|

ඒකාබද්ධ ජාතිවාදයට කොමියුනිස්ට් පක්ෂයෙන් හීනි විරෝධයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවේ කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් වුණා. ජනාධිපතිතුමා කීවේ ඉදිරි සති දෙකේ දී රජයේ ආයතන ගණනාවක වෙනස්කම් සිදුවන බවක්. ආණ්ඩුවට නව මුහුණුවරක් දෙන බව ද එතුමා කීවා. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ප්‍රශ්න කළ විට ජනාධිපතිතුමා කීවේ වෙසක් පෝය එනතෙක් බලාගෙන ඉන්න කියායි. මෙයින් කියැවුණේ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීමට ජනාධිපතිතුමා තීරණය කොට ඇති බවයි. එදින ජනාධිපතිතුමාගේ කතාවේ වෙනදාට වඩා දැඩි ස්වරූපයක් තිබුණා.

මේ අතර ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානයද වේගවත් කළා. පක්ෂය තුළ සිටිමින් තමන්ට විරුද්ධව කටයුතු කළ සංවිධායකයින් ඉවත් කිරීමේ තවත් පියවරක් ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන්, දිලුම් අමුණුගම ආදීන්ද ඉවත්කොට නව සංවිධායකයින් පත් කළා. ඒ සමගම ප්‍රකාශ වූයේ ගැටඹේ පවත්වන ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී නොවන සංවිධායකයින්ට වැඩ වරදින බවයි. එවැනි ප්‍රබලයන්ට එරෙහිවද විනය පියවර ගැනීමට සූදානම් බව පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක ඇමැතිතුමා ප්‍රකාශ කළා.

ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන ජනාධිපතිතුමා ප්‍රකාශ කිරීමත් සමඟ ඇතැම් අමාත්‍යවරුන් අතරද කලබලකාරී තත්ත්වයක් ඇති වුණා. ඇතැම් ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කළා. අර්ජුන රණතුංග ඇමැතිවරයා කීවේ තමන් තනතුරු බදාගෙන ඉන්න කෙනෙක් නොවන බවයි. එසේ වුවත් තනතුරු අහිමිවන බව කියන ඇතැම් ඇමැතිවරුන් තනතුරු රැකගැනීමේ මෙහෙයුම් ආරම්භ කොට තිබෙනවා. කොළඹ ප්‍රදේශ‍යේ නියෝජනය කරන එක් ඇමැතිවරයෙක් ඒ සඳහා බලවත් ආගමික ප්‍රභූන්ගෙන් ද සහාය ලබාගෙන ති‍බෙනවා.

අත්තනෝමතික ලෙස උද්ඝෝෂණ හා වැඩ වර්ජන කරන සංවිධාන පිළිබඳ තදින් සිටීමට ජනාධිපතිතුමා තීරණය කොට තිබෙනවා . සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කීවේ ත්‍රිවිධ හමුදාවල නායකත්වය භාරගන්නා ලෙස ජනාධිපතිතුමා සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. වැඩ වර්ජන ආදියට මුහුණ දීමත් හදිසි අවස්ථාවල දී හා ආපදාවල දී ක්‍රියාත්මක වීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් හැදීමත් මෙහි අරමුණ බව පෙනෙන්නට තිබෙනවා.

මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට මුහුණ දුන් අයට සහන සැලසීමට ජනාධිපතිතුමා ගෙනගිය වැඩසටහන අතිසාර්ථක එකක් බවට පත්වී තිබෙනවා. නිවාස අහිමිවූවන් 30 දෙනකුට පළමු වටයේදීත් තවත් 56 කට දෙවන වටයේදීත් නිවාස ලබා දී අවසන් කළා. අනෙක් අයට නිවාස ලබාගැනීමට ලක්ෂ එකහමාරක් එකවර ගෙවන්න ජනාධිපතිතුමා නියෝග කළා. නිවෙස්වලට බඩු මුට්ටු ගැනීමට ලබාදෙන මුදල ලක්ෂ දෙකහමාරක්. මෙවැනි ඛේදවාචකයක දී සති දෙකක් තුළ මෙලෙස සහන සැලසූ පළමු අවස්ථාව මෙයයි.

කුඩා ජල විදුලි බලාගාර ඉදිකරන්නන්ගේ ගැටලු පිළිබඳ සාකාච්ඡාවක්ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සති අන්තයේ පැවැත්වුණා. රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුත්, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පරිසර අධිකාරිය ආදියෙහි ඉහළ නිලධාරීන්ද මෙයට සහභාගි වුණා. කුඩා ජල විදුලි බලාගාර සංවර්ධනය කරන්න මෙහි දී පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘති මඟින් විදුලි උත්පාදනයට ඛනිජ තෙල් දහනය අඩු කිරීමෙන් විශාල පරිසර සංරක්ෂණයක් සිදුවන නමුත් විවිධ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම නිසා මේවා අනුමත කිරීමට නිලධාරීන් මැලිකමක් දක්වන බවයි. එහි දී ජනාධිපතිතුමා නිලධාරින්ට කීවේ රාජ්‍ය නොවන සංවිධාන කෑගැසුවාට තමන්ගේ රාජකාරිය පැහැර නොහරින ලෙසයි. විද්‍යාත්ම ක්‍රමවේද අනුව සලකා බලා හරි දේ කරන්න බිය නොවන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ශ්‍රී ලංකාවේ දෙමළ බසින් බෞද්ධ අනුශාසනා සිදු කළ යතිවරයාණන් වහන්සේ නමක වූ බ්‍රාහ්මණවත්තේ සීවලී අනු නාහිමියන්ගේ ආදාහනය පසුගිය සෙනසුරාදා යෙදී තිබුණා. ආදාහන පූජ්‍යෝත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන බව මාධ්‍ය දැනුවත් වී තිබුණේ නැහැ. කොළඹ කැම්බල් පිටියේ පැවැති ආදාහන පූජ්‍යෝත්සවයට පැමිණි අගමැතිවරයා එහිදි ආදාහන සභාව අමතමින් පැවසුවේ ශ්‍රී ලාංකික ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සඳහා අනුනායක හිමියන් නිහඬ සේවයක් සිදු කළ බවයි. ජාතීන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීම වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ කැපවීම පිළිබඳව ඒ අවස්ථාවේ සභාවේ සිටි පිරිස කතාබහ වුණා.

එදින හවස මරදාන සුදුවැල්ලේ පැවැත්වුණු අවුරුදු උත්සවයකට අගමැති වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. සුදුවැල්ල එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා වාර්ෂිකව සංවිධානය කරන අලුත් අවුරුදු උත්සවයට වික්‍රමසිංහ මහතා සෑම වසරකම පාහේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමෙන් පසු තෙවන වතාවටත් ඉන්දියාවේ නිල සංචාරයකට එක් වුණේ 25 වැනි අඟහරුවාදායි. මෙම දෙදින නිල සංචාරයේ දී 26 දා අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වුවා. ඉන්දීය සාගරයේ ආර්ථික, වෙ‍ළෙඳ, සමාජයීය හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලාංකේය අපේක්‍ෂාවන් සඳහා පූර්ණ සහය ලබාදෙමින්, බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනු ලබන වැඩ පිළිවෙළ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එහි දී අවධාරණය කළා.

දෙරටටම බලපාන අවබෝධතා ගිවිසුමකට මෙහිදි අත්සන් කෙරුණා. හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සහයෝගීතා ක්‍රියාකාරකම් ඔස්සේ, දැවැන්ත ආර්ථික, ආයෝජන සහ සංවර්ධන සහායෝගීතාවක්, වර්ධනාත්මක ලෙස ලබා ගනිමින්, දෙරටේම ජනතාවට අන්‍යෝන්‍ය හා සමබර ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුමෙන් ද්‍රව ස්වාභාවික වායු නිෂ්පාදනය, සුර්ය බලාගාර ස්ථාපිත කිරීම, ත්‍රිකුණාමල නගරය – වරාය හා ආර්ථික කලාප සංවර්ධනය, මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය, බහාලූම් පර්යන්ත, කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන, ජල කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඉන්දීය සහයෝගීතාවය ලබා දීම සම්බන්ධව මූලික අවධානය යොමු කර තිබෙනවා.මෙම සමහර ක්ෂේත්‍රයන් හි සංවර්ධන කාර්යයන් සඳහා ජපානය – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට එක්ව ක්‍රියා කිරීම ද විශේෂයක්.

එදින අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසට දිවා භෝජන සංග්‍රහය මෝදි අගමැතිවරයා විසින් පිරිනමනු ලැබුවේ හයිද්‍රාබාද් මන්දිරයේදියි. ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, මහා මාර්ග ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිටින් ගඩ්කාරි, විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ්, ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශ්‍රී අජිත් දොවාල්, ස්වදේශ කටයුතු ඇමැති රාජ්නාත් සිං මහත්වරුන් සහ මහත්මීන් සමඟ අගමැතිතුමා සාකච්ජා පැවැත්වුවා.

27 වැනිදා බ්‍රහස්පතින්දා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිය මිතුරකුගේ දියණියගේ විවාහ මංගල්ලයට සහභාගි වීම සඳහා රාජස්ථානයේ උදායිපූර් ප්‍රදේශයට පිටත් වූ අතර ඔහු සමඟ ඉන්දියාවට ගිය දූත පිරිස යළි ශ්‍රී ලංකාව බලා පැමිණියා. මෙම විවාහ මංගල උත්සවයට හිටපු අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා සහ බිරියද ආරාධනා ලැබ සිටි අතර ඒ සඳහා නව දිල්ලියට ගිය එම දෙපළද රනිල් වික්‍රමසිංහ මහතා නැවතී සිටි ටාජ් පැලස් හෝටලයේ නතර වී සිටියා. 28 දා පැවැත්වෙන විවාහ මංගල උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව අගමැති වික්‍රමසිංහ මහතා 29 දින යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව තිබුණා.

වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වුණු 25 වැනි ආදර්ශ ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල “දිනුජයගම” යි. මේ ගම්මානය විවෘත කිරීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමතිවරයා එහි දී පිළිගනු ලැබුවේ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන් විසින්. මෙහි දී ආනන්ද කුමාරසිරි කීවේ අපූරු කතාවක්. “මමයි රංජිතුයි ඔයාගෙ තාත්තත් එක්ක එකතුවෙලා මෙහේ ගෙවල් හැදුවේ මීට අවුරුදු 25කටත් ඉස්සරින්. කතරගමයි, බුත්තලයි “ගම් උදා” වැඩසටහන් දෙකක්ම කළා. අද ඒ තාත්තගේ පුතත් එක්ක වැඩ කරන්න ලැබීමත් දෛවෝපගත සිද්ධියක්” ඔහු කියද් දී සජිත් කීවේ ඊටත් වඩා රසවත් කතාවක්. “මට මතකයි, 87 ‘ගම් උදාව’ වෙලාවේ තිරික්කලේ යන්න නම් කසාද බැඳල තියෙන්න ඕනෑ කියලා නීතියක් දැම්මම තමයි, මෙයා කසාද බැන්දේ. දැන් සාර්ථක විවාහ දිවියක් ගත කරනවා” කියායි. සජිත් නිවාස සංවර්ධන අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් නිලධාරීන්ගේ මන්දගාමී බව ගැන දොස් නඟමින් කීවේ “පහුගිය ආණ්ඩුව කාලෙ වගේ බෑ. නින්දෙන් නැගිටලා හොඳට මූණකට සෝදගෙන මාත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙන්න. ඒක දූවිලි කාගෙන යන්න සිද්ධවෙන ගමනක් කියලත් හොඳට මතක තියා ගන්න” කියායි.

