වර්ජන කවුරුන් පිනවන්නද ? – භාතිය බරුකන්ද

එදා පාලක පවුලේ සුරතලුන් වී සිටි වෘත්තීය සමිති නායකයන් අද ‘රා බී වෙරි වූ මීයන් සේ’ ආණ්ඩුවට තර්ජනය කරමින් සිටින්නේ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් රට තුළ නිර්මාණය කළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නිසාය. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ජනතාවක් විසින් මහත් කැපකිරීමක් මගින් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ අද කුලප්පු වූ මීමුන් සේ හැසිරෙමින් සිටින්නේ එදා ධවල භීෂණය විසින් කර අඹා සිටියවුන් පිරිසකි. අද රට පුරා හතු පිපෙනා සේ සිදුවන වැඩවර්ජන මගින් පැහැදිලි වන්නේ යහපාලන ආණ්ඩුව විසින් බිහිකළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අපයෝජනය කරමින් හිටපු පාලකයන් යළි බලයට ගෙන ඒම සඳහා අවකාශයක් නිර්මාණය කර ගැනීමට සුළුතර කල්ලියක් අඛණ්ඩව වෙහෙසෙමින් සිටින බවයි.

වර්තමානය වන විට ‘වැඩවර්ජනය’ යන්න පොදුවේ සමාජය විසින් ග්‍රහණය කර ගන්නේ ‘උන්ගේ ගොඩ වැඩිකර ගැනීමට සාමාන්‍ය ජනතාව ඇපයට ගැනීමක්’ වශයෙනි. ඇතැමුන්ට අනුව වත්මන් වැඩවර්ජන සමාන කළ හැක්කේ ත්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය ජනතාව ප්‍රණ ඇපයට තබා ගැනීම වැනි තත්ත්වයක් වශයෙනි.

‘සහෝදරයා ඉස්ට්‍රයික් එකක් කියන්නේ ඕමී ගහනවා වගේ බොහෝම කල්පනාවෙන් කරන්න ඕනෑ දෙයක්. අපි ගහන ආසියා අනෙක් පැත්තෙන් ගහන හතේ කොළේකින් කැපිලා යන්න පුළුවන්. එහෙම නැතිනම් මස්ත බාල්දු වෙන්න පුළුවන් ’ මේ පැරණි වෘත්තීය සමිති නායකයෙක් මේ ලියුම්කරු සමඟ ‘වැඩවර්ජන’ ගැන තම අත්දැකීම ප්‍රකාශ කළ ආකාරයයි.

මේ කරුණ ගැනම ලියුම්කරු මෙරට ප්‍රසිද්ධ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති නායකයකුගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ‘කෙළින්ම මල්ටි බැරල් එකක් ගහන එක හොඳයිනේ සහෝදරයා. කාටද පුළුවන් කල් අල්ලලා ඉන්න. අපේ කට්ටියට ඕනෑ ක්ෂණික විසඳුමක් ’ යනුවෙනි.

වෘත්තීය සමිති නායකයන් යැයි කියා ගන්නා පුද්ගලයන් දෙදෙනකු හරහා ඉහත නියෝජනය වුණේ යුගය වෙනසම පමණක් යැයි අපට පහසුවෙන් තර්ක කළ හැකිය. එහෙත් මේ කාරණා ගැන වඩාත් ගැඹුරින් කතා කළ බොහෝ දෙනකු පවසා සිටි කාරණය වූයේ වත්මන් දේශපාලන හා සමාජයීය පරිහානිය මේ ප්‍රකාශ දෙක හරහා හඳුනාගත හැකි බවයි.

වැඩ වරන්නේ ඇයි ?

වැඩ නොකර සිටීම හෙවත් වැඩ වර්ජනයේ ඉතිහාසය ධනවාදයේ ඉතිහාසය තරම් දිගු බවට ඇතැමුන් අදහස් දක්වන අතර තවත් සමහරෙකුගේ අදහස වන්නේ මිනිසා අනෙකාට ශ්‍රමය අලෙවි කිරීමට හෝ අනෙකකුට තම ශ්‍රමයේ හිමිකාරිත්වය ලබා දුන් මොහොතේ සිට වැඩවර්ජන කිරීම ආරම්භ වූ බවයි. මේ සම්බන්ධයෙන් ඔවුන් දක්වන කදිම උදාහරණයක් වන්නේ ‘පන්සිය පනස් ජාතක පොතේ ’ සඳහන් වන ‘නන්දි විසාල’ ජාතකයයි. එහිදී ගැල් සියයක් ඇදීමට පොරොන්දු වූ නන්දි නම් ගවයා තම ස්වාමියා පරුෂ වචනයෙන් බැන්න විට ගැල් ඇඳීම ප්‍රතික්ෂේප කළ බව’ ඔවුන් උදාහරණ වශයෙන් දක්වයි.

මේ අනුව කාරණය පැහැදිලිය. වැඩවැරුමට කප්පරක් කාරණා අවශ්‍ය නැත. එක වචනයක් වුව ද වැඩ නොකර සිටීමට සෑහෙන්නේය. වත්මන් ශ්‍රී ලංකාවේ බොහොමයක් වැඩවර්ජන දෙස බලන විට පැහැදිලි වන්නේ නන්දි විසාල නම් ගවයාට ද උපදෙස් දිය හැකි තරම් තත්ත්වයට අපේ බොහෝ වෘත්තීය සමිති නායකයින් පත්ව සිටින බවය. කෙසේ වෙතත් වැඩවර්ජන මගින් වැඩ වර්ජිතයා බලාපොරොත්තු වන්නේ තමන් අපහසුතාවට පත් කළ බවට විශ්වාස කරන කාරණයට, ගැටලුවට සාධාරණයක් ඉටුකර ගැනීම බව නම් පැහැදිලිය.

වැඩ වරන්නේ කෙසේද ?

නන්දි විසාල වැඩවර්ජනය කළ ආකාරයට වැඩ වර්ජනය කිරීමට බොහෝ දෙනකුට හැකියාවක් නැත. ඒ ඔවුන් නන්දි විසාල තරම් බලවත් නොවන නිසා පමණක් නොව ශිෂ්ට ලෝකයේ බොහෝ දේවල්වලට යම්කිසි ආකාරයකට විධිමත් ක්‍රමවේද නිර්මාණය කර ඇති නිසාය. වැඩවර්ජන කිරීම සම්බන්ධයෙන් ද ශිෂ්ට ලෝකය තුළ පොදුවේ පිළිගත් ක්‍රමවේද දැකිය හැකිවේ.

තනි පුද්ගලයෙකුට සේම සමූහයකට ද තමනට සිදුවන අසාධාරණයට සහන පතා හෝ විසඳුම් පතා වැඩ වර්ජනය කළ හැකිය. එහෙත් අප සමාජය තුළ බොහෝ විට දකින්නේ නන්දි විසාල පන්නයේ තනි පුද්ගල වැඩවර්ජන නොව සංවිධානය වූ පුද්ගල කණ්ඩායම් විසින් සිදු කරන වැඩ වර්ජන ය. මෙහිදී ද ප්‍රධාන වන්නේ කිසියම් වෘත්තියක් , සේවයක් තුළ සංවිධානය වූ පුද්ගල එකතුවක් විසින් ( වෘත්තීය සමිති වැනි ) සිදුකරන වැඩ වර්ජනය. වැඩවර්ජනයක් සමාජයට වැදගත් වන්නේ මේ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන අවස්ථාවකදීය.

වැඩවර්ජනයකදී ප්‍රථමයෙන්ම කළ යුත්තේ සිදු වූ අසාධාරණය ගැන වගකිව යුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමු කිරීමය. එය සිදු වූ හේතු කාරණාවල සහේතුකභාවය හෝ අහේතුකභාවය මෙමගින් විමසා බැලීමට දෙපාර්ශ්වයටම මේ අනුව අවකාශ ලැබෙන්නේය.

මේ දැනුවත් කිරීමෙන් ද ප්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් එහි දෙවැනි පියවරට යා යුතුය. එය පාලකයන් නම් ඔවුන් සමඟ කරන සාකච්ඡාවක් වන්නේය. එහිදී ද අගතියට පත් පාර්ශ්වයට යුක්තිය ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන්නේය.

එම සාකච්ඡාමය ප්‍රවේශයෙන් සාධාරණ විසඳුමක් නොලැබේ නම් කම්කරුවාට වේවා, වෙනත් කණ්ඩායමකට වේවා ඉතිරිව ඇති විකල්පය වන්නේ තම ශක්තිය හා බලය උපයෝගී කොට ගෙන ගැටලුවට විසඳුම් ලබා ගැනීම සඳහා යොමු වීමය.

එහිදී පිළිගත් පොදු භාවිතය වන්නේ අසාධාරණයට ලක් වූ කණ්ඩායම විසින් පොදු එකඟතාවක් මගින් අවසන් ප්‍රවේශය තීරණය කිරීමය. ඊට පසු විසඳුමක් ලබාදීම සඳහා යළි පාලකයන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදීමය. මේ ක්‍රියාවලියේ සරල අදහස වන්නේ නන්දි විසාල පන්නයේ ‘ක්ෂණික වැඩවර්ජන’ කිසිසේත් වෘත්තීය සදාචාරය සමඟ එකඟ නොවන බවය.

ලංකාවේ එදා තත්ත්වය

වැඩවර්ජන සම්බන්ධයෙන් ලංකාවේ දැකිය හැක්කේ දිගු ඉතිහාසයකි. වාර්තාගත වන ප්‍රබල වැඩවර්ජනය මෙහෙයවනු ලැබුවේ කොළඹ කරත්තකරුවන් විසිනි. එදා කොළඹ නගරයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය කරත්ත වූ හෙයින් මේ වැඩවර්ජනය පාලකයන්ට සේම සාමාන්‍ය ජනතාවට ද දැඩි බලපෑමක් සිදු කළ බව සඳහන් වෙයි.

ලංකාවේ වැඩවර්ජන සංවිධානාත්මක හා බහුල වශයෙන් සිදුවීමට පටන් ගත්තේ කම්කරු පන්තියේ හා ව්‍යාපාරයේ නැඟීම සමඟය. 1917 රුසියානු විප්ලවයෙන් පන්නරය ලැබූ මෙරට කම්කරු පන්තිය සහ කම්කරු නායකත්වය වැඩවර්ජන මගින් පාලිතයන් බිය ගන්වා තම ඉල්ලීම් දිනා ගැනීමට පියවර ගත්තේය. ප්‍රකට කම්කරු නායකයකු වන ඊ.ඒ. ගුණසිංහ ආදීන් බිහිවන්නේ මේ යුගයේදීය.

ලංකාවේ වැඩවර්ජන ඉතිසාහයේ ස්වර්ණයම වැඩවර්ජනය වශයෙන් සැලකිය හැක්කේ මුළු රටම ආවරණය වන පරිදි 1953 දී සිදු වූ හර්තාලයයි. එජාප ආණ්ඩුව විසින් සහනාධාර කල්පාදු කිරීමට එරෙහිව වාමාංශික පක්ෂ ප්‍රමුඛ පක්ෂ විසින් ක්‍රියාත්මක කළ මේ හර්තාලය මගින් ආණ්ඩුවට එරෙහිව යොදාගත හැකි ප්‍රබලම අවිය මනාව අභ්‍යාස කිරීමට ජනතාවට අවස්ථාව ලැබුණේය. ඊට පසුව දිගින් දිගටම සිදු වූ වැඩවර්ජන අතර 1980 ‘ජූලි වර්ජනය’ ඉතිහාසගත වන්නේය.

ලංකාවේ වැඩවර්ජන සම්බන්ධ මූලික අවධියේදී එකී වැඩවර්ජන තුළ සේවකයන්ගේ පාර්ශ්වයෙන් යම්කිසි සාධාරණභාවයක් නිරන්තරයෙන් දැකිය හැකි විය. ඒ සඳහා නායකත්වය දුන් වෘත්තීය සමිති නායකයන් මෙන්ම වැඩවර්ජිත කම්කරුවන් ද ( මුල් කාලයේ වැඩවර්ජනය කම්කරු පන්තිය සතු ප්‍රබලතම අවිය විය ) මනා දැනුවත්භාවයකින් මෙන්ම සාදාචාරාත්මක භාවයකින් ද වැඩවර්ජන සඳහා සහභාගි වූහ.

බලය හෑල්ලු වීම

මේ සම්බන්ධයෙන් මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ පැරණි වෘත්තීය සමිති නායකයන් සේම කම්කරුවන් ද අවධාරණය කර සිටියේ අතිශය ආත්මාර්ථකාමී ඉල්ලීම් වෙනුවෙන් කම්කරු පන්තිය සතු අසහාය ශක්තිය පවාදීමට එම යුගයේ තමන් සූදානම් නොවූ බවයි.

වර්තමානය වන විට ‘වැඩවර්ජනය’ යන්න පොදුවේ සමාජය විසින් ග්‍රහණය කර ගන්නේ ‘උන්ගේ ගොඩ වැඩිකර ගැනීමට සාමාන්‍ය ජනතාව ඇපයට ගැනීමක් ’ වශයෙනි. ඇතැමුන්ට අනුව වත්මන් වැඩවර්ජන සමාන කළ හැක්කේ ත්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය ජනතාව ප්‍රණ ඇපයට තබා ගැනීම වැනි තත්ත්වයක් වශයෙනි. ඒ වත්මන් වැඩවර්ජන එතරම්ම ආත්මාර්ථකාමී වුවමනා එපාකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන හෙයිනි. කොටින්ම වර්තමානයේ සිදුවන බොහොමයක් වැඩවර්ජන ප්‍රභාකරන් වන්නියේ සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් වශයෙන් තබාගෙන සිටි අවස්ථාව දෙවැනි නොවන බව බහුතරයක් ජනතාවගේ අදහසයි.

මේ තත්ත්වය වැඩවර්ජකයන්ගේ බලය පමණක් නොව ඔවුන් කෙරෙහි පොදු ජනතාවගේ අනුකම්පාව ද දුර්වල කිරීමට හේතු වූ බවක් දැකිය හැකිය. මේ තත්ත්වය ඇති වූයේ සාමාන්‍යයෙන් පීඩිත කම්කරු

පන්තිය වෙනුවට නිලධාරී පන්තිය ද ( වෛද්‍යවරු වැනි ) ආණ්ඩුවෙන් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩවර්ජනය කිරීමට යොමු වීමයි.

කම්කරු පන්තිය වැඩවර්ජනය කිරීම මගින් නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කිරීම තුළින් පාලිතයන්ට බලපෑම් කිරීමට අවස්ථාව උදාකර ගත් අතර ඒ කෙරෙහි සමස්ත සමාජයේම අනුකම්පාව පමණක් නොව සහයෝගය ද යොමු විය. එහෙත් වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් වැඩවර්ජනය කිරීමට යොමු වීම සමඟ සිදු වූයේ පොදුවේ සාමාන්‍ය ජනතාව ඇපයට තබා ගැනීමක් හෙයින් වර්තමානයේ බොහොමයක් වෘත්තිකයන්ගේ වැඩවර්ජන සම්බන්ධයෙන් පොදුජනතාව අතර ප්‍රසාදයක් නැත.

එදා නිදා සිටියේ ඇයි ?

මේ සමඟ සිදු වූයේ කුමක්ද ? ඒ වෙන කිසිවක් නොව මිනිස් ශ්‍රමය සම්බන්ධයෙන් පැවැති වටිනාම අවියක් අවභාවිත වීම හරහා එය යළි පාලකයන් වෙත ආශිර්වාදයක් වීම පමණකි. ලංකාවේ වත්මන් වැඩවර්ජන බොහොමයක් තුළ ප්‍රකාශ වන්නේ මෙකී තත්ත්වයයි.

ලංකාවේ වැඩවර්ජන සම්බන්ධයෙන් වන ඉතිහාසය කම්කරුවා සම්බන්ධයෙන් සුන්දර නොවන්නේ පාලකයන් වැඩවර්ජන සම්බන්ධයෙන් අනුගමනය කළ ඉතාමත් රළු ප්‍රතිපත්තිය නිසාය. 1980 ජූලි වැඩවර්ජනය මේ සඳහා දිය හැකි කදිම උදාහරණයි. ඊට පසුව ද විවිධ පාලකයන් තම පාලන සමයන්හි වැඩවර්ජන සම්බන්ධයෙන් අතිශයින් රළු ප්‍රතිපත්තියක් අනුගමනය කළ ආකාරයක් අපට දැකිය. එහි කූටප්‍රාප්තිය පසුගිය පාලන සමයේ දැකිය හැකි වූ අතර සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය බුල්ඩෝසර් කළ පාලනයක් තුළ සියලුම වෘත්තීය සමිති හිම වලසුන් සේ දැඩි නිද්‍රාවකට පත්ව සිටියේය.

උදාහරණයක් වශයෙන් අද හම්බන්තොට වරාය විදේශීය සමාගම් සමඟ හවුල්කාරීත්වය යටතේ කළමනාකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වෙද්දී මරාගෙන මැරෙන සටනකට පිවිස සිටින බොහොමයක් වෘත්තීය සමිති එදා පාලකයන් හම්බන්තොට පමණක් නොව මුළු රටම චීන කොළණියක් කරද්දී හීන් කෙඳිරියක් පවා නැඟුවේ නැත.

මෙය හම්බන්තොට සම්බන්ධයෙන් පමණක් නොව එම යුගයේක්‍රියාත්මක වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන් එකසේ අදාළය. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි කදිම උදාහරණ වන්නේ ‘මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ’ අද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අනුගමනය කරන ප්‍රබල වෘත්තීය ප්‍රවේශයේ අලුක් කාලයක් පසුගිය රාජ්‍ය පාලන සමයේ සිදු නොවූ බවට වන කරුණයි.

පසුගිය පාලන සමයේ මේ බොහොමයක් වෘත්තීය සමිති ආණ්ඩුවට එරෙහිව එක කෙළ බිඳක් නොහෙළා නිහඬව සියල්ලට ආශිර්වාදය ලබා දුන්නේ පසුගිය ආණ්ඩුව විසින් ගෙන ගිය ‘ධවල භීෂණය’ නිසාය. එම ආණ්ඩුව වෘත්තීය සමිති නායකයන්ගේ සියලු වුවමනා එපාකම් ඉටු කළ නිසාය. ඔවුන්ට රටට, ජනතාවට වඩා පාලක කල්ලිය හා පවුල වඩාත් සුරක්ෂිත වූ නිසාය.

මේ පිනවන්නේ කවුද ?

එදා පාලක පවුලේ සුරතලුන් වී සිටි වෘත්තීය සමිති නායකයන් අද ‘රා බී වෙරි වූ මීයන් සේ ’ ආණ්ඩුවට තර්ජනය කරමින් සිටින්නේ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් රට තුළ නිර්මාණය කළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නිසාය. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ජනතාවක් විසින් මහත් කැපකිරීමක් මගින් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ අද කුලප්පු වූ මීමුන් සේ හැසිරෙමින් සිටින්නේ එදා ධවල භීෂණය විසින් කර අඹා සිටියවුන් පිරිසකි.

අද රට පුරා හතු පිපෙනා සේ සිදුවන වැඩවර්ජන මගින් පැහැදිලි වන්නේ යහපාලන ආණ්ඩුව විසින් බිහිකළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අපයෝජනය කරමින් හිටපු පාලකයන් යළි බලයට ගෙන ඒම සඳහා අවකාශයක් නිර්මාණය කර ගැනීමට සුළුතර කල්ලියක් අඛණ්ඩව වෙහෙසෙමින් සිටින බවයි.

ඔවුන් මේ සඳහා සියලුම මානව හා වෘත්තීය වටිනාකම් කෙළෙසමින් ඕනෑම නින්දිත ක්‍රියාමාර්ගයකට පිවිසීමට සූදානම් බව පසුගියදා හදිසියේම ක්‍රියාත්මක වූ ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ වැඩවර්ජනය මගින් පෙන්වා දුන්නේය.

මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු කියා සිටි ආකාරයට පූර්ව දැනුම්දීමකින් පවා තොරව හදිසියේ ක්‍රියාත්මක වූ වැඩවර්ජනය මගින් අපේක්ෂා කළේ ආණ්ඩුව බිඳ දැමීම මිස ඔවුන් කියන ආකාරයට ඛනිජ තෙල් සංස්ථාව සතු ත්‍රිකුණාමලය තෙල් ටැංකි ආරක්ෂා කර ගැනීම නොවේ. අද රජයට හිසරදයක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද දිගින් දිගටම සිදු කරන වර්ජන කිරීම් හා වර්ජන මගින් අපේක්ෂා කරන්නේ ආණ්ඩුව බිඳ දැමීමට අවශ්‍ය අඩුවැඩිය සම්පාදනය කිරීම මිස පොදුවේ ඔවුන්ගේ වෘත්තීය හෝ පොදුජන අයිතීන් ආරක්ෂා කර ගැනීම නොවේ.

එසේනම් මේ දිගින් දිගටම සිදුවන නන්දි විසාල පන්නයේ වැඩවර්ජන මගින් පිනවීමට තැත් කරන්නේ මෙරට ජනතාව ද නැතහොත් ජනතාව විසින් තීරණාත්මකව පරාජයට පත් කළ හිටපු පාලකයන් ද ? යන්න ජනතාව වටහාගත යුතුය.

මෙයට ඉඩ දිය යුතු ද ?

මේ ලියුම්කරු 80 ජූලි වර්ජනයේ ඍජු වින්දිතයෙකි. ඒ ලියුම්කරුගේ පියා ද 80 ජූලි වර්ජනයට හසුව රැකියාව අහිමිව අන්ත දුක්වේදනා විඳි අයෙක් හෙයිනි. එම දිනවල මා පියා නිතර නිතර කියූ කතාවක් ලියුම්කරුට යළි සිහිවේ. ඒ ‘උන් අපිව අතකොළු කර ගත්තා. අපට වුණේ වහ කන්න’ යන්නයි. එදා මා පියා තුන්තිස් පැයේ දෙස් දෙවොල් තැබූවේ වාසුදේව නානායක්කාර ආදි වෘත්තීය සමිති නායකයන්ටය.

අද ද මේ නඩයම විසින් ඉටුකරන්නේ අහිංසක කම්කරුවන්ට හා ජනතාවට වස කැවීමේ වුවමනාවම නොවේද කියා ගැඹුරින් විමසා බැලිය යුතු නැත. සිදුවෙමින් පවතින්නේ එයයි. මේ ආකාරයෙන් ආණ්ඩුව අස්ථාවර කරමින් වැඩවර්ජන ක්‍රියාත්මක වන රටකට විදේශ ආයෝජකයන් එන්නේ නැත. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශ්ව නොබියව තීන්දු තීරණ ගන්නේ නැත. ඒ වෙනුවට සමාජය තුළ නිරන්තරයෙන් රෝපණය වන්නේ අවිනිශ්චිතභාවය හා අස්ථාවරත්වයම පමණකි.

මෙය ආණ්ඩුවේ ආර්ථික ප්‍රවේශයන්ට සේම සංවර්ධන සැලසුම්වලට ද අතිශය හානිකරය. ඒ නිසා ආණ්ඩුව පමණක් නොව පොදුවේ සමාජයක් වශයෙන් ද අතලොස්සක් වන කල්ලියකට සමස්ත දේශපාලන හා සමාජ න්‍යාය පත්‍ර සැකසීමට අවස්ථාව ලබාගැනීමට කිසිදු අවකාශයක් ලබා නොදිය යුතුය.

ඒකාධිපතීන්, ප්‍රජා පීඩකයන් පමණක් නොව කිසිදා බිඳ දැමිය නොහැකි යැයි උදම් ඇනු ආණ්ඩු පවා දණගැස්වූ වැඩවර්ජන නම් දැවැන්ත ශක්තිය ලඝු කිරීමට මේ ලියුම්කරු කිසිසේත් සූදානම් නැත.

එහෙත් අප අවධාරණය කරන්නේ සමස්ත සමාජය මතම ධවල භීෂණය වැපිරූ පාලක කල්ලියක් යළි බලයට ඔසවා තැබීම සඳහා වැඩවර්ජන නම් බලය කිසිදා යොදා නොගත යුතු බවයි. ඒ සඳහා ඉඩ නොදිය යුතු බවයි.

භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *