා වී වගාවෙන් සියයට 30%ක් විනාශවීමෙනි. තවමත් එම නියඟ පවතී. යල කන්නය පවා අඩාල වන ලකුණු එනිසා දිස්වේ.

රටේ විදේශ වත්කම් අඩුවීමට ප්‍රධානම හේතුව වූයේ ණය උගුලය. කෙටිකාලීන ණය වෙනුවට වර්ෂ 15 – 30 තරම් වූ දීර්ඝකාලින ණය ක්‍රම සඳහා කටයුතු කිරීම ආණ්ඩුවේ අපේක්ෂාවයි. ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම චීනයේ මූල්‍ය ආයතන සමඟ ද මෝර්ගන් ස්ටැන්ලි වැනි පුද්ගලික මූල්‍ය ආයතන සමඟ ද කටයුතු කරමින් විදේශ සංචිත ගොනු කිරීමට ඉදිරියේදි ක්‍රියා කරනු ඇතැයි මුදල් ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

සේවකයන් 55000කට සේවය කරන වාර්ෂික ඇ.ඩොලර් බිලියන 37 ක් ඉක්මවා ආදායම් ලබන මෝර්ගන් ස්ටැන්ලි මූල්‍ය ආයතනයේ ශාඛා 55ක් ලොව පුරා පිහිටුවා තිබේ. මෙය පිහිටුවන ලද්දේ 1935දීය.

1993 සිට මොර්ගන් ස්ටැන්ලි සමාගමය . චිනය සමඟ ව්‍යාපාරික කටයුතුවල නිරතවේ. 1995 දී චීනයේ චයිනා කන්ස්ට්‍රක්ෂන් බෑන්ක් ආයතනය සමග එක්ව ස්ටැන්ලි මෝර්ගන් සමාගමය (CICC) චයිනා ඉන්ටර්නැෂනල් කැපිටල් කෝපරේෂන් නම් හවුල් සමාගමය ආරම්භ කෙළේය.

විදේශිය ආයෝජකයන් වෙනුවෙන් චීනයේ කර්මාන්ත පිහිටුවීම සඳහා මොර්ගන් ස්ටැන්ලි සමාගමයට චීනය බලපත්‍රයක් නිකුත් කර ඇත. චීනයේ කර්මාන්ත කලාප සඳහා මූල්‍ය, රක්ෂණ, උපදේශ ආදිය සැපයීමටද එම සමාගමට අවසර දී තිබේ. ප්‍රාදේශිය කාර්යාල 5ක් චීනයේ පිහිටුවා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැපයීමට නියමිත ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදල ජුනි මස දෙවන හෝ තෙවන සතියේදී ශ්‍රී ලංකා‍වට හිමිවනු ඇතැයි මුදල් ඇමැතිවරයා විශ්වාසය පළ කර තිබේ.

ආර්ථික ගිවිසුම්

ඉදිරියේ දී රටවල් රාශියක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සමඟ ශ්‍රී ලංකා අපනයන අංශය ලබන ආදායම වැඩිවීමට එය හේතුවනු ඇත. ජී. එස්. පී සහනය මැයි මාසයේ මැද භාගයේ දී අපට හිමිවූවත්, එම සහනය සදාකාලික වරප්‍රසාදය කැයි නොසිතා යුරෝපා සංගමයේ රටවල් සමග වෙළෙඳ ගිවිසුම් මගින් ඒකාබද්ධ විය යුතු යැයි වාණිජ මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඇඟලුම්වලට සීමා නොවී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ වෙනත් නිෂ්පාදන කෙරෙහි ආකර්ෂණය වනු ඇතැයි ඔහු කියයි. එම භාණ්ඩ අතරට සෙරමික් නිෂ්පාදන , රබර් නිෂ්පාදන, ක්‍රීඩා භාණ්ඩ, සකස්කළ ආහාර සහ සම් හා පාවහන් ආදිය ද එකතු වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකාව දැනටම එවැනි ද්විපාර්ශ්වික ගිවිසුම් කීපයකට මූල පුරා ඇත. පසුගිය වසරේ ජුලි මාසයේ දී සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා මූලික සාකච්ඡා පැවැත්විණි. ඒ ශ්‍රීලංකා සහ සිංගප්පූරු රාජ්‍යයන්හි අගමැතිවරුන් අතරයි.

සිංගප්පූරුව නිදහස් වෙළෙඳ ගිවිසුම් 21කට අත්සන් තබා රටවල් 32ක වෙළෙඳ කටයුතු සවිමත් කරගත් රටකි. අන්තර් ජාතික වෙළෙදාමට ඇති බාධා දුරලීම නිදහස් වෙළෙඳ ගිවිසුමකින් සිදුවේ.

බංගලි දේශය සමගද නිදහස් වෙළෙඳ ගිවිසුමකට පිවිසීමෙන් වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය කර ගැනීමට දෙරටම මූලික සාකාච්ඡා ආරම්භ කර තිබේ.

දැනට දෙරට අතර සිදුවන වෙළෙඳ කටයුතුවල වැඩි වාසිය ඇත්තේ ශ්‍රී ලංකාවටය. මේ අයුරින් තවත් රටවල් රාශියක් සමඟ වෙළෙඳ ගිවිසුම්ගතවීම් මගින් විදේශ වත්කම් වැඩිකර ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂයයි. චිනය, ඉන්දියාව, පකිස්ථානය සහ පැසිපික් කලාපීය රටවල් සමඟ ව්‍යාපාරික සබඳතා දැඩි කර ගැනීම ද තවත් පියවරකි.

තෙල් මිලේ වාසිය

ශ්‍රී ලංකාවට සිය විදේශ වත්කම් ආරක්ෂා කර ගැනීමට ලෝක තෙල් මිල අඩුවීම ද වාසියක්ව තිබේ. ජාත්‍යන්තර තෙල් මිල ජුනි මස අවසානය දක්වා අද පවතින මිල ගණන්වලට රැඳී තිබෙනු ඇතැයි විශ්වාසයක් පවතී. ඔපෙක් රටවල (තෙල් නිපදවන රටවල) සම්මුති නිෂ්පාදන ජුනියේ වෙනස් වුවහොත් තෙල් මිලේ වෙනසකට ඉඩ ඇතැයි විශ්වාසයක් පවතී. එහෙත් විකල්ප බලශක්තියෙන් එනම් බැටරි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදන අංශය සහ සූර්යබල ශක්තියට වැඩිවීයෙන් නැඹුරුවීමක් ඇතිවීම නිසා තෙල්මිල නොවෙස්වනු ඇතැයිද මත පළවේ.

තෙල්මිල තවදුරටත් මේ මට්ටමේ පැවතීම ද විදේශ සංචිත ඉතුරුවට මඟ පාදයි. දේශීය පාරිභෝජන භාණ්ඩ රට තුළ නිපදවීමේ ව්‍යාපාරයක් ද දැන් ක්‍රියාත්මක වේ. මේ සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් වන්නේ ජල සම්පත රැක ගැනීමයි.

ජල විද්‍යාත්මක වශයෙන් එකට බැදුනු පොදු ජල මාර්ගයක පිහිටි ග්‍රාමීය වැව් පද්ධතියක් එල්ලංගාවක් වශයෙන් හැඳින්වේ.

දිස්ත්‍රික්ක 09ක විසිර පවතිනි එල්ලංගා පද්ධති 21ක් ඒ යටතේ ඇති ග්‍රාමීය වැව් 258ක් වැඩිදියුනු කිරීම සඳහා කටයුතු කිරීමට පසුගිය සතියේ ආණ්ඩුව තීරණය කළාය.මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය, දැදුරුඔය ව්‍යාපෘතිය මල්වතුඔය යෝජනා ක්‍රමය, කුඹුක්කන්ඔය යෝජනා ක්‍රමය ආදි ජල යෝජනා ක්‍රම මගින් ගොවි ජනතාවට දියවර සැපයීම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය නඟා සිටුවීමටත්, විදේශ කරා ඇ‍දෙන ජාතික ධනය රටතුළ රඳවා ගැනීමට හේතුවේ.

ත්‍රිකුණමල අවට සංවර්ධනය, කොළඹ නගර සංවර්ධනය සහ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතීන් තුළින්ද රටට විදේශීය ඉපැයීම් හිමිවේ විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තයද විදේශීය ඉපැයීම් වර්ධනය කරනු ඇත.

කරුණාරත්න අමරතුංග 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *