අනුන්ට දොස් පැවරීම – මහාචාර්ය රොහාන් සමරජීව
සෑම විට ම පාහේ මට සැලකිය යුතු ප්‍රති ප්‍රහාර ලැබිණි. පොදු ප්‍රතිචාරයක් වුයේ “අප ඉන්ධන සහ විදුලිය නිකම් ගත්තේ නැත; මූල්‍ය හිඟය සම්බන්ධයෙන් අපට දොසක් පවරන්න බැහැ” යන්න යි. පුරවැසියන් නිදොස් ය; නායකයන් දොස් ලැබිය යුතු ය.
මෙම මහජන ක්‍රියාකාරීත්වයන් සහ මගේ ලිවීම් සමහර පුද්ගලයින් මා සමග පෞද්ගලිකව සම්බන්ධ වීමට හේතු වී ය. එම කතාබහවල පොදු තේමාව වුයේ විවිධ ආකාරයෙන් ප්‍රකාශ වන අර්බුදයට හේතුව විදේශීය ඇඟිලි ගැසීම් බව යි. අපගේ උපායමාර්ගික පිහිටීම නිසා විවිධ විදේශීය බලවේග මේ සියලු නරක දේවල් සිදු කරයි (සමීපතම සිදුවීම ඇමෙරිකාව, රුසියාව ආදී රටවලින් ප්‍රකාශ කරන ලද සංචාරක උපදේශනයි). මෙම ආඛ්‍යානය අනුව නායකයන් පවා යම් තරමකට නිර්දෝෂී ය. සියලු අගතීන්ට වග කිව යුත්තේ බලගතු බාහිර පාර්ශවයන්ය. අපි ගංවතුරට අසු වූ අහිංසක අසරණ තලගොයි වෙමු.
දොස් පැවරිය යුත්තේ කාටද?
“මම නොවේ.” කුඩා ළමයින් ආශ්‍රය කරන හෝ තමන්ගේ ළමා කාලය අමතක නැති ඕනෑ ම කෙනෙකුට එම වාක්‍ය ඛණ්ඩය හුරුපුරුදු වනු ඇත. වැඩිහිටියෙකු යම් වරදක් ගැන ප්‍රශ්න කරන විට, පොදු ප්‍රතිචාරය වන්නේ “මම නොවේ” යන්න යි. බළලා කෝප්පයේ හැපුණු බැවින් “මම නොවේ” යන්න යුක්ති සහගත විය හැකි ය. වෙනත් අවස්ථාවල දී, එම ප්‍රකාශය අසත්‍යයක් වන අතර වගකීම සහ එහි ප්‍රතිවිපාක මග හැරීමට උත්සාහ කිරීමක් වෙයි. අවස්ථා දෙකේ දී ම, දරුවා සිතන්නේ වෙනකකු (වැඩිහිටියෙකු) අවුල නිරවුල් කර දෙනු ඇති බවයි.
දැන් වැඩිහිටියෙකු “මම නොවේ” යයි පවසන අවස්ථාච ගැන හිතා බලමු. ගැටලුවට හේතුව කුමක් වුවත්, “මම නොවේ” කියා වෙන කාට හරි වරද පැටවීම සාධාරණ හෝ පලදායී ප්‍රතිචාරයක් ද? වැඩිහිටි ලෝකයේ, අප විසින් ම අපගේ ප්‍රශ්න විසඳාගත යුතු වෙයි.
ඉතින්, අපි දිගට ම “මම නෙවෙයි” කියමින් සිටින්නේ ඇයි? ගැටලුවට හේතුව ඇත්ත වශයෙන් ම වෙනත් කෙනෙකු නම්, එම පුද්ගලයාට ලවා අවුල නිරවුල් කිරීමට බල කිරීම අපට කළ හැකි ද? අල් කයිඩාව නිව් යෝර්ක් සහ වොෂින්ටනයේ ස්ථාන වලට පහර දුන් විට, ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාවය විවාදාත්මක වුව ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදයට හැකියාව තිබුණි. යම්කිසි ප්‍රශ්නයක් යම් බාහිර ක්‍රියා කාරිකයකු නිසා ඇති වූවක් බව අපි තහවුරු කළත්, ඒ ක්‍රියා කාරිකයා ලවා එය ඉවත් කරවා ගැනීමට හෝ අපට වන්දි ලබා ගැනීමට අපට හැකියාවක් තිබේ ද? ජාත්‍යන්තර නීතිය මගින් එයට අවස්ථා විවර කල විට පවා මුල පිරුම කළ යුතු වන්නේ අප විසින් ය.
බොහෝ අවස්ථාවන්හි දී, අපි හේතුව හෝ අවම වශයෙන් හේතුවේ කොටසක් වෙමු. අපේ ණය අර්බුදය ඇති වූයේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා සහ සුළු ප්‍රතිලාභයක් සහිත දැවැන්ත ව්‍යාපෘති සඳහා යොදන ලද නොසැලකිලිමත් විදේශ ණය හේතුවෙනි. එකල ආණ්ඩුවේ සිටි තීරණ ගන්නා අයට ණය ගැනීමට කවුරුවත් බල කළේ නැත. බොහෝ අවස්ථාවල දී අපේ පාලකයෝ සක්‍රීයව ණය ඉල්ලා සිටියහ. එබැවින්, දොස් පැවරිය යුත්තේ කාට ද? ණය දුන් අයට ද? නැතහොත් අපව පාලනය කිරීමට අප විසින් තෝරා පත් කර ගත් පුද්ගලයින්ට ද?
ලෝක බැංකුව වැනි සහනදායී කොන්දේසි මත ණය දෙන්නෝ ණය සඳහා විවිධ ආකාරයේ කොන්දේසි පණවති. පාරිසරික අවසරයන් අනිවාර්ය වෙයි. ඔවුන්ගේ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිවලට අනුකූල වීම අවශ්‍ය වෙයි. තවත් දේ ඇත. 2007 වසරේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ණය දෙන්නන් සමඟ පැවති සංවර්ධන සංවාදය අවසානයේ එවකට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේ විකල්ප මූලාශ්‍ර ඇති බැවින් තවදුරටත් කොන්දේසිවලට යටත් වීමේ අවශ්‍යතාවක් නොමැති බව යි. මහා පරිමාණයෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ආකාරයෙන් වාණිජ වෙළෙඳපොළෙන් සහ චීනයෙන් අධි පොලියට ණය ගැනීමේ ආරම්භය වූ 2007 වර්ෂය හැරවුම් ලක්ෂ්‍යය විය.
කොන්දේසි සහිත අඩු පොලී ණය සහ කොන්දේසි රහිත ඉහළ පොලී සහ කෙටි ආපසු ගෙවීමේ කාලසීමාවන් සහිත ණය අතර තෝරාගැනීමක් තිබිණි. අපේ නායකයෝ දෙවැන්න තෝරා ගත්හ. දොස් පැවරිය යුත්තේ කාටද?
අප වැඩිහිටියන් නම්, අපගේ වුවමනාවන් නියෝජනය කිරීම සඳහා අප විසින් තෝරා පත් කර ගත් අයගේ වැරදි ක්‍රියා සඳහා අපි වගකීම භාර ගනිමු. වැරදි තේරීම් කළ අපගේ නියෝජිතයින්ට අපි අර්ධ ලෙස දොස් පවරන්නෙමු, නමුත් අපි ද නිර්දෝෂී නොමැති බව පිළිගනිමු.
නමුත් අපගෙන් සමහරු දරුවන් මෙන් හැසිරීමට සහ නොගෙවිය යුතු පිළිකුල් සහගත ණය ගැන කතා කිරීමට කැමැත්තක් දක්වති. අනෙක් අය නිදහසින් පසු අප පත්කරගත් පාලකයන්ට දොස් පවරන අතර නව පාලකයන්ට ඡන්දය දීම විසඳුම ලෙස දකිති. නමුත් වැරදි තීරණ ගත් පාලකයන් පත්කිරීමේ දී අපගේ වගකීම අප බාරගන්නේ නැත්නම් නැවත නැවත අර්බුද වලට මුහුණ දීමට සිදු වනු ඇත. 2022 දී අප බේරා ගැනීමට කිසිවෙකු සිටියේ නැත. අප ඊළඟ වතාවේ බංකොලොත් වූ විටද කිසිවෙකු නොසිටිනු ඇත.
නවීන ආර්ථිකයන්ට ණය නොමැතිව ක්‍රියාත්මක විය නොහැකි ය. නමුත් අප වැනි රටවල ආණ්ඩු ණය පරිස්සමින් කළමනාකරණය කළ යුතු ය. රජයේ වියදම් (පොලී සහ මූලික ණය මුදලේ ආපසු ගෙවීම හැර) එම වසරේ ආදායමට වඩා අඩුවෙන් තබා ගැනීමෙන් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලෙස හඳුන්වනු ලබන තත්ත්වය ලබාගත හැකි වෙයි. ණය ගත යුත්තේ ප්‍රධාන ප්‍රාග්ධන ව්‍යාපෘති හෝ අර්බුදවලට මුහුණ දීමට පමණකි. ප්‍රාථමික අතිරික්තය ණය ගෙවීමට සහ හැකි සෑම විට ම මුලික මුදල ගෙවීමට යොදා ගනු ලබයි.
1954, 1955, 1992, 2017, 2018, 2023 සහ 2024 වසරවල දී හැර ශ්‍රී ලංකාව වෙනත් කිසිදු වසරක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගත්තේ නැත. එහි තේරුම නම් බොහෝ වසරවල දී පුනරාවර්තන වියදම් සඳහා රජයට විවිධ ආකාරයෙන් ණය ගැනීමට සිදු වූ බව යි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට රජයක් සමත් වූ සෑම අවස්ථාවක ම ඡන්දදායකයෝ එම ආණ්ඩුව පළවා හැරියහ. 1956, 1994, 2019, සහ 2024 වර්ෂවල මැතිවරණ ප්‍රතිපල ගැන කල්පනා කර බලන්න.
එයින් ගම්‍ය වන්නේ ඡන්ද දායකයන්ගේ යම් වරදක් නොවේද? අපව ණය කළ ආණ්ඩු නැවත බලයට පත් වන අතර ණය ගැනීම අඩු කොට ණය ගෙවන්න පටන් ගත් ආණ්ඩු ප්‍රතික්ෂේප වෙයි. දේශපාලකයන්ට පණිවිඩය ලැබී ඇත. රට බංකොලොත් භාවයට ඇද වැටෙමින් තිබිය දී පවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුළු වීමට ගෝඨාභය ආණ්ඩුව විරුද්ධ වූයේ එබැවිනි. එසේ කළහොත් බදු ඉහල දැමීමට, ඉන්ධන සහ විදුලි සහනාධාර නතර කිරීමට සහ වියදම් සීමා කිරීමට අවශ්‍ය වනු ඇති බව කවුරුත් දැන සිටියහ. එමෙන් ම ඒ දේවල් කළ දේශපාලකයන්ට ඡන්දදායකයන්ගෙන් දඩුවම් ලැබෙනු ඇති බව ද දැන සිටියහ. රනිල් වික්‍රමසිංහ, ෂෙහාන් සේමසිංහ වැනි දුෂ්කර ක්‍රියා කළ දේශපාලකයින් තවදුරටත් කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ නොසිටිනු ඇත්තේ මෙනිසයි.
දොස් පැවරීමේ ක්‍රීඩාවේ ආකර්ෂණීය ස්ථාන
අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ පරමාධිපත්‍යය ජනතාව සතු වන අතර එය අත්හළ නොහැකි බව යි (3 වැනි වගන්තිය). මෙමගින් ජනතාව බල ධුරාවලියේ මුදුනෙහි තබනු ලබයි. එම පරමාධිපත්‍යය විවිධ නියෝජිතයන් හරහා ක්‍රියාත්මක කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශ කොට ඇත. (4 වැනි වගන්තිය).
ප්‍රධාන – නියෝජිත න්‍යායේ රාමුව තුළ, ජනතාව/ඡන්දදායකයින් යනු ජනාධිපතිවරයා, ව්‍යවස්ථාදායකයන් සහ අධිකරණය වැනි නියෝජිතයින්ට විවිධ කාර්යයන් පවරන ප්‍රධානියෝ වෙති. පත් කරන ලද නියෝජිතයින් ලවා තම අභිලාෂයන් ඉටු කිරීම සහතික කිරීමට ප්‍රධානියා කැමති වනු ඇතැයි උපකල්පනය කෙරෙයි. නියෝජිතයාගේ අභිලාෂයන් ප්‍රධානියාගේ අභිලාෂයන්ට වෙනස් බැවින් සහ නියෝජිතයාට සෑම විට ම ප්‍රධානියාට වඩා වැඩි තොරතුරු ඇති නිසා මෙය අපහසු වනු ඇතැයි න්‍යාය මගින් ප්‍රකාශ කරයි.
අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය නම්, ප්‍රධානියා නිසි සැලකිල්ලෙන් යුතුව නියෝජිතයින් තෝරා ගැනීම සහ ඔවුන්ගේ ක්‍රියා දැඩි ලෙස අධීක්ෂණය කිරීම අවශ්‍ය වෙයි. ඡන්දදායකයන් තම තෝරා පත්කරගැනීම් පටිපාටියේ දී නිසි සැලකිල්ලකින් ක්‍රියා කරන බව කිව හැකි ද? එසේත් නැතිනම්, ඔවුන්ගේ කාර්යයන් ඉටු කළ හැකිදැයි සොයා බැලීමකින් තොරව, චිත්තවේගී ලෙස පැටවූ ආයාචනා මත පක්ෂ/පුද්ගලයින්ට ඡන්දය දීම ඔවුන් නොකරන්නේ ද? මැතිවරණ අතර කාලයේ ප්‍රමාණවත් අධීක්ෂණයක් ඔවුන් පවත්වාගෙන යන්නේ ද?
ඉහත ක්‍රියා සඳහා කාලය සහ වෙහෙස අවශ්‍ය වෙයි. අපේ ඡන්ද දායකයන් පොල් ඉඩම්වල ප්‍රවාසී හිමිකරුවන් හා සමාන ය. උරුම වූ ඉඩම සහ එයින් ලැබෙන සුළු ආදායමෙන් ඔවුහු සතුටක් ලබති. එනමුත් ඔවුන් පෙළපොත් වල සඳහන් ආකාරයේ අයිතිකරුවන්/ප්‍රධානීන් මෙන් හැසිරෙන්නේ නැත. ඔවුහු අස්වැන්න ප්‍රවර්ධනය කිරීමට කිසිදු ආයෝජනයක් නොකරති. අඩු අස්වැන්න ගැන ඔවුන් එතරම් තැකීමක් කරන්නේ නැත. හරිහැටි වැටුපක් නොලබන මුරකරු පොල් සොරකම් කරන විට ඔවුහු ඇස් පියාගෙන සිටිති. අඩු පලදාව සහ ඌන ආදායම නිසා ආරක්ෂාව සහ අධීක්ෂණය සඳහා අවශ්‍ය ආයෝජන නොකරති. ඉඳහිට මුරකරු ඉවත් කර අලුත් කෙනෙකු සේවයට ගත්තත් ඔහුගෙන් හොඳ සේවයක් ලබාගැනීමට පද්ධතිය වෙනස් කරන්නේ නැත. ඔවුන් කරන්නේ හිතමිතුරන් සමග කන බොන ගමන් කාට කාටත් දොස් පැවරීමයි. එහෙම නැතිනම් රිලවුන්ට හෝ දොස් පැවරීමයි.
ඡන්දදායකයින් තමන් හැර අන් කාට හෝ දොස් පැවරීමේ ක්‍රීඩාවට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබේ. මෙ සඳහා වැඩි කාලයක් හෝ බුද්ධිමය දායකත්වයක් යෙදිය යුත්තේ නැත. බොහෝ දුරට, පිරිවැය – ප්‍රතිලාභ ගණනය කිරීම ද හිතකර ලෙස පවතියි. ව්‍යතිරේක වන්නේ, 2022 දී මෙන් කෙනෙකුගේ ක්‍රය ශක්තිය උද්ධමනය විසින් ක්ෂය කර දමන සහ අත්‍යවශ්‍ය දේ සඳහා පෝලිම්වල කල් ගත කරන්නට වන අවස්ථාවන්ය.
අපගෙන් බොහෝ දෙනෙක් තවමත් දොස් පැවරීමේ ක්‍රීඩාවේ නිරත වන අතර වගකීම භාර ගැනීමට කැමති නැත. පසුගිය ජනාධිපතිවරණයද සාමාන්‍යයෙන් සිදුවන පරිදි නොපවතින සම්පත් වෙන්දේසියක් වූ අතර ඉදිරිපත් කල ලන්සු වලට තවමත් ඡන්දදායකයින් ආකර්ෂණය වූ බවක් පෙනෙන්නට තිබුණි. 2021-25 අර්බුදය මගින් අප සාක්ෂරතාවය ප්‍රමාණවත් ලෙස වර්ධනය වුනේ නැත. අපට වැඩිහිටියන් මෙන් හැසිරීම ආරම්භ කිරීම සඳහා තවත් වටයකින් වේදනා විඳීම අවශ්‍ය වනු ඇත.
(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
(මෙම ලිපිය ‘අනිද්දා’ ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් – සංස්කාරක )