රට හමුවේ තිබෙන ලොකුම අර් බුදය කුමක් ද ? – රනිල් වික්‍රමසිංහ
2028 වන විට ණය ගෙවන පසුබිම සකසා ගැනීම රට හමුවේ තිබෙන ලොකුම අරබුදය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ දී අද (13) පැවසීය. හරි සැලසුම් ක්‍රියාත්මක නොකලොත් රට නැවත බංකොලොත් භාවයට ඇද වැටෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය. රනිල් වික්‍රමසිංහ එසේ පැවසුයේ, කොළඹ පැවති කාන්තා හමුවක් අමතමිනි.
ඔහු තව දුරටත් මෙසේද පැවසිය.
ශ්‍රී ලංකාවේ දැනට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ආර්ථිකයයි. 2022 වසරේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ අනුව අප රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කළා. අපට පළමුවෙන්ම තිබූයේ බංකොලොත් භාවයෙන් පිට වෙන්නයි. එය අප පමණක් ප්‍රකාශයට පත් කළාට මදි. ලෝකය විසින් පිළිගත යුතුයි.
මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන ලෙස ලෝකයේ රටවල් එහිදී අපට පැවසුවා. අයි.එම්.එෆ් සංවිධානය සමග එකඟත්වයට පැමිණ ඔවුන්ට දැනුම් දෙන ලෙසත් එම රටවල් පැවසුවා. අප රටවල් 18 කින් ණය ලබාගෙන තිබුණා. ඊට අමතරව ස්වෛරී බැඳුම්කර ලෝකයේ පෞද්ගලික අයට විකුණා තිබුණා.
පළමුවෙන්ම අපට සිදුවූයේ අයි.එම්.එෆ් සංවිධානය සමග කතා කරන්නයි. මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන ආකාරය පිළිබඳව අප අයි.එම්.එෆ් සංවිධානය සමග සාකච්ඡා කළා. කඩා වැටෙන ආර්ථිකය ස්ථාවරයක් කොට ණය ගෙවීම පිළිබඳ තිරසර භාවයක් ඇති කිරීම සම්බන්ධයෙන් අප කතා කළා. නැවත ණය ගෙවීම ඇරඹීමට කොතරම් කාලයක් ගත වේදැයි අප සාකච්ඡා කළා. එමෙන්ම අපට ණය ගෙවීමට කොපමණ කාලයක් ලබාදිය හැකිදැයි යන්න පිළිබඳවත් කතා කළා. අපගේ ණයෙන් කොපමණ ප්‍රමාණයක් අඩුකර දිය හැකිද යන කාරණය පිළිබඳවත් සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණියා.
2028 වසරේ ණය ගෙවීම අරඹන ලෙස මූල්‍ය අරමුදල අපට පැවසුවා. 2028 වසරේ ණය ගෙවන්නේ නැතිනම් අපට ප්‍රශ්නයක්. 2028 වසරේ ණය ගෙවීම අරඹා 2042 වසර වන විට ගෙවීම් අවසන් කරන ලෙසත් ඔවුන් දැනුම් දුන්නා. අදාල රටවල් 18 සහ ස්වෛරී බැඳුම්කර වලින් අපිට ඩොලර් මිලියන 8000 -12000 අතර ලබාගන්න පුළුවන්.
”ඉලක්ක අනුව කටයුතු නොකළොත් අපට මේ ආධාර ලැබෙන්නේ නැහැ”
ඒ කටයුතු කිරීම සඳහා අපට ආර්ථික ඉලක්ක තිබෙනවා. ඒ ආර්ථික ඉලක්ක අනුව කටයුතු නොකළොත් අපට මේ ආධාර ලැබෙන්නේ නැහැ. අපට ණය ගෙවන්නට නොහැකි යැයි ප්‍රකාශයට පත් කළොත් නැවත අප බංකොලොත් භාවයට පත් වෙනවා. මෙය අප රටවල් 18 සමඟ සාකච්ඡා කළා. ඒ රටවල් 18ම මීට එකඟ වුණා. සුළු සංශෝධන ඉදිරිපත් කළා. ඉන්පසුව අයි.එම්.එෆ් ගිවිසුම සහ මේ රටවල් 18 සමඟ තිබූ ද්වීපාර්ශවික ගිවිසුම අප ස්වෛරී බැඳුම්කරුවන්ට ලබා දුන්නා. ඒ අයත් ඊට එකඟතාවය පළ කළා.