අඟහරුවාදා පෞද්ගලික රක්ෂණ සමාගමක ඉහළම පෙළේ විධායක නිලධාරීන් තිදෙනකු සජිත්ගේ අමාත්‍යාංශයට පැමිණ සිටියේ ‘උදා ගම්මාන’ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ඊට සත්කාරයක් ලෙස නව උදා ගමක් ඉදිකිරීමට දායක වීම සඳහායි. ඒ වෙනුවෙන් රුපියල්ලක්ෂ 60ක මුදලක් අමාත්‍යවරයා වෙත බාර දෙමින් එහි විධායක අධ්‍යක්ෂ අජිත් ගුණවර්ධන මහතා කියා සිටියේ තම ආයතනය වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙළ පිළිබඳව අවදියෙන් සිටි බවත්, ඒ පිළිබඳව පවතින විශ්වාසය නිසා ඊට උපකාර කිරීමට තීරණය කළ බවත්ය. ඉදිරියේ දී ඊට තව තවත් උපකාර කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු කීවා. මෙහි දී සජිත් පැවසුවේ ජනතාව වෙනුවෙන් නිවාස තැනීමේ වැඩපිළිවෙළට රජයේ අරමුදල් පමණක් ප්‍රමාණවත් නොවන හෙයින් පෞද්ගලික ධන පරිත්‍යාගද ඊට අවශ්‍ය වන බවයි.

සජිත් සිය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ප්‍රධානීන් සමඟ මේ සතියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ මැයිදින පෙළපාලියේ විධිවිධාන පිළිබඳවයි. මෙහි දී විවිධ යෝජනා සහ අදහස් හුවමාරු වෙද් දී සජිත් ඔවුන්ට දුන් නියෝගය නම් එම පෙළපාලියට කුමන හේතුවක් නිසා හෝ රජයේ වාහන හෝ වෙනත් සම්පත් භාවිත නොකළ යුතු බවයි. එහි දී එක් නිලධාරියකු කීවේ ඒ ඒ ආයතන සතු රජයට අයත් වාහන යම් මුදලක් ගෙවා කුලී පදනමින් ලබා ගත හැකි බවයි. එහෙත් සජිත් කීවේ එසේ පුළුවන්කමක් ඇතත් ඒවා ලබා ගැනීමෙන් සහමුලින්ම වළකින ලෙසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ වව්නියාව උතුර ප්‍රාදේශීය ජනතා සේවය සඳහා සහභාගී වීමට ඇමැති වජිර අබේවර්ධන වව්නියාවට ගියේ පසුගිය සිකුරාදා සන්ධ්‍යායාමයේ ය.

නැදුන්කර්නි මහා විද්‍යාලයේ පැවැති වව්නියාව උතුර ප්‍රාදේශීය නිල මෙහෙවරට සහභාගී වීමට 22 සෙනසුරාදා උදෑසනම එම විද්‍යාලයට වජිර පැමිණියේ කාදර් මස්තාන්, සිවමෝහන් ඇතුළු උතුර නියෝජනය කරන දමිළ මහජන නියෝජිතයින් රැසක් ද සමඟිනි. එදින උදෑසන සිට සවස 3 පමණ වනතුරුම නැදුන්කර්නි විද්‍යාලයේ රැඳී සිටිමින්, වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු විසඳාලීමට ඇමතිවරයා කැප වී කටයුතු කරන අයුරු දක්නට ලැබුණා.

පසුදින ඉරිදා පැවතියේ චෙන්ගච්චෙඩිකුලම් ප්‍රාදේශීය නිල මෙහෙවරය. එය පැවැති සෙට්ටිකුලම් මහා විද්‍යාලයට ඇමැති වජිර පැමිණියේ උතුර නියෝජනය කරන සහෝදර මන්ත්‍රීවරු පිරිසක් ද සමඟින්. පෙරදින මෙන්ම ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බලා, ඒ සඳහා විසඳුම් දීමට එහි දී කටයුතු සිදුවුණා.

දහවල් එම භූමියෙන් පිට වී වජිර අබේවර්ධන ඇමැතිවරයා කෙළින්ම ආවේ අරලිය ගහ මන්දිරයේ දී අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ජාවකට එක්වීමටයි. එය මීතොටමුල්ල ආපදාවෙන් පීඩාවට පත්වූවන් සමඟ සාකච්ජාවක් . මේ සඳහා සාගල, අනුර ප්‍රියදර්ශන, ෆයිසර් මුස්තාෆා ඇමතිවරු ද, මන්ත්‍රී මරික්කාර් ද එක්ව සිටියා.

සඳුදා රාත්‍රීයේ දී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වීමෙන් අනතුරුව ඇමැති වජිරගේ ජංගම දුරකථනයට දිගින් දිගටම ඇමැතුම් ලැබුණා. කතා කළ පිරිස වජිරට සුබ පැතුම් එක් කළේ, එම සංවාදය සඳහා ආණ්ඩුවේ මතය නිවැරදිව එක් කරමින් විරුද්ධ තර්ක බිඳ දැමු බව කියමින්.

අඟහරුවාදා සවස ජනාධිපති මෛත්‍රී සමඟ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ගිය වජිර මීතොටමුල්ල නිවාස අහිමිවුවන්ට නිවාස ලබාදීමේ දෙවැනි අදියරේ කටයුතුවලට එක්වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකුට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම විසින් සාක්ෂි ලබාදෙන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ, කෝප් කමිටුවේ සභාපති ධුරය දරන සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහටයි. වසන්ත සමරසිංහට බ්‍රහස්පතින්දා දිනය වනවිටත් සාක්ෂි දීම සඳහා අවස්ථාව ලැබී නොතිබුණේ තවත් පාර්ශ්ව කිහිපයකගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා දින ගණනාවක කාලයක් ගතවන නිසායි. කෝප් කමිටුවේ සභාපතිවරයාටද දින කිහිපයකට පෙර කොමිසමෙන් සාක්ෂි ලබා දීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නද සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ කෝප් කමිටු සාමාජිකයින් සඳහා බෙල්ජියමේ පැවැත්වෙන මූල්‍ය කළමනාකරණය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වෙමින් සිටින නිසා සාක්ෂි දීමට පැමිණිය නොහැකි බවයි. කෙසේ වෙතත් ප්‍රචාරක ලේකම් විජිත හේරත් දුරකතනයෙන් සම්බන්ධ වූ අවස්ථාවක හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගෙන් මේ බව විමසා සිටියා. ”කොමිසමේ ලේකම්වරයා මට කතා කළා. මම කිව්වා මැයි පළවෙනිදායින් පසුව මට දිනයක් දෙන්න පුළුවන් කියලා. නමුත් මෙතන තියෙන නීතිමය තත්ත්වය ගැන උපදෙස් ගන්න වෙනවා. මොකද මම කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. කෝප් කමිටුව මේ ගැන විමර්ශනය කරලා වාර්තාවක් පාර්ලිමේන්තුවට භාරදුන්නා. ඒ වාර්තාවේ මේ සියලූ කරුණු අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ නිසා නීතිමය පසුබිම ගැන සලකා බලා තමයි සාක්ෂි ලබාදෙන්න යනවද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ.

අම්පාර ප්‍රදේශයේ ගොවි ජනතාවට වගා කිරීම සඳහා ජලය නොමැති වීම නිසා පැන නැගුණු ගැටලූවකට විසඳුම් ලබාදෙන්නැයි ගොවිජන සම්මේලනය විසින් පසුගිය විසිහතරවෙනිදා අම්පාර නගරයේ දී ගොවි උද්ඝෝෂණයක් සංවිධානය කළා. අම්පාර නගරයට විශාල ගොවි ජනතාවක් රැස්වූ අතර මේ අවස්ථාවට අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන දයා ගමගේ ඇමතිවරයා සහ ඔහුගේ ඇමැති බිරිය හෙලිකොප්ටරයකින් පැමිණියා. දයා ගමගේ උද්ඝෝෂකයින් අතරට පැමිණ ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න නැග සිටි ටැක්ටර් ටේ‍ලරයට ගොඩ වුණා.

අනතුරුව නාමල් කරුණාරත්න මෙගා ෆෝන් එක රැගෙන ගොවි ජනතාව අමතන්නට පටන්ගත්තා. මේ අතර ආරක්ෂක නිලධාරියෙක් දයා ගමගේට අව් රස්නයෙන් ආරක්ෂා වීමට කුඩයක් ගෙන ආවරණය ලබා දුන්නා. මෙය දුටු නාමල් කරුණාරත්න අපූරු දෙයක් කීවා. මහත්තයා, ඔය කුඬේ අයින් කරන්න. මේ සීත කාමරවල ඉන්න ඇමතිවරුන්ට මේ අව්වේ රස්නය දැනෙන්න ඕනෑ. ගොවි ජනතාව තමන්ගේ ප්‍රශ්න නිසා දැන් පැය ගාණක් අව්වේ ඉන්නවා. නාමල් කරුණාරත්න කීවා. ඇමතිතුමාගෙන් පොරොන්දු අපිට එපා. අපිට මේ දේශපාලකයෝ විශ්වාස නැහැ. ඒ නිසා දිස්ත්‍රික් ලේකම් හෝ වගකිව යුතු නිලධාරියෙක් මෙතනට එන්න ඕනෑ” නාමල් කරුණාරත්න කියා සිටියා. පසුව දිස්ත්‍රික් ලේකම්වරයා සහ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා එම ස්ථානයට පැමිණ හැකි පමණින් ජලය ලබාදීමටත් ජලය ලබාදීමට නොහැකි ගොවියන්ට වන්දි ලබාදීමටත් පොරොන්දුවක් දීමෙන් පසුව උද්ඝෝෂකයන් විසිර ගියා…

ඒකාබද්ධ විපක්ෂයේ සියලු නායකයන් මේ මොහොතේ ක්‍රියාත්මක වී සිටින්නේ මැයි දිනය සාර්ථක කරගැනීම සඳහායි. ඒ සඳහා සෑම තැනින්ම ජනයා කොළඹ ගාලුමුවදොර පිටියට ගෙන ඒමට ඔවුන් වෙහෙසවෙමින් සිටිනවා. ඒ අතර මහින්ද කණ්ඩායමේ ප්‍රබලයන් රැසකට ශ්‍රීලනිප ආසන සංවිධායක ධුර අහිමි කිරීමට ජනාධිපතිතුමා පියවර ගැනීම ඔවුන්ට තරමක ප්‍රහාරයක වී තිබෙනවා. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර ද බෙදීමක් දක්නට ලැබෙනවා.

පසුගිය වසරේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙවර එයට සහභාගී වන්නේ නැහැ. ඔවුන් තීරණය කොට තිබෙන්නේ වෙනම මැයි පෙළපාලියක් හා රැලියක් පැවැත්වීමටයි. එම තීරණය ගෙන පක්ෂය ක්‍රියාත්මකවී සිටිය දී පසුගියදා පැවැති පක්ෂ දේශපාලන මණ්ඩලයට නැවතත් යෝජනාවක් ඉදිරිපත්වූයේ උදේ වරුවේ කොමියුනිස්ට් පක්ෂයේ මැයි රැලියක් පවත්වා සවස ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට සහභාගීවීමටයි. මාතර වීරසුමන වීරසිංහ ගාල්ලේ ගා. දේනෙත්ති ආදීන් ඒ වෙනුවෙන් පෙනීසිටියා. එහෙත් පක්ෂ මහ ලේකම් ඩිව් ගුණසේකර ඇතුළු කණ්ඩායම තදින් කියා සිටියේ ජාතිවාදින් සමඟ නොයා පක්ෂය වෙනම මැයි දිනය පැවැත්විය යුතු බවටයි. ඒ අනුව රාජගිරියේ සිට පෙළපාලියෙන් පැමිණ කොළඹ විහාරමහාදේවි පිටියේ දී කොමියුනිස්ට් පක්ෂ මැයි රැලිය පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු වමේ පක්ෂ මැයි පෙළපාලිය කොළඹ ඩිමෙල් පිටියෙන් ආරම්භකොට ගාලු‍මුවදොර පිටියට ගමන් කිරීමට තීරණයකොට තිබෙනවා. මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය ද වෙන වෙනම පෙළපාලිවලින් ගාලු මුවදොර පිටියට පැමිණීමට තීරණයකොට තිබෙනවා.

මේ අතර ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න ආදින් නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂ බහුතර කණ්ඩායම වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ නව සමසමාජ පක්ෂය සමඟ එක්ව නුගේගොඩ දී මැයි දිනය පවත්වනවා. සමන් රත්නප්‍රිය මහතාගේ එක්සත් හෙද සංගමය ඇතුළු තවත් කණ්ඩායම් එම රැලියට එකතුවීමට තීරණය කොට තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *