| |

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා

සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ “වෙන ක්රමයකට” සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම් ඒ සඳහා අවශ්ය කලින් අච්චු ගහපු නෝට්ටු සංචිත මහ බැංකුවේ ඇති. ආර්ථික විද්යාවේදී සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සල්ලි අච්චු ගහන තාක්ෂණික කටයුත්ත නෙමෙයි. ඒ නිසා, සල්ලි අච්චු ගහන වැඩේ සිද්ධ වෙන්න අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන්න අවශ්ය නැහැ.
ඒ වගේම, අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දැම්මත් එපමණකින් එය සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. අවශ්යනම් පරණ මුදල් නෝට්ටු වෙනුවට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන්න පුළුවන්. එයින් සංචිත මුදල් සැපයුමේ වෙනසක් වෙන්නේ නැහැ.
කොහොමටත් සල්ලි අච්චු ගැසීම කියද්දී එයින් අදහස් වෙන්නේ රටේ සංසරණය වන කාසි හා මුදල් නෝට්ටු ප්රමාණයේ වැඩි වීම පමණක් නෙමෙයි. මහ බැංකුවේ තිබෙන රජයේ හෝ බැංකුවක ගිණුමකට මහ බැංකුව විසින් මුදල් බැර කළත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. නමුත් කලින් සටහනේ පැහැදිලිව ලියපු පරිදි පසුගිය මාසයේ එහෙම දෙයක් වෙලා නැහැ. මුදල් නෝට්ටු වැඩි වී නැතත් වෙන ක්රමයකට හෝ සල්ලි අච්චු ගැසීමක් සිදු වී ඇත්නම් සල්ලි අච්චු ගහලා නැහැ කියලා මෙහි ලියන්නේ නැහැ.
සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්රමාණය වැඩි කිරීමටයි. සංචිත මුදල් වල කොටස් දෙකක් තිබෙනවා. සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි එයින් එක කොටසක්. මහ බැංකුවේ තිබෙන බැංකු ගිණුම් වල ශේෂ අනෙක් කොටස. පහත තිබෙන්නේ ඔය කොටස් දෙකේම එකතුව පසුගිය මාසයේදී වෙනස් වූ ආකාරය.
දැන් මේ ප්රශ්නය අදාළ වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ගත වුනු මාසයක පමණ කාලයටනේ. පහත තිබෙන්නේ අදාළ දත්ත.
2024 සැප්තැම්බර් 26 = රුපියල් බිලියන 1,516.0
2024 ඔක්තෝබර් 24 = රුපියල් බිලියන 1,499.9
සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි පමණක් සැලකුවොත් තත්ත්වය මෙවැන්නක්.
2024 සැප්තැම්බර් 27 = රුපියල් බිලියන 1,331.0
2024 ඔක්තෝබර් 25 = රුපියල් බිලියන 1,315.3
මේ අනුව පෙනෙනවා ඇති සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්රමාණය රුපියල් බිලියන 15.7කින් අඩු වී තිබෙන බව. ඒ ජනාධිපතිවරණ සමයේ මුදල් සංසරණය ඉහළ යාමේ සහ ජනාධිපතිවරණයෙන් පසුව එසේ තාවකාලිකව සංසරණයට එකතු මුදල් නැවත බැංකු පද්ධතියට පැමිණීමේ ප්රතිඵලය.
සමස්තයක් ලෙස සංචිත මුදල් ප්රමාණය දෙස බැලුවොත් ඔය කාලය තුළ රුපියල් බිලියන 16.1ක අඩුවක් දකින්න පුළුවන්. ඒ කියන්නේ නෝට්ටු හා කාසි කොටස පැත්තකින් තියා ඉතිරි කොටස දෙස බැලුවත් රුපියල් බිලියන 0.4ක පමණ අඩු වීමකුයි සිදු වී තිබෙන්නේ. කිසිදු වැඩිවීමක් වෙලා නැහැ. ඒ කතාව එච්චරයි.
දැන් ඊළඟ කතාව.
එතකොට economynext වෙබ් අඩවියේ තියෙන්නේ ඔය කතාවමද?
නෑ. එහි තියෙන්නේ ඔය කතාව නෙමෙයි. ඉතා පැහැදිලිවම අදාළ සටහනේ මාතෘකාවේ තියෙන්නේ “Sri Lanka prints Rs100bn through open market operations” කියලයි.
“ශ්රී ලංකාව විවට වෙළඳපොළ කටයුතු හරහා රුපියල් බිලියන 100ක් අච්චු ගසයි!”
ඒ ලිපියේ තියෙන්නේ මෙසේ වුවත් ප්රශ්නය වන්නේ එම ලිපියේ මාතෘකාව ඇතුළු ප්රධාන කරුණු ගණනාවක් තාක්ෂණිකව නිවැරදි නොවීමයි.
විවට වෙළඳපොළ කටයුතු හරහා සල්ලි අච්චු ගැසීමක් වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් බැංකුවකින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තොත් සල්ලි අච්චු ගැසීමක් වෙනවා. නමුත් මෙහිදී එවැනි දෙයක් සිදු වී නැහැ.
දැන් මේ සටහනේ රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ මේ සමඟ පළ කර ඇති රූප සටහනේ රතු හා තැඹිලි පාට තීරු වලින් අවසාන එක ගැනයි. එම තීරුවෙන් රුපියල් බිලියන 106ක් පෙන්වනවා. රතු කොටස රුපියල් බිලියන 36ක් සහ තැඹිලි පාට කොටස රුපියල් බිලියන 70ක් ලෙස.
මේ රුපියල් බිලියන 106ම පසුගිය ඔක්තෝබර් 25 දින වන විට මහ බැංකුවෙන් බැංකු වලට ලබා දී තිබුණු ණය. එයින් රුපියල් බිලියන 36.16ක් දවසකට දුන් ණයක්. ඉතිරි රුපියල් බිලියන 70 ඔක්තෝබර් 22 දින සතියක කාලයකට දුන් ණයක්. මේ ණය මුදල් දෙකම මේ වන විට පියවා අවසන්. කොහොම වුනත් දවසකට වුනත් මහ බැංකුව සල්ලි ණයට දෙද්දී සිදුවන්නේ සල්ලි අච්චු ගැසීමක් කියා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එවැනි තර්කයකට යම් පදනමක් තිබෙනවා.
ඔය ප්රස්ථාරයේම දිගටම දැකිය හැකි රතු හා තැඹිලි තීරු වලින් පෙන්වන්නේ එක් එක් දින මහ බැංකුව විසින් ඔය විදිහට ණයට දී තිබුණු මුදල් ප්රමාණ. එයින් රතු කොටස දවසකට. තැඹිලි පාට කොටස සතියකට. ඔය ප්රස්ථාරය අනුවම බැලුවත් පැහැදිලිව පෙනෙන පරිදි මෙය අලුතෙන් සිදු වූ අමුතු දෙයක් නෙමෙයි. හැමදාම වගේ සිදු වෙන දෙයක්.
මේ විදිහට බැංකුවක ඉතා කෙටිකාලීන ද්රවශීලතා හිඟයක් පියවා ගැනීම සඳහා මහ බැංකුව විසින් ණයට දෙන මුදල් සල්ලි අච්චු ගැසීමක් ලෙස සලකන්නේ නැහැ. මොකද ඒ සල්ලි ඉතා ඉක්මණින් මහ බැංකුවට ආපසු එන නිසා එයින් උද්ධමනකාරී බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සල්ලි ණයට දෙද්දී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පතක් ඇපයට තියා ගන්නා නමුත් එය මිල දී ගන්නේ නැහැ.
මේ වැඩෙන් දවසකට හරි මුදල් සැපයුම වැඩි වෙනවාද?
ඔන්න ඔක තමයි මේ ලිපියේ තිබෙන ප්රධානම වැරැද්ද. සාමාන්යයෙන් මේ විදිහට දවසකට ණයට සල්ලි දීමේදී එළියට යන රුපියල් සංචිත මුදල් වැඩිවීමක් සේ සලකන්නේ නැහැ. නමුත් අපි මේ කොටස සංචිත මුදල් වලට එකතු කරනවානම්, ඒ විදිහටම දවසකට මහ බැංකුවේ තැන්පත් කරන මුදල් ප්රමාණය සංචිත මුදල් වලින් අඩු කරන්නත් වෙනවා. ඔය කියන ඔක්තෝබර් 25 දින ඒ විදිහට දවසකට මහ බැංකුවේ තැන්පත් කර තිබෙන මුදල් ප්රමාණය රුපියල් බිලියන 192.4ක්.
