ත්‍රීකුණාමලයේ ඉන්ධන ටැංකි රට වළට අදින විරෝධතා – මහාචාර්ය රොහාන් සමරජීව

අග්‍රාමාත්‍යවරයා දින හතරක සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් පැමිණියේ ය. එතුමා පැහැදිලිව පවසා ඇත්තේ, එහිදී කිසිඳු ගිවිසුම් ඇති කර නොගන්නා බවය. නමුත් ඔහු එහි පිටත්ව ගියේ හුදු විනෝදය සඳහා නොවන බව අපි කවුරුත් දනිමු. ඇත්තෙන්ම මෙම සංචාරයේ අරමුණ වූයේ දෙරටටම බලපාන විවිධ ගැටලු විසඳා ගන්නා ආකාරයත්, විවිධ අවශ්‍යතා ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහාය. එහිදී ඔවුන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට(Memorandum of Understanding) එලඹී තිබේ.

මෙය අවබෝධතා ගිවිසුමක් ලෙස හඳුන්වනු ලැබුවද ගිවිසුමක් ලෙස ගිනිය නොහැකිය. මෙහිදී සිදුවන්නේ ඔවුනොවුන් විසින් දෙරටටම බලපාන විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර කිසියම් අවබෝධතාවයක් ඇති කර ගැනීමය. මෙලෙස අවබෝධයෙන් යුතුව ඇති කරගන්නා එකඟතා ප්‍රකාශයට පත් කළ පසුව සටහන් තැබෙන අතර, ඒ එකඟතාවලට අනුව දෙපාර්ශ්වයම අවබෝධතා ගිවිසුමක් ලෙස පෙන්වා දිය හැකිය.

මේවා දෙරටේ අමාත්‍යවරු අතරද ඇති කරගත හැකි ගිවිසුම්ය. අග්‍රාමාත්‍යතුමාගේ ඉන්දීය සංචාරය සමග බොහෝදෙනාගේ අවධානයට යොමු වී තිබුණ ප්‍රධානතම කාරණය බවට පත්ව ඇත්තේ ත්‍රීකුණාමල තෙල් ටැංකි පිළිබඳව ය. මෙම ත්‍රීකුණාමල තෙල්ටැංකි පිළිබඳව විමසීමේ දී ඒහි අතීත තතු නොවිමසා, මේ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් අපට ගොඩනගා ගැනීමට නොහැකිය.

ත්‍රීකුණාමලයේ තෙල්ටැංකි ස්ථාපිත වූයේ කෙසේද යන්න විමසා බැලීමේ දී අපට පෙනී යන්නේ මෙම ත්‍රීකුණාමල වරාය හා තෙල්ටැංකි ඉදිකිරීම පිළිබඳ අතීතය දෙවන ලෝක යුද සමය දක්වා දිවයන බවයි. එකල ‘ජපානය’ විසින් බ්‍රිතාන්‍ය හමුදා සිංගප්පූරුවෙන්,මලයාසියාවෙන් සහ මියන්මාරයෙන් පළවා හැර අන්ත පරාජයට පත් කළේය. ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවලට එළව එළවා පහර දුන්නේය. මෙයට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍යයන්ට සිය හමුදා ශක්තිමත් කළ යුතු විය. ඒ සඳහා බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ නාවික හමුදා මූලස්ථානයක් ත්‍රීකුණාමලයේ ඉදිකරීමට පියවර ගත්තේය.

තෙල් ටැංකි ඉතිහාසය

ඒ අනුව කටයුතු සිදු කළ ඔවුන් ත්‍රීකුණාමලයේ තෙල්ටැංකි 101ක් ඉදිකළේ ය. ඒ වෙනකක් සඳහා නොව මහා නාවික හමුදා ක්‍රියාන්විතයට අවශ්‍ය තෙල් ලබාගැනීම සඳහා ගබඩා කර තැබීමටය. එසේ වුවද ත්‍රීකුණාමල වරාය පරිශ්‍රය ජපානයට සමීපව පැවතීම හේතුවෙන් එය තමන්ට තර්ජනයක් විය හැකි බව පසුව ඔවුහු තීරණය කළහ. ඒ අනුව ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍යන් මාස හයක් ඇතුළත තම නෞකා මාලදිවයින වෙත රැගෙන ගියහ. ඔවුන් එසේ තම නෞකා රැගෙන ගිය බව නොදැන සිටි ජපන් ගුවන් හමුදාව ත්‍රීකුණාමල වරාය පරිශ්‍රයට බෝම්බ හෙළීය.

එමඟින් එක් තෙල් ටැංකියක් විනාශ විය. නැවත බ්‍රිතාන්‍යයන් මෙම වරායට පැමිණියේ නැත. පසුව ඔවුන් ත්‍රීකුණාමල වරාය වෙනුවට ජපානයට පහසුවෙන් ළඟාවිය නොහැකි දුරකින් පිහිටි, කෙන්යාවේ මොම්භාෂා නුවරට සමීපව තම යුද මුලස්ථානය ඉදිකර එහි සිට ඉදිරි කටයුතු කරගෙන ගියේය.

දෙවන ලෝක යුද්ධය නිමා වූ පසුව නැවත බ්‍රිතාන්‍යයන් ත්‍රීකුණාමලයට පැමිණි අතර, තෙල් ටැංකි එකක් හෝ දෙකක් ප්‍රයෝජනයට ගත්තද ඒ සියල්ල මුළුමනින්ම පාවිච්චියට ගත්තේ නැත. එනිසා පසුකාලීනව නිදහස් රාජ්‍යක් බවට පත් වූ ලංකාවට මෙම සියලු සම්පත් අයිති විය. නමුත් මෙම තෙල් ටැංකිවලින් ඒවා ඉදි කළ බ්‍රිතාන්‍යයන් හෝ වෙනත් කිසිඳු පාර්ශ්වයක් ප්‍රයෝජන ගෙන නොතිබුණු බැවින් ඒවා අබලන්ව පැවතිනි. (1943 පමණ සිට මෙතාක් කිසිඳු කටයුත්තක් සඳහා මෙම තෙල් ටැංකි පාවිච්චි කර නොමැත).

1956 එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා බලයට පත්ව මෙරට ස්වෛරී ජනරජයක් බවට පත් කළද මෙම තෙල් ටැංකිවලින් රටට ගත හැකි ඵලප්‍රයෝජන පිළිබඳව සිතා තිබුණේවත් නැත. අනතුරුව ජේ.ආර් ජයවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපදයට අයත් සමාගමක් සමග කිසියම් සාකච්ඡාවක් පැවැත් වූ අතර එමඟින් මෙම තෙල්ටැංකි ප්‍රයෝජනයට ගතහැකි දැයි සොයා බැලීය.

ඒ පිළිබඳව සොයා බැලූ එම සමාගම පවසා සිටියේ මෙම තෙල් ටැංකියක් ප්‍රයොජනයට ගත හැකි තත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වන බවයි. එනම්, ටැංකි සීය සඳහා ඩොලර් මිලියන සීයක් අවශ්‍ය වන බවයි. ටැංකි ලෙස පෙනෙන්නට තිබුණද මින් එකක් හෝ පාවිච්චි කළ හැකි මට්ටමක නොපැවති නිසා එම සමාගම හා එක්ව සාකච්ඡා කරමින් පැවතියේ මේවා යථාතත්ත්වයට පත්කර ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳවය. මේ පිළිබඳව අසල්වැසි ඉන්දියාව පසු වූයේ කනස්සල්ලෙනි. මන්ද එවකට ඇමරිකානු විරෝධී හා රුසියානු මිත්‍ර පාර්ශ්වීය රටක් ලෙස කටයුතු කළ ඉන්දියාව එය තමන් වෙත පැමිණි තර්ජනයක් සේ සැලකූ හෙයින් ඉන්දියාව අප සමග නොසතුටට පත්ව සිටියේය.

පසුකාලීනව මේ තත්ත්වය ද සලකා ලංකාවේ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි 1987 අගෝස්තු මාසයේ දී දෙරට අතර ගිවිසුමකට එළඹීයේය. ඉන්දු – ලංකා ගිවිසුම ලෙස ප්‍රසිද්ධියට පත් වූ මෙම ගිවිසුම මෙරට මහත් ආන්දොළනාත්මක වාතාවරණයක් නිර්මාණය කළ ගිවිසුමක් බවට පත්විය.

මෙම ගිවිසුමෙහි සඳහන්ව ඇති ආකාරයට ” ශ්‍රී ලංකාව ඉන්දියාවට සමීපයෙහිම පිහිටි රටක් වන නිසා එරට ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ත්‍රීකුණාමල වරාය හෝ ත්‍රීකුණාමල තෙල් ටැංකි ඉන්දියාවේ එකඟත්වය නොමැතිව ඉන්දියාව නොවන වෙනත් පාර්ශ්වයකට ලබාදිය නොහැකිය. මෙහි සරල අදහස වන්නේ, මෙරටට අවශ්‍ය කුමන ආකාරයේ කටයුත්තක් සඳහා ත්‍රීකුණාමල වරාය හා තෙල් ටැංකි ප්‍රයෝජනයට ගත හැකි වුවද වෙනත් පාර්ශ්වයක් වෙත එය ලබාදීමේ දී ඉන්දීයාවේ එකඟත්වය ලබාගත යුතු බවයි.

එසේම මේ තෙල්ටැංකි සංවර්ධනය කර ප්‍රයෝජනයට ගන්නේ නම් ඒ දෙරටේම එකඟතාවය මත හවුල් ව්‍යාපාරයක් ලෙස බවද එහි සඳහන්ව තිබේ. මේ සඳහා ශ්‍රී ලංකාව එකඟත්වය පළ කළ අතර, එසේ හෙයින් කිසියම් කටයුත්තක් සඳහා අප ඒවා පාවිච්චි කරන්නේ නම් ඒ කළ යුත්තේ අපේ රටේ අවශ්‍යතාවය මත තනිවමය. එසේ නොමැතිව වෙනත් පාර්ශ්වයක් සමග කටයුතු කරන්නේ නම් ඒ ඉන්දියාව සමඟ පමණක් බව දෙරට එම ගිවිසුමප්‍රකාරව එකඟත්වයකට පැමිණ තිබේ.

2003 දී ඉන්දියානු තෙල් සමාගම(IOC) ලංකාවට පැමිණි අතර,එහිදී ඔවුන් ත්‍රීකුණාමලය අවශ්‍ය බව පවසා සිටියේය. එකල පැවති යුද්ධයේදී උතුරත් නැගෙනහිර පළාතත් වෙන් කරන කේන්ද්‍රීය ස්ථානයක් ලෙස ත්‍රීකුණාමලය සැලකිණි. එල්.ටී.ටී.ඊ නායකත්වය උතුරේ සිටියද ඔවුන්ගේ සෙබළුන් බොහෝ පිරිසක් සිටියේ නැගෙනහිර පළාත තුළ බැවිනි. එනිසා ආණ්ඩුවේ අවශ්‍යතාවය වූයේ ඉන්දියානු රාජ්‍ය සමාගමක් එහි ස්ථාපිත කිරීමටය. ඉන්දියානු තෙල් සමාගම යනු පෞද්ගලික ආයතනයක් නොවේ. එය ඉන්දීය රාජ්‍ය සමාගමකි.

ඔවුන් එම සමාගම එහි ස්ථාපිත කළේ හේතු සහිතවය. යම් විධියකින් එල්.ටී.ටී.ඊ විසින් එයට ප්‍රහාරයක් එල්ල කළ හොත් ඉන්දීය හමුදාව ඔවුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව ආණ්ඩුවේ විශ්වාස විය. එම වාතාවරණය සළකා මුලුමණින්ම ඔවුන්ට එය ලබාදීමට එවක රජය කටයුතු කළ නමුත් IOC ය එය වර්ධනය කිරීමට කටයුතු නොකළේය. ඊට එක් හේතුවක් වූයේ එකල පැවති යුදමය වාතාවරණයයි. දෙවැනි කාරණය වූයේ මෙම තෙල්ටැංකි යථා ස්වභාවයට පත් කිරීම සදහා යන විශාල වියදමයි. තෙවන කාරණය මෙම ටැංකිවලට තෙල් පුරවා තැබීමෙන් පමණක් වාසියක් අත් නොවීමයි.

එනම් තෙල් මිලදී ගන්නා පාර්ශ්වයක් ද සිටි යුතු වීමයි. එවැනි වාණිජමය වැදගත් කමකින් තොරව ඒ සඳහා කරන විශාල මූල්‍ය ආයෝජනයේ ප්‍රයෝජනයක් නොමැත. ත්‍රීකුණාමල වරායට ඇතුළුවන සාම්පූර්හි එල්.ටී.ටී.ඊ ය කාලතුවක්කු බල ඇණියක් රඳවා තිබිණ. ඒ තත්ත්වය යටතේ නැව් නොපැමිණෙන නිසා තෙල් ටැංකි සඳහා ආයෝජනය කළේ නැති නමුත් ඉන්දියානු තෙල් සමාගම කිසියම් බදු මුදලක් වර්ෂයක් පාසා ඒ වෙනුවෙන් රජයට ලබා දෙයි. යුද්ධය අවසන්ව ඇති මෙවන් තත්ත්වයක් තුළ ආර්ථික වශයෙන් රටට වැදගත් ස්ථානයක් කැලේට ඇර තවදුරටත් නොසලකා සිටීමට වගකිවයුතු රජයකට බලා නොහැකිය.

වසර 70 වකට අධික කාලයක් තිස්සේ මෙම තෙල් ටැංකි සියය කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන පැවති අතර, ඉන් දහයක් පමණ සුළු වශයෙන් ප්‍රයෝජනයට ගෙන තිබේ. දැන් අපට මතුවී තිබෙන ගැටලුව වන්නේ මේ ටැංකි පාවිච්චි කර කිසියම් මුදලක් උපයා ගන්නවාද එසේත් නොමැති නම් කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන විනාශව යාමට ඉඩදෙනවාද යන්නය.

පෙර සඳහන් කළ පරිදි වෙනත් රටක් සමඟ අපට ගිවිසුමක් අත්සන් කිරීමටද හැකියාවක් නොමැත. එසේ නම් මෙම තෙල් ටැංකි ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට බලපා පූර්ව කොන්දේසි මොනවාද? එක විශාල මූල්‍ය ආයෝජනයක් මේ සඳහා දැරීමට සිදුවීම ය. දෙක මේ ටැංකි පාවිච්චි කර මුදල් උපුටා ගැනීමට නම් ඒ සඳහා අවශ්‍ය වාණිජමය ව්‍යාපාරයක් තිබිය යුතු වීමය. තෙල් ටැංකි සියයක් පාවිච්චි කළ හැකි මට්ටමේ වාණජ ව්‍යාපාර අප සතුව නැත. අවශ්‍ය නම් උපරම වශයෙන් අපට මින් දහයක් පමණ පාවිච්චියට ගත හැකිය.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය තෙල් ටැංකි දහය ලබාදීමට ඔවුන් එකඟත්වය පළ කර ඇති අතර, යම් කොටසක් ඔවුන්ගේ පාවිච්චිය සඳහා ද යොදා ගනිති. ඉතිරි තෙල් ටැංකි හවුල් ව්‍යාපාරයක් ලෙස වර්ධනය කරමින් පවත්වාගෙන යාමට එකඟත්වය පළ කර ඇත. හවුල් ව්‍යාපාර පිළිබඳව කිසිවක් නොදන්නා වාණිජ කළමනාකරණය පිළිබඳව කිසිවක් නොදන්නා අය පවසන්නේ මෙය මහා සම්පතක් බවත් මේ ආකාරයට ඉන්දියාව සමග කටයුතු කිරීමට යාමෙන් අපට අනර්ථයක් සිදු වන බවත් සත්‍යනම් වසර හැත්තෑවකට අධික කාලයක් තිස්සේ (යුද්ධය පැවති නොපැවැති කාලයේ) කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන මේවා පැවතීමය. ඒ වටා ඝන වනාන්තරයක් වැවී තිබෙනවා හැර කිසිඳු වෙනත් ප්‍රයෝජනයක් 2003 දක්වා ලබාගෙන නොමැත. 2003න් පසුව ද කිසියම් බදු මුදලක් ලබාදීමට ඉන්දියාව කටයුතු කළා හැර වෙනත් කිසිඳු ප්‍රතිලාභයක් ඉන් අත් වී නැත.

මේවන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ(CPC) වෘත්තීය සමිති ව්‍යාපාරය පවසන්නේ මෙම තෙල් ටැංකි ඉන්දියාවට ලබා නොදී ඔවුන්ට ලබාදීමට කටයුතු කරන ලෙසය. නමුත් එහිදී මතුවන ගැටලු දෙකක් ඇත. එකක් නම් එම ආයෝජනය සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන CPC ආයතනය සතුව පවතීද යන්නය. සත්‍ය නම් එසේ නොමැති බවය.

දෙවැනි කාරණය, CPC යට එසේ තිබුණා යැයි උපකල්පනය කරන්නේ නම් ඔවුන්ට එය වාණිජ ව්‍යාපාරයක් බවට පත් කර ලාභ ඉපයිය හැකිද යන්නය. ටැංකියක තෙල් බහා තැබීමෙන් වියදමක් මිස ආදායමක් ලැබිය නොහැකි වේ.

එසේ තෙල් ටැංකියක රඳවා තබා ගන්නේ නම්මූලික කාරණා දෙකක් ඉටුවිය යුතුය. එකක් නම් මහා නැව් විශාල ප්‍රමාණයක් ත්‍රීකුණාමල වරායට සේන්දු විය යුතු වීමය. එසේ වනවා යැයි උපකල්පනය කළහොත් එම නැව් තෙල් සැපයීම මඟින් අපට ආදායමක් උපයා ගත හැකිය. නමුත් මෙම තෙල් ටැංකිවල ධාරිතාව සලකා බලන විට ප්‍රමාණවත් නැවු ප්‍රමාණයක් ත්‍රීකුණාමලයට ළඟාවන්නේ නැත. ඊට වඩා වැඩි නැව් ප්‍රමාණයක් කොළඹ වරායට සේන්දුවන නමුත් කොළඹ වරායේ මේ තරම් ධාරිතාවක් පවතින ටැංකි නැත. ඛණිජ තෙල් වෘත්තීය සමිතිවල අපේක්ෂාව ඉටු වීමට නම් කොයිතරම් නැව් ප්‍රමාණයක් ත්‍රීකුණාමලයට පැමිණිය යුතු ද යන්න ඔබට ඉන් වැටහිය යුතුය.

මෙම තෙල් ටැංකි බ්‍රිතාන්‍යන් විසින් නිමවා ඇත්තේ මහා යුද මූලස්ථානයක යුද නෞකා සඳහා අවශ්‍ය තෙල් සැපයීම සඳහාය. ඒ ප්‍රමාණයේ අවශ්‍යතාවයක් වර්තමානයේ ඇති වේ යැයි සිතිය නොහැකිය. එසේම දිනපතා සිදුවන තෙල් මිලෙහි උච්ඡාවචනය යෝග්‍ය වන්නේ තෙල් මිල පහත වැටෙන අවස්ථාවලදී ගබඩා කර තබා ගැනීමයි. එවිට තෙල් මිල ඉහළ ගිය විට වෙළෙඳපොළට නිකුත් කර ලාභ ලැබිය හැකි ය. නමුත් එය බොහෝ අවදානම් කාර්යයකි. එසේම මෙහි තිබෙන මුලු ධාරිතාවයම එසේ මුදා හැරිය හැකි යැයි උපකල්පනය කිරීමද අසීරුය.

මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව CPC යට හැකිද යන්න ද ඇසිය යුතු පැනයකි. හෙජින් ගිවිසුම හරහා මොවුන් මෙරට ආර්ථිකයට කළ විශාල හානිය අපට අමතක නැත. එයින් පෙන්නුම් කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යනු වානිජ දැනුමෙන් සන්නද්ධ ආයතනයක් නොවන බවය.

ත්‍රීකුණාමලයට ඇති ආර්ථික සැලසුම්

ත්‍රීකුණාමලය කාර්‍යක්ෂම වරාය පරිශ්‍රයක් හා කාර්මික කලාපයක් ලෙස වර්ධනය කිරීම සඳහා විශාල ආයෝජනයක් අවශ්‍යවේ. ඒ සඳහා ජපානය හා ඉන්දියාව මැදිහත් වීමට කැමැත්තෙන් සිටින අතර මේ වන විට ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වී ඇත. ඒ කාර්ය සාර්ථක වුවහොත් නැව් පැමිණීම විශාල වශයෙන් වර්ධනය වේ. එවිට අපට මෙම තෙල්ටැංකි වැඩි ප්‍රමාණයක් පාවිච්චියට ගැනීමේ ඉඩප්‍රස්තාව සැලසේ. එසේ කිරීමට නම් ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ එක් ටැංකියක් සඳහා වැය කර ටැංකි අලුත් වැඩියා කිරීම අනිවාර්ය වේ.

එවිට කොටසක් නාවික ඉන්ධන සඳහා ලබාදී කොටසක් ගබඩා කර වෙළඳපොළ උච්චාවචනයන් මත මුදා හැරිය හැකිවේ. ඒ සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඒ අවදානම දැරිය හැකි පාර්ශ්වකරුවන් අත්‍යාවශ්‍ය වේ. වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ සිටින ඔවුන් තෙල් ටැංකි නැවත සකස්කර කුලියට හා බද්දට වෙනත් සමාගම්වලට පවරා දෙන අතර, එමඟින් ලාභ ඉපයීමට කටයුතු කරන බවයි. ඇත්තෙන්ම මේවා අවදානම් සහගත කටයුතුය. මෙවැනි අවදානමක් කිසිසේත්ම ලංකාවෙන් තෙල් සංස්ථාවට වට දැරිය නොහැකිය.

ඒ තත්ත්වය කෙසේ වෙතත් 2017 නව ගිවිසුම ප්‍රකාරව CPC ටද මින් කොටසක් පවරා දීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර ඇත. පෙර ගිවිසුම යටතේ මේ සඳහා CPCයට අවස්ථාවක් ලබා දී නොතිබිණි. සීයට සීයක්ම පැවැතියේ ඉන්දියානු සමාගම සතුවය. ඒ අනුව බලන කල දැනට තිබෙන තත්ත්වය මඟින් වඩා හොඳ වාතාවරණයක් ඇති වී තිබේ.

එනිසා රට හමුවේ පවතින ගැටලුව වන්නේ මෙවැනි වාතාවරණයක් ඇති වීමට තිබෙන ඉඩකඩ මේ වෘත්තීය සමිති ව්‍යාපාරය මඟින් වළකා ලන්නේ ඇයිද යන්නය. එහිඳී හැගීයන්නේ ඔවුන් තුළ පවතින ආර්ථික මුග්ධභාවය බවය. ව්‍යාපාරික සේවාවන් පිළිබඳව නොදන්නාකම නිසා හෝ හුදු ඉන්දිය විරෝධය මත පදනම්ව මෙරට ජනතාවට අත්විය හැකි ආර්ථික වාසිය වළකාලීමට කටයුතු කරන බවය. එනිසා මෙයට විරෝධය දක්වන්නන්ට කිවයුතු වන්නේ මුහුණත් එක්ක තරහා වී නහය කපා ගැනීමට තරම් අමනෝඥ නොවන ලෙසය.

සටහන – රසික කොටුදුරගේ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *