|

තෙල් ටැංකි දේශප්‍රේමය – සී. ජේ. අමරතුංග

රටපුරා ඉන්ධන අලෙවිසල් අසල වාහන පෝලිම් ගැසුණේ ඉන්ධන හිඟයක් ඇතිවේ යයි බියෙනි. ඒ ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ හදිසියේ වැඩ වර්ජනයක නිරතවීම නිසාය. එයට හේතුව නම් ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න ගිවිසුමක් අත්සන් කරන්න යනවායි කියාය. එය වහාම නවත්වන්නට කියා ඛනිජතෙල් සේවකයෝ හදිසියේ වැඩ වර්ජනය කළහ. එබඳු ගිවිසුමක් තවම සකසාවත් නැති බව ආණ්ඩුව කීවාට ඔවුහු එය නොපිළිගත්හ. ඇතැම් වෘත්තීය සමිති කීවේ ආණ්ඩුව එය වහාම කරන්න යනවා කියාය.

කෙසේ වෙතත් අගමැතිතුමා සමඟ සාකච්ඡාවකින් පසුව ප්‍රශ්නය විසඳුණු බව වාර්තා විය. අගමැතිතුමා සේවකයන්ට කීවේ එබඳු නීතිමය ගිවිසුමක් තවම සකසාවත් නැති බවයි.

දැන් කරන්න යන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය සඳහා ඉන්දියාවත් සමඟ හවුල් ක්‍රියාකාරිත්වයකට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමයි. වැඩි විස්තර කතා කරගෙන නීතිමය ගිවිසුම් හදන්නේ ඉන් පසුවය. ඒ අනුව සකස් කළ විස්තරාත්මක ගිවිසුමකට අත්සන් තැබීම සිදුවන්නේ පසු අවස්ථාවකය. අගමැතිතුමා කීවේ එම ගිවිසුම සකස් කරන විට වෘත්තීය සමිතිවල අදහස් ද සැලකිල්ලට ගන්නා බවයි.

මෙහිදී ද සිදුවූයේ ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම සකස් කරන්නට පටන්ගත් මොහොතේදී ඇතිවූ තත්ත්වයට සමාන තත්ත්වයකි. ඒ සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න යනවිටම වෘත්තීයවේදීන් කියාගත් පිරිසක් මහා ඝෝෂාවක් නැඟුවේ ඉන්දියානු බාබර්ලාටත් ශ්‍රී ලංකාවට එන්න දෙන්න හදනවාය කියමිනි. ඒ සදා නොතිබූ ගිවිසුමක, නොතිබූ කොන්දේසිවලට එරෙහිවය. ඒ විරෝධතාවලට දැන් වසර එකහමාරක් ගතවී ඇත. එට්කා ගිවිසුම තවමත් සාකච්ඡාකොට අවසන් නැත. එදා විරෝධතා දැක්වූයේ අහවල් එකකටදැයි අසන්නට සිදුව ඇත්තේ දැන්ය. එමෙන්ම එදා කළ කලබලයට හා මහජන පීඩාවට වගකියන්නේ කවුද යන්න ද ඇසිය යුතු ප්‍රශ්නයකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කාරණයේදීද මෙය සිදුවිය. එහි මුල් කෙටුම්පත දැන් සකස්වෙමින් පවතින බව කියති. එසේ වුවද නව ව්‍යවස්ථාවෙන් රට කැඩෙනවාය කියා විරෝධතා පටන් ගත්තේ වසරකට කලිනි. නව ව්‍යවස්ථාව භාරදීමේ කටයුත්තට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සම්බන්ධකරගෙන තිබියදීම ‘රට කඩන ව්‍යවස්ථාවක්’ ගැන කියන එක නැවතුණේ නැත. එය නැවතුණේ මහජනයා එයට කන් නොදෙන බව පෙනී ගිය නිසාය.

නැති ප්‍රශ්න හැදීම

මේ කීවේ හොඳටම පැහැදිලි සිදුවීම් දෙකක් ගැනය. මෙයින් පෙනෙන්නේ කරුණු විකෘති කරමින්, බොරු ප්‍රශ්න මතුකරමින් ආණ්ඩු විරෝධතා දියත් කිරීමට සූදානම් පිරිසක් ක්‍රියාත්මකව සිටින බවයි. හැම තැනකටම රිංගා ප්‍රශ්න හැදීම මොවුන්ගේ වැඩ පිළිවෙළ බව පෙනෙන්නට තිබේ. දැන් සිදුවන විරෝධතා, වර්ජන, උද්ඝෝෂණ ආදී බොහෝ සිදුවීම් පිටුපස එකම ආකාරයකට ක්‍රියාත්මක වන අදෘෂ්‍යමාන හස්තයක් ඇති බව මෙයින් පෙනීයන කතාවයි.

තෙල් ටැංකි ඉන්දියාවට දීමක් සිදු නොවන බව චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා කීවේ සේවකයන් වැඩ වර්ජනය කරන්නට කලිනි. ඒ මහතා කීවේ, ශ්‍රී ලංකාවට සියයට පනහක් හිමිවන අයුරින් පිහිටුවන සමාගමකට තෙල් ටැංකි බදු දෙන බවයි. ඒ ඒවා සංවර්ධන‍යකොට ව්‍යාපාරික වශයෙන් දියුණු කරන්නටයි.

ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හසීම් මහතා දෙරට අතර ඇති එකඟතා ගැන වැඩිදුර විස්තර ලබාදී තිබේ. ඒ අනුව තෙල් ටැංකි 14ක් ලංකා ඉන්දියානු ඔයිල් සමාගමට බදු දෙනු ඇත. මෙයින් දහයක් පෙර සිට ලබාදී තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තවත් ටැංකි දහයක් ලබාදෙනු ඇත. ටැංකි 74ක් හවුලේ සංවර්ධනය කෙරෙයි. ඒ ඉන්දු ලංකා හවුල් ව්‍යාපාරයක් වශයෙනි. කුමන සමාගමකට වුවද තෙල් ටැංකි බදු දෙන්නේ ඒවායේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය යටතේ තබා ගනිමිනි.

එසේ වුවද විපක්ෂය කියන්නේ මේවා අපේ සම්පත් බවයි. ඔවුන්ට අනුව මෙය සම්පත් වි‍කිණීමකි. ඔවුන් කියන්නේ මෙය මහා දේශද්‍රෝහී වැඩක් බවයි. තවත් ගිනි තියන්නට කතාවක් කියා තිබුණේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාය. ඔහු කීවේ ඉන්දියාව අපගේ ඓතිහාසික සතුරෙක් බවයි. විජය කුමාරයා ආවෙත්, මිහිඳු හිමියන් වැඩම කළේත්, අපගේ වාරි ශිෂ්ටාචාරය සංවර්ධනය වූයේත්, කලා ශිල්ප ආදී සියල්ල ලැබුණේත් ඉන්දියාවෙන් බව ඔහුට අමතකය. “අපි ඉල්ලන්නේත් නැතිව ඉන්දියාව යුද්ධයේදී අපට උදව් කළා” කියා ගම්මන්පිලගේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා සතියකට පෙර කර තිබූ ප්‍රකාශයද ඔහුට මතක නැත. දේශපාලනයේ අවශ්‍යතාවය වෙනස් නිසා ඔහු ඒවා මතක් කර ගත්තේද නැත. උත්සාහ කරන්නේ මොකක් හෝ කියා ගින්නක් පත්තු කරන්නටය.

මහා සම්පතක් කියන මෙම තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලැබුණේ බ්‍රිතාන්‍යයන්ගෙනි. විශාල තෙල් ටැංකි සියයකින් යුත් මෙය ගොඩනගා තිබුණේ දෙවන ලෝක යුද්ධයේ අවශ්‍යතා සඳහාය. බණ්ඩාරනායක අගමැතිතුමා 1956දී මේවා පවරාගන්නා ලදී. ඉන්පසුව ඒවා තිබුණාට කිසිදු ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මේ වන විට එලෙස ගතවී ඇති කාලය වසර හැට එකකි.

මෙයින් ටැංකි දහයක් ඉන්දියානු ඔයිල් සමාගමට බදු දෙන ලද්දේ 2002 – 2004 රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පාලන සමයේදීය. ඒ ඉන්දියාව ඉල්ලූ නිසා නොවේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම නිසාය. මෙම ටැංකි භාරගෙන සංවර්ධනය කරන්නැයි අගමැති රනිල් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය. ලංකා ඉන්දියානු ඔයිල් සමාගම කීවේ තෙල් ටැංකි පමණක් භාරගෙන ප්‍රයෝජනයක් නැති බවයි. ඉන්ධන පිරවුම්හල් සියයක් ද එම සමාගමට දී තෙල් ටැංකි භාරදුන්නේ ඒ නිසාය.

දේශපාලන නිරීක්ෂකයන් කියන්නේ මෙය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දුර දක්නා නුවණින් කළ උපාය මාර්ගික ක්‍රියාවක් බවයි. එය එල්. ටී. ටී. ඊය උතුරු, නැ‍ඟෙනහිර ඇතැම් ප්‍රදේශ පාලනය කළ කාලයයි. ඔවුන්ගේ සිහින ඊළාම් රාජ්‍යයේ අග නගරය කර ගන්නට හිටියේ ත්‍රිකුණාමලයයි. අගමැති රනිල් කළේ ත්‍රිකුණාමලයේ ව්‍යාපාරික කටයුත්තකට ඉන්දියානු මධ්‍යම රජය ගෙන්වා ගැනීමයි. ත්‍රිකුණාමලයට අත තියන්නට එවිට ඉන්දියානු මධ්‍යම රජය කොටින්ට ඉඩක් තබන්නේ නැත යන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ ගණන් බැලීම විය හැකිය.

මහින්දට අමතක ෙද්

මහින්ද රාජපක්ෂ මහතා ද පිළිගෙන ඇති පරිදි එම යුද්ධයේදී ඉන්දියාව අපට ආධාර කළේය. එල්. ටී.ටී.ඊ. නැව්වලට පහරදීමට ඔත්තු දුන්නේ, ආධාර කළේ ඉන්දියාවයි. ඇතැම් නැව්වලට පහර දුන්නේ ඉන්දියාවයි. ඉන්දියානු ගුවන් සීමාවට ඇතුළුවන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉඩ දී තිබිණි. මේ සියල්ල රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයෙන් ගොඩ නඟාගත් ජයග්‍රහණයි. ඉන්දියානු ඔයිල් සමාගමට ත්‍රිකුණාමලය තෙල් ටැංකි බදු දීමේ මුල් කතාවේ ඇත්ත තත්ත්වය ඒකයි.

2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය ක්‍රියාත්මක වූයේ ඔවුන්ට ලැබුණු මුදල් කුට්ටිය නිසා පමණක් නොවන බව මේ අනුව තේරුම් ගත යුතුය. වේළුපිල්ලේ ප්‍රභාකරන් කීවේ රනිල් කොටින්ට එරෙහිව ජාත්‍යන්තර උගුලක් ඇටවූ බවකි. එම උගුලේ එක කොටසක් නම් ත්‍රිකුණාමලයට ඉන්දියාව ගෙන්වා ගැනීම බව ද ප්‍රභාකරන් තේරුම් ගෙන සිටියා විය හැකිය. දෙමළ ජනයා ඡන්දය දීමෙන් වළකා රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරන්නට ප්‍රභාකරන් ක්‍රියා කළේ තව තවත් උගුල්වල පැටලෙන්නට බැරි නිසා වීමට හොඳටම ඉඩ ඇත.

එදා තෙල් ටැංකි දහයක් ඉන්දියාව භාරගත්ත ද තවත් අසූ ගණනක් තිබුණේ ප්‍රයෝජනයකට නොගෙනය. දැන් යළිත් අගමැති රනිල් හදන්නේ ආර්ථික සංවර්ධනය සඳහා මෙම තෙල් ටැංකි යොදා ගැනීමට බව පෙනෙන්නට තිබේ. එහි තේරුම නම් මේ ටැංකි සම්පතක් කරගන්නට හදන්නේ දැන් බවයි. වසර හැටක් තිස්සේ අතහැර දමා තිබියදී මේ සම්පත ගැන කතා නොකළ උදවිය සම්පත රැකගන්න කතා කරන්නේ දැන්ය. සම්පතක් කියන්නේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා තිබෙන දේවලට නොවේ. තමන්ට එයින් ඵල ප්‍රයෝජන ලැබෙන දේටය. ඒ අනුව ත්‍රිකුණාමල තෙල් ටැංකි රටට සම්පතක් කරගන්නට සැලසුමක් හැදෙන්නේ දැන්ය. අගමැති රනිල් ඉන්දියාවට ගොස් කරන්නට හදන්නේ ඒකය. ඇතැම් අන්තවාදීන්ට නොතේරෙන්නේ ද එම කාරණයයි.

දැන් තේරුම් ගත යුතු අනෙක් කාරණය නම් මේවා මේ ආකාරයෙන් කරන්නට සිදුවී තිබෙන්නේ මොන හේතුවක් නිසාද යන්නයි. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම් වැනි ක්‍රමවේද මෙයට යොදා නොගන්නේ මන්ද යන ප්‍රශ්නය ද කෙනෙකුට මතු කළ හැකිය.

ආර්ථික විද්‍යාවේ පු‍රෝගාමියකු වූ ඇඩම් ස්මිත් මීට ශතවර්ෂ එකහමාරකට පෙර කීවේ නිෂ්පාදනයේදී හා වෙළෙඳාමේදී සියලු රටවලට සාපේක්ෂ වාසි හිමිවන බවයි. ජාත්‍යන්තර වෙළෙඳාම සංවර්ධනයේදී එය සිදුවන්නේ සාපේක්ෂ වාසි පදනම් කරගෙන බව ඇඩම් ස්මිත් එදා කී කතාවයි.

එමෙන්ම අප රටට ද නිෂ්පාදනයේදී හා ජාත්‍යන්තර වෙළෙඳාමේදී සාපේක්ෂ වාසි ඇති බව අප තේරුම් ගත යුතුව ඇත. එනේම එම වාසි කාලයට අනුව වෙනස්වී ඇති බව ද තේරුම් ගැනීම වැදගත්ය.

විවෘත අාර්ථිකය

යුරෝපීයයන් මෙරටට මුලින්ම ආවේ කුළුබඩු වැනි දෑ සොයාගෙනය. පසු කලෙක බ්‍රිතාන්‍යයන් යටතේ තේ, රබර්, පොල් ආර්ථිකයක් අපට හිමිවිය. නවසිය හැත්තෑ හතෙන් පසු කාලයේ ඇඟළුම් ප්‍රධාන කොටගත් අපනයන කර්මාන්ත සංවර්ධනයක් සිදුවිය. එම ගමන් මගේ අද අප සිටින්නේ වෙනත් තැනක බව තේරුම් ගත යුතුව ඇත. ඇතැමුන්ගේ තවම ආදර්ශය හැත්තෑ හතෙන් පසුව සංවර්ධනයයි. එසේ වුවද එම යුගය අවසන් බව තේරුම් ගැනීම වැදගත්ය.නවසිය හැත්තෑ හත වනවිට ආසියාවේ බොහෝ රටවල ආර්ථික විවෘතවී නොතිබිණි. ඒ නිසා ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන්වා ගැනීමට සුවිශේෂී වාසිදායක පරිසරයක් තිබිණි. එමෙන්ම එකල අපට ලාභ ශ්‍රමය ලබාදිය හැකිව තිබිණි. ඒ වාසිදායක තත්ත්වයන් අද නැත.

අද අලුතින්ම විවෘත වූ ආර්ථිකය ලෙස මියන්මාරය අපේ මුහුදින් එහා පැත්තේ ඇත. එහි ඇති ව්‍යාපාරික අවස්ථා අතිවිශාලය. ලාභ ශ්‍රමයද එයට ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෝ පවා එම අවස්ථා සොයායති. අනෙක් අතට බංගලිදේශයේ ලාභ ශ්‍රමය අපට තර්ජනයකි. ඉන්දියාව ද විවෘතය. අපේ රටට ආයෝජන ගෙන්වා ගැනීමට සිදුව තිබෙන්නේ එම පසුබිම යටතේය.

අනෙක් අතට මැද ආදායම් ලබන රටක් වී ඇති අප රටට ලාභ ශ්‍රමය නැත. බොහෝ දෙනා කියන්නේ පොල් කඩන්නට නැතහොත් ගෙදර දොරේ සුළු වැඩකට කෙනෙකු සොයාගත නොහැකි බවයි. ඉදිකිරීම් කර්මාන්තයට සේවක හිඟය ප්‍රශ්නයකි. වෙළෙඳ කලාපවලට ද එම ප්‍රශ්නය බරපතළ ලෙස බලපා ඇත.

එබැවින් දැන් අප රටට සිදුව තිබෙන්නේ මැද‍ ආදායම් ලබන රටකට ගැළපෙන සංවර්ධන උපායමාර්ග තෝරා ගැනීමටය. එමෙන්ම අප රටට ඇති සාපේක්ෂ වාසි ද සොයාගෙන ආර්ථික සංවර්ධනයට යොදාගත යුතුව ඇත.

රනිල්ෙග් උපාය

මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපායමාර්ගයෙන් පෙනී යන්නේ අද වන විට අප රටට ඇති ප්‍රධාන වාසි හඳුනාගෙන ඒ අනුව සැලසුම් කරන බවකි. දැන් අපට ඇති ප්‍රධාන වාසිය පිහිටීමයි. ඉන්දියන් සාගරයේ සුවිශේෂ ස්ථානයක පිහිටා තිබීමයි. මුහුදු මාර්ග, ගුවන් මාර්ග හමුවන ස්ථානයක පිහිටීමයි.

හඳුනාගත යුතු අනෙක් වාසිය නම් කලාපීය බලවතුන්ගේ භූ දේශපාලනික අවශ්‍යතාවයි. හරියට හඳුනාගෙන කළමනාකරණය කළහොත් මෙය අපගේ ආර්ථිකයට ඇති ප්‍රධාන සම්පතක් බවට පත්කර ගැනීමට බැරිකමක් නැත. හම්බන්තොට චීන රජය සමඟත්, ත්‍රිකුණාමලය ඉන්දියානු හා ජපන් රජය සමගත් සංවර්ධනය කිරීමට අගමැති රනිල් ක්‍රියාත්මක වී ඇත්තේ මෙම ඇත්ත ශක්තීන් තේරුම් ගෙන ඇති නිසා බව පැහැදිලි කාරණයකි.

රටේ සම්පත් විකුණන බව කියමින් මේ මොහොතේ රට ගිනි තියන්න හැදීම බො‍රු දේශප්‍රේමයකි. ඇත්ත දේශප්‍රේමය වන්නේ රට ගොඩගන්න හදන සැලසුමට සහය දීමයි. අහක දමා තිබූ තෙල් ටැංකි රටට සම්පත් දෙන කප්රුක් බවට පත්කරගත හැක්කේ මෙම ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමෙන් පමණකි.

 

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *