මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද? – සී ජේ අමරතුංග
ආර් ථිකයේ පීලි පැනීමක්?
වසර පහකට පෙර ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වී ආර්ථිකය සම්බන්ධයෙන් එකිනෙකට නොගැළපෙන තීන්දු ක්‍රියාවට නගන විට ඔවුන්ගේ පැත්තේ ම සිටි දේශපාලඥයකු එය විවේචනය කරමින් කියා සිටියේ “ආණ්ඩුව දැන් හැම පැත්තකට ම සිග්නල් දාපු වාහනයක් වගේ ” යනුවෙනි. වත්මන ජාතික ජන බලවේග ආණ්ඩුව නැතහොත් මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් ද දැන් දැන් පෙනෙන්නට තිබෙන්නේ එබඳු ම තත්ත්වයකි.
හැම පැත්තට ම සිග්නල දැමු ගෝටාභය ආණ්ඩුවට අත් වූ ඉරණම දැන් කවුරුත් දනිති. විපක්ෂයේ සමහරු කියන්නේ මාලිමා ආණ්ඩුවේ ද ඉරණම ඒ හා සමාන විය හැකි බව යි. තත්ත්වය හොදින් විමසා බැලූ විට පෙනී යන්නේ එම ප්‍රකාශය ද සත්‍යය විය හැකි බව යි. එසේ වනවා නම්, එය සිදුවන්නේ ද මාලිමා ආණ්ඩුවේ ම ක්‍රියාකාරීත්වය හේතුවෙනි. එබැවින් මෙම ක්‍රියා වලිය මේ මොහොතේ ම විමසා බැලීම ඉදිරි අවදානම යම් තාක් දුරකට මගහරවා ගැනීමට හෝ අනතුරට මුහුණ දීමට සුදානම් වීමට හෝ පිටිවහලක් වනු ඇත.
මුල්‍ය අරමුදල සමග ගැටුමක්
බොහෝ දෙනා බලා සිටියේ ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනෙන් ඉවත්වේද නැත්ද යන කරණය යි. ආණ්ඩුව ප්‍රකාශ කළේ මුල්‍ය අරමුදලේ වැඩ සටහන ඉදිරියට ගෙනයන බව යි. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පුර්ණ කිරීමට එකඟතා තහවුරු කරගැනීම ආර්ථික ස්ථාවර භාවය සඳහා ඉතා වැදගත් පියවරකි. එහි ප්‍රතිඵල ලෙස ආර්ථිකය ගැන විශ්වාසය තහවුරු වීම, කොටස් වෙළෙඳ පොළෙන් සහ රුපියල ශක්තිමත් වීමෙන් ද ප්‍රකාශ වී තිබේ. ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව සමාජයේ පැවති අවිනිශ්චිතභාවය ද තරමක් දුරට සමනය වී ය.
කෙසේ වෙතත්, ආණ්ඩුව වෙනත් පැත්තකින් මුල්‍ය අරමුදල සමග ප්‍රශ්නයක් ඇතිකර ගත්තේ ය. මුල්‍ය අරමුදලේ වැඩ සටහනින් වෙනස් නොවන බවත්, ඔවුන් නියම කර ඇති ඉලක්ක කරා යාමට සුදානම් බවත්, ආණ්ඩුව ප්‍රකාශ කළ ද, අනෙක් අතට කීවේ ඒ සඳහා තමන්ගේ විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තමන්ට අවශ්‍ය බව යි.
ආණ්ඩුව ප්‍රකාශ කොට ඇත්තේ ජනතාවට තමන් පොරොන්දු වූ සහන දිය යුතු බව, ඇතැම් ප්‍රතිසංස්කරණ අත්හිටුවන බව සහ නැතහොත් තමාගේ ක්‍රමයකට ඒවා කරන බව යි.
මුල්‍ය අරමුදල මේ අදහසට විරුද්ධ වී නැත. නමුත් ඔවුන් ඉල්ලා සිටින්නේ බදු සංශෝධන සහ වෙනත් වියදම් නිසා අහිමිවන ආදායම් උපයාගන්නා ක්‍රම ඉදිරිපත් කරන ලෙස යි. සියලු කරුණු හෙළි වී නැතත් පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවේ නියෝජිතයින් ඉදිරිපත් කළ විකල්ප යෝජනා කිසිවක් මුල්‍ය අරමුදලට පිළිගත හැකි මට්ටමේ නොවන බව යි.
අවදානම පහව ගොස් නැත
අපරට සිටින්නේ ආර්ථික වශයෙන් බංකොලොත් වීමෙන් ගොඩයමින් සිටින නමුත් තවමත් අවදානම පහව නොගිය අවස්ථාවක ය. මෙය අත්හදා බැලීම් කිරීමට සුදුසු අවස්ථාවක් නොවේ. මේ මොහොතේ අවශ්‍ය වන්නේ පැහැදිලි ප්‍රතිඵල ලැබෙන ස්ථිර වැඩ සටහන් ය. ප්‍රතිඵල අවිනිශ්චිත පියවර ගැනීම හා ඒ මත විශ්වාසය තබා ආදායම් අහිමි කර ගැනීම මෙබඳු අවස්ථාවක භයානක ක්‍රියාවකි. පෙනෙන ආකාරයට මුල්‍ය අරමුදල අනතුරු අගවන්නේ ඒ පිළිබඳව ය.
උදාහරණයක් ලෙස වාහන ආනයනයට ඉඩ දී ඒ මත ඉහළ බදු පැනවීමෙන් ආදායම් වැඩි කර ගැනීමට ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එය සාර්ථක වීම සහතික කළ නොහැකි ය. එසේ වන්නේ වැඩි බදු යටතේ වාහන විකිණීම අඩු වුවහොත් අපේක්ෂිත ආදායම නොලැබෙන හෙයිනි.
වාහන මත ඇති සියයට 300 බදු අනුපාතය සියයට 600 දක්වා වැඩි කළේ යැයි උපකල්පනය කළහොත් එමගින් රජයේ ආදායම දෙගුණ වන්නේ යැයි විශ්වාස කිරීම පිළිගත නොහැකි ය. සියට 300 බදු තිබූ කාලයේ මසකට වාහන 5000 ක් අලෙවි වුයේ නම් ලැබෙන ආදායම බදු සියයට 600ක් කළ විට අලෙවි වන්නේ වාහන 2000 ක් නම් ලැබෙන්නේ නැත.
මේ ආකාරයේ ආදායම් යෝජනා ඉදිරිපත් කිරීමෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනයක විශ්වාසය සහ සහයෝගය දිනාගත නොහැකි ය. ආණ්ඩුව ඒ සඳහා විශ්වාසය තැබිය හැකි යෝජනා ඉදිරිපත් කළ යුතුව ඇත. ආණ්ඩුවෙන් මේ දක්වා ඉදිරිපත් වූ යෝජනා ගැන මුල්‍ය අරමුදලේ පිළිගැනීමක් හිමි වී නැත. රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් කියන විවිධ ප්‍රකාශ තුලින් කියවෙන්නේ ඒ කතාව යි.
තුන්වන වාරිකය කල්යාමේ විපාක
ආණ්ඩුවේ මෙම පදනම් විරහිත කේවල් කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ මෙම ඔක්තෝබර් – නොවැම්බර් වනවිට මෙරටට ලැබෙන්නට තිබූ මුල්‍ය අරමුදලේ තුන්වන වාරිකය දින නියමයක් නොමැතිව කල් යාම යි. එහි මුදල්මය වටිනාකම ඩොලර මිලියන 330කි. දැන් ප්‍රකාශ වී ඇති ආකාරයට ඒ ගැන තීරණයක් ගන්නේ 2025 වසර සඳහා ආණ්ඩුවේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව ය. එනම් ලබන මාර්තු මාසයෙන් පසුව ය.
මුල්‍ය අරමුදලේ ණය වාරිකය ප්‍රමාද වීම මගින් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම ගැන ආණ්ඩුවට වැටහීමක් ඇති බවක් පෙනෙන්නට නැත. ප්‍රමාද වන්නේ එම ණය වාරිකය පමණක් නොවේ. වෙනත් ආයතනවලින් සහ රටවලින් මෙරටට ලබාදීමට ගිවිසගෙන ඇති වෙනත් ණය සහ ආයෝජන ද මේ හේතුව නිසා ප්‍රමාද වනු ඇත. මුදල් නොදීමට මේ මොහොතේ ඔවුන් තීරණය නොකරනු ඇත. එසේ වුවත්, ඔවුන් කල් මැරීමේ සහ බලා සිටීමේ ස්ථාවරයකට මාරු වීමට ඉඩ තිබේ.
මෙලෙස රටේ ආර්ථිකය ස්ථාවර වීම කල්යන විට මෙරටට ආයෝජන ලැබීම ද ප්‍රමාද විය හැකි ය. එමගින් ආර්ථික වර්ධන වේගය දුර්වල වනු ඇත. ආණ්ඩුව කියන්නේ මුල්‍ය අරමුදලේ ණය වාරිකය ප්‍රමාද වන්නේ මැතිවරණ පැවති නිසා බව යි. එය සත්‍යයෙන් තොර ය. ඇත්ත වශයෙන් ම සිදුවුයේ කලින් පැවති එකඟතා වෙනස් කිරීමට ආණ්ඩුව කළ ඉල්ලීම යි. එලෙස ඉල්ලීම් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ම රටට ප්‍රකාශ කළේ ය. වාරිකය ප්‍රමාද වුයේ එම ඉල්ලීම සහ ඒ පිළිබඳ සාකච්ඡා එකඟතාවකින් තොරව දික් ගැසීම නිසා ය.
ආණ්ඩුව දැන් කියන්නේ මැතිවරණයෙන් පසු මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් නැවත මෙරටට එන බව සහ ණය වාරිකය පෙබරවාරි වන විට ලැබෙනු ඇති බව යි. ඒ කියන්නේ ආණ්ඩුවේ බලාපොරොත්තුව යි. එය යථාර්ථයක් කර ගැනීමට නම් මුල්‍ය අරමුදලට පිළිගත හැකි ආදායම් යෝජනා ඉදිරිපත් කළ යුතු වෙයි. එසේ වුවත්, දැනටමත් සිදු වී ඇති ප්‍රමාදය ආපසු හැරවිය නොහැකි ය.
අනෙක් අතින් ප්‍රශ්නයට ලක් වන්නේ ආණ්ඩුවේ ආදායම් යෝජනා පමණක් නොවේ. ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ආණ්ඩුවේ පසුබැසීම ද ප්රශ්නකාරී විය හැකි ය.
ප්‍රතිසංස්කරණවලින් පසුබැසීම
ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කාරණයේ දී මාලිමා පාලනය තවත් අවුලක් නිර්මාණය කරගනිමින් සිටින බව ද පෙනෙන්නට තිබේ. ඒ මෙරට සිදුකරන්නට එකඟ වී සිටි ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් පසුබැසීමේ උත්සාහය යි. ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයන බව මාලිමාවේ ආර්ථික කමිටු ප්‍රධානීන් ප්‍රකාශ කළ ද පෙනෙන්නට තිබෙන්නේ එම ක්‍රියාවලියෙන් පසුබැසීමේ උත්සාහයකි.
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානීන් වසර තුනකට පෙර කීවේ රජය වාණිජ ආයතන පවත්වාගෙන යාම අවශ්‍ය නැති බව යි. ටික කලෙකට පසු කීවේ උපායමාර්ගික වශයෙන් වැදගත් ආයතන තබාගන්න බව යි. එම ආයතන මොනවා දැයි ඒ අවස්ථාවේ නම්කළේ නැත. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තබාගන්න බව පසුව කී ය. නමුත් දැන් මලිමාවේ ප්‍රචාරයන් කෙරෙන්නේ සළුසල, මිල්කෝ ඇතුළු බොහෝ ආයතන පවත්වාගෙන යන්නට ය. මේවා බංකොලොත් කොට විකුණන්නට සැලසුම් කළ බවට හිටපු පාලකයින්ට දොස් නැගීම එහි එක් පියවරකි.
මෙහි බරපතළ හානිය සිදුවන්නේ එම ආයතනවල ලාබ හෝ පාඩු හෝ වශයෙන් නොවේ. මෙයින් ලෝකයට යන පණිවිඩය ආණ්ඩුවට මෙන් ම රටේ ආර්ථිකයට ද හානිකර ය. එම පණිවිඩය නම් මාලිමා ආණ්ඩුව පෞද්ගලික අංශයේ ව්‍යවසාය ගැන විශ්වාස නොකරන රාජ්‍ය අංශය තරකිරීමට උත්සහ දරන රජයක් බව යි. එනම් සෝවියට් දේශයේ පැවති ලෙස සමාජවාදය නමින් පැවති රාජ්‍ය ධනවාදය ගැන විශ්වාසය තබන රජයකි. එවිට විදෙස් ආයෝජකයින් මෙරට ආයෝජනය කිරීමට මැලිවීම බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. අප පෞද්ගලික ආයෝජකයින්ට විරුද්ධ නැතැයි මාලිමා ආණ්ඩුවේ ආර්ථික කමිටුවේ උදවිය කරන ප්‍රකාශ මගින් එම තත්ත්වය වෙනස් වන්නේ නැත.
වෙළෙඳපොළට එරෙහි මිත්‍යා විශ්වාස
තවත් පැත්තකින් ආණ්ඩුව ලොවට දෙන පණිවිඩය වී ඇත්තේ මෙම ආණ්ඩුව වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශ්වාසයක් නොතබන ආණ්ඩුවක් බව යි. ආණ්ඩුව බඩු මිල පාලනය කරන්නට යන්නේ ඔවුන් සිතන ආකාරයට “වෙළෙඳ මාෆියාව ” පාලනය කිරීමෙනි. ඒ සඳහා යොදා ගන්නේ ගෝටාභය ආණ්ඩුව යොදාගත් ආකාරයට ම මිල පාලනය සහ තර්ජන, ගර්ජන ක්‍රියා මාර්ගයන් ය.
මාලිමාවේ චින්තකයින් කතා කරන්නේ විද්‍යාත්මක චින්තනය පිළිබඳව ය. නමුත් අදහන්නේ ජනප්‍රිය මිත්‍යාවන් ය. විවිධ වෙළෙඳ මාෆියා පිළිබඳ කතා එවැනි මිත්‍යාවන් ය. විද්‍යාත්මක චින්තනය නම් මිල නියම කිරීමේ පුර්ණ අභිමතයක් වෙළෙඳුන්ට නැති බව යි.
විද්‍යාවක් අපට අවශ්‍ය වන්නේ මතුපිට පෙනෙන දේ සත්‍ය නොවන නිසා ය. මතුපිටින් අපට පෙනෙන්නේ ප්‍රධාන වෙළෙඳුන් මිල නියම කරන බව යි. නමුත් විද්‍යාත්මක ලෙස පෙන්වා දී ඇත්තේ ඔවුන්ට මිල නියම කරන්නට සිදුවන්නේ ඉල්ලුම සහ සැපයුම ඇතුළු වෙළෙඳපොළ සාධක මත බව යි.
ඒ පිළිබඳ දිගු විග්රහයකට යාමට මෙම ලිපිය ප්‍රමාණවත් නැත. නමුත් එක් දෙයක් සඳහන් කළ හැකි ය. වෙළෙඳපොළේ සිදුවන්නේ මිල ඉහළයාම පමණක් නොවන බව යි. සැප්තැම්බර් අවසානයේ බිත්තර මිල විශාල ලෙස පහත වැටිණි. එවිට ඊනියා බිත්තර මාෆියාවට සිදු වී තිබුණේ කුමක්දැයි මාෆියා ගැන කියන උදවිය අපට කියා දිය යුතු ය.
ආර්ථික අර්බුදය පැවති කාලයේ සහල් මිල කිලෝවක් රුපියල් 300ට ආසන්න තත්ත්වයට ඉහළ ගොස් තිබිණි. නමුත් පසුව එම මිල රුපියල් 180 පමණ දක්වා පහත වැටිණි. එහි තේරුම නම් ඊනියා සහල් මාෆියාවකට හිතු මතේ මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව යි.
එබැවින් ඊනියා මාෆියා පසුපස පන්නමින් පාලන මිල ක්‍රියාත්මක කිරීමට යත්න දැරීම බඩු මිල පාලනයේ විද්‍යාත්මක ක්‍රමයක් නොවේ. බඩු මිල පාලනය කළ හැක්කේ නිෂ්පාදනය සහ නිෂ්පාදන ඵලදායීතාවය වැඩි කිරීමෙනි. මිල පාලනයෙන් සිදුවන්නේ නිෂ්පාදනය අධෛර්යමත් කිරීමෙන් නිෂ්පාදනය බිඳ වැට්ටවීම යි. මිල පාලනය ක්‍රියාත්මක කළ ඊනියා “සමාජවාදී ” කියාගත් රටවල සහ ලෝකය පුරා අත්දැකීම වී ඇත්තේ එය යි.
ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව ගිය මගෙහි ම යමින් මාලිමා ආණ්ඩුව ද දැන් ක්‍රියාත්මක කරන්නේ එම විනාශකාරී ආර්ථික පිළිවෙත යි. මාලිමා ආණ්ඩුවට ද වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි ය.
ගෝටාභය රාජපක්ෂ ගිය මගෙහි ම
ගෝටාභය රාජපක්ෂ ජනාධිපති ක්‍රියාත්මක කොට විනාශකාරී ප්‍රතිඵල ලබාගත් තවත් පිළිවෙතක් මාලිමා ආණ්ඩුව යලි ක්‍රියාත්මක කරන්නට යන බව ද වාර්තා වී ය. එයනම් ආනයන සීමා කිරීම යි. කහ, මුං ආදිය ආනයනය සීමා කිරීමෙන් ඇති වූ අවුල නැවත විස්තර කළ යුතු නැත. එම ආණ්ඩුව බඩඉරිඟු ආනයනය සීමා කිරීම නිසා කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය බිඳ වැටී මිල ඉහළ ගිය නිසා සහතික යටතේ වසරකට ටොන් ලක්ෂ තුනක් ගෙන්වනට ඉඩ දී තිබු බවත්, මේ ආණ්ඩුව ලබන වසරේ එම ප්‍රමාණය ටොන් ලක්ෂ එකහමාර දක්වා අඩු කිරීමට යන බවත්, පසුගියදා වාර්තා වී ය. එම වාර්තා නිවැරදි නම් එහි ප්‍රතිවිපාක ද යහපත් නොවනු ඇත.
අත්හදා බැලීම සහ වැරදීම යනු විද්‍යාත්මක ක්රමවේදයකි. එම ක්රමයේ දී කළ යුතු වන්නේ අලුත් අදහස් අත්හදා බලා වැරදුනු විට අලුත් යමක් කොට නැවත අත්හදා බැලීම යි. ආර්ථික විද්‍යාඥයින් කියන්නේ ආර්ථිකය තුළ මෙම ක්‍රමවේදයට ඇත්තේ සීමිත ඉඩක් බව යි. එයට හේතුව නම් පරීක්ෂණාගාර තුළ අත්හදා බලන්නට හැකියාවක් නැතිවීම සහ ආර්ථිකය තුළ අත්හදා බලන්නට උත්සාහ දැරීමේ ප්‍රතිඵල විනාශකාරී විය හැකි වීම යි.
මහ බැංකුවේ හිටපු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා නව මුදල් න්‍යාය නම් මතයක් අත්හදා බලා රටට කළ විනාශය මෙයට හොඳ උදාහරණයකි.
කෙසේ වෙතත්, අලුත් දේ අත්හදා බැලීමට යම් තරමකට හෝ සමාව දියහැකි නමුත්, ලෝකය පුරා බොහෝ රටවල අත්හදා බලා අසාර්ථක වූ ප්‍රතිපත්ති යලි අත්හදා බැලීමට යාම නම් පැහැදිලිව ම විනාශකාරී ක්‍රියාවකි. එවැනි ක්‍රියා ගැන කිව හැක්කේ ඒවා මෝඩ ක්‍රියා බව යි. එයින් සිදුවන්නේ රටත් අනතුරේ දමා ඔවුන් ද විනාශ වීම යි.
ආණ්ඩුවට දර්ශනයක් නැත
ආණ්ඩුව දැන් ක්‍රියා කරන්නේ කිසිදු ආර්ථක විද්‍යා න්‍යායකට හෝ දර්ශනයකට අනුව යැයි ඉහත කරුණු කිසිවෙකින් තහවුරු වන්නේ නැත, ඔවුන් ක්‍රියා කරමින් සිටින්නේ මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළ ජනප්‍රිය මිත්‍යා මත ක්‍රියාවට නැගීමේ උත්සාහයක ය. එක් අතෙකින් රට ස්ථාවර කිරීම ගැන කතා කළ ද භාවිතය මගින් ප්‍රකාශ වන්නේ එයට පටහැනි තත්ත්වයකි.
ආර්ථිකයේ විශම චක්‍රයක්
මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ආණ්ඩුව දැනටමත් ආර්ථිකයේ විශම චක්‍රයක් තුළට ගමන් කරමින් තිබීම යි. එහි පළමු පියවර නම් මුල්‍ය අරමුදලේ ණය වාරිකය සහ ඒ සමග වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන්නට තිබූ මුදල් ලබාගැනීමට අපොහොසත් වීම යි. එය මාස කිහිපයකින් පමා වීම පවා ආර්ථික අවදානම වැඩි කිරීමටත්, ආර්ථික වර්ධනය අඩාල කිරීමටත් හේතු වෙයි.
මේ වන විට ලැබෙන්නට තිබූ මුදල් ලබා ගැනීමට අපොහොසත් වීම ආණ්ඩුව මුදල් ගලනය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටියි. එම මුදල් නොලැබුණු විට වියදම් සඳහා වෙනත් පැතිවලින් මුදල් ලබාගැනීම අවශ්‍ය වෙයි. දිගින් දිගට ණය ගැනීම අනුමත සීමාව තුළ සිදු වුවත්, එය අවශ්‍ය වන්නේ ඉහත කී ලැබීම් අහිමි කර ගැනීම නිසා ය.
ජනවාරි වල රජයේ සේවක වැටුප් වැඩිකළ නොහැකි බව ආණ්ඩුව කියන විට එය ද සත්‍ය විය හැකි ය. එම මුදල් වෙන් කිරීමට භාණ්ඩාගාරය කටයුතු කරන්නට ඇත්තේ මේ වන විට මුල්‍ය අරමුදලින් සහ වෙනත් මාර්ග වලින් ලැබීමට නියමිතව තිබූ මුදල් ද සැලකිල්ලට ගෙන විය හැකි ය. නමුත් දැන් එම මුදල් ලැබී නැත. එවිට අත ඇති මුදලින් අනෙක් වියදම් දැරීමට සිදුවන නිසා රජයේ සේවක වැටුප් වැඩි කිරීමට මුදල් නොමැති විය හැකි ය. එසේ නම් සිදු වී ඇත්තේ හිටපු ජනාධිපත් මුදල් වෙන් කර නොතිබීම නොව රජය අහිමි කරගත් ආදායම් පියවීමට එම මුදල් යොදා ගැනීම යි.
ආණ්ඩුව අහිමි කරගෙන ඇත්තේ රටේ ආර්ථිකය තුළට මේ මොහොතේ ලැබෙන්නට තිබූ මුදලකි. එය ලැබී විවිධ ව්‍යාපෘති සඳහා යෙදවීමට හැකි වුයේ නම් ආර්ථිකයේ යම් වර්ධනයක් ඇතිවීම සිදුවෙයි. දැන් සිදුවන්නේ එය තව ප්‍රමාද වීම යි.
රජයේ සේවක වැටුප්
රජයේ සේවක වැටුප් ජනවාරි මාසයේ වැඩි කළේ නම් එය ද ආර්ථික වර්ධනයට දායක වන ක්‍රියාවකි. රජයේ සේවකයින් තම පරිභෝජනය වැඩි කළ විට වෙළෙදාම සහ නිෂ්පාදනය ද වර්ධනය වෙයි. එවිට රජයේ ආදායම් ද වර්ධනය වෙයි. දැන් ඒ සියල්ල නැවතී එම චක්‍රය ක්‍රියාත්මක වන්නේ අනෙක් අතට ය. එනම් අඩු ආර්ථික වර්ධනයක් – අඩු ආදායමක් ආදී වශයෙනි. ආණ්ඩුව විශම චක්‍රයකට ගමන් කොට ඇතැයි පෙනී යන්නේ මෙහි දී ය.
මුල්‍ය අරමුදලේ ණය වාරිකය සහ වෙනත් ලැබීම් ප්‍රමාද වීමේ විනිමය වෙළෙඳපොළ ද බලපෑමට ලක්වෙයි. ඩොලරයේ අගය පහත වැටීම නැවතී එය යලිත් ඉහළ යාමට ඉඩ ඇත. රුපියලේ අගය පහළ වැටෙනු ඇත. ප්‍රතිඵලය වන්නේ බඩු මිල ඉහළ යාම යි.
මේ සියල්ලෙහි ප්‍රතිඵලය විය හැක්කේ මාලිමා ආණ්ඩුව ජනතාවට දෙන බවට පොරොන්දු වූ සහන දීම අතිශය දුෂ්කර ක්‍රියාවක් බවට පත්වීම යි. මෙය ඔවුන් විහින් දාගත් ලෙඩකි. වින්නැහියකි.
මාලිමාව මේ විනාශයට යන්නේ තනියම නොවේ, රටත් අපි සියලු දෙනාත් මේ විනාශයේ ගොදුරු බවට පත්වෙති. එබැවින් කිසිවකුට මේ ගැන සතුටු විය නොහැකි ය.
දැන් ම ආපසු හැරවීම සිදු නොකළහොත් විනාශය නියත ය.
මීට අදාල වීඩියෝව පහතින්….