මේ වැඩේට රජයේනම් කිසිම සම්බන්ධයක් නැහැ. විවට වෙළඳපොළ කටයුතු කියන්නේ තනිකරම මහ බැංකුවේ වැඩක්. දැන් මහ බැංකුව අඩු වශයෙන් යම් මුදල් ප්රමාණයක් අලුතෙන් සංසරණයට එකතු කරලා තියෙනවද? ඒ නිසා, රුපියලේ වටිනාකම අඩු වෙනවද?
පැහැදිලිවම එහෙම දෙයක් මෙතැන නැහැ. වෙලා තියෙන්නේ බැංකුවට දවසකට රුපියල් බිලියන 192.4ක් තැන්පතු විදිහට එකතු වෙද්දී එම මුදල් වලින් රුපියල් බිලියන 106.2ක් ණය විදිහට දෙන එක. ඔය වැඩේට අලුතෙන් සල්ලි නිර්මාණය කරන්න අවශ්ය නැහැ.
හැබැයි මේ වැඩෙන් දිගුකාලීනව මුදල් සැපයුම වැඩි වීමට බලපෑමක් වෙනවා. එය වෙන්නේ පොලී අනුපාතික පහත වැටීමේ ප්රතිඵලයක් විදිහට. දැනට බැංකු පද්ධතියේ රුපියල් අතිරික්තයක් තිබෙනවා. දිනපතා මහ බැංකුවේ තැන්පත් කරන්නේ ඒ සල්ලි. බැංකු වල මේ විදිහට සල්ලි එකතු වී තිබෙන්නේ පෞද්ගලික අංශය තවමත් ණය ගන්න උනන්දුවක් නැති නිසා. පොලී අනුපාතික අඩු වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා පෞද්ගලික අංශයේ ණය ඉහළ ඉල්ලුම ඉහළ යන්න පුළුවන්.
පෞද්ගලික අංශයේ ණය ඉහළ යන එක නරක දෙයක් නෙමෙයි. ණය නිසා ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට හේතු වෙනවා. එහිදී economynext ලිපියේ කියන පරිභෝජන ඉහළ ගොස් ආනයන වියදම් ඉහළ යාමේ අවදානමත් තිබෙනවා. ඒ කතාව ඇත්ත. නමුත් දැනට එවැනි ප්රශ්නයක් නැහැ.
මේ වෙලාවේ රටේ තියෙන්නේ අවධමන තත්ත්වයක්. මහ බැංකුවේ කාර්ය භාරය 5%ක උද්ධමනයක් පවත්වා ගැනීම. එය හරිද වැරදිද කියන එක වෙනම ප්රශ්නයක්. ඒ නිසා, මේ වෙලාවේ කිසිම උද්ධමන අවදානමක් නැහැ. උද්ධමනය දිගුකාලීනව 5% මට්ටමේ තියා ගන්නවා කියලා හිතුවත් කෙටිකාලීන පොලී අනුපාතික 6.5% -7% වැනි මට්ටමකට පහත වැටෙන්න ඕනෑ. දැන් තියෙන්නේ විකෘති තත්ත්වයක්. අනෙක් ගොඩක් දේවල් නිවැරදි වී තිබුණත් පොලී අනුපාතික තවමත් අවශ්ය මට්ටමට පහත වැටිලා නැහැ.
අගෝස්තු මාසය වෙද්දී ප්රාථමික අයවැය අතිරික්තයෙන් සමස්ත අයවැය හිඟයෙන් බාගයක් පමණ පියැවී තිබුණා. පොලී අනුපාතික තවත් පහත වැටුනොත් අයවැය හිඟය තවත් අඩු වෙලා රජයේ ණය අවශ්යතාවය පහත වැටෙනවා. එවිට ඉතිරි වන සල්ලි පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම රජයේ ණය තිරසාරත්ව ඉලක්ක වලටත් ඉක්මණින් යන්න පුළුවන්.
මේ කරන වැඩෙන් බැංකු පද්ධතිය විසින් කරන මුදල් මැවීමේ කාර්යය උත්තේජනය වීමක් වෙනවා. නමුත් මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීමක් ලොවෙත් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලර් ගන්න තිබෙන සල්ලි නාස්ති වීමක් වගේ දෙයක් වෙන්නෙත් නැහැ.
වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද?
economatta.blogspot.com
වෙන ක්රමයකට සල්ලි අච්චු ගහනවද?
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *