ගිරාපෝත ජවිපෙ සහෝදරවරු හිතාගෙන ඉන්නේ අපිට ජවිපෙ එක්ක,අනුර කුමාර,ටිල්වින් එක්ක පරණ ඇරියස් තියනවා කියලයි.එහෙම පෞද්ගලික ප්‍රශ්නයක්,පෞද්ගලික වෛරයක් අපිට නං නෑ.හැබැයි අනුරලගේ,ටිල්වින්ලගේ, විජිතලගේ අපි ගැන පැසව,පැසව වෛරයක් තියන බව අපි දන්නවා.එයාලා අපට කරන්න හදපු දේවල් කරගන්න බැරීවීම ගැනත් ලොකු පසුතැවීමක එයාලා ඉන්නවා.හෙට දවසේත් ජවිපෙ ඒවා කරන්න උත්සාහය දරන බවත් අපි දන්නවා.
අපිට ජවිපෙ එක්ක විසඳගන්න තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් විතරයි.ඒ වෙන මොකවත් නෙවෙයි,බංකොලොත් වෙලා,ලෝකයෙන් හුදකලා වෙලා,නන්නත්තාර වෙලා තිබුණ මේ රට අවුරුදු දෙකක් තිස්සේ ආපු නිවැරදි මාර්ගයෙන් ගලවලා අරගෙන ආපහු විනාශයේ මාවතේ ගෙනියන එක ගැනයි.ජවිපෙ හිතන විදිහට අපිට රනිල්වත්,රනිල්ගේ එජාපයවත් අදාලම නෑ.අපිට අදාල වෙන්නේ අර්බුදයට රනිල් හදපු උත්තරය විතරයි.අද ජවිපෙ කර තියාගෙන යන්නෙත් ඒ උත්තරයම තමයි.ඒ ඒ උත්තරය හරි නිසයි.අපි පෙනී ඉන්නේ ඒ උත්තරය වෙනුවෙන්.
ඒ උත්තරය රනිල් දෙන්නේ රාජපක්ෂලා බලය අතෑරලා පැනලා ගිය වෙලාවක.සජිත් ඇතුළු සජබ සෙට් එක බලය ගන්න බයේ ඇඳන් යට හැංගිලා හිටිය වෙලාවක.අනුරලාත් බලය ගන්න බයේ එහෙට මෙහෙට කට්ටි පනිමින් හිටිය වෙලාවක.ඒ විතරක් නෙවෙයි වැටුන රට තවත් වට්ටන්න ජවිපෙ වෘත්තීය සමිති මාෆියාව මහ විනාශයක් කරමින් හිටිය වෙලාවක.එදා මේ රට වට්ටන්න පුළුවන් හැමදේම ජවිපෙන් කළා.
බොරුවෙන් සහ විරෝධාකල්ප වලින් ජනමනස පිරෙව්වා.ක්‍රම විරෝධය උඩට ගෙනාවා.System Change ගැන කිව්වා.අන්තිමට බලය ගත්ත එයාලගේ System එකත් පැත්තකට විසි කරලා තියන System එකට change වුනා.දැන් රාජ්‍ය පාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව හත් පොලේ ගාගෙන නානවා.එදා ජවිපෙ වපුරපු බොරුව අද ජවිපෙටම පාරවලල්ලක් වෙලා.අපි අහලා තියනවා එක බොරුවක් කිව්වම ඒක වහගන්න තවත් බොරු දාහක් කියන්න වෙනවා කියලා.අද ජවිපෙට වෙලා තියෙන්නේ ඒක.
බොරු කියන්නේ නෑ කිය කියා බොරු විදිනවා. මෙතන ඇත්තටම බරපතල තත්වය කියන්නේ ජනාධිපති අනුර කුමාරත් බොරු කියන එකයි. පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට ආපු අනුර ගල් පැලෙන බොරු ගොඩක් කිව්වා. ඇත්තටම එතන මාධ්‍යවේදීන් හිටියා නම් අනුරව නිසි ප්‍රශ්න කිරීමකට ලක්වෙනවා.හැබැයි එතන හිටියේ අනුර වෙනුවෙන් පෙනී ඉන්න නිවේදකයෝ ටිකක් විතරයි.
අනුර එතනදී කියන්නේ තෙල් මිල අඩූ කරන්න බැරි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනිත් තෙල් සමාගම් එක්ක අත්සන් කරලා තියන ගිවිසුම් හින්දලු.තෙල් සංස්ථාව පැත්තෙන් මිල අඩුකලොත් අනෙත් සමාගම්වලට වෙන පාඩුව ආණ්ඩුවෙන් ගෙවන්න ඕනිලු.අනුරගේ උදාහරණයෙන්ම කිව්වොත් 300 ට දෙන්න ඕනි තෙල් 290 කලොත් අනිත් සමාගම්වලට භාණ්ඩාගාරයෙන් හිඟ රුපියල් 10 දෙන්න වෙනවලු.ඒක පට්ටපල් බොරුවක්.
එහෙම එකක් වෙන්නේ කාට හරි තෙල් සහනයක් දෙන වෙලාවකදී ඒකට අදාලව විතරයි.තෙල් මිල තීරණය කිරීමේ මිල සූත්‍රයට ඒක බලපාන්නේ නෑ. තෙල් මිල තීරණය කරන්නේ ඛනිජ නීතිගත සංස්ථාව.අනිත් අය ඒකට එජස් වෙනවා.එයාලට අපිට තරම් පිරිවැයක් යන්නේ නෑ.සේවකයෝ අඩුයි.ලාභය වැඩියි.ඒ ගැන වසන්ත සමරසිංහ කිව්වේ එහෙම පාඩුවක් ඉල්ලලා සමාගමකින් ලියුමකුත් එවලා තියනවා කියලයි.ලියුම් එවන්න නං කාට බැරිද?ඔහොම ලියුම් අලුත් සභාපතිත් එක්ක කතා කරගෙනම උනත් එවන්න පුළුවන්.
එහෙම ගෙවනවා නං ඒ මුදල අරගෙන දෙන්නත් එක්ක දෙකට බෙදා ගන්න උනත් පුළුවන්.ඇයි ඉතින් දැන් නිළධාරීන්ට නාස් ලණුව දාගෙන දක්කන්න පුළුවන් පාලකයෝ ටිකක් හැදිලා ඉන්නවා.ජනාධිපති අනුරට ඉංග්‍රීසි බැරි නම් මේ ගිවිසුම්වල තියෙන්නේ මොනවද කියලා දන්න කෙනෙක්ගෙන් අහගත්තට කමක් නෑ.ඒක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි.හැබැයි ඒකේ තියන අදහස නැතිව රට ඉස්සරහා බොරු කියනකොට පුද්ගලිකව අනුර නෙවෙයි රටේ ජනාධිපතිධූරයත් හෑල්ලු වෙනවා.
ඒක නිසා අනුර ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනි ඉංග්‍රීසියෙන් තියනදේ මොකද්ද කියලා ඇත්තම කියන කෙනෙක්.අනුරට මෙච්චර කාලයක් යනකං ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි උන එකට සමාව දුන්නත් අනුරට ලියුමක ඉංග්‍රීසියෙන් තියනදේ හරියට කියවා ගන්න මනුස්සයෙක් හොයා ගන්න බැරිවුන එකට නං සමාවක් දෙන්න බෑ.එහෙම එකක්වත් බැරි හින්දා තමයි තවදුරටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් විදිහට මහින්ද සිරිවර්ධනව තියාගෙන යන්න වෙලා තියෙන්නේ.
මිනිහා රනිල්ගේ මිනිහෙක් හිරේ දානවා කියලනේ ජවිපෙ කිය කියා හිටියේ.දැන් රනිල්ට බැන බැන රනිල්ගේ මිනිහම ළඟ තියාගෙන ඉන්නවා. බැරිකමට තියාගෙන ඉන්නවා.අනුරලා රාජ්‍ය පරිපාලන සේවය සම්බන්ධ ඉන්නේ මහා වැරදි තැනක.එයාලා හිතාගෙන ඉන්නේ දේශපාලනඥයෝ වගේම රාජ්‍ය පරිපාලන සේවයේ ඉන්න ඔක්කොමත් හොරු කියලා.එයාලා හදන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ අය නැතිව planning service එකේ සහ Accountant service එකේ ඉන්න තමන්ගේ හිතවතුන්ගෙන් රාජ්‍ය පාලනය කරන්න.
එතකොට ඉතින් වෙන්නේ දැන් ඉන්න ජනාධිපති ලේකම් වගේම රාජ්‍ය සේවයේ දිග පළල ගැන කිසිම අවබෝධයක් නැති yes sir,ok sir කියන සෙට් එකක් ඔය හැම ක්ෂේත්රයකම ආයෙත් හැදෙන එක විතරයි.පහුගිය දවසක පරිපාලන සේවා සංගමයේ අය ජනාධිපති හම්බ වෙලා තිබුණා.ඒ හැම තැනකම අනුර ඉන්නේ පරණ ආකල්පයේම බව පෙනිලා තියනවා.දැන් අනුර වටේ ඉන්න සෙට් එක රාජ්‍ය පරිපාලනයේ නෙවෙයි මොකේ උනත් කමක් නෑ උඹලා අපි කියනදේ කරන්න ඕනි කියන මානසිකත්වයක ඉන්න කණ්ඩායමක්.
ඇත්තටම බලනකොට ගෝඨාභය වටේ හිටිය වියත්මඟ සෙට් එකවත් ඔය වගේ හැසිරුනේ නෑ. ඉස්සෙල්ලාම මෙයාලා තේරුම් ගන්න ඕනි රාජ්‍යයක පැවැත්ම තියෙන්නේ පාර්ලිමේන්තු අණ පනත්,චක්‍රලේඛණ,රෙගුලාසි වගේ නීත්‍යානුකූල ව්‍යුහයන් ඇතුලේ කියලා.ඒවා නොසලා හැරපු අවස්ථා ඉතිහාසෙත් ඕනි තරම් ඇති.හැබැයි අනුරලා කරන්න ඕනි මේ නීත්‍යානුකූල පද්ධතිය විදිමත් කරන එකයි.අනුරලත් දැන් කරමින් ඉන්නේ අර සමස්ථ පද්ධතියම පැත්තකට දාලා තමන්ට කැමති විදිහට වැඩ කරගෙන යන එකයි.
එතකොට රාජ්‍ය සේවය ඇතුලේ තියෙන අර්බුදවලට අමතරව නැති අර්බුදත් මතු වෙනවා. එළියේ අල්ලපු දේශපාලන අඩව් පෙන්න පෙන්න තමයි මෙයාලා රට පාලනය කරන්න හදන්නේ. නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ තත්වය තව තවත් දරුණුවෙයි.ඒක වෙන්නේ මේ මැතිවරණයේදී ජනතාව ජවිපෙට දෙන බලයට සාපේක්ෂව.අද මධ්‍ය රාත්‍රියෙන් පස්සේ මැතිවරණ ප්රචාරක කටයුතු කරන්න බෑ.ඒක නිසා මැතිවරණයට ඉස්සෙල්ලා මේ කතාව කියන්න එන අවසන් අවස්ථාව මේක.ජවිපෙ අව සිහියෙන් යන්න හදන මේ අත්තනෝමතික ගමන නතර කරන්න ඕනි.
ඒක නොවැම්බර් 14 වෙනිදට ජනතාවට කරන්න පුළුවන්.අනුර ඇතුලු ජවිපෙ උද්දච්ච නායකයන්ගේ මොළයට සිහිය සැපත් වෙන්න ජනතාව හොඳ ටෝක්කක් අනින්න ඕනි.ඒක ජනතාවගේ කතිරයෙන් අනින්න ඕනි ටොක්කක්. 14 වෙනිදා තමයි ඒ ටොක්ක අනින්න සුදුසුකම දවස.රටේ රාළ කියන්නේ ජවිපෙට ආණ්ඩු බලය දෙන්න ඒත් අත්තනෝමතික බලයක් දෙන්න එපා. ආණ්ඩුවක් කරන්න පුළුවන් සාධාරණ බලයක් ජවිපෙට දෙන්න ඒ වගේම ආණ්ඩුවේ අත්තනෝමතික බව පාලනය කරන්න පුළුවන් බලයක් විපක්ෂයටත් දෙන්න.හරිනං ජවිපෙ සුළුතර ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩුකරණය සම්බන්ධව practice කරලා ඉගෙන ගන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට