පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ – රනිල්
හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ දඹුල්ලේ පැවති ජන රැලියක් අමතමිනි.
එම ජන රැලියේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
අපි, අපේ පාර්ලිමේන්තුව ගැන ආඩම්බර විය යුතුයි
ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 58ක් හෙවත් බහුතරයක් පාර්ලිමේන්තු ක්‍රමය අනුමත කරල තියෙනවා. පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන්නේ සිලින්ඩරයට ඡන්දය ලබා දුන්නොත් විතරයි. දැන් බලන්න… ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක මන්ත්‍රීවරු පැය විසි හතරක් ඇතුළත මේ ශාලාව ජනතාවගෙන් පුරවලා තියෙනවා.
අද තියෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයක්. අපගේ පාර්ලිමේන්තුව පිළිබඳව අප ආඩම්බර වෙන්න ඕනෙ. ආසියාවේ පරණ ම පාර්ලිමේන්තුව වෙන්නේ අපේ පාර්ලිමේන්තුව. ආසියාවේ සහ අප්‍රිකාවේ ස්වර්වජන ඡන්දයෙන් තෝරා ගෙන තිබෙන, වැඩිම ඉතිහාසයක් තිබෙන පාර්ලිමේන්තුව අපේ පාර්ලිමේන්තුව. එක්දහස් නමසිය තිස්පහ අවුරුද්දෙ සුදු ජාතිකයන් විසින් අපගේ මේ පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කරා. ඒක හැඳින්නුවෙ ව්‍යවස්ථාදායක සභාව කියල. අප රාජ්‍ය මන්ත්‍රණ සභාව හැටියට සර්ව ජන ඡන්දයෙන් වැඩකර තිබෙනවා. කිසි දවසක අපි පාර්ලිමේන්තුව වසා දමා නැහැ. ආසියාවේ එක දිනක්වත් හාර්ලිමේන්තුව නතර කරන්නේ නැතිව පාර්ලිමේන්තුවේ පක්ෂ තහනම් කරන්නේ නැතිව, ඉදිරියට ගොස් තිබෙන එකම පාර්ලිමේන්තුව වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
අනුර, හරිණි, විජිත සරණං ගච්ඡාමි ද…?
අපේ ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ පළපුරුදු අය මෙන්ම පරණ අයත් ඉන්න ඕනෙ. කාලයක් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයෙත් ඉන්න ඕනෙ. මම ජනාධිපති වුණ වෙලාවෙ මේ රට ආරක්ෂා කිරීම සඳහා පක්ෂ බේදයෙන් තොරව මගෙත් එක්ක කණ්ඩායමක් එකතු වුණා. ඒ පිරිස දැන් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. බහුතරය ලබාදිය යුත්තේ මේ පළපුරුදු කණ්ඩායමට කියල මම ජනතාවට කියනවා.
අනුර සරණං ගච්ඡාමි, හරිණි සරණං ගච්ඡාමි, විජිත සරණං ගච්ඡාමි කියන්න එපා. අපි ඉන්නේ ඉදිරියට යන්න. පළමුවෙන්ම මේ මැතිවරණයෙ දි තියෙන්නේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම. පාර්ලිමේන්තුවෙන් සියයට සියයක් ලබා දෙන්න කියල අනුර දිසානායක ජනපතිවරයා පවසනවා. සියයට හතළිස් දෙකක් තියෙන මිනිහට සියයට සියයක් දෙන්නේ කොහොමද? මට නම් තේරෙන්නේ නෑ. මෙයා ගණිතය ඉගෙන ගත්තේ කොහෙන්ද? මේක හරි පුදුම කතාවක් නේ. හරියට ඉස්සර කොමියුනිස්ට් රටවල් ඡන්දෙ තිබ්බා වගේ. විපක්ෂය ඉවත් කරලා තමන්ගේ කොටස වැඩි කර ගත්තා. ඔහොම ක්‍රමවේද අපට කරන්න බෑ. සියයට හතළිස් දෙක නම් ඒ ගාන තමයි. ඊට අඩුවෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. අනෙක මේ දාලා තියෙන අපේක්ෂකයෝ කවුද?
අපේක්ෂකය තෝරණ බලය ටිල්වින්ට…?
මේ රටේ ව්‍යවස්ථාවේ තුන්වන, හතරවන වගන්ති යටතේ පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාවට. ඡන්ද බලය ඒකෙ එක කොටසක්. ජනාධිපතිවරණයෙ දි තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ලබා දී ඡන්ද බලය ලබාගන්නවා. පාර්ලිමේන්තු මැතිවරණයෙ දි තමන් කැමති පක්ෂයට ඡන්දය දීලා ඊට පස්සෙ තමාට මනාප තුනක් තිබෙනවා. යුරෝපයේ රටවල් ගණනාවක ඒ ක්‍රමය තිබෙනවා.
මාලිමාව කියන්නේ මොකක්ද? පක්ෂයට ඡන්දය දෙන්නලු… මනාප ගැන කියන්නේ නැහැ. එහෙම නම් ඔවුන් නොකියා කියන්නේ මොකක්ද? පක්ෂය තෝරන බලය ජනතාවට දෙනවා. අපේක්ෂකයා තෝරන බලය ටිල්වින් සිල්වා මැතිතුමාට සහ දේශපාලන මණ්ඩලයට ලබා ගන්නවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයද? අපේක්ෂකයා තෝරන ජනතාව සතු බලය ටිල්වින් සිල්වා ගන්නේ කොහොම ද? තමන් කැමති තුන්දෙනෙක්ට ඡන්දය ලබා දීමට තමන්ට අයිතියක් තියෙනවා. පාර්ලිමේන්තුවට ගිහින් තමන් නියෝජනය කිරීමට හැකි පුද්ගලයා ගැන දන්නේ ජනතාව. මේ පවතින ක්‍රමය ඇති කර තිබෙන්නේ සුදුස්සා තෝරා පත් කර ගන්න.
පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය 58%ක්
පාර්ලිමේන්තුව හොර ගුහාවක්ලු. එහෙම කතාවක් කියන්න එතුමාට අයිතිය දුන්නේ කවුද? ඔවුන්ගේ ප්‍රතිශතය සියයට හතළිස් දෙකයි. පාර්ලිමේන්තුව ගැන විශ්වාසය තිබෙන බව සියයට පනස් අටක ජනතාවක් ප්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තුවට අතගහන්න ඔබතුමාට තිබෙන අයිතිය මොකක් ද? මාලිමාවට තිබෙන අයිතිය මොකක්ද? ජනාධිපති පාලනය කරන්නේ පාර්ලිමේන්තුවයි. එවන් ස්ථානයක් හොර ගුහාවක් යැයි ජනාධිපති කියන්නේ කොහොමද?
කෙහෙළිය ඉවත් කිරීම සඳහා දෙදහස් විසිතුන වසරේ යෝජනාවක් ඉදිරිපත් කරාලු. ඒ ගැන පාර්ලිමේන්තුව ක්‍රියා කරේ නැතිලු. හොර ගුහාවක් කියන්නේ ඒකලු. දෙදහස් විසි තුන වසරේ ජුලි මාසයේදී කෙහෙළිය ඇමතිතුමාට විරුද්ධව කාවින්ද මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරා. නමුත් ඊට පසුව අගෝස්තු තිස් එක්වෙනිදා එතුමා ගිහින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. හොරා ද? නැද්ද? කියා ඒ නඩුව විසින් තීරණය කළ යුතුයි.
අපි ක්‍රියා කරන්නෙ සම්ප්‍රදායට එකඟවයි
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි පාර්ලිමේන්තු විවාදය නතර කරන්න අපි කටයුතු කරේ නෑ. අපි සඳහන් කරේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව අපට තීරණයක් දිය හැකි කියල. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පසු මේ විවාදය ගන්න කියලත් අපි කිව්වා. ඒක නීත්‍යානුකූල ක්‍රමයක්. යම් සිද්ධියක් ගැන උසාවියට ගියොත් පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ එම තීන්දුව ලබාගෙනයි. ඔය අතරතුරේ නීතිපතිතුමා ගිහින් කෙහෙලිය ඇමතිතුමාටත් විරුද්ධව නඩු දැම්මා. කාට විරුද්ධව ද නඩු දමන්නේ කියා මට අහන්න තිබුණා. මේ සම්බන්ධයෙන් මට පරීක්ෂා කරන්න අවශ්‍යයි කියන්න තිබුණා. මම ඒ කිසිවක් කරන්න ගියේ නැහැ.
නීතිපතිවරයා විසින් නඩු පැවරුවට පස්සෙ මම ජනාධිපතිවරයා විදියට කෙහෙළිය ඇමතිතුමා කැඳෙව්වා. මෙය වැරදි චෝදනාවක් බවත් තමාගේ නම මෙයින් ඉවත් කරන්න කියල නීතිඥවරුන් ලවා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් රඹුක්වැල්ල මහතා මට කිව්වා. එතුමා එවැනි ඉල්ලීමක් කරනවා නම් ඉවත් වන්න කියන්නට මට හැකියාවක් නැහැ. මොකද එතුමාගේ නම නඩුවෙන් ඉවත් කරොත් ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන්කමක් නැහැ. එතුමා ගිහින් අධිකරණයෙන් ඉල්ලීම කරද්දි මහේස්ත්රාත්තුමිය කෙහෙළිය ඇමතිතුමා රිමාන්ඩ් භාරයට පත්කරා. ඊට පස්සෙ ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මට එව්වා. අප ක්‍රියා කරේ ඕනෑම රටක තිබෙන සම්ප්රදාය අනුවයි.
මන්ත්‍රි ධුරයක් අහෝසි කරන්න පුළුවන් විදිය
පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියල රටේ බහුතරයක් කියන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ වැරදි කරන අය ඉන්නවා. ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕනෙ. ඒවාට විරුද්ධව ක්‍රියා කිරීම සඳහා නීති ගේන්න කියල අපි කිව්වා. අපේ දූෂණ විරෝධී න්‍යාය පත්‍රයේ ඒ නීති තියෙනවා. එහෙම නීති ඉදිරිපත් කරේ මාලිමාව නොවේ මමයි. එක්සත් රාජධානියේ තිබෙන නීති පද්ධතිය ගෙනෙන ලෙස එයින් මා යෝජනා කර තිබෙනවා. ඒ වැරදි කරන මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සඳහා. උසාවියෙන් හෝ අධිකරණයේ විනිශ්චකාරවරුන්ගෙන් සැදුම්ලත් කොමිසමකින් වැරදිකරුවන් යැයි නිගමනය කරොත් එම පුද්ගලයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න පුළුවන් නීති අපි ඉදිරිපත් කර තිබෙනවා. තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් එම නීති අනුමත කරන්න පුළුවන්. අපි මේ පිළිබඳව කතා කරගෙන යනවා.
කිසිම වරප්‍රසාදයක් අවශ්‍ය නැහැ කියල දැන් කියනවා. මෙවැනි දෙයක් කරන්නෙ මොන රටේද? චිත්රසිරි කමිටුව පත් කරන බව එක් වතාවක කියනවා. පසුව එය ඉවත් කරන බව කියනවා. එක්දහස් නමසිය හැත්තෑ හත වසරේ ඉඳල මා පාර්ලිමේන්තුවේ ඉඳල තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ නැති නිසා මම ඒ පිළිබඳව චිත්රසිරි කොමිටියට ලිපියක් එව්වා. මන්ත්‍රීවරුන්ට යම්කිසි වේතනයක් දෙන්න තිබෙනවා. හැම රටේ ම එය ලබා දෙනවා. කාර්යාලයට වෙනම වේතනයක් ලබා දෙනවා.
අනුර සුළුතර ජනාධිපති කෙනෙක්
ඕස්ට්‍රේලියාව වගේ රටක එක කොනක ඉඳල තවත් කොනකට එනවා නම් පාර්ලිමේන්තු සතිය සඳහා ගුවන් බලපත්‍රයකුත් දෙනවා. ඉන්දියාව, කැනඩාව, ඇමෙරිකාව වැනි රටවලත් එවැනි දේ සිදුවෙනවා. එවැනි දේ අපේ රටෙත් දෙන්න ඕනෙ කියල මම කියන්නේ නෑ. පුළුවන් නම් අපට උතුර සහ නැගෙනහිර අයට ඒ පහසුකම් දෙන්න පුළුවන්. ඉස්සර අපි එහෙම දුන්නා. නමුත් දැන් එහෙම සේවයක් නැහැ. එක්සත් රාජධානිය, ඇමරිකාව වැනි රටවල තමන්ගේ වියදම් ද මන්ත්‍රීවරුන්ට ලබා දෙනවා. සමහර රටවල පක්ෂයෙන් වත් මන්ත්‍රීවරුන්ට මුදල් දෙන්න බෑ. එය දැනුම් දෙන්න ඕනෙ. මුදල් දෙන්න පුළුවන් පක්ෂ සම්මේලනයට යන්න විතරයි. අපි එවැනි තද ක්‍රමයක් ගෙන එන්න ඒනෙ.
මේ සුළුතර ජනාධිපති කෙනෙක්. සියයට පනස් අටක් මේ පවතින ක්‍රමයට කැමැත්ත පළ කරල තිබෙනවා. අපි පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න ඕනෙ. ඒ සම්බන්ධ යෝජනාවලියක් මම එව්වා. එය මම මාධ්‍යයට නිකුත් කරනවා. ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කරන්න ඕනෙ. මේ වගේ සෙල්ලම් කරන්න දෙන්න බෑ.
මගේ වරප්‍රසාද ඉවත් කරන්න
අනෙක හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස ඉවත් කරන බව කියනවා. මට නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නේ රජයේ නිවසයක නෙවෙයි. මේ අය කියන විදියට මගේ කජු කෑම, මගේ ආරක්ෂක නිලධාරීන්ට කූඩ දහසයක් දෙන එක නතර කිරීම, ආදිය නිසා කෝටි එකසිය විස්සක් ඉතිරි වෙලා තියෙනවා. දැන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිනිය නිවසින් ඉවත් කරන්න හදන්නේ ඇයි? එතුමියගේ ස්වාමි පුරුෂයා ඝාතනය කරේ ජනතා විමුක්ති පෙරමුණ. බෝම්බ ප්‍රහාරයකට ලක්වීම නිසා එතුමියට ඇසක් අහිමි වුණා. එතුමිය මට කිසි දිනක සහනය ලබාදී නැහැ. අපි දෙන්නා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන්නා පමණයි. නමුත් අපි මනුස්සකමට සැලකිය යුතුයි.
යුද්ධය අවසන් කරපු නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධවත් සලකා බලන්න. අද එතුමා මිනිසුන් අතර ජනප්‍රිය නොවීම වෙන කාරණාවක්. ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක සලකා බලන්න ඕනෙ. තව කොච්චර කාලයක් ඉන්නද? වසර 25ක් ඉන්නවද? අනෙක් අයගේ වරප්‍රසාද තියෙන්න දෙන්න මගේ දේවල් ඉවත් කරන්න. මම කියන්නේ පාර්ලිමේන්තුවට අත ගහන්න යන්න එපා. එහෙම කරනවා නම් ජන මත විචාරණයක් තියන්න ඕනෙ. කරුණාකර පොරොන්දු වුණ දේවල් ඉටු කරන්න; පඩි වැඩි කරන්න. මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න හැකියාව තියෙන්නේ සිලින්ඩරයට ඡන්දය දුන්නොත් විතරයි.’’