අප ඡන්දයට යෑමට පෙර ඒ සියල්ලෙහිම වැඩකටයුතු අවසන් කළා. මේ අනුව ඔක්තෝබර් 4 වෙනිදා අලුත් ආණ්ඩුවටත් දැනුම් දුන්නා. ඔවුනුත් එය පිළිගෙන තිබෙනවා. දැන් මේ අනුව අප වැඩ කළ යුතුයි. අපට ණය ගෙවන්නට හැකියාව තිබෙන බව පෙන්විය යුතුයි. ඉන් පසුව අප 2028 සිට ණය ගෙවිය යුතුයි.
ණය ගත් පසුව ඒවා ගෙවන විටත් එකඟතා අනුව කළ යුතුව තියෙනවා. මූලික අවුරුදු කිහිපයේදී අපට ඩොලර් මිලියන තුන්සියයක් ගෙවන්නට තිබෙනවා. අප වැඩ කටයුතු කරගෙන යන්නේ මේ අනුවයි.
එමෙන්ම අපගේ දේශීය ණය නැවත ගෙවීමටත් වැඩසටහනක් සකස් කළා. දේශීය ණය මෙන්ම විදේශීය ණයේ එකතුව ඩොලර් මිලියන 84000යි. එයින් භාගයක් හෙවත් ඩොලර් මිලියන 42000ක් විදේශ ණය. අනෙක් භාගය දේශීය ණය. ඩොලර් මිලියන 42000න් සියයට 20-25ක් පමණ අඩු කරගන්න හැකියාව තිබෙනවා.
අපගේ ලොකුම ප්‍රශ්නය වන්නේ 2028 වසරේ මෙම ණය ගෙවන්නට තිබීමයි. මෙය නොකලොත් නැවත අප බංකොලොත් බවට පත්වෙනවා. එය අමතක කරන්නට හැකියාවක් නැහැ. එම කාරණය සිදුකරන ලෙස හැමදෙනාටම මා මතක් කරන්න කැමතියි.
එය කරන්න නම් අපගේ ආර්ථිකයේ ඉලක්ක සපුරා ගත යුතුයි. එසේ කරන්න නම් 2028 වන විට අපගේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් විය යුතුයි. දැන් එම අගය සියයට දොළහකටත් අඩුයි. හැම වසරේම එම ප්‍රමාණය වැඩි කළ යුතුයි. මේ වසරේ තිබුනේ ඩොලර් බිලියන 4000යි. එන වසරේදී ඩොලර් බිලියන 5000 ක් තිබෙනවා.
”තුන්වෙනුව බදු ගෙවිය යුතු සමහර අය පැහැර හරිනවා”
මේ ආදායම ගන්න මිනිස්සුන්ට අලුත් බදු පනවන්න බැහැ. වැට් වැඩි කරන්න බැහැ. මීට වඩා බරක් ගෙන යන්න බැහැ. එසේ නම් අලුත් ආදායම් මොනවාද? ඒවා ලබා ගන්නේ කොහෙන්ද? එමෙන්ම අපට සහනයක් දෙන්න පුළුවන්ද?
එන වසරේ මුදල් හොයා ගන්න නම් වාහන ආනයනය කරන්න ඉඩ දෙන්න. එවිට ඒවායේ තීරු බදු ලැබෙනවා. අනෙක අපට ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණු කරන්න පුළුවන් නම් සමාගම් වලින්, ව්‍යාපාර වලින් අපගේ බදු ආදායම වැඩි වෙනවා.
තුන්වෙනුව බදු ගෙවිය යුතු සමහර අය පැහැර හරිනවා. එම බදු අය කර ගන්නා ප්‍රමාණය වැඩි කළ යුතුයි. පසුව අලුත් බදු ටිකක් ගැන අපට සිතන්නට සිදුවෙනවා.
2025 වෙනුවෙන් සිතන්නට වන්නේ මෙවැනි වැඩපිළිවෙළක්. ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සාකච්ඡා වන්නේ කෙසේදැයි අද මා දන්නේ නැහැ. එතනින් ඒ කාර්යභාරය අවසන් වන්නේ නැහැ. ඊළඟ වසරේ අපට ට්‍රිලියන හයක් සොයන්නට තිබෙනවා. එම මුදල් හොයන්නේ කොහෙන්ද?
ඕනෑම ආණ්ඩුවක අවධානය යොමු කරන්න තිබෙන්නේ මේවා ගැනයි. ඒවා ගැන අවධානය යොමු නොකොට කෑගසා අනෙක් කරුණු කතා කර වැඩක් නැහැ. මේ වැඩ කටයුතු කරන අතරතුර හැකිනම් බදු බරද අඩු කළ යුතුයි. එසේ නැතිනම් යම් කිසි සහනයක් දිය යුතුයි. හැමදෙනාටම එකවර සහන දිය හැකිනම් එය කරන්න. රජයේ සේවකයන්ගේ පඩි වැඩ කරන්න අප යෝජනා කළේ ඒ අරමුණින්.
උපයන විට බදු ගෙවීමේ සීමාව මාසයකට ලක්ෂයේ සීමාව සිට ආරම්භ කරන්නට තිබෙනවා. එම අගය 150000ක් කිරීම සම්බන්ධයෙන් අප සාකච්ඡා කරගෙන ගියා. එවිට කණ්ඩායම් දෙකකට යම්කිසි සහනයක් ලැබෙනවා.
එමෙන්ම වතුකරයේ පඩි වැඩි කිරීම අප ආරම්භ කළා. දහසේ සිට 1350ක් දක්වා වැඩි කළා. කොහොමත් සංචාරක කර්මාන්තය දියුණුවන නිසා එයින් ආදායම් වැඩිවේවි.
මේ කටයුතු නොකලොත් සිදුවන්නේ කුමක්ද?
මේ කටයුතු නොකලොත් සිදුවන්නේ කුමක්ද? මූලික අවධානය එතැනට යොමු විය යුතුයි. අනෙක් දේවල් ගැන කතා කර වැඩක් නැහැ. අප ළිඳෙන් ගොඩ එන විට නැවත ළිඳට වැටෙන්නට බැහැ. දැන් කඹය අල්ලාගෙන උඩටම පැමිණිය යුතුයි.
අපගේ මූලික කාරණය වන්නේ හොඳ ආර්ථිකයක් ඇතිකොට 2028 වසරේදී ණය ගෙවීම අරඹන්නේ කෙසේද යන්නයි. අපගේ ආර්ථික සැලසුම කුමක්ද? දේශපාලන සැලසුම කුමක්ද? සමාජ සැලසුම කුමක්ද? මේ හැම එකක්ම ඇති කරගෙන ඉදිරියට යා යුතුයි.
අපට පරණ විදියට ව්‍යාපාර කරන්න බැහැ. පරණ විදිහට දේශපාලනය කරන්න බැහැ. පරණ විදියට මාධ්‍ය ගෙනයන්න බෑ. හැමදෙනාම අලුත් වැඩසටහනක් සමග ක්‍රියා කළ යුතුයි. මෙය අමතක කරන්න එපා. අපට ණය ගෙවන තත්ත්වයක් නැති වුනොත් සියල්ල විනාශයි. අප එය මතක තබාගෙන ඉදිරියට යා යුතු යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
theleader.